මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 22, 2023

චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ?

 



චිත්‍රපට කියන්නේ අත්දැකීම්, අත්විදීම් සහ පරිකල්පන වල එකතුවක් කියලයි පොදු මතය. එතකොට  චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ?. මට නම් හිතෙන්නේ ඒක අතුරුපලයක් විතරයි කියල. 

හැබැයි කෙනෙකුට චිත්‍රපට බලල දිරිය ගන්න පුළුවන්. ඒ වගේම නරක පුරුදු , ඇබ්බැහි කම් අත අරින්නත් පුළුවන්. තමන්ගේ සාධාරණ බලාපොරොත්තු වෙනුවෙන් අවසානය දක්වාම මහන්සියෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම පරිකල්පන හරහා හිතල අළුත් නිෂ්පාදන, ක්‍රමෝපාය, වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්.

ඔය අතරේම දහසකුත් එකක් එදිනෙදා ප්‍රශ්න වලින් යම් කාලසීමාවකට මිදිලා සතුටින් කාලය ගෙවන්නත් පුළුවන්. එතකොට ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ තමන්ට විතරක්ම නෙවෙයි කියලත් තේරුම් ගන්නත් පුළුවන්. හිතල බලන්න භාෂාව, ජනවර්ගය, පාට , භූ විෂමතාවය වෙනසක් නැතුව හැම පිරිමියෙක්ම, ගැහැණියක්ම ජීවිතයේ එක එක මොහොතට මුහුණ දෙන්නෙ එකිනෙකට වෙනස් විදිහට කියල ඔබටම තේරේවි. 

ඒ හින්ද වැඩියෙ හිතන්නෙත් නැතුව, අඩු තක්සේරුවකුත් නැතුව, ඉඩ තියෙන වෙලාවක  මේ චිත්‍රපට බලලා ඔබේ අදහස් ලියන්න . මාත් ඉඩකඩ තියෙන විදිහට බලන චිත්‍රපට ගැන කෙටි සටහන් ලියන්නම්.   

The African Doctor - French (2016 ) (original title: Bienvenue à Marly-Gomont)















මේ වෙනකොට කොංගෝ කියල හදුන්වන රට 1970 ගණන්වලදී හැදින්වුනේ Zaire කියන නමින්. ඒ කාලයේ මොබුටු ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වුණු සෙයොලෝ ප්‍රංශයේ උතුරු කොනේ කුඩා ගම්මානයක දොස්තර විදිහට පත්වීමක් අරගෙන රටින් විට වෙන්නේ රටේ තිබුණු දුෂිත පාලනය යටතේ වැඩ කරන්නට අකමැති වුනු හින්දයි. 

ප්‍රංශය කිව්වාම පැරීසියට යන බව හිතා සතුටින් යන ඔහුගේ බිරිද කළු මිනිසුන් නුපුරුදු Marly Gomont කියන ගමේදී අත්විදින්නේ පුදුම දුකක්. ගම්මු කළු දොස්තර ගාවට එන්නේ නැතුව ළගපාත අනෙක් ගම්වල දොස්තරලා හොයාගෙන යනවා. පුතාත්, දුවත් ගමේ පාසැලේදී පීඩනයට ලක් වෙනවා. වරෙක ඔවුන් බලන්නට එන බිරිදගේ නෑදෑයින් මැද්දේ දොස්තර සමච්චලයට ලක් වෙනවා. යුවල අතර ගැටුම කෙලවර වෙන්නේ ඈන් පවුල අතහැර බෙල්ජියමේ බ්‍රසල්ස් වල ඉන්නා නෑදෑයින් ළගට යෑමෙන්.

ප්‍රංශ පොලීසිය සංක්‍රමණ ගැටළුවක් යටතේ ඔහුව අත් අඩංගුවට ගන්නේ පුරවැසිකම ලැබෙන්නට ඔන්න මෙන්න තියෙද්දී . මේ අතරේ දුව ගමේ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල චරිතයක් ලෙසින් ජනප්‍රිය වෙනවා. හදිසියේ  දොස්තර ගාවට එන ගැබිණි ගොවි බිරිදක් බේරා ගැනෙන්නේ මේ අතරේදී. ඒක හින්ද දොස්තරගේ දස්කම් ගමට දැනෙනවා. ඒත් රස්සාව රැකෙන්න නම් දොස්තර ගේ එකම පිළිසරණ වෙන්නෙ තමන්ව ප්‍රංශයට ගෙන්වා ගත් ගමේ පුරපති වරයා මැතිවරණයෙන් දිනන එකයි.

පුරපති වරයා යලි පත්වෙනවා. ගම්මු දොස්තර ට තිබුණු අකමැත්ත පහව යනවා. ගමට තාත්තත්, දුවත් උවමනා වෙනවා. දොස්තර සම්මානවලින් පුද ලබනවා. බිරිද ආපහු ඇවිත් පවුලට එකතු වෙනවා. 2009 දී රිය අනතුරකින් මිය යන තුරුම මේ අප්‍රිකානු දොස්තර වරයා ගමට සේවය කරනවා.    

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_African_Doctor

Trailer  යු ටියුබ් දිගුව  


 



Travel Mates - Turkish (2017) ( Original Title : Yol Arkadasim )   

ඔනර් කියන්නේ වෙළද නියෝජිතයෙක්. දවස් තුනක් ඇතුලත ඔනර්ට ජයගන්න ප්‍රශ්න 3 ක් තියෙනවා. පලවෙනි එක ඈත නගරයක ඉන්නා ඔහුගේ පෙම්වතියගේ ගෙදර අය හමුවෙන එක. දෙවැනි එක මේ වෙනකොට අනතුරුදායක තත්වයක තියෙන තමන්ගෙ රස්සාව බේරා ගන්නා එක. තුන්වෙනි එක ගමන් වියදම් බෙදාගන්න හවුලට ගත්ත කිසිදා නොදන්නා සෙරෆ් එක්ක මේ ගමන යන එක.  

මේ ගමන යද්දී ඔවුනට එන බාධක, ඇතිවන ප්‍රශ්න මැද්දේ රස ප්‍රේමයන් එක්ක එකතුවන කාන්තාවන් හින්ද මේ චිත්‍රපටය ප්‍රේමයෙන් පිරුණු එකක් වෙනවා. භාෂාව නොතේරුණත් , නොදැනීම සතුටින් කාලය ගලායන මෙය හොද විනෝදාත්මක චිත්‍රපටයක්.  

වැඩි විස්තර සදහා IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt7535792/

Trailer  යු ටියුබ් දිගුව 


 

The Reader - English (2008)

1958 දී තරුණ මයිකල්  ස්කාලට් උණ හැදිලා පාරෙ වැටිලා ඉන්නකොට ඔහුව බේරගන්නේ හැනා කියන මැදිවියේ ඉන්නා ට්‍රෑම් රථ කොන්දොස්තරවරියයි. ඒ කල උදව්වට මල් අරගෙන ඇය බලන්න යන මයිකල් සහ හැනා අතර හාදකමක් ගොඩනැගෙනවා. අකුරු කියවන්නට සහ  ලියන්නට නොදත් ඇය මයිකල් ලවා පොත් කියවා ගන්නවා. දවසක ඔහු හා ඇය පල්ලියකදී ඇය බොහෝ හැගුම්බර වෙනවා. ගිම්හානය අවසානයේදී හැනා උසස්වීමක් අරගෙන වෙනත් ප්‍රදේශයකට යන නිසා ඔවුන් දුරස් වෙනවා.  

1966 දී නීති සිසුවෙක් වන මයිකල්ට පෝලන්තයේ පල්ලියකදී 300 ක පිරිසක් ගිනිතබා මරා දැමුණු නඩුවක් අහන්න ලැබෙනවා . එහි චුදිතයින් අතරේ හැනාත් ඉන්නවා. බොහෝ අය බොරු කියා බේරෙද්දී හැනා වරද පිලිගන්නා හින්ද ඇයට සිරගත වන්නට වෙනවා . ලියන්නට , කියන්නට නොදන්නා බව කියන්නට අකමැති වීම ඇගේ හිරගත වීමට බලපාන බව තේරෙන මයිකල් පස්සෙ දවසක ඒ ගැන තමන්ගේ ගුරුවරයාට කියනවා. ඔහු කියන්නේ ඒ බව උසාවියට කීවානම් තීරණය වෙනස් වන්නට තිබූ හින්ද ඒ ගැන හැනා ට නොකිව්වේ ඇයි  කියලයි. 


ආපහු හැනා එක්ක හිතවත් කම් ගොඩනගා ගන්නා මයිකල් තමන් කියවන පොත් හඩ පට වලට පටිගත කරලා හිරගෙදර ඉන්න හැනා ට යවනවා. හැනා ඒ පොතේ මුද්‍රිත පිටපත හිරගෙදර පුස්තකාලයෙන් අරගෙන වචන ගලප ගලපා කියවන්න ඉගෙන ගන්නවා. 1988 දී ඇයව නිදහස් කරන්න සුදානම් වුනාම හිරගෙදරින් මයිකල් ට දන්වනවා. මුලින් අකමැති වුනත් මයිකල් ඇයව බලන්න ගිහින් ඇය වෙනුවෙන් ඔහු රැකියාවක් සහ නවාතැනක් සුදානම් කල බව කියනවා. ඒත් ඒ කතාබහ අවසන් වෙන්නෙ බහින්බස් වීමකින්.

නියමිත දවසෙ මල් පොකුරක් අරන් නිදහස් වන හැනා බලාපොරොත්තුවෙන් යන මයිකල්ට ආරංචි වෙන්නෙ හැනා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් බවයි. සිරගෙදරින් දෙන ඇගේ අවසන් කැමති පත්‍රය සහ සල්ලි දාපු ටින් එක ගන්නා මයිකල් ඒවා කියල තිබුණු විදිහටම නියමිත අයට බාර දෙනවා.  

 

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..    

https://en.wikipedia.org/wiki/The_Reader_(2008_film)

Trailer  යු ටියුබ් දිගුව  



BulBul Can Sing - Assamese (2018)  

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ දුෂ්කර කුඩා ගමක ඉන්නා බුල් බුල් කියන්නේ යොවුන් වියට පිය මනින තරුණියක්. අගේ හොදම යහළුවන් වෙන්නෙ බොනී සහ සමු. වැඩිවියට පත් වෙනකොට මේ තුන් දෙනා තම තමන්ගේ අනන්‍යතාවය හොයන්න වෙහෙසෙන හැටි මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. 

හැබෑ ගැමි සුන්දරත්වයෙන් පිරි දසුන් මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ ලස්සන ගමේ සරල දේවල් වලින් ඔවුන් විනෝද වුනු හැටි පෙන්වන්නයි. වැඩිවිය පැමිණීමත් එක්ක බුල්බුල් සහ බොනීට සාම්ප්‍රදායික තහංචි වැටෙනවා. සමු ට චෝදනා එල්ල වෙන්නෙ ඔහු සම්ප්‍රදායික පිරිමියෙක් විදිහට කටයුතු නොකරන හින්දයි. 

වෙනස්වන සමාජය එක්ක මේ තුන්දෙනා ගේ ජීවිතය ගලායන අපූරුව මේ චිත්‍රපටයේ රූප තුලට ගොනුකර තිබෙනවා .   

වැඩි විස්තර සදහා IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt8659050/

Trailer  යු ටියුබ් දිගුව  



Mimi - Hindi (2021)

මිමි කියන්නේ කුඩා ගමක ජීවත්වන තරුණියක්. නැටුම් ශිල්පිනියක් වන ඇගේ බලාපොරොත්තුව බොලිවුඩ් නිලියක් වෙන එකයි . නගරයේදී හමුවන බානු කියන ටැක්සි රියැදුරා මිමිට ඉක්මනින් සල්ලි හොයාගන්නට පුළුවන් විදිහක් කියනවා. ඒ ඇමෙරිකානු යුවලක් වන ජෝන් සහ සමර් වෙනුවෙන් දරු ගැබක් කුසේ දරන් ඉන්න එක. ඒකට ගාස්තුව විදිහට ඇයට ඉන්දියානු රුපියල් ලක්ෂ 20 ක් ලැබෙනවා.

ඇය ගෙදරට කියන්නේ චිත්‍රපට රූගත කිරීමකට මාස 9 කට නගරයට යන්න වෙනවා කියලයි. ශ්‍යාමා කියන මිතුරියගේ ගෙදර හැංගිලා ඉන්න මිමිට අවශ්‍ය සියළු දේ දීල බලාගන්න ජෝන් පවරලා තියෙන්නෙ බානුට. දරුගැබ දරාගෙන ටික කලකට පස්සෙ කරන පරීක්ෂණ වාර්තා බලන දොස්තර කියන්නේ කලලය දරුණු   රෝගයක ලක්ෂණ පෙන්වනවා කියලයි . ඒ ගැන අහන ජෝන් සහ සමර් කියන්නේ කලලය විනාශ කරන්න කියලයි.

මිමි ගබ්සාවට විරුද්ධ වෙලා ගෙදර යනවා. ගෙදරට ගිහින් කියන්නේ ඇය බානු එක්ක පැනලා ගිහින් කසාද බැන්ද කියලා . මාස 9 කට පස්සෙ මිමිට පිරිමි දරුවෙක් ලැබෙනවා. සුදු හම හින්ද කට්ටිය පුදුම වුණත් මිමි ඇගේ නිලි ආශාව පැත්තක තියලා දරුවා හදා ගන්න කැපවෙනවා.  

රාජ් කියන ඇගේ පුතා එක්ක මිමි නටන වීඩියෝවක් අන්තර්ජාලයේ ජනප්‍රිය වෙලා තියෙනවා දැකපු ඇමෙරිකන් යුවල දරුවාව ඉල්ලනවා. ඇය කැමති නොවුණු තැන ඔවුන් කියන්නේ උසාවි යනවා කියලයි. මේ ප්‍රශ්න අතරේ ඉන්දියාවේ ඉන්නා ඇමෙරිකන් යුවලට අනාථ නිවාසයකදී දකින තාරා කියන දැරියට හිත යනවා. ඔවුන්ට තාරා නීත්‍යානුකුලව දරුකමට හදාගන්නට ඉඩ ලැබෙනවා. ඒ හින්ද රාජ් මිමි ළග රැදෙද්දී ජෝන් සහ සමර් තාරා අරන් ඇමෙරිකාවට යනවා.   









වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..  

https://en.wikipedia.org/wiki/Mimi_(2021_Hindi_film)  

Trailer  යු ටියුබ් දිගුව  





 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

                 

11 comments:

  1. මින් සමහර චිත්‍රපට බලන්න අවස්ථාව ලැබිල තියනවා. බොහෝ ඒවා සමාජයේ තියන ගැටළුවක් වටා ගෙතුන සරල චිත්‍රපට. බලන අය අවසානයේ ඒ ගැන සිතකවද නැතිනම් සිනමා ශාලාවෙන් එළියට ඇවිල්ලා විනෝදාශ්වාදය විතරක් අරගෙන ගෙදර යනවද කියන එක නම් ප්‍රශ්නයක්. සටහනේ සිරස්තලය හා මුල් වාක්‍යය කියවන කොට මතක් උනේ තොටවත්ත වරක් කියපු කිමනක්. "මට පණිවුඩයක් දෙන්න ඕන නම් මම ටෙලිග්‍රෑම් එකක් ගහනවා, චිත්‍රපටියක් හදන්නෙ නෑ," කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ අදහස 100% හරි. පුළුවන් කමක් ලැබුණොත් ඉතිරි චිත්‍රපටත් බලන්න.

      Delete
  2. මුලින්ම චිත්‍රපට ගැන කියාපු විස්තරයට එකඟයි. චිත්රපටයකින් පනිවිඩයක් දීම එකම සාධකය නෙමෙයි. ඒ වගේම විවිධ අදහස්, මත... එකම චිත්‍රපටයකින් ජනිත වන්නත් පුළුවනි.
    The Reader (2008), Mimi (2021) දෙක බැලුව.

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. . පුළුවන් කමක් ලැබුණොත් ඉතිරි චිත්‍රපටත් බලන්න.

      Delete
  3. හොඳ ලිපියක් සහ හොඳ චිත්‍රපටි පෙලක්. අර තුර්කි චිත්‍රපටියෙ කොටස් 2 තියනවා වුනත් එකක්වත් හොයාගන්න බැරි එකයි අවුල.
    මෙන්න මම කැමති චිත්‍රපටයක් සහ එකිනෙකට වෙනස් විචාර තුනක්. චිත්‍රපටත් Kaleidoscope වාගෙ, එක එක අය දකින දේ වෙනස්.
    https://www.youtube.com/watch?v=RoHg-RvcwzE
    https://www.youtube.com/watch?v=406hEKcCFAk
    https://www.youtube.com/watch?v=OsfhtFBjMN8

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ මගේ බ්ලොග් එකට ගොඩවීමත් සතුටක්. මම Yol Arkadasim බැලුවෙ නෙට්ෆ්ලික්ස් කැනඩා තුලින්. මේ වනවිට එහි දෙවන කොටස එහි තිබෙනවා. සමහර චිත්‍රපට ඇමසන් හරහාත් මා සේවාව ලබන IPTV තුලිනුත් බලනවා. ඔබ කැනඩාවේ ඉන්නවා නම් අහස් ගව්ව මුහුණු පොතින් අමතන්න. ඒ ගැන විස්තර දෙන්න පුළුවන්. යූ ටියුබය හරහා සහ විවිධ වෙබ් අඩවි හරහා සමහර චිත්‍රපට බැලුවත් ඒවායේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය තත්ව ගැටළු සහ ඒ හරහා පරිගණක වෛරස ඒමේ අවදානම තිබෙන නිසා ඒවායින් බලන්නට යොමු වන අවස්ථා අඩුයි. ඔබ එවූ දිගු ආසාවෙන් බැලුවා

      Delete
  4. චිත්‍රපටි රාශියක් පිළිබඳව විවෘත මනසකින් යුක්තව කර තිබෙන ගැඹුරු විග්‍රහයක්. හුදු විනෝදය පමණක් නොව, අධ්‍යාපනය , සමාජ යේ විවිධ අදහස් උදහස්, දේශපාලනය, සමාජයේ සූරාකෑම් වැනි විවිධ කෝණයන් ගැනද අවබෝධයක් ලබාගැනීමට, ජාත්‍යන්තරව පිළිගත් චිත්‍රපට උපකාරී වන බව ඔබගේ විස්තරයෙන් පැහැදිලි වෙනවා.
    ඒ සමගම ඉහත comments වලින්ද සම්භාවී චිත්‍රපට ගැන වටිනා කරුණු රැසක් හෙළිදරව් වෙනවා. ඔබට ජයම.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් චිත්‍රපට වල විෂය පථය හරි පුළුල් . ඒ වගේම තමයි සමහර ඒවා ගල් අහුරක් වගේ එකවිට පණිවිඩ කිහිපයක්ම දෙනවා.

      Delete
  5. The reader බැලුවා. ළඟදිම බැලුවෙ A man called otto(2022) කියලා එකක්. අද the book thief බලන්න පටන් ගත්ත ඉවර කරන්න හිතුනෙ නෑ..

    මාත් සමහර වෙලාවට තේරුමක් තියෙන, පනිවුඩයක් දෙන වගේ චිත්‍රපටි බලන්න වැඩි ප්‍රමුඛතාවක් දෙනව...

    ReplyDelete
  6. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ කියූ චිත්‍රපට 2 ක බලල නැහැ . ඒත් Trailer දෙක බැලුවම බලන්න හිතුනා. ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete