මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 27, 2024

තවමත් අබිරහසක් වුනු Stonehenge, පැරණි Roman Bath නාන තටාකය සහ Windsor Castle බලන්නට ගියදා



 එංගලන්ත සංචාරයක මතක......

අපි උදෙන්ම නවාතැනෙන් පිටත් වුණේ දවසට නියමිත එක් දින සංචාරයට යන්න. මුලින්ම අපි කලේ දුම්රියෙන් වික්ටෝරියා උමං දුම්රිය ස්ථානයට කිට්ටුව තියෙන බස් පර්යන්තයට යන එකයි. අපේ සංචාරයට නියමිත බස් රථය ගමන පටන් ගත්තෙ එතැනින්. අද දවසේ අපේ මේ ගමන ඒ සංචාරක බස් රථයෙන් තමයි.

වින්ඩ්සර් මාලිගාව (Windsor Castle)


බ්‍රිතාන්‍ය රජ පවුල සතු ටින් මාලිගා අතරින් වින්ඩ්සර් මාලිගාව ට හිමිවන්නේ සුවිශේෂී තැනක් . තේම්ස් නදිය අසබඩ පිහිටි මේ මාලිගාවේ ඉදිකර තිබෙන්නේ එකොළොස් වැනි සියවසේ දී.  ලන්ඩනයේ සිට පැයක තරම දුරකින් තියෙන මේ මාලිගාවට අපි ගියේ windsor දුම්රිය පොළ මැදින් ගිහින්.  වාහන නැවතුම ගාව තිබෙන තේම්ස් නදිය අසබඩ ඇලෙක්ඩ්සැන්ඩ්‍රා උද්‍යානයත් ගිමන් නිවන්න කදිම තැනක්.  ඔබත්  මම වගේ දුම්රිය ලෝලියෙකු නම් එතැන දුම්රිය ස්ථානයේ පසෙක තිබෙන රැජිනගේ නිල ලාංඡනය සවිකලේ අංක 3041 දරන වාෂ්ප එන්ජිම බලලා එහි සේයාරුවක් ගන්න අමතක කරන එකකුත් නැහැ. . අවුරුදු නමසීයක් පුරා  රජවරුන් සහ රැජිනන්  හතළිස් දෙනකුගේ නිවහන වුනු  මේ මාලිගෙයි ගෘහ  නිර්මාණ ශිල්පය සුවිශේෂී එකක්.


මෙය මේ වන වන විට චාල්ස් රජතුමා භාවිතා නොකළත් දෙවන එලිසබත් රැජිණ  තමන්ගේ භාවිත නිවහන විදිහට පාවිච්චි කළේ මාලිගාව තමයි. වාර්තා වන විදිහට ඉදිරියේ දී මෙහි නිවැසියන් වන්නේ විලියම්  කුමරු සහ කේට් කුමරියයි.  මේ මන්දිරයේ නරඹන්නන් හට බලන්නට හැකි වන්නේ  සීමිත කාමර ගණනක් සහ උද්‍යානයේ කොටසක් පමණයි.  ඒවාගේම මේ මන්දිරය අඟහරුවාදා සහ බදාදා දිනවල  නරඹන්නන් සඳහා වසා තැබෙනවා. එතනදී ඔබට ලැබෙන ශ්‍රව්‍ය  ආධාරකයන් ඒ ඒ තැන ගැන විස්තර දැනගන්න කදිම උදව්වක් වේවි. ඔබ බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා මේ ගමන ගියොත් එහි සිටින සම්ප්‍රදායික සෙබළුන්ගේ  Change of Guards  බලන්නත් අමතක කරන්න එපා. 




ඔබට එහි විවෘතව පවතින කාමර තුළදී ලියනාඩෝ ඩාවින්චි සහ  රම්බ්‍රාන්ට්ගේ  සිතුවම් ඇතුළු  චිත්‍ර  රැසක් , පැරැණි ගෘහ භාණ්ඩ, විසිතුරු පිඟන් භාණ්ඩ, ප්‍රතිමා,  යුධ ආයුධ ඇතුළු අපූරු දේ රැසක් දකින්න පුළුවන්.  ඒ වාගේම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පුද්ගලයන්ට කලින් කලට රැජිණ හෝ රජු විසින් පිරිනමන නයිට්  පදවිය ලබන ශාලාවත් මේ මන්දිර යේ දී දකින්න පුළුවන්.

ඔබ රාජකීය විවාහයන් ගැන උනන්දු වන කෙනෙක් නම් හැරී කුමරු සහ මේගන් මාකල්  විවාහ වුණු ස්ථානය ඔබට මතක ඇති.  ඒවගේම මෑතකදී දෙවන එලිසබත් රැජිනගේ අවමංගල්‍යය පැවැත්වුණු දේවස්ථානයත්  ඔබට මතක ඇති . මේ සිදුවීම් දෙකම සිදුවුණු ශාන්ත ජෝර්ජ් දේවස්ථානය පිහිටා තිබෙන්නේ මේ පරිශ්‍රය තුළ හින්දා ඔබට එහි සුවිශාල සීලිමෙහි ගොතික් සම්ප්‍රදාය කැටයම් ප්‍රතිමා වගේම රැජිණන් සහ රාජවරුන්ගේ දේහයන් තැන්පත් කළ කුටි  බලන්නත්  පුළුවන්.



Roman Bath 



රෝමන්වරුන් බ්‍රිතාන්‍ය පාලනය කළ ක්‍රිස්තු පූර්ව හැට සහ හැත්තෑව කාලයේ දී නිම

කරන ලද බව සඳහන් මේ පරිශ්‍රය පොදු නාන තටාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

විවිධ ඛනිජ වර්ග වලින් පොහොසත් ස්වභාවික උල්පත් ජලය එකතු කොට තනා

තිබෙන මෙය පිහිටා තිබෙන්නේ ලන්ඩනයේ සිට පැය දෙකක තරම් දුරින්

තිබෙන Somerset ප්‍රදේශයේ. 




යුනෙස්කෝ ලෝක  උරුම අතුරින් එකක් වන මෙහි  ප්‍රධාන කොටස් හතරක්

තිබෙනවා. ඒ  පූජනීය ජල උල්පත, රෝමන් දෙවොල , රෝමන් නාන තටාකය 

සහ කෞතුකාගාරය විදිහට. සෞඛයාරක්ෂිත හේතු හින්දා මේ වන විට ඔබට

එහිදී නාන්නට බැරි උනත් මෙතැන සංචාරක වශයෙන් ඉතාමත්ම වැදගත් තැනක්. 




මෙහි කෞතුකාගාරයේ  ඉතා වැදගත් පුරාවස්තු රැසක් දකින්නට තිබෙනවා.

තැන තැන දකින්නට තිබෙන කැටයම් සහ පිළිම සේම මේ පරිශ්‍රයේ ඇති

ගෘහනිර්මාණ ශිල්පී දක්ෂතා සේයා රූ ගන්නට හොඳ පසුතල මවනවා. 

මතක ඇතිව ශ්‍රවණ සන්නිවේදක ලබා ගත්තොත් පැරැණි බවින් යුතු

දේවස්ථානයක් වගේම,  ගල් ඇතිරූ මාවත්, පැරැණි බ්‍රිතාන්‍ය ගොඩනැගිලි

රැසක් මේ අවට ප්‍රදේශයේ තිබෙන නිසා  ප්‍රදේශය ගැන බොහෝ  තොරතුරු

ඔබට දැනගන්නටත්  පුළුවන්. අප ගිය බස් රථය  අපට නියමිත කාල වේලාවක්

ලබා දුන් නිසා අපට නොහැකි වුණත් ඔබට වෙලාව තිබෙනවා නම් ඒ අවට

එළිමහන් අවන්හලකට ගොඩ වැදිලා නිදහසේ වෙලාවක් ගත කරන්නත්

පුළුවන්. ඔබ තනිවම රිය පදවාගෙන ගමනක් යනවාට වඩා පිරිසක් ලෙස

සංවිධානය කරන සංචාරක බසයක යනවිට ඇති අවාසියක් විදිහට එය

හදුන්වන්න පුළුවන්.  



Stonehenge



ප්‍රාග් ඓතිහාසික යුගයේදී නිමවුණු බව කියැවෙන මේ ගල්කුළුණු සමූහය අවුරුදු පන්දාහකට පෙර නියෝලිතික යුගයේදී ( කිස්තු පුර්ව 2500) කාලයේදී නිර්මාණය කළ එකක් බවයි සඳහන් වන්නේ. තවමත් විවිධ මතිමතාන්තරවලට වරින් වර ලක් වෙමින් පවතින බර ටොන් 20-25 තරමේ සුවිශාල ගල්කණු සහ ගල් පුවරු 83 ක් මේ වනවිට දකින්නට ලැබෙනවා . මේ ගල්කණු කිලෝමීටර්240 ක් තරම් දුරකින් පිහිටි වේල්සයේ Presali Hills.ඉඳන් මුහුදෙන් සහ එවෝන් ගඟ හරහා මෙතනට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනවා. තවත් ගල්කණු කිලෝමීටර 32 ක් තරම් දුරකින් පිහිටි Marlborough Downs වලින් ගෙන ආ බවත් විශ්වාස කරනවා.. ඒත් රෝදයවත් හොයාගෙන නොතිබුණු බවට අප විශ්වාස කරන ඒ කාලයේ මේ වගේ දෙයක් කලේ කොහොමද කියල ඔබට හිතන්න පුළුවන්ද ? පොත පතින් කියවල තිබුණු ඒ කාරණා සහ වාර්තා චිත්‍රපට තුළින් දැක තිබුණු තොරතුරු එක්ක කලක ඉදන් මෙතැනට එන්නෙ මට තිබුණේ පුදුම ආසාවක්.



යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට සලකන මෙතැන ගැන පණුවන් ආශ්‍රිතව චාල්ස් ඩාවින් බොහෝ පර්යේෂණ සිදුකර තිබෙනවා. අදියර තුනක් යටතේ ඉදිකිරීම් සිදු කෙරුණු බව කියන මෙහි පල්ලියක් සහ සුසාන භූමියක් ඇති බවට සැක කෙරෙනවා.ප්‍රදේශයේ කෙරුණු කැණීම්වලින් විවිධ ජාතීන්ට අයත් බව සැක කරන පුද්ගලයන් එකසිය පනහකට අධික පිරිසකගේ ඇටකටු හමුව තිබෙනවා.මේ වගේ සංකීර්ණ රැසකින් එකක් විදියටත් අතීතයේදී මෙය ගල්කණු මත වහලක් සහිතවත් තවත් ගල් කණු වළලු කිහිපයෙක් යුත්ත විශාල පරිශ්‍රයක් ලෙස තිබු බවටත් අනුමාන කෙරෙනවා. ආයෙමත් වතාවක් මහා බ්‍රිතාන්‍යයට ගියොත් Avebury ප්‍රදේශයට යන්නත් හිතාගෙන ඉන්නෙ එතැන එක්ක මෙයට තිබෙන සමානතා බලන්නයි. බස් රථයෙන් රථ ගාල ගාවින් බැස්සට පස්සේ බට අවශ්‍ය නම් අවට සිරි නරඹමින් කිලෝමීටර් දෙකක් විතර දුර ගෙවාගෙන මෙතැනට පයින් එන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන ෂටල් බස් එකකින් එතනට යන්නත් පුළුවන්. අපට ලැබී තිබුණු කාලය සීමා සහිත හින්දා අප තීරණය කළේ ෂටල් බස් එකේ යන්න. ඔබ ඔබේම වාහනයකින් ගියොත් මෙතැන ගොඩක් දේ නිරීක්ෂණය කරන්න පයින් යන එක තමයි හොඳ. 1915 දී විකුනන්න දාල තිබුණු මේ ඉඩම අරගෙන ආණ්ඩුවට දුන්නු Cecil Chubb ගැන වගේම 1984 දී මෙතැන පැවැත්වුණු හිපි එකමුතුව( 1984 Stonehenge Free Festival ) , ඊට පස්සේ මෙතැන වැටකින් ආරක්ෂා කරන්න වගේම කිසිම මහජන රැස්වීමක් තියන්න කර තිබෙන තහනම වගේ බලලා තිබුණු වාර්තා චිත්‍රපට මැවිලා පේන්න පටන් ගත්තා.





තවත් සමහරුන් මේ ගල් කණු සැකැස්ම හඳුන්වන්නේ හිරුගේ සහ සඳුගේ ගමන් මග අනුව අවුරුද්දෙ කාල නිර්ණය සඳහා යොදාගත් කැලැන්ඩරයක් විදිහටයි. ඒ කොහොම වුණත් මේ සැකැස්ම යම් ගණිතමය සහ විද්‍යාත්මක රටාවකට කරල තියන බවක් පේනවා. ගිම්හානයේ සහ ශීත ඍතුවේ ඉර බැසීමෙන් සහ නැගීමෙන් ඇතිවන කෙටි සහ දිගු දෙවා කාල ගැන මනා අවබෝධයක් සහිතවත් මේ ගල් කණු පොළොවේ සිටුවා තිබෙන බව කියැවෙනවා. ඒ තොරතුරු පැත්තක තියලා විවිධ පසුතල හෙවනැලි සහ තණ බිස්ස මත  විවිධ කෝණවලින් සොයාරූ ගන්නා පිරිස අතරේ අපිත් එහි සුන්දරත්වය හොඳින් රසවින්දා. හොඳින් හිරු එළිය තියෙන දවසක ඔබට මෙතනට යන්නට පුළුවන් නම් මේ පරිශ්‍රය වටිනා සෙයාරූ රැසක මතක ඔබට ඉතිරි කරාවි.


ආපහු ෂටල් බස් එකේම ආපු අපි මේ නිර්මාණය කල කාලයේ නිවාස සහ ගමක අනුරූ වගේම මේ ගල් ප්‍රවාහනය කළ බවට අනුමාන කෙරෙන විස්තර ඉදිරිපත් කරලා තිබෙන ආකෘති පරිශ්‍රය බලලා එතන තිබුණු කෞතුකාගාරයට ගොඩ වුණා. ගමන මතක් වෙන්න පුංචි සිහිවටන කිහිපයක් ගත්ත අපේ ආපහු රථ ගාලට ගියේ දවසක්ම මෙතැන ඉන්න තිබුනනම් කියන අදහසින්.


ලබන මාසයේදී ලන්ඩන් නුවර තැන් කිහිපයක් බලන්න යමු.


පසු සටහන මගේ ගමන් සටහන් වලට ඇතුලත් සංචාරක පරිශ්‍රවල තොරතුරු සහ සීමා නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වන බැවින් ඔබ මේ ගමන් යන්නට අදහස් කරනවා නම් ඊට සතියකටවත් කලින් හැබෑ තොරතුරු යලිත් සොයා බලන එක වටිනවා. අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, January 20, 2024

ප්‍රවාහනය ඇසුරින් ලෝකය දිහා බලන අපූරු you tube වැඩසටහන් එකතුවක්

 




මා බ්ලොග් එකට එකතු කරන සමහර සටහන්වල  තිබෙන වාර්තා වැඩසටහන් තමන්ට බලන්නට නොහැකි වන්නේ  ඒවායේ මූලාශ්‍ර හොයාගන්නට බැරි හින්දා කියලා සහෝදර  බ්ලොග් රචකයන් කිහිපදෙනෙක්ම ලියා තිබුණා. . මම චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් බොහොමයක් බලන්නේ  IPTV හරහා.ඉඳ හිට you tube  එකෙනුත් ඒවා බලන අවස්ථා තිබෙනවා. අධික වෙළඳ දැන්වීම් ධාරිතාවය වගේම ඒවායේ ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයන්   ඒ තරම් හොඳ නැති හින්දා මම youtube එකට ගොඩ වෙන අවස්ථා අඩුයි. පහුගිය විවේක කාලෙ ඒවගේ වැඩසටහන් කිහිපයක් බලන්න  මට ඉඩකඩ ලැබුණා. . මේ ඒ වගේ මගේ හිත ගත්ත වැඩසටහන් පහක්.  සමහර ඒවා වැඩසටහන් පෙළක් හින්දා මමත් තවම සම්පූර්ණ වැඩසටහන් පෙළම බලලා නැහැ. . ඒ හින්දා මගේ සටහන සම්පූර්ණ නැතිවෙන්න පුළුවන්. 



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්. 

ලෝකෙ ගොඩක් රටවල් දුප්පත් වෙලා තියෙන්නෙත්, ප්‍රවාහනය වෙනුවෙන් වැඩි මහන්සියක් සහ කාලයක් ගත කරන්නෙත් ඒ ඒ රටවල් වලින් පාලනය කරන අයගේ සහ ක්‍රමවේද වල  වැරදි නිසා කියලයි මට හිතෙන්නෙ. මේ වැඩසටහන් පෙළ චරිත කිහිපයක් සහ  සිද්ධි කිහිපයක් අරගෙන රටවල් ගණනක ප්‍රවාහනය ගැන කතා කරනවා.  කැනඩාවෙන් ආධාර විදියට ලැබුණු පැරැණි දුම්රිය එන්ජින් ලංකාවේ දී නඩත්තු කරනවා වගේම ඒ ඒ රටවල කාර්මිකයන් සහ රියදුරන්  පැරණි මෝටර් රථ භාවිතයෙන් කොයිතරම් අසීරු සේවයක් සපයනවාද කියන එකත්, ඒ ඒ  රටේ ජන ජීවිතය ගැනත් බොහෝ තොරතුරු මේ වැඩසටහන් පෙළින් ඔබට දැනගන්න පුළුවන්. මේ වැඩසටහන් පෙළේවැඩසටහන් 66 ක් තියෙන හින්දා මේ ලියන මමත්  බලලා තියෙන්නේ වැඩසටහන් කිහිපයක් විතරයි.

යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.

වේගය සදහා ලෝකයේ තිබුණු තරගය හිට්ලර් ගේ පාලන සමය දක්වාම දිව යනවා. තමන් අධිරාජ්‍යය තනා ගත්තොත් ඒ  ඒ රටවලට යන්න ඔහු පාවිච්චි කරන්න බලාපොරොත්තු වුනේ දුම්රිය තමයි. ඒ හින්ද දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකයේ අධිවේගී දුම්රිය තාක්ෂණය,  සැහැල්ලු දුම්රිය තාක්ෂණය වෙනුවෙන් තිබුණු කැපවීමේ ප්‍රථිපල අද තියෙන්නේ ඉතා ඉහල තත්වයක. යුරෝපයේ , චීනයේ,  ජපානයේ  සහ දකුණු කොරියාවේ  ජනතාව අත්විඳින ඒ පහසුව  උතුරු ඇමරිකාවේ ඉන්නා අපට අහිමි වුනේ ඇමෙරිකන් මෝටර් රථ නිෂ්පාදකයින් සහ පාලකයින් එය වාහන නිෂ්පාදනය සහ ආර්ථිකයට තර්ජනයක් වෙතැයි හිතූ හින්ද. ශ්‍රී ලංකාවට එය අහිමිවී තිබෙන්නේ දේශපාලකයින් ගත් මෝඩ තීරණ හින්දයි. නිකම්ම අධිවේගී දුම්රිය ගැන කියනවාට වඩා මේ වැඩසටහන අද වන විට ඔබට දකින තත්ත්වයට අධිවේගී දුම්රිය දියුණු වූ ආකාරය හොඳින්ම විස්තර කරන වැඩසටහනක්.

යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනේ  දිගුව








Singapore Car Road Trip from London

1950 - 1970 කාලයේදී ලන්ඩනයේ ඉඳන් කොළඹ දක්වාම ගොඩබිම් මාර්ගයේ බස් සේවාවක් ක්‍රියාත්මක වුනු  බව අහලා තියෙනවා.  අද වෙනකොට නම් මිනිස්සු ගුවනින් එංගලන්තයට යනවා මිසක් බස් එකෙන් එංගලන්තෙට යන්නේ නෑ. . පහුගිය අවුරුද්දේ සිංගප්පූරුවේ ඔටෝ මොබයිල් සංගමයේ මෙහෙයවීමෙන් රථ වාහන පෙළක් රටවල් විසිතුනක් හරහා ඇවිත් දින 98 ක දී සිංගප්පූරුවට ආ ගමනේ පැයක වීඩියෝවකට කෙටි කරල තියන අපූරුව මේ වැඩසටහනින් ඔබට බලන්න පුළුවන්.









එක යුවලක් තමන්ගෙ ගමන යනවා වගේ පෙනුනත්,  සිංගප්පූරුවේ ඉඳන් නැවෙන් වාහන ලන්ඩන් වලට යවල වාහන 12 ක 33 දෙනෙක් ගිය ගමනක් හින්දා ඔබත් මේ ගමනේ අසිරිය විඳීවි. ඔවුන් කියන විදිහට මේ ගමනේදී ඔවුන් දින 21 ක්  ගත කරලා තියෙන්නේ චීනයේ අසිරිය විදිමින් ඒ  හරහා යන්න තමයි.


යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනේ  දිගුව

Singapore Car Road Trip from London  









Sri Lanka’s Tuk  Tuk Tournament by SilkyRon the road



ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් නාස් ඩේලි( NAS Daily) ඇතුළු youtube vlog නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් මේ වනවිට යූ ටියුබයට විශාල වැඩසටහන් ගොන්නක් මුදාහැර තිබෙනවා. පසුගියදා ලංකාවේ පැවැත්වුණු සංචාරකයන් ත්‍රිරෝද රථවලින් ලංකාව පුරා යන වැඩසටහන් මාලාව අඩු වියදමකින් ලෝකය වටා සංචාරය කරන විදේශික තරුණ ප්‍රජාව ආකර්ෂණයට ගැනුණු හොඳ උත්සාහයක්. බෙල්ජියන් තරුණියක් සහ ස්කොට්ලන්ත තරුණයෙක් යූ ටියුබයට මුදාහැර තිබුණු මේ වීලොග් එක ලංකාව දිහා වෙනස් විදිහට බැලූ එකක්.




යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.



අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.