1990 දී කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට උසස් පෙළ කරන්න ආවාම ලේක්හවුස් එක්ක මගේ තියෙන ගණුදෙනුව වැඩිවෙලා පිටුව දෙක පිරෙන තරමේ ලිපි මිහිර, විදුනැණ, නවයුගය පත්තරවල පලවුනා වගේම පොඩි පොඩි චෙක් එහෙමත් ඒවාට ලැබුණා මතකයි. මිහිරෙ කතුතුමා වුනේ නිව්ටන් පින්තු මහත්තයා වුණත් කාර්යබහුල එතුමා වෙනුවට ලේක්හවුස් ලොබියෙදී මාව හමුවුනේ ඒ කාලෙ පිටු සැලසුම් කල ඉදුනිල් වීරරත්න මහත්තයා තමයි. නවයුගයේ කතුතුමා ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ මහතා වුනත් අපේ ගනුදෙනු තිබුනේ අනුර බණ්ඩාර රාජගුරු මහත්තයා එක්කයි.
ඔය අතරෙ තමයි පෙරමග සඟරාවට ලිපි දෙන්න සංඟරාජ මාවතේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට යන්නෙ. ඒ කාලෙ ආර් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක කටයුතු කෙරුනු ඒකෙ කතුතුමා ඇන්ටන් අල්විස් මහත්තයා වුණත් මම නම් කවදාවත් එතුමා දැකලා නැහැ. ලියන අපි ගණුදෙනු කලේ වසන්ත ප්‍රිය රාමනායක මහතා එක්කයි.
ඒ කාලෙ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේතුව තිබුනෙ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට අයිති රතුපාට ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ. ඒක හරි අපූරු ගොඩනැගිල්ලක්. ලස්සන පඩිපෙලක් නැගල තමයි දෙවෙනි තට්ටුවේ තිබුණු දෙසතිය කාර්යාලයට ගියේ. මුල් කාලෙ එහි සංස්කාරක වරයා වුනේ ගාමිණී විජේතුංග මහත්තයා. එතුමා එක්ක මම කතාකරලා තියෙන්නෙ කිහිප වතාවක් විතරයි. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා , සුනේත්‍රා රාජකරුණානායක, සුමිත් මායාදුන්නේ වගේ පිරිසක් සම්බන්ධීකරණය කලේ හෙඩිම් ලියන්න දක්ෂ භාෂා විශාරද වින්සන්ට් පෙරියප්පෙරුම මහතා. පසුකාලීනව එතුමා සංස්කාරක වශයෙනුත් හිටියා වුණත් ඒ වෙනකොට රාජපක්ෂ වලව්වෙන් බිහිවුණත් නිදහස් මාධ්‍ය කලාවක් කල එයට දේශපාලන බලපැම් සෑහෙන්න එල්ල වෙලා තිබුනා. පසුකාලීනව ගායකයෙකු ලෙස ප්‍රකට වූ රොහාන් ශාන්ත බුලේගොඩ . සිනමා විචාරක අජිත් ගලප්පත්ති , සිරස අධ්‍යක්ෂක අශෝක ඩයස් මම වගේම ඒ කාලෙ දෙසතියට නිදහස් ලිපි සම්පාදනය කල බව මතකයි.
අවුරුදු තිස් ගාණකට පස්සෙ දැන් වෙනකොට සමහර අය නැතිවෙලා. සමහරු වෙනස්ම පාරවල් වල ගිහින් විවිධ අංශවල නම ගිය අය බවට පත්වෙලා. බස් එකෙන් බස් එකට මාරුවෙලා , සමහර ගමන් ඇවිදගෙන ගිහින් , පැය ගණන් , වරු ගණන් ගත කල ඒ සුන්දර මතක මතක් වෙනකොට පොඩි ආඩම්බරයකුත් දැනෙනවා. උසස් පෙළ කරන කොලු ගැටයෙක් විදිහට ඒ කාලෙ නම් දරාපු වාර ප්‍රකාශන වල මගේ නිර්මාණ පලකරවා ගන්න ලැබුණු ඉඩ මට හරි වටිනවා. ලංකාවෙ සමාජ පිලිගැනීම් හන්ද දෙමාපියන්ගේ බලපෑම් වලින් විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය කරලා රටේ පැවතුණු තත්වයත් එක්ක බැංකුවක රස්සාවට ගිය මට හිතෙන්නෙ නිර්මාණකරණයත් එක්ක තව රස්තියාදුවක් ගහන්න තිබ්බා නම් හොදයි කියලයි.
මේ වෙනකොට මගෙ අතේ තියෙන්නෙ ඒ මතක වලින් බොහොම ටිකක් විතරයි. වේයන්ට, කාවොන්ට ගිය මගේ පත්තර මතක සංරක්ෂණය කරගන්න ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාස්ති කල දවස් දෙක වතුරෙ ගියා කියලයි දැනුනෙ. මේ අතේ තියෙන මතක කිහිපයක්.
මගේ රේඩියෝ මතක ගැන ලියල තියෙන හින්ද ඉඩ ලැබුණු වෙලාවක සිරස ආයතනයේ රූපවාහිනී මතක ගැන ලියන්නම්.
අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ