මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 28, 2025

චිත්‍ර පංතියක මතක





මට මේ සටහන ලියන්න කාරණා කිහිපයක් බලපෑවා. පළමුවැන්න  සහෝදර බ්ලොග් නිර්මාණ කාරිනිය  හෙල්මලී ගේ ඩිජිටල් චිත්‍ර. දෙවැන්න ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා යූ ටියුබ් වැඩසටහනකදී ප්‍රකාශ කල  ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයා නතර කළ ජර්මන් නාට්‍ය ශිෂ්‍යත්ව. තුන්වැන්න අබලන් කියල ගාල්ලේ ඉවත් කරන ලංකාවේ සුනාමි ආපදා දැනුවත් කිරීමේ කුළුණු. 

මාතර රාහුල විද්‍යාලය හයේ පන්තියේ ඉන්නකොට මම සෞන්දර්ය විෂය විදිහට මුලින්ම සංගීතය කරන්න ගියා. සංගීත විෂයට හිටපු ටීචර් හරිම සැරයි, ඒ වගේම ගායනයට ලකුණු දෙන්නෙත් අඩුවෙන්. ඒ කාලේ පන්තියේ වෙනියා තෝරන හින්දා පන්තියේ හොඳ තැනක හිටපු මම එකපාරටම පහලට වැටුනා. අපට පරම්පරාවෙන් එන කලා පසුබිමක් නැහැ . සෞන්දර්ය සහ තාක්ෂණ විෂය තෝරගත්තෙ උගන්වන ගුරුවරු ගැන ඉහළ පන්තිවල අය්යලා කියූ හැටියටයි . අම්මලා තාත්තලා ගෙන් ඒවට බලපෑමක් තිබුනෙ නැහැ. රාහුල විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය සංගීත ගුරුතුමියගේ අම්මා,  සංගීත ගුරුතුමියට හාත්පසින්ම වෙනස්. හරිම කරුණාවන්තයි. අනේ ලෝබ  නැතුව ලකුණුත් දෙනවා. අංශ ප්‍රධාන ගුරු මහත්මයට කියල දෙවන වාරයේ ඉඳන් මම චිත්‍ර විෂයට මාරුවක් ගත්තා . ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ට සාමාර්ථයක් ගන්න තරමට චිත්‍ර විෂය මට නැගල ගියා.


මාතර ප්‍රදේශයේ චිත්‍රවලට උනන්දුවක් ඇති පාසැල් සිසු සිසුවියන්ට  සෙනසුරාදා දවසේ නොමිලේ රජය විසින් පවත්වන පාඨමාලාවක් ගැන දැනගන්න ලැබුනේ  ඒ අතරේ.  ඒක තිබුණේ  මාතර මැද්දවත්ත රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන රෝහණ කියන විද්‍යාලයේ.  මමත් සතියකට සැරයක් බස් එකේ මැද්දවත්තට ගිහින් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මුලින්ම දිය සායම් , පැස්ටල් , චිත්‍ර වලට අවශ්‍ය කොළ වගේ දේවල් නොමිලේම ලැබුණා . ගුරු මහත්තුරු හෝ ගුරු මහත්මීන් දෙදෙනෙක් මාරුවෙන් මාරුවට ඇවිත් අපට උපදෙස් දුන්නා. ඒ අය අපේ චිත්‍ර බැලුවා විතරක්ම  නෙමෙයි අපි ලවා විවිධ නිර්මාණ අභ්‍යාස කරා. දැඩි විෂය නිර්දේශ වෙනුවට එතැන තිබුනේ හරිම නිදහස් පරිසරයක්. ගොඩක් වෙලාවට අපට නිදහසේ චිත්‍ර අදින්න ඉඩ ලැබුනා. ගුරුවරු කලේ අපේ දක්ෂතා වලට උදව් දුන්නු එක විතරයි. අපි එහෙම අදින චිත්‍ර ලංකාවේ විතරක් නෙවෙයි විදේශ චිත්‍ර තරගවලට පවා යැව්වා. ඒ කාලේ ජපාන චිත්‍ර තරග හරිම ප්‍රසිද්ධයි.



මිනිස් රූප ලස්සනට අඳින්නට බැරි වුණත්, වර්ණ මිශ්‍ර කරන්න, රූප ගලපන්න යම් තරමක දක්ෂකමක් මටත් තිබුණා මගේ චිත්‍ර කිහිපයකට විවිධ තරඟවලින් කුසලතා සහතික ලැබුණා කියලත් ඒවා අධ්‍යාපන කාර්යාලයේ තිබෙන බවත් ඉදිරි කාලයකදී  ලැබෙනවා කියලත් කිව්වා. හැබැයි කවදාවත් අපට ඒවා ලැබුනේ නම් නැහැ.  රටේ තත්ත්වය වෙනස් වුණා. පළාතට භීෂණය ආවා.වියදම් කප්පාදු වුනා.උපකරණ දෙන එක නතර වුණා. ගුරුවරුත් සතියකට දෙන්නා වෙනුවට එක්කෙනා වුනා . ගෙවීම් ප්‍රමාදයි  කියලා එන එක්කෙනත් නතර වුණා . දවස් ගණන් අපි රස්තියාදු වෙන හින්දා ඒ වැඩේ හබක්වෙලා  පන්ති යන එක නැවැත්තුවා. චිත්‍ර පන්තියට ආව ගිය අතරෙ  රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කෝකි අයියා එක්ක යාළුවෙලා කෑම  සප්පායම් වුනු හැටි , මුහුදු වෙරළේ කළ කී දේ මතක  මගේ කෙටි කතාවලට ඉතිරි කර ගන්න අවශ්‍ය නිසා නොකියා තියාගන්නම් . 


චිත්‍ර අඳින්න බඩු ගන්න මාතර තැපැල් කන්තෝරුව ළඟ තිබෙන මුස්ලිම් කඩේට අපි පුරුදුවෙලා හිටියේ එතනින් යම් තරමක සහන මිලකට ඒවා ගන්න පුලුවන් වුනු හින්දයි. ඒ වගේම ඒ කාලේ චිත්‍ර රාමු කරගන්න එකත් තරමක් දුෂ්කර වැඩක්. දවස්  ගණන් රස්තියාදු වෙනවා. චිත්‍ර තරඟ වලට චිත්‍ර යැවූ විදිහ ගැන මතක නැති වුනත් චිත්‍ර ප්‍රදර්ශන වලට අවශ්‍ය විදිහට පින්තූර රාමු කරලා ගන්න වැඩේ බර කරට ගත්තෙ නම් තාත්තා තමයි. අද බලන කොට විෂයන් ඔක්කොටම ටියුෂන් යන ළමයි වෙනුවට එදා අපට කොච්චර බාහිර වැඩ තිබුණද කියල හිතෙනවා. චිත්‍ර පන්තිය , රුහුණු සේවය , දහම් පාසැල  , මුතුහර රූපවාහිනි ළමා සමාජය සති අන්තයම අත්දැකීම් පිරුණු රස්තියාදුවක්.   


අදත් ලෝකෙ කොහේ හරි සංචාරය කළොත්, නගරයේ යම් තැනක ඉඩ තියෙන වෙලාවකදි චිත්‍ර හෝ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බොත් ඉඩ ලැබෙන විදිහට ඒවාට යන්න පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ ඒ හින්ද වෙන්න ඕන. මේ රටේ විවිධ ආයතනවලින් නගරයේ නගර සභාවෙන් වැඩිහිටි අය වෙනුවෙන් සංවිධානය වන චිත්‍ර පන්ති තියෙනවා. විශ්‍රාමික අය ඒවට ගිහින් තමන්ගේ කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා සතුටින් ඉන්නවා.සමහර විට විශ්‍රාම ගත්ත දවස්වලට ඒ වගේ ඒවාට යන්නත් වැඩි වැඩියෙන් කලාගාර බලන්නත් ඉඩ තියෙනවා. ඒවාට ඉතින් තව කල් තියෙනවනේ.



මම ගූගල් සිතියමෙන් බලද්දි, දැන් අපි චිත්‍ර අඳින්න ගිය ඉස්කෝලෙ තාප්ප ගහලා තට්ටු ගොඩනැගිලි හැදිලා නිකං මාතර ටවුමේ කෑල්ලක් වගේ වෙලා. අපි යන කාලේ ඒ ඉස්කෝලේ පෙනුනේ හැට ගණන් වල චිත්‍රපට වල දැක්ක මධ්‍ය මහා විද්‍යාලයක් වගේ, හරිම ලස්සනයි. විෂය අධ්‍යාපනයට අමතරව ශිෂ්‍ය දක්ෂතා දියුණු කරන්න ලකාවෙ කොච්චර ලස්සන ව්‍යාපෘති තිබිල තියෙනවද?  පෞද්ගලික හේතු සහ උවමනාවක් නැති කම නිසා පසුකාලීනව  භාවිතයට නොගෙන ආධාරදුන් ඒ ඒ ආයතනවලට ඇදිලා ගිය මුදල් සහ ඒ ව්‍යාපෘති නිසි විදිහට කළමනාකරණය වුණානම් කියල මට හිතෙනව. 


පහුගිය දවසක අජිත් ජිනදාස ප්‍රවීණ රංගවේදියා එක්ක කළ රූපවාහිනි කතාබහක දී ඔහු කිව්වේ රත්නපුරේ ළමයකුට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇවිත් ලෝකය දකින්න ලැබුණේ ලංකාවේ ඒ කාලෙ තිබුනු ශිෂ්‍යත්ව විභාගය නිසා කියලයි. ඒ වගේම අපේ ජීවිත කාලයේදී අපට අත්දකින්නට ලැබුණු සුනාමි උවදුරේ දී ලංකාවට ආධාර විදිහට ලැබුණු බහුතරයක් දේ  නිසි නඩත්තුවක් නැතිකම නිසා අද වෙනකොට අබලන් වෙලා භාවිතයට ගන්න බැරි තරමටම සවුත්තු වෙලා. දේශපාලන අධිකාරියට විතරක් බැන බැන ඉන්නෙ නැතුව නිලධාරීන් සහ පුරවැසියන් විදියට හැමෝම තම තමන්ගේ යුතුකම සහ වගකීම පැහැර හැරීම හේතුවෙලා  කියලා මට හිතෙන්නෙ නිසි ක්‍රමවේද වලට , නිසි වෙලාවට මේ රටවල දේවල් නඩත්තුවෙන හැටි දැක්කමයි.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

18 comments:

  1. //අබලන් කියල ගාල්ලේ ඉවත් කරන ලංකාවේ සුනාමි ආපදා දැනුවත් කිරීමේ කුළුණු...//

    හ්ම්...☹️
    //... රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කෝකි අයියා එක්ක යාළුවෙලා කෑම සප්පායම් වුනු හැටි , මුහුදු වෙරළේ කළ කී දේ මතක මගේ කෙටි කතාවලට...//

    ඒ කතාවත් ලියන්න. කලාව පිහිටලා නැති මම, මේ ලිපියේ වැඩියම රසවින්ඳේ ඒ අතීත සැමරුම් කතා කොටස් තමයි.👌
    ඔබ කිව්ව පරිදි දෙවන AI කතාවත් ලිව්වා.😁

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා , ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. හ්ම්..... අපේ රටට ලැබුණු දේවල් වලට නිසි නඩත්තුවක් නැතිකමට උදාහරණයක් තමයි සුනාමි කුළුණු .

      පරණ මතක ගැන ඔබේ අදහසට ආසයි. ඉඩ ලැබෙන විදිහට කෙටි කතා ටිකක් ලියන්න ඉන්නවා . බලමු. අනිවාර්යයෙන් පරිකල්පන එක්ක මතක අත්දැකීම් සහ අත්විදීම් ඒවාට එකතු වේවි. ඔබේ අඹතලේ , මරදානේ මතක ශ්‍රී ලන්කැන් පුවත්පතේ වෙබ් පිටු අතරට කවි සහ කෙටිකතා පිටු අතරට එක් වුනා. ඔබ කියවන්න ඇති කියල හිතනවා. ඔබේ මතකත් ලියන්න.

      නිදහසේ ඔබේ දෙවන කතාව කියවා අදහසක් ලියන්නම්. තාක්ෂණික පසුබිමේ සහ ගවේෂණාත්මක විස්තර ඇති කතා ලිවීමට ඔබ දක්ෂ බව පේනවා. ඔබට ජය .

      Delete
  2. සංගීතය, චිත්‍ර කලාව වගේ දේවල් ජීවිතයට අත්‍යවශ්‍ය නැති දේවල් විදියට තමයි සැලකෙන්නේ. ටිකක් හරි උනන්දු වෙන්නේ තරගෙකින් දිනන්න පුළුවන් නම් විතරයි.

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. වෙළද සමාජයේ වටිනාකම් තීරණය වෙන විදිහ තමයි ඒ. මට හිතෙන විදිහට ලංකාවේ 77 ට කලින් ඉංග්‍රීසි සිංහල උගත් පිරිස තමයි ජීවිතය හොදටම වින්දෙ. ප්‍රංශයේ, ඉතාලියේ මිනිස්සු ජීවිතය සතුටින් ගෙවන්නේ කලාව සහ රසවින්දනය හින්ද තමයි. ඒත් වැරැද්ද අපිට පුරුදු වුනේ කෙලවරක් නැති තරඟ පස්සෙ යන්න මිසක් ජීවිත විදින්න නෙමෙයි.

      Delete
  3. අනුරුද්ධ මගේ චිත්‍ර ගැනත් සඳහන් කරලා තිබීම සතුටක්.

    සංගීතයට අකමැති නිසා චිත්‍ර තෝරාගත්ත කෙනෙක් පස්සේ චිත්‍රවලට විශිෂ්ට සාමාර්ථය ගත්තා කියන එකම ලොකු හපන්කමක්. ඒ කියන්නේ සැඟවුණු දස්කමක් තිබිලා තියෙනවා.
    මමත් ඉස්කෝලෙදි චිත්‍ර විෂය කළේ. හැබැයි ඒ අවුරුදු තුනේදී හැකියාවක් ඔප නැංවුණා කියලා නම් හිතන්න අමාරුයි. ඔබ කීවා වගේ විෂය නිර්දේශයට කොටු වෙලා විභාග ඉලක්ක කරගෙන අපිට ඉගැන්නුව නිසා අපිට නිදහසේ ඒ විෂය රස විඳින්න බැරි වුණා. මම නම් චිත්‍ර ඇඳීම වැඩියෙන්ම රස වින්දෙත්, එක එක ක්‍රම, මාධ්‍ය අත්හදා බැලුවෙත් මේ මෑත කාලේදී ආයෙත් චිත්‍ර අඳින්න ගත්තාට පස්සේ. දැන් නම්මට ඒක භාවනාවක් වගේ දෙයක්.

    අනුරුද්ධ කීවම මටත් ජපානයේ චිත්‍ර තරඟ ගැන මතක් උනා. කනගාවා තරඟය මතකද? මමත් ඒ තරඟයෙන් රිදී පදක්කමක් දෙකක් ලබලා තිබුණා. ළඟදී ජපානයේ සංචාරය කළ වෙලාවේ කනගාවා ප්‍රදේශය දැක්කාම මතක් වුණා දශක කීපයකට ඉස්සර ඈත රටක ළමයින්ට චිත්‍ර ඇඳලා හීන දකින්න එයාලා පාර පෙන්නපු හැටි.

    බස්සා කීවා වගේ අර පරණ මතක ටිකත් ලියමු

    ReplyDelete
    Replies
    1. හෙල්මලී ඔබේ සටහන නිසයි මේ මතක එළියට ආවෙ. ඉස්කෝලෙ නම් විෂය නිර්දේශයට තමයි වැඩ කලේ. අනික මම කොහොමත් ලිඛිත කොටසේ උපරිම ලකුණු ගත්තා. බලා ඇදීම නම් තරමක් දුර්වලයි. නිදහසේ චිත්‍ර අදින්න හුරු වුනේ රෝහණ විද්‍යාලයේ චිත්‍ර පංතියෙන් තමයි. ඔව් කනගාවා චිත්‍ර තරඟ වලටත් අපි යැව්වා. හැබැයි ඒ දිනපු නම් ලැයිස්තු මාතර අධ්‍යාපන කන්තෝරුවට ඇවිත් අපට එන්න මාස 6 විතර යනවනෙ. ඒ හින්ද ඒ ගැන වැඩි මතක නැහැ. ඒ කාලෙ ලංකාවෙත් පත්තර වලින් සංවිධානය කල චිත්‍ර තරඟ තිබුනා.ජපානයට ගිය දවසක ඔබ වගේම කනගාවා පැත්තට යන්න ඉන්නවා.

      පැරිසියේදී , වැනිසියේදී , රෝමයේදී , ඩිස්නි ලෝකයේදී බලා අදින චිත්‍ර වලට මිනිස්සු ඉන්නෙ පෝලිමේ. බොරැල්ලෙ එහෙම කෙනෙක් ගැන මුහුණු පොතේ දැක්කා. ඒ වගේ අයට සංවිධානාත්මක සංචාරක කර්මාන්තයක් හැදුනොත් තැනක් ලැබේවි. බලමු.... ඉඩ ලැබෙන විදිහට පරණ මතක එකතු කරන්නම්.

      Delete
    2. හුම්. මාත් චිත්‍ර තමා කරේ. වෙන තෝරාගන්න එකක් නැති හන්ද. ලිඛිත කොටසට තමා මටත් උපරිම ලකුණු තිව්නෙ. හෙහ්..හෙ 😁

      Delete
    3. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි

      Delete
  4. මට නම් චිත්‍ර බැහැ . මගේ ලොකු දුබට සහ බිරිඳට හොඳට පුළුවන් . එයාලා ගොඩක් වෙලාවට අඳිනවා . ගෙදර එල්ලලත් තියනවා . එංගලන්තයේ ඒ අතින් පාසැල් වල සෑහෙන්න සහයෝගය දෙනව . අනුරුද්ධ ලියන්න අත්දැකීම් . ශිෂ්‍යත්ව විභගය ගැන මගේ තියෙන්නේ ඒක නැති කරන්න ඕනේ කියන එක . අපි ඈත පළාත් වලින් පාස් වෙලා රෝයල් එන්නද එනවා . ඊට පස්සේ ඒ ලෙවල් වලදී ආයේ ලකුණු සිස්ටම් එකෙන් අර ඈත පළාත් වල අඩු ලකුණු වලින් එන අයට එන්න දෙන්න වෙනවා . හොඳම වැඩේ ඒ පළාත් වල පාසැල් දියුණු කරන එක . අනිත් හේතුව කොළඹ හෙම පාසල් ගොඩක් තියනවා . දුප්පත් පාසැල් . පිරිලා . කිසිම හෙවිල්ලක් නැහැ . අර ආනන්ද රෝයල් වලට විතරයි සැලකිල්ල . ඒ ළමයින්ට ජිවිතේ ට විශ්ව විද්‍යාලයකට යන්න නැහැ .

    ReplyDelete
    Replies
    1. අජිත් ඔයා දුවගේ නිර්මාණ සහ බිරිඳගේ නිර්මාණ වලට උදව් කරනවානෙ. හැබැයි ඉතින් ඔබේ ගමන් වලදී කලාගාර වලින් ඒ අය එළියට ගන්න අමාරු ඇති. ලංකාවේ ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ක්‍රමය ඉදිරියේදී වත් වෙනස් වුනොත් සංවේදී , නිර්මාණශීලී මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වේවි. මේ රටවලට ඇවිත් වුනත් අපේ ප්‍රජාව කරන අනවශ්‍ය තරඟය සහ පෙන්නිල්ල ගැන දුකයි.

      Delete
    2. ඒකෙ නම් අනිත් පැත්ත වෙන්නේ . මම චිත්‍ර රස විඳින්න කැමැතියි . පොඩි දුවත් එහෙමයි . අපි දෙන්නව තමා එලියට ගන්න අමාරු . චිත්‍ර අඳින දෙන්න නෙමේ . මේ මම ගිය එකක් . ඔයා මේක කියෙව්වද දන්නේ නැහැ . https://kolambagamaya.blogspot.com/2016/08/hermitage.html

      Delete
    3. අජිත් ඔබේ ලිපිය කියවා තිබුනේ නැහැ. ආසාවෙන් කියෙව්වා. මේ වෙනකොට පටිගත කල රූපණ වැඩසටහන් රැසක් තිබෙනවා. අපේ ලෝකෙ වටේ වැඩසටහන් කරන්නේ Fillers හැටියටයි. ඒ දෙකකට වෙලාවක ඔබත් එක්ක ජර්මනිය/ ග්‍රීසිය හා ජපානය/ වියට්නාමය ගැන කතා කරන්න කැමතියි. බලමු .

      Delete
  5. මේ post එක නිවී හැනහිල්ලේම ලියවිලා තියෙන හැඩයි. අතීත සිදුවීම් එක්ක හැඟීමෙන් ලියවිලා තියෙන හන්දයි එහෙම හිතුනෙ. අර කීව කතා ටිකත් නිවීහැනහිල්ලේ ලියන්න මේ වගෙ!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. බලමු ඉඩ තියෙන වෙලාවට ලියන්නම් . ඔබේ නිර්මාණ රසික ගේ සිසිල සඟරාවට යවන්න. අවසර දුන්නොත් ශ්‍රී ලංකැන් වෙබ් පත්තරේටත් දාන්න පුළුවන්.

      Delete
  6. මමත් ඉස්සර නම් චිත්‍ර ඇන්දා , අපි පොඩි කාලේ තිබ්බ සිතුවිලි ශ්‍රී ලංකා කියල චිත්‍ර තරඟයක් , ඊට පස්සේ රුපවාහිනි එකේ තිබ්බ චිත්‍ර වැඩසටහනක් එකට ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පින් ගෙනල්ලා අපි යවන චිත්‍ර වලින් කිහිපයක් තෝරලා , ටීවී එකේ පෙන්නනවා .. මම යවපු එකකුත් පෙන්නුවා එහෙම දවසක් ! ඒවා සුන්දර මතක

    දැනුත් හැමදාම චිත්‍ර අඳින්න හිතුවත් කවදාවත් අඳින්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මටත් සිතුවිලි ශ්‍රී ලංකා කියල චිත්‍ර තරඟය ගැන මතකයි

      Delete
  7. ඕලෙවල් වලට චිත්‍ර කලාට පස්සේ මේ වෙනකන් චිත්‍රයක් ඇඳලා නැහැ අයියේ. කාලයත් එක්කම එක මග ඇරුනා. අප්පච්චි තමා චිත්‍ර වලට දක්ෂයා.අයියටත් ඒ හැකියාව පොඩි කලේ ඉදන්ම ආවා. මට එහෙමට බහ.ස්වභාවික දර්ශන විතරයි මට හොදට අඳින්න පුළුවන් උනේ,.

    ReplyDelete
    Replies
    1. නිලක්ෂි ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඉඩක් ලැබුනොත් ආයෙත් චිත්‍ර අදින්න බලන්න.

      Delete