මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 28, 2023

ටොරොන්ටෝවේ අප දන්නා දෙදෙනෙකුගේ පනාපුත්‍ර කුහුඹුපැණි මතක


 



පහුගියදා අප අතරින් වෙන්වූ නිර්මාණ ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගැන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ තොරතුරු මතුවුනා. පූර්ණ කාලීනව මාධ්‍ය කටයුතුවල නොයෙදෙන අප හිතුවෙ  ඔහුගේ කාර්යභාරය ගැන වෙනස් ඇහැකින් බලන්නයි. ඒ නිසා ඔබ ඉදිරියට ගෙනෙන්නට ටිකක් කල්ගත වුනත් ටොරොන්ටෝවේ අප අතර ඉන්නා ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සහ ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක සහ අධ්‍යක්ෂක කෝසල මකුලොළුව සම්බන්ධ කරගෙන කල මේ වැඩසටහන තුලින් ඔබ නොදැන සිටි බොහෝ තොරතුරු වගේම ඔබ කිසිදා නොදුටු සමහර වීඩියෝ දර්ශනත්  ඔබට දකින්නට ලැබේවි.




ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සම වයසේ  සිනමාව , වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍යය වගේම අප නොදුටු තිරයෙන් පිටුපස සංවාද  කව  සහ මිතුරු එකතුවල සිට දේශපාලන හේතු නිසා ලංකාවෙන් බැහැරව විදේශ ගත වුනු ලංකාවේ කලා නිර්මාණවලට අතහැරුණු සම්පතක්.

ජාතික රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා හරහා ජැක්සන් ඇන්තනි මහතා ඉදිරිපත් කල බොහෝ වැඩසටහන් වල නිෂ්පාදන සහ අධ්‍යක්ෂණ කටයුතු වල යෙදුනු කෝසල මකුලොලුව මහතා සතු සමීප නිර්මාණ කාර්ය මතක ඔබට ජැක්සන් ඇන්තනි නිර්මාණ ශිල්පියා තුල තිබුනු  කැපවීම සහ වෙහෙසට ජීවමාන සාක්ෂියක්.



https://rupane.com/2023/10/28/rupane-episode-371-october-28-2023/


***********************************************

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය - 

ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස

ප්‍රවීණ රූපවාහිනී  නිෂ්පාදක සහ  අධ්‍යක්ෂක කෝසල මකුලොලුව

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

සහාය අධ්‍යක්ෂණය - දර්ශිකා චන්ද්‍රතිලක 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************

මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........





1958 ජුලි මස 8 වැනිදා රාගම පොඩිවී කුඹුරේදී උපත ලබන

කොන්ගානිගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි ඔබ අප 

කවුරුත් හඳුනන්නේ ජැක්සන් ඇන්තනි යන නමින්.

කපුගොඩ ශාන්ත මරියා ප්‍රාථමික පාසැල , බණ්ඩාරවෙල

ශාන්ත මරියා විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා

විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු කොළඹ විශ්ව

විද්‍යාලයෙන්  සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක්

සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය

පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත් විද්‍යාර්ථියෙක්.


විශ්වවිද්‍යාල සමයේ දී නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන්

යන මිනිස්සු සහ මානවයෝ නම් නාට්‍යවලත් , ඊ . එම් . ඩී උපාලිගේ

මෙතනින් මාරුවෙනු නාට්‍යයේත් කල රංගනය ඔහුට  සිංහල වේදිකා

නාට්‍ය රැසක රංගනයට වාසනාව උදාකර දෙනවා .සුගතපාල සිල්වාගේ

මරාසාද් , දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා , මහාචාර්ය

සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස,  ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ, 

ජයන්ත චන්ද්‍රසිරිගේ අත් , මෝරා සහ ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ

ඉගිලෙති නාට්‍ය ඔහු රංගනයෙන් දායක වූ නාට්‍යය ලෙස ඉතිහාසගත

වනවා. 

ශ්‍රී  ලංකාවේ ටෙලිවිෂන් ආගමනයත් සමඟ බිහි වූ ටෙලි නාට්‍ය වංශ

කතාවේ නොමැකෙන මතක සටහන් තැබූ පළිඟු මැණිකේ, 

ඇල්ල ලග වලව්ව,  සුසීමා , වෙද හාමිනේ,  කඩුල්ල,  පිටගම්කාරයෝ

සහ අකාල සන්ධ්‍යා තුළ ඔහු කළ රංගන නිරූපණය විශිෂ්ටයි .


සිංහල සිනමාවේ රංගනයෙන් දායකත්වය දැක්වූ ජැක්සන් ඇන්තනී

රඟපෑ චිත්‍රපට අතර ගුරු ගෙදර , චුට්ටි,  අයෝමා , ලොකු දුව, තරණය

බව දුක, බව කර්ම,  විසිදැල,  ගිනි අවි සහ ගිනි කෙලි,  අස්වැසුම

අග්නිදාහය,  මිල්ලෙ සොයා,  සූරිය අරණ,  රන් දිය දහර, 

ගරිල්ලා මාර්කටින්,  කුරුලු පිහාටු,  කුසපබා,  ප්‍රවේගය,  මහරජ

ගැමුණු , ඇහැලේපොළ කුමාරිහාමි , ඇඩ්රස්‌ නෑ , ධර්ම යුද්ධය, 

ඝරසරප,  උදුම්බරා,  විෂම භාග , ලක්නව් සහ සීරුවෙන් සිහිපත්

කරන්නට පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ජුලියට්ගේ

භූමිකාව, ඇඩ්රස්‌ නෑ සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත

එකගෙයි සොකරි තුළ ඔහු විශාල කාර්යභාරයක් සිදුකර තිබෙනවා.  


ස්වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්ෂවරයාව සිටි සමයේ

ඔහු ඉදිරිපත් කළ මහා සිංහලයේ වංශ කතාව ලංකා ඉතිහාසය

පිළිබඳ පොදු ජන අවධානය ඉහළ නංවන්නට සමත් වුනා. ඒ කාලයේදීම

ඔහු දරු දැරියන්ගේ නිර්මාණ දක්ෂතා එළි දක්වන්නට ඉදිරිපත් කළ

හපන් පැදුර තුළින් ලංකාවේ  මාධ්‍ය ක්ෂේත්‍රයට බොහෝ පිරිසක් දායක

කර තිබෙනවා .


ලංකාවේ ගවේෂණාත්මක සංචාරය පිළිබඳ පොදු ජන අවධානය යොමු

කරවන්නට ඔහු කළ අවාරයේ සිරිපා , ගඟදිගේ , රෝම පුරානේ සහ

සලංහන්තේ වැඩසටහන් විශාල බලපෑමක් කළා.  

මීට අමතරව චිත්‍ර කතා නිර්මාණ ශිල්පියෙකු, තීරුලිපි රචකයෙකු, ගීත

රචකයෙකු , ගායකයෙකු,  යූටියුබ් ඉතිහාස වැඩසටහන් නිර්මාණ

ශිල්පියෙකු,  රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු විවිධ

දක්ෂතා ඉදිරිපත් කොට තිබෙනවා.

තමන්ගේ බටහිර නම වෙනුවට දිවයින පුවත්පතට ඔහු ලියූ තීරු

ලිපි පෙළේදී ඔහු තමන් හඳුන්වා ගත්තේ පනාපුත්‍ර කුහුඹුපැණියා

යන නමින් .


2022 ජූනි මස දෙවැනිදා හදිසි අනතුරකට ලක්ව ජාතික රෝහලේ

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ජැක්සන් ඇන්තනි නිර්මාණ

ශිල්පියා 2023 ඔක්තෝබර් මස නම වැනිදා සදහටම දෙනෙත් පියා

ගත්තා. ගතින් ඔහු අද අප අතර නැතත් ඔහුගේ නිර්මාණ බොහෝ

කලක් ශ්‍රී ලාංකික නිර්මාණ වංශකතාවේ සලකුණු තබනු

නොඅනුමානයි.  


පසුබිම් කථනය - මංජුලා වික්‍රමරත්න 

පිටපත - අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.


Saturday, October 21, 2023

අම්මා තාත්තා සමරු ප්‍රසංගයේ අගය

 




 අම්මලා තාත්තලාගේ අගය බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඔවුන් අප අතරින් වෙන්ව ගියාට පස්සේ . යොවුන් කාලෙදි අම්මලා තාත්තලා වදයක් වෙන වෙලාවලුත්  තියෙනවා උනත් එහෙම වෙන්නේ ඒ කාලේ අපි වචනෙට කියන වයස වැරැද්දත්  එක්ක.

 මේ  වෙනකොට අපේ සමහර යාලු හිත මිත්‍රයන් ගේ අම්මලා තාත්තලා අපි අතරින් වෙන් වෙලා ගිහින්. ඉන්න අම්මලා තාත්තලා වුනත් හුඟක් වයසයි.විශේෂ්යෙන්ම විප්‍රවාසී සංක්‍රමණිකයින්  බොහෝ දෙනකුට තමන්ගේ මවුපියන් තමන් ජීවත් වන රටට ගෙන්වාගෙන   සැලකිලි දක්වන්න හැකියාවක් නැහැ ඒ වගේම අසීරුතා තිබුණත් දෙමාපියන් බොහෝ දෙනෙක් තමන්ගේ ගෙදර දොර පරිසරය දාලා වෙන රටකට යන්නත්  සුදානම් නැහැ ඒ හින්ද ඒ  සම්බන්ධතා  Whatsapp, zoom,viber,facetime   සංවාද වලට සහ වසරකට හෝ වසර කිහිපයකට සැරයක් ගිහින් බලලා එන එකක් තරමට දුර ගිහින්.



මේ ගැන දුක් වෙවී ඉන්නවාට වඩා අපූරු වැඩක් ටොරොන්ටෝවේ ජීවත්වන තනු රචක, ගායන සහ වාද ශිල්පී ජෝන් පෙරේරා කරන්න පටන් අරගෙන  තියෙනවා. අම්මා තාත්තා සමරු ප්‍රසංගය කියන්නේ එහි ප්‍රතිඵලය තමයි.  යම්කිසි දර්ශනයක් හිතේ තියාගෙන කැපවීමෙන් වැඩ කරන ජෝන්ගේ පළමු ප්‍රසංගය පැවැත් වුණේ  2019 අවුරුද්දෙ වුනත්  මට ඊට සහභාගි වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.  පහුගිය සෙනසුරාදා ( 2023 ඔක්තෝබර් මාසේ දාහතර වෙනිදා ) ඔහුගේ සංවිධායක සංවිධායකත්වයෙන් පැවැත්වුණු 

දෙවැනි අම්මා තාත්තා සමරු ප්‍රසංගය ටොරොන්ටෝවේ මැඩෝනා  කතෝලික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.



 බ්ලොග් එක කියන්නේ මට හිතෙන දේ වාරණයකින් තොරව ලියන්නට පුළුවන් එක් නිදහස් අවකාශයක් හින්දා මම මේ ලියන සටහන් කාගෙවත් ඉල්ලීම් වලින් තොරව ලියැවෙන සැහැල්ලු ලියවිලි විදිහට හඳුන්වන්න කැමතියි. 



මම ඒ ප්‍රසංගයේ දුටු  වැදගත් කාරණා කිහිපයක් තිබුණා. ඉන් පළමුවැන්න විදිහට කුඩා දූ දරුවන්ට තමන්ගේ ගායනා ඉදිරිපත් කරන්නට දී තිබුණු අවස්ථා රැස හදුන්වන්න  කැමතියි. අද අප කරන නිර්මාණ කාර්යයන්ට පදනම වැටුනේ ඒ වගේ අපට 

අතීතයේදී ලැබුණු අවස්ථා හින්දා තමයි.  හැබැයි පොඩි ළමයි වැඩිහිටියන්ගේ ගීත ගැයීම ගැන නම් මගේ ප්‍රසාදයක් නැත්තේ අද කතා නොකෙරුණත් ලංකාවේ හොඳ ළමා ගී කලාවක් තිබුණු හින්දා.



 දෙවැන්න ඒ ප්‍රසංගයේ  තරුණ යොවුන් දරුවන්ට ලැබුණු අවස්ථා.  ඒ හරහා අපේ ඊළඟ පරම්පරාවට අපේකම දැනෙන තරම වැඩියි.  තුන්වැනි කාරණය  ප්‍රසංගය සඳහා සිංහල , දමිල, ඉංග්‍රීසි  භාෂා තුනේම,  කණ්ඩායම් සංගීතයේ ගීත,  සරල ගීත වගේම අනුකාරක ගීතත්  කදිමට, අපූරුවට මුසු කරලා තිබුණු හැඩයයි .



වැඩසටහන  සන්නිවේදනය කළ සුනිමල් බාලසූරිය සහ සම්පත්  පෙත්තාවඩුගේ පූර්විකා සහ කෙටි හැඳින්වීම් මැද සුමුදු ඇන්තනි ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු  Matrix සංගීත කණ්ඩායම හා කදිම  සජීවී සංගීත අත්දැකීමක් අපට ගෙන දුන්නා.



 ජෝන් පෙරේරා මහතා ඇතුළුව මේ වැඩසටහනට  දායක වූ සියලුම දෙනා අපට හැඟුම්බර අත්දැකීමක් ගෙන දුන් බව සටහන් කර තබන්නේ සතුටින්.  අම්මා තාත්තා ප්‍රසංගයේ තුන්වන  අදියර නුදුරු වසරක වෙනස්ම විදිහකට බලන්නට ආසාවෙන් ඉන්නා ප්‍රේක්ෂකයෙකු වෙන්න කැමතියි.   




අනුරුද්ධ වැලිගමගේ    

සේයාරූ -  රොයිස් ඩී අල්මේදා 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, October 14, 2023

Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා

 


කැනේඩියානු සංචාරයක මතකය 


කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට පහසුවෙන් එන්නට පුළුවන් මේ උද්‍යානයට උතුරින් Trans - Canada Highway  එකත් දකුණින් Highway 60  එකත් වැටිලා තියෙන හින්ද කාට වුනත් එතැනට එන්න හරිම ලේසියි. 19 වන සියවසේ ලෝක දැව නිෂ්පාදනයේ විශාල දායකත්වයක් දැරූ රටක් විදිහට කැනඩාවේ White Pine සහ Red Pine  දැව සැපයුම් ඉසව්වක් වුනු හින්ද පරිසර විනාශය සමතුලනය කරන්නට 1893 දී මේ උද්‍යානය පිහිටුවා තිබෙනවා. අදත් මේ උද්‍යානයේ 35% ක පමණ කොටසක දැඩි පාලනයක් යටතේ දැව කර්මාන්තය සිදු කෙරෙනවා.  

   

Northern Canada සහ Southern Canada වෙන්කරන මායිම විදිහට හැදින්වෙන මේ උද්‍යානය සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ ගිම්හාන කාලයට කදවුරු බිම් ගත කරන්න , ඔරු පදින්න , බයිසිකල් පදින්න , ඇවිදින්න වගේම දින චාරිකාවක යෙදිලා විලකින් නාලා තරමක විවේකයක් ගත කරලා හවසට ආපහු ගෙදර එන්න කදිම තැනක් හින්දයි.    ඍතු විපර්යාසයත් එක්ක ගස්වල කොල, කොලපාටින් රතු, තැඹලි , කහ පාටට වෙනස්වෙලා හැලිලා යනකොට මවන අපූරුව බලන්න විශාල වශයෙන් සංචාරකයින් යනෙන තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒකට යන්නෙ Highway 60 corridor  එකටයි. 

 මේ ලිපියෙන් මම සුදානම් වෙන්නෙ පහුගිය දවසක මා එලෙස විදි අසිරිය ඔබත් එක්ක බෙදා ගන්නයි. පලාත් උද්‍යානයේ නිලධාරීන් සහ වෙබ් පිටුවට අමතරව Algonquin     උද්‍යානයට පෙම් බැදි පිරිස් පවත්වා ගෙන යන අන්තර්ජාල තොරතුරු අඩවි සහ මුහුණු පොත් පිටු මේ ගමන සැලසුම් කරගන්න ඔබට බොහෝ උදව් වේවි. ඒ තොරතුරු  වලට දිනපතා අළුත්වන සේයාරූ , සජීවී Webcam දර්ශන වගේම කොලවල පාට වෙනස් වන රටාව ගැනත් තොරතුරු ඇතුලත්. Algonquin park fall colour report ඉන් ප්‍රධානයි.   

   

ඒ තොරතුරු බලල මම නම් ගමන සැලසුම් කරගත්තා. දවස් 5 කට කලින් උදෙන්ම අන්තර්ජාලයෙන් Day pass  එකක් book කරගත්තා. ටොරොන්ටෝවේ ඉදන් පැය 3 ක විතර ගමනකට පස්සෙ Huntsville නගරයෙන් දකුණට හැරිලා Highway 60 එකෙන් බටහිර දොරටුවෙන් උද්‍යානයට ඇතුළු වුනා.  Fall colours අසිරිය බලාගෙන කිලෝමීටර 80ක වේගයෙන් Ottawa පැත්තට යන්න ඔබට Day Pass එකක් අවශ්‍ය නොවුනත් තනි මං තීරුවක් තියෙන ඒ පාරෙ ඔබට කිසිසේත්ම වාහනය පාර අයිනෙ නවත්වලා Fall colours බලන්න අවසර නැහැ.  

අන්තර්ජාලයෙන් හරි උද්‍යානයේ මායිම් දොරටුවල තියෙන තොරතුරු මධ්‍යස්ථාන වලින් හරි ගන්න පුළුවන් සිතියම් ඔබේ ගමනෙදි වාහනය නවත්වන්න පුළුවන් තැන් , Trails සහ Hikes වල තොරතුරු දැනගන්න පුළුවන් හොද මුලාශ්‍රයක්. අපි බටහිර දොරටුවේ තොරතුරු මධ්‍යස්ථානයෙන් සිතියමක් ගත්තා. දවසේ වෙලාව අනුව යන්න පුළුවන්  Trail කිහිපයක් ගැන කෙටි සටහනක් ගහගත්තා. West Gate එකේ ඉදන් East Gate එකට කිලෝමීටර 55 ක් තියෙනවා. ඔබට යන්නට පුළුවන් තැන් සිතියමේ ලකුණු කරලා තියෙන්නෙ ඒ මාර්ගයෙන් හැරිලා යන විදිහටයි.  


Algonquin Art Centre  

West gate  එකේ ඉදන් කිලෝමීටර් 20 ක් ගියාම Algonquin Art Centre  එක හමුවෙනවා. කැනඩාවේ ස්වභාව සෞන්දර්ය චිත්‍ර කලාවේ නම තැබූ Group of Seven  චිත්‍ර ශිල්පීන් ගැන මීට පෙර චාරිකා සටහන් වල විස්තර සටහන් කොට තිබෙනවා. ඔවුන්ට ආභාෂය සැලසූ      Tom Thomson  ගේ පටන් වර්තමානයේ ප්‍රකට චිත්‍ර ශිල්පී Michael Dumas  දක්වා චිත්‍ර ශිල්පීන් රැසකගේ තෙල් සායම්, දිය සායම් ඇතුළු විවිධ වර්ගවල චිත්‍ර රැසක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්. ඒ වගේම මෙතැනදී චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර මිලදී ගන්නත් පුළුවන්. ගණන් තරමක් ඉහල වුණත් ඔබට ගන්නට පුළුවන් නම් ඒවා හරිම අගෙයි. ඒ වගේම ඒ පරිශ්‍රයේ පැවැත්වෙන චිත්‍ර පන්ති සහ සමූහ ක්‍රියාකාරකම් බාල මහළු ඕනෑම වයසක කෙනෙකුට හොදයි.  

  


Algonquin logging Museum


මේ කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ උද්‍යානයේ  නැගෙනහිර දොරටුව කිට්ටුවයි. නැපෝලියන් බොනපාට් යුරෝපයෙන් එංගලන්තයට එන දැව සැපයුම නැවැත්තුවට පස්සේ බ්‍රිතාන්‍ය  නාවික යාත්‍රා වලට අවශ්‍ය සුදු සහ රතු පයින් දැව ලබාගත් ප්‍රධාන තැනක් විදියට Algonquin ප්‍රදේශය ඉතිහාසගත වෙනවා ජල පහරවල් හරහා Old Quebec City වෙතට ගෙන ගිය ඒ විශාල දැව කොට එතැනදී යුරෝපයට යන නැව් වලට පටවලා තියෙනවා. පස්සේ කාලෙකදී  ඇමරිකාවට අවශ්‍ය දැව සපයන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් විදියට සංවර්ධනය වූ මේ ප්‍රදේශයේ ලී මෝල් ,  දුම්රිය මාර්ග ඉදි කරලා පංච මහා විල් හරහා නැව් මගින් ඇමරිකාවට ඒ දැව ප්‍රවාහනය කළ හැටි ඔබට මේ කෞතුකාගාරයේ දී විස්තර ඇතුව දකින්න පුළුවන් . ඉතා දුක් ගැහැට  මැද්දේ එදා වෙහෙස මහන්සියෙන් විශාල සේවක පිරිසක් කල  කාර්යය වෙනුවට අද ඒ කටයුතු කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙන් ඉතාම සුළු සේවක පිරිසක්. 

වන වගාවන් කරමින් භාවිතය සඳහා අවශ්‍ය දැව ලබා ගන්නා අතරම පරිසරය සමතුලනය සඳහා අවශ්‍ය වන ගහනයක් පවත්වාගෙන යන්නත් , පරිසරය රස විඳින්නන් සදහා ක්‍රියාකාරකම් සහිතවත් මේ  අපූරු උද්‍යානය ක්‍රියාත්මක වෙනවා. කූඩාරම් කඳවුරු බිම් , බයිසිකල් පදින්න, ඇවිදින්න වගේම මේ උද්‍යානය තුළ තිබෙන විශාල විල් ප්‍රමාණය ,  Canoe, Kayak , මෝටර් බෝට්ටු පදින්නත් ඔබට ඕනෑතරම් ඉඩකඩ ලබා දෙනවා.

අපි තවත් වැඩිපුර Fall colours බලන්නට කිලෝමීටර් 70ක් විතර ගෙවල Peterborough පැත්තෙන් ආපහු ආවා. ඔබත්  කැමතිනම් ඒ වැඩිදුර ගෙවන එක පාඩු නැහැ කියලයි මට හිතෙන්නෙ.  


අනුරුද්ධ වැලිගමගේ  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

Saturday, October 7, 2023

වින්දනීය සන්ධ්‍යාවෙන් වෙනස්ම මානයකට ......

 



හරියටම තව සති දෙකකින් ලබන  ඔක්තෝබර් 21 වෙනිදා හවස 6.30 ට ටොරොන්ටෝ පැවිලියන් එකේදී ඔබට වින්දනීය සන්ධ්‍යාව බලන්න පුළුවන්. 

වින්දනීය සන්ධ්‍යාවෙන්  ඔබට හමුවෙන්නෙ ලංකාවේ සිරස රූපවාහිනිය සංවිධානය කල Voice Teen Sri Lanka වැඩසටහන් වල අවසන් වටයේදී දක්ෂතා දැක්වූ ආදිත්‍යා වැලිවත්ත, එරන්දි හේෂානි සහ දේවකී කොතලාවල කියන යෞවනියන් තුන් දෙනා. ඔවුන්ගේ ගීත එක්ක වැඩසටහන ගලායද්දී ඒ පරිශ්‍රයේ විවිධ  තැන්වලින් ඔබට ජනයි ප්‍රියයි හමුවෙන්න පුළුවන්. ජනයි ප්‍රියයි කියන්නෙ දෙපැත්ත කැපෙන කථා සහ Double meaning  කථා නොකියන අපි අතරේ ඉන්නා අපිවම මතුකරලා අපව හිනස්සන හොද සන්නාමයක්. වින්දනීය සන්ධ්‍යාව ඉදිරිපත් කරන්නේ  දක්ෂ තරුණ නළුවෙක්, තිර පිටපත් රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන පුබුදු චතුරංග.  


ලංකාවෙ ජනප්‍රිය ප්‍රවීණ කලා ශිල්පීන් එක්කෙනා , දෙන්නා විටින් විට ටොරොන්ටෝවට එද්දී මේ වගේ තරුණ පිරිසක් එකතු කරලා ප්‍රසංගයක් කරන්න හිතුනෙ ඇයි ? මේ වින්දනීය සන්ධ්‍යාවේ සම සංවිධායක පියුමලී ගෙන් ඇහුවා.


 " කැනඩාවෙ අපේ ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව ලංකාවේ නිර්මාණ හදුනාගන්නේ ජනප්‍රිය රියැලිටි තරග හරහා ඉදිරිපත් වන නියැදි වලින්. අපි හැමෝම මේ තරග යූ ටියුබයෙන් බැලුවා. හොද ජවයක් තියෙන මේ තරුණ කණ්ඩායම මේ වෙනකොට තමන්ගේම නිර්මාණ එකතු කර ගනිමින් ගමනක් යනවා. ඒක අපේ තරුණ පිරිසටත් ලාංකික නිර්මාණ කරන්න උනන්දුවක් ඇති කරාවි. ඒ වගේ උනන්දුවක් ඇති වුනොත් තමයි ඔවුන් අපේ පැරණි හොද නිර්මාණ හොය හොයා යන්නෙ.


ඒ වගේම තමයි උතුරු ඇමෙරිකාවෙ සහ යුරොපයේ Stand up comedy කියන එක හරි ජනප්‍රියයි. ලංකාවෙත් දැන් ඒ ගැන උනන්දුවක් ඇති වේගෙන එනවා. අපි ආස සින්දුත් එක්ක එකම වැඩසටහනකදී Stand up comedy එකතු උනාම ඒකෙත් අපුර්වත්වයක් තියේවි ".




ආදිත්‍යා රන්වල බලකායෙන් ජනගායනා සහ උමාරා සිංහවංශ යටතේ හඩ පාලනය පුරුදු වුනු කෙනෙක්. සිරස රූපවාහිනියේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කල කෙනෙක්. ඇගේම නිර්මාණ කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයෙන් ඔබට අහන්නට පුළුවන්. සංගීතයෙන් උසස් අධ්‍යාපනය හදාරන විශාරද එරන්දි ගේත් නිර්මාණ කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයෙන් ඔබට අහන්නට පුළුවන්. කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරන දේවකී ත් මේ ගී රැල්ලට ආලෝකයක් එකතු කරාවි.    


  

ටොරොන්ටෝවේ සුමුදු ෆොන්සේකා ප්‍රමුඛ Matrix සංගීතයෙන් හැඩවන මේ හෝරා කිහිපය රශාන්ති හෙට්ටිආරච්චි ගේ රංගාරා, නුරාධි ගාල්ලගේ ගේ සංකලන සහ ඉමේෂා කෙත්මිණි ගේ කෙත් රූ නර්තන අංග වලින් හැඩවේවි. 


සෙනසුරාදා හැන්දෑවක බලන තවත් එක ප්‍රසංගයකට වඩා, Dinner Dance එකකට වඩා වෙනස් වැඩක් ඔක්තෝබර් 21 වෙනිදා හවසට ඔබටත් බලන්න පුළුවන් වේවි. වැඩි විස්තරත්      Online tickets මේ දිගුවෙන් ගන්න පුළුවන්  


https://www.facebook.com/events/983725682755687



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.