මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 24, 2024

කළු ටැක්සි, බිග්බෙන් ,ඩබල් ඩෙකර් එක්ක ලන්ඩනයේ දවසක්


ලන්ඩන් නගර ගමනක මතක


බිග්බෙන් ,ඩබල් ඩෙකර් බස් වගේම අමුතුම හැඩේ කළුපාට ටැක්සිකාර්එංගලන්තයේ ලන්ඩන් නගරයට ආවේණික සුවිශේෂී සංකේත. ඒ වගේම තමයි ලන්ඩන් උමං දුම්රිය. ඒවා  ගැන අහද්දී කුඩා කාලේ ඉඳන්ම මම හිටියේ කවදා හරි ඒවා හැබැහින් දැකගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්.  මේ මට හැබෑ කරගන්න පුළුවන් වුනු ඒ හීන ගමනක මතකය ඇසුරින් ඔබව ලන්ඩන් නගරයේ තැන් කිහිපයකට  එක්කගෙන යන්නයි මේ සූදානම.



Big Ben


බිග්බෙන් කියන නම ඔරලෝසුවකට  ලැබුනෙ හරිම අපූරු විදිහකට. මේ වෙද්දි Elizabeth Tower  කියන නමින් හැඳින්වෙන ලන්ඩන් නගරයේ සංකේතයක් බඳු මේ ඔරලෝසු කණුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තිබෙන වෙස් මිනිස්ටර් මාලිගාවේ එක කොටසක්.1834  දී ඇතිවූ ගින්නකින්  විනාශ වුණු වෙස් මිනිස්ටර් මාලිගය ප්‍රති  නිර්මාණය කළ Charles Barry ගේ අදහසක් අනුව ඉදිවුණු මේ ඔරලෝසු කණුවේ ශිල්පියා Augustus Pugin.



අඩි 316  ක් උස කුළුණේ  හතර අතට අඩි 40  ප්‍රමාණයේ මුහුණු ඇති කොරලෝසු හතරක් තියෙනවා. බිග්බෙන් කියලා කියන්නේ මේ ඔරලෝසුවට ඉහලින් තිබෙන සීනු පහෙන් විශාලතම සීනුවටයි. එයට ඒ නම ලැබුණේ කුළුණට නමක් යෝජනා කරද්දි පාර්ලිමේන්තු කතාබහේ කියැවුණු ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධාන කොමසාරිස් Sir Benjamin Hall  හින්දා කියලයි කියන්නේ.


හැම විනාඩි පහලවකටම වතාවක් කුඩා සීනු හතර නාද වෙනවා. බිග්බෙන් නාද  වෙන්නේ හැම පැයකටම සැරයක් පැයේ අගයට ගැලපෙන වාර ගණන බැගින්.  දුර ඈත නගරවල ඉඳන් ලන්ඩන් නගරයට මේ සීනු සහ ඉදිකිරීම් ගෙනා ගමනත් අපූරු  එකක්.



2022 දී  අවුරුදු හතරක සම්පූර්ණ අලුත් වැඩියාවකට ලක්වුණු මේ කුළුණ දැන් නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විතයි කලින් වෙන් කරවා ගැනීම් කරලා වටේට කරකැවෙමින් යන පඩි පෙළ දිගේ පඩි  334 ක් නැගල ගියහම ඔබට එහි අපූරුව හොදින් විදින්න  පුළුවන්. 


මේ දිගුව ලිපියට අමුණන්නේ තාක්ෂණික තොරතුරු ඇතුලත් කදිම විස්තර වීඩියෝවක් හින්දයි .  ඒත් එක්කම ඔබට කැමතිනම් ඒ ගමනටම වෙස් මිනිස්ටර් පාර්ලිමේන්තු චාරිකාවක් එකතු කරගන්නත් පුළුවන්. 





London Eye 



බිග්බෙන්  නුදුරින් තේම්ස් නදියේ දකුණු ඉවුරේ තිබෙන 2000  වසරේ සිට ක්‍රියාත්මක වන විශාල නැරඹුම් රෝදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. අංක එකේ සිට තිස්තුන දක්වා ( 13 හැර) විශාල වායු සමනය කල නැරබුම් මැදිරි (කැප්සියුල් )  කැප්සිවුලේ තිස් දෙකක් මෙහි තිබෙනවා.  ඒවායින් ලන්ඩනයේ ප්‍රාදේශීය කොට්ඨාශය තිස් දෙක නිරූපණය වන බවයි කියන්නේ.  ටොන් දහය බැගින් බර ඒවා පැයට කිලෝමීටර් 0.9 ක වේගයෙන්  කරකවන්නේ ඒ විශාල රෝදය සම්බන්ධ කල කණුවට බලය සපයන විශාල මෝටරයකින්.




අඩි 443 ක්  උස , අඩි 394 ක විෂ්කම්භය ඇති මේ ෆෙරිස් රෝදය නිර්මාණය කළේ Julian Barfield  සහ David Marks මූලිකත්වය ගත් නිර්මාණ සමාගමයි.  කාලෙන් කාලෙට විවිධ ආයතනවල  හිමිකාරීත්වයට පත්වුණු මේ නිර්මාණය ලන්ඩනයට යන කවුරුත්වගේ අමතක නොකර  ගොඩවැදිලා බලන තැනක්.  විශාල ජනේල තිබෙන කැප්සිවුල් එකකට  නැග්ගාම එය වටයක් කරකැවෙන අතරතුර ලන්ඩනයේ බොහෝ තැන් ඔබට ලස්සනට බලන්නට පුළුවන්.  හොඳින් ඉර එළිය තියෙන දවසක දවාලට හවසට වගේම රෑටත්  මේ සංචාරය  විවිධ අත්දැකීම් මවාවි.






Tower Bridge 



ලන්ඩනය හරහා ගලායන තෙම්ස් නදිය මතින් දෙපසට ගමන් ගන්නා වාහන , දුම්රිය සහ මගීන් සඳහා පාලම් විශාල සංඛ්‍යාවක් තිබුණත් ලන්ඩනයේ තවත් සංකේතයක් විදිහට Tower Bridge  හඳුන්වන්න පුළුවන්. යටත් විජිත පාලන කාලේ තමන්ගේ පාලනය යටතේ තිබූ ලෝකෙ විවිධ රටවලින් අමුද්‍රව්‍ය ගෙනවිත් එංගලන්තයේ නිෂ්පාදන ඒ ඒ රටවලට යවන ක්‍රමවේදය ක්‍රියාත්මක වුනු කාල සීමාවේ දී තෙම්ස් ගඟ හරහා කෙරුණු නාවික ගමනාගමනය ඉතා වැදගත් සාධකයක් වී තිබුණා.



1886-1894  කාලයේදී Horace Jones  සැලසුමකට අනුව John Wolfe Bary  මේ පාලම නිර්මාණය කළේ Henry Marc Brunel ගේ  උදව්වෙන්.



තට්ටු දෙකක් සහිත මේ පාලම, අඩි 213 ක් උස කුළුණු දෙකක් හරහා අඩි අටසීයක් දිගට ගඟ හරහා ඉදිකර තිබෙනවා.  කුළුණු දෙක අතර මැද පිහිටි ඉහල කොටස නිර්මාණය වුණේ නැව් ගමනාගමනය සඳහා පාලමේ පහළ කොටස වසා තැබෙන විට මගීන්ට ගමන් ගන්නයි. ජනප්‍රියතාව අඩුවීම නිසා පසු කාලීනව එය භාවිතයෙන් ඉවත් වුවත් සංචාරක ආකර්ෂණය සඳහා අදත් එය භාවිතා වෙනවා.



තවමත් වාහන සහ මගින් විශාල සංඛ්‍යාවක් දිනපතා මේ පාලමේ පහළ කොටස පාවිච්චියට ගන්නවා. මේ වන විට කුලුණු දෙක සහ ඉහළ පාලම සංචාරක කටයුතු සඳහා පමණක් භාවිතා වෙනවා. අදත් පැය විසි හතරකට පෙර දැනුම් දීමක් කලොත් වෙන්කරවා ගත් වේලාවට නාවික යාත්‍රා වෙනුවෙන් පාලම ඉහළට එසවෙනවා.  ඒ වගේම වෙබ් අඩවියේ යාවත්කාලීන වන  තොරතුරු බලා ඔබටත් පාලම  එසවෙන හැටි,  පහත් වෙන හැටි බලාගන්නට පුළුවන්. හයිඩ්‍රොලික් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වුණු මෙය මේ වන විට එසවීම කරන්නේ විදුලිබලය භාවිතයෙන්.


වයස්ගත මේ පාලමේ ආරක්ෂාව වෙනුවෙන් ටොන් දහ අටක බර සීමාවකට සහ  කිලෝ මීටර් තිස් දෙකක වේග සීමාවකට යටත්ව වාහන වලට මේ පාලම තරණය කරන්න පුළුවන්.





London Transport Museum



දුම්කෝචි භාවිතයෙන්ම පොළොව යටින් පොදු ප්‍රවාහන සේවයක් 1866 දී ලන්ඩන් නගරයේ පටන් ගනිද්දි බොහෝ දෙනෙක් සැක සංකා පළ කළා. ඒවගේම තමයි Stanislas Baudry තට්ටු දෙකේ අශ්ව රථ හරහා ලොවට දායාද කළ ඩබල් ඩෙකර්  බස්. ලෝකයේ හොඳම ප්‍රවාහන සේවාවක් හිමි ලන්ඩනයේදී ප්‍රවාහන කෞතුකාගාරයක් අතාරින්නේ කොහොමද ?  අනික් කෞතුකාගාර වල කල් ගත කරන්නට ඉඩක් නොතිබුණ හින්දා අපි ලැබුණු ඉඩේදී ප්‍රවාහන කෞතුකාගාරය බලන්න ගියා.



1980 දී විවිධ ආයතනවලට අයත්ව තිබූ පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරමින් නිර්මාණය වුණු කෞතුකාගාරය තුල  ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ අශ්ව රථ සහ බස් රථ තමයි.  ඒ අතර ලන්ඩන් ටැක්සියකුත් තියෙනවා.  පොළොව  යටින් දිවෙන ටියුබ් දුම්රිය පිළිබඳ විස්තර රැසක් සහ නිදර්ශන කිහිපයකුත් මෙතනදී දකින්නට පුළුවන්.  ඔබ දැඩි දුම්රිය ලෝලියෙක් නම් ඇක්ටන්වල තිබෙන ඔවුන්ගේ සංරක්ෂණාගාරයට කලින් වෙන් කරවා ගැනීමක් කරලා ගිහින් උමං දුම්රිය සහ සංරක්ෂණය වන ප්‍රවාහනය සම්බන්ධ  රථවාහන බොහෝමයක් ඔබට බලන්න පුළුවන්.


ලන්ඩනයේ තවත් තැන් කිහිපයක් එක්ක ලබන මාසයේදී හමුවෙමු. 


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Saturday, February 17, 2024

ජනසංගීතයේ උරුමය අළුත් පරම්පරාවට ගෙනගිය මකුලොළුව ලකුණ

ශ්‍රී ලංකාවේ ජන සංගීතය ඊළග පරම්පරාවට ගෙන යන්න කටයුතු කල පිරිස අතරින් නැසීගිය ඩබ් බී මකුලොළුව මහතාට හිමිවන්නේ ඉහල තැනක්. මේ වැඩසටහන බලල අවසන් වෙනකොට ඔබට මම ඒ කිව්ව වචනවල බර දැනේවි . පෙබරවාරි 17 වැනිදාට යෙදෙන එතුමන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින් එතුමන් කල මෙහෙවරෙන් බිදක් ඔබට සිහිපත් කරන්නටයි අපේ මේ සුදානම .  

W. B. Makuloluwa
ඩබ්ලිව්. බී. මකුලොලුව
Born17 February 1922
Died8 September 1984 (aged 62)
Sri Lanka
NationalitySri Lankan
EducationSri Rahula College, Kandy
Ananda College
Occupation(s)Musician, author, dancer, director
Years active1946–1984


ඔබට  ඩබ් බී මකුලොළුව මහතාගේ මෙහෙවර ගැන දැනුවත් කරන්නට අප  අප ආරාධනා කලේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක ට . ඔහුගේ ගීත වීශේෂයෙන්ම ගසල් ගීත වලට ඔබ බොහෝ දෙනෙක් ඇළුම් කරන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ . ඒ වගේම ඩබ් බී මකුලොළුව මහතාගේ පෞද්ගලික තොරතුරු ගැන දැනගන්න අපි කථා කලේ ටොරොන්ටෝවේ ඔබ හැම හොදින් දන්නා දක්ෂ රූපවාහිනී අධ්‍යක්ෂක සහ කැමරා ශිල්පී කෝසල මකුලොළුව මහතාට. ඉතින් සංගීතමය අංශයෙන් ප්‍රායෝගික සහ විෂයානුබද්ධ තොරතුරු මහාචාර්ය තුමා කියන අතරේ තාත්තා ගැන පෞද්ගලික තොරතුරු කෝසල අය්යා ගෙන් දැනගන්න බලාගෙන ඉන්නවා .




2024 පෙබරවාරි 17 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි




https://vimeo.com/913975665?mc_cid=5986e28ad5&mc_eid=e941e27557




******************************************************************************************

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සම්පත් දායකත්වය -
මහාචාර්ය කෝලිත භානු දිසානායක. සංගීතවිද්‍යා අධ්‍යයනාංශය,සංගීත පීඨය,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කෝසල මකුලොළුව ප්‍රවීණ රූපවාහිනී අධ්‍යක්ෂක , කැමරා ශිල්පී විශේෂ ස්තුතිය උපුල් ප්‍රභාෂණ මහතාට සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

********************************************************************************************


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Saturday, February 10, 2024

අප්පච්චි .......

 



කදුළු හංගන් හිත් කොනේ 

තාත්තලා ඇත සිව්කොනේ 

තුරුල්ලේ නැති වුණත් දරුවන් 

බැල්ම ඇත තවමත් හිතේ 

බැල්ම ඇත හැමදා හිතේ 


සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා 

ගෙදර සකසුරුවම් කලා 

දා බිංදු රැස නිති වගුරලා 

තාත්තලා බර පැන සොයා 

තාත්තලා ඇත වෙහෙසිලා 


සුමේ කරනා තුන්යමේ 

වින්ද දුක් නම් නිම් නැතේ 

අඩලා දොඩලා නොකිව්වට නිති 

නැතිද දන්නේ දරුවනේ 

නැහැනෙ දන්නේ දරුවනේ 


තුරුල්ලේ ඉදහිට හොවා 

සෙනෙහේ පානා අප්පලා 

හිතේ මහමෙර තරම් රැදි 

සෙනෙහෙ ගඟ නැත වියැකිලා 

තවම නැත එය වියැකිලා 


පිය සෙනේ නැත මතුවෙලා

තාත්තලා ඇත සැඟවිලා

කදුළු කැට නැත මතුවෙලා 

දුක දරයි සැප දුක දරා 

සැපද දුක සමබර කලා  



අනුරුද්ධ වැලිගමගේ


















2024 පෙබරවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, February 3, 2024

ඔන්ටාරියෝ තැනින් තැන Fall Colors බලමුද ?

 

කැනඩාවේ දෙවන විශාලතම පලාත වන අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 1.076 ක් වෙනවා ( හෙක්ටෙයාර් මිලියන 107.6 ක්) එයින් 66% ක් වනාන්තර හෝ රක්ෂිත ලෙස සංරක්ෂණය වෙනවා . ශීත සෘතුව ඝර්ම කලාපීය අපට එතරම් පහසු ජීවන රටාවක් ගෙන නොදුන්නත් කැනඩාවේදී අප අත් දකින සෘතු 4 ජීවිතයට වෙනස් අත්දැකීම් රැසක් ගෙනදෙනවා. කැනඩාවේ ජීවත්වන අවුරුදු 15 කට වැඩි කාලසීමාව තුලදී ඔන්ටාරියෝ පලාතේ විවිධ ප්‍රදේශ වල Fall Colors බලන්නට මට ඉඩ ලැබුනා. මේ රූපවාහිනී වැඩසටහනේ දී මම බෙදා ගන්නේ ඉන් අත්දැකීම් කිහිපයක්.

මේ සමහර තැන් පිළිබදව මම මීට පෙර බ්ලොග් සටහන් ලියා තිබුණත් රූපවාහිනී වැඩසටහනේදී දකින්නට ලැබෙන ඩ්‍රෝන සහ වීඩියෝ දර්ශන ඔබට වඩා හොද වින්දනයක් සහ රහක් දෙනවාට කිසිම සැකයක් නැහැ.    

එන්න අපිත් එක්ක Agawa Canyon Rail tour, Algonquin Park බලන්න යන්න. 





Algonquin Art Centre, Algonquin logging Museum , Arrowhead Park ගැන තොරතුරු දැනගන්න.




 අවසානයේදී  ඔබට Folks of credit/Bell Fountain  මතක රසවිදින්නත් පුළුවන්. 

2024 පෙබරවාරි  03 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි 








https://rupane.com/2024/02/03/rupane-episode-385-february-03-2024/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.