මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 30, 2023

චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?.

 




ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ  විශේෂ හැකියාව එන්නේ කථා අන්තර් ගතය සංස්කරණය කල රූප රාමු එක්ක කදිමට සීරු මාරුවට ගලපලයි. අපේ හිතට සැනෙකින් එන ඒ ඒ මතක වලින් ලෝකෙ වටේ  යන්නට පුළුවන් වගේ චිත්‍රපට නිර්මාණ කණ්ඩායම කරන ඒ වික්‍රම කොච්චර හොදින් ඇමිණුනාද කියල බලන්න පුළුවන් වෙන්නෙ ඒවා තියන බොක්ස් ඔෆිස් වාර්තා අනුවයි.  









The Bucket list - (2007)


වියපත් පිරිමින් දෙදෙනෙකු වුනු මෝටර් කාර්මික කාටර් සහ බිලියනපති එඩ්වඩ්ට එකිනෙකා හමුවෙන්නෙ එඩ්වඩ් ගේම රෝහලේ ළය පිළිකාවට බෙහෙත් ගන්නට නේවාසිකව ඉන්න කොටයි. ඉතිහාසය පිළිබද මහාචාර්ය වරයෙක් වන්නට සිහින මැවූ තරුණ කාටර් ට මෝටර් කාර්මිකයෙක් වෙන්නට සිදුවන්නෙ ජීවිතයේ කලින්ම පවුල් වුනු හින්දයි. ඊට හාත්පසින්ම වෙනස්  එඩ්වඩ් හතර සැරයක්ම දික්කසාද වෙලා තෝමස් කියන සේවකයත් එක්ක ජීවත්වන සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර හිමිකරුවෙක්.


සෞඛ්‍ය තත්වය අනුව තවත් එක් අවුරුද්දක් විතරක් ජීවත් වෙන්න පුළුවන් කියන අනුමානයක ජීවත්වන කාටර් මැරෙන්නට කලින් කරන්නට කියල හිතාගෙන ලැයිස්තුවක් හදනවා, කපනවා  එඩ්වඩ්ට දකින්නට ලැබෙන්නේ අල්ලපු ඇදේ  හිටපු හින්දයි. ඒක දකින එඩ්වඩ් ඒකට තවත් දේවල් එකතුකරලා " හරි අපි ඒ ලැයිස්තුව කරමු. වියදම මම බලාගන්නම් " කියල කියනවා.කාටර් ගේ බිරිද වර්ජිනියා අකමැති වුණත් කාටර් සහ එඩ්වඩ් මේ ගමන යන්නෙ තෝමස් කියන සේවකයත් එක්කයි. ඔවුන් මුලින්ම Skydiving කරනවා. California Speedway  එකේ කාර් රේස් එකක් තියනවා. North Pole එක උඩින් යනවා. මිල අධික ප්‍රංශ හෝටලයක කෑම ගන්නවා. Taj mahal, Everest, African Safari  එකක් වගේම චීන මහා ප්‍රාකාරයේ මෝටර් සයිකලයකින් යනවා.  


මේ ගමන් අතරතුරේ කාටර් සහ එඩ්වඩ් ඔවුන්ගේ ජීවන තොරතුරු බෙදා ගන්නවා. කාටර් තමන්ගේ බිරිදට තියෙන ආදරය ගැන වගේම එඩ්වඩ් හොරෙන් පැනලා ගිය තමන්ගේ එකම දුව හින්ද තියෙන හිත් රිදීම ගැන කථා කරනවා. හොංකොන් වලදී ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ සේවය ලබා ගන්නට එඩ්වඩ් සුදානම් වෙද්දී තම බිරිද හැර වෙනත් කාන්තාවක් සමග කල් ගත නොකල කාටර් එය ප්‍රතික්ෂේප කරන්නේ මේ ගමන අතහැර දාල ගෙදර යමු කියලයි. ආපහු ගෙදර එන අතරතුර එඩ්වඩ් තමන්ගේ දුව එක්ක එකතු වෙන්න උත්සාහ කරනවා. කාටර් සතුටින් ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක සතුටු වෙද්දී එඩ්වඩ් තනියම විශාල මන්දිරයේ පාළුවෙන් ඉන්නවා.


ටික දවසකින් දැන ගන්නට ලැබෙන්නේ කාටර් ගේ පිළිකාව මොලේටත් පැතිරිලා කියලයි. ශල්‍යකර්මය කරද්දී කාටර් මිය යනවා. ඒ වෙනකොට එඩ්වඩ් ගේ දුව අමනාපකම් ඉවත දාල තාත්තා ගාවට එන්නේ තමන්ගේ චූටි දුව එක්කයි. ඒ හුරතල් දැරිය හාදුවක් දුන්නාම  එඩ්වඩ් Bucket list  එකේ තිබුණු " ලෝකයේ ලස්සනම ගැහැණු ළමයාගෙන් හාදුවක්"  කියන එක කපා දමනවා. කාටර් ගේ අවමංගල සභාවේදී සංවේදී කථාවක් කරන එඩ්වඩ් කියන්නේ ගෙවුණු පහුගිය මාස 3 ක කාලය තමන්ගේ ජීවිතයේ හොදම කාලය කියලයි.  තෝමස් කාටර් ගේ අළු බදුනත්  එක්ක එඩ්වඩ් කැමති කෝපි කුඩු වර්ගය සහ Bucket list  එක ටින් එකක දාල හිමාල කදු මුදුනේදී එය වීසි කරන්නේ ඒ ලැයිස්තුවේ තිබුණු " Witness something truly majestic " කියන අන්තිම අසම්පුර්ණ එකත් කපල අයින් කරලයි.  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Bucket_List

Trailer  යු ටියුබ් දිගුව  



The Buttefly's Dream - Turkish(2013) Original name - Kelebegin Ruyasi   


මේ චිත්‍රපටය පටන් ගන්නේ 1941 දී තුර්කියේ Zonguldak කියන කළු මුහුද ආශ්‍රිත ගල් අගුරු කර්මාන්තයට ප්‍රදේශයේ රාජ්‍ය සේවයට යන තරුණයින් දෙදෙනෙකුගෙන්. Muzaffar සහ .Rustu කියන මේ දෙන්නා කවියට, සාහිත්‍යයට බර කලාකාමී දෙන්නෙක්. යුරෝපය පුරා දෙවන ලෝක යුද්ධයත් එක්ක පැතිර යන විවිධ වෙනස්කම් අතරේ ඉන්නා ඔවුනට උවමනා වෙන්නෙ නිදහසේ සමනළයින් වගේ ඉගිල ගිහින් කවි ලියන්නයි. ක්ෂය රෝගයට ගොදුරුව පීඩා විදින ඔවුන් දෙදෙනාට ඒ ප්‍රදේශයට එන සුරූපී තරුණිය Susan දකින්නට ලැබෙනවා.



ඇය දිනාගන්නා අරමුණින් ඔවුන් දෙන්නා කවි ලියන්නේ ඔට්ටු අල්ලමින්. Rustu ගේ කවි වලට Susan කැමති වුණත් ඇගේ හිත දිනාගන්නේ  Muzaffer              . අසාධ්‍ය වෙලා Rustu රෝහල්ගත කරාම ඔහුට Mefiha කියන තරුණිය හමුවන්නෙත් රෝහලේදීමයි. අවසානයේදී  Rustu සහ Mediha ආදරයෙන් බැදෙනවා. මේ හතර දෙනාගේ ආදර අන්දරය ඔබට අපූරුවට රස විදින්න පුළුවන්.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Butterfly%27s_Dream_(2013_film)

Trailer  යු ටියුබ් දිගුව  




Swades - Hindi ( 2004)

NASA  ආයතනයේ විශේෂ ව්‍යාපෘතියක වැඩකරන මොහාන් ඇමෙරිකාවට ගියේ වැඩිදුර ඉගෙන ගන්නයි. මෝටර් රථ අනතුරකින් දෙමාපියන් අහිමිව ඉන්නා මොහාන්ව හදිසියේම තමන් කුඩා කල බලාගත් සේවිකාව කාවේරි අම්මා ව බලන්න හිතෙනවා. RV එකක් අරගෙන මේ වෙනකොට උත්තර ප්‍රදේශ් වල ඉන්නා කාවේරි අම්මා බලන්න යනකොට ඇය ඉන්නේ ඔහුගේ කුඩා කාලයේ හිතවතියක වුනු ගීතා ගාවයි. කුලය සහ ආගමික අදහස් හින්ද පහත් යැයි සම්මත ජන කොටස් ජීවත්වන ගමේ දරුවන්ගේ ජීවන තත්වය උසස් කරන්නට මහන්සි වෙන ගීතා හිතන්නේ මොහාන් ආවේ කාවේරි අම්මා ඇමෙරිකාවට ගෙනියන්න කියලයි.

කාවේරි අම්මා මොහාන්ට කියන්නේ තමන්ව ඇමෙරිකාවට ගෙනියන්න ඕන නම් ගීත ව කසාද බැදලා ඇයත් එක්කගෙන යන්න ඕන කියලයි . උපායශීලී විදිහට ගීතාව මොහාන් ට ලං කරවන ගමනක් කාවේරි අම්මා සංවිධානය කරනවා. ඒ ගමනේදී ජනතාව විදින දුක දකින මොහාන් තමන්ගේ නිවාඩුව දික් කරගෙන ඒ ගැමියන්ගේ විදුලි බල ප්‍රශ්නයට විසදුමක් විදිහට ජල විදුලි බලාගාරයක් හදනවා.   

ඒ වැඩවලදී හිතවත් වන ගමේ නායකයා Dadaji  ගේ මරණයත් , කාවේරි අම්මා සහ ගීතා ඉන්දියාවේ නවතින්න කියලා කරන ඇවටිල්ලත් එක්ක මොහාන්ගේ සිතුවිලි පොර බදනවා. ආපහු ඇමෙරිකාවට ගිහින් තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරන මොහාන් ආපහු ඉන්දියාවට එන්නේ NASA  එකට සම්බන්ධ Vikram Sarabhai Space Centre එකේ වැඩ කරන්නයි.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Swades

Trailer  යු ටියුබ් දිගුව  


   

Gemma Bovery - French ( 2014)


Gustave Flaubert  කියල කියන්නේ ප්‍රංශයේ හිටපු දක්ෂ නවකතා කරුවෙක්. ඔහු ලියූ Madame Bovary නවකතාව බොහෝ විවාදයට ලක්වුණු එකක්. මාටින් කියල කියන්නේ Normandy  ගමේ ඉන්නා බේකරි හිමියෙක්. ඒ වගේම Madame Bovary කථාවට වශීවෙලා ඉන්නා කෙනෙක්. මාටින්ගේ ගමට තරුණ යුවලක් පදිංචියට එන්නේ ඔහුගේ ගෙදර ගාවම පැරණි ගෙයක් මිලට අරගෙන. සරාගී පෙනුමක් තියෙන තරුණ කාන්තාවගේ නම Gemma Bovary, සැමියා Charles. ඒ කාන්තාව දකින වාරයක් වාරයක් ගානෙම මාටින් නවකතාවේ කාන්තා චරිතය ඇසුරින් සිතුවිලි මවාගෙන ඇය ගැන විමසිල්ලෙන් ඉන්නා හැටි ඔබට බලන්නට පුළුවන්.


බේකරියේ වැඩ කියාදෙන ගමන් , ගමේ ඇවිදයන වෙලාවක අහම්බෙන් හමුවුණාම කෘමි සතෙක් විදපු වෙලාවේදී ඇයව අතපත ගාන මාටින් සොරාගන්නා ඇගේ දිනපොත ඇසුරින් ඇගේ තවත් සම්බන්ධකම් ගැන හොයන්නට පටන් ගන්නවා. ගෙමා සහ ගමේ ඉන්නා කරච් නම් තරුණයාගේ සම්බන්ධය පස්සේ යන ඔහු ඔවුන් කරන කියන දේ හොරෙන් බලන්න පුරුදු වෙනවා. මේ අතරේ චාල්ස් වැඩකට ලන්ඩන් ගිහින් ඉන්නකොට ඇගේ පරණ පෙම්වතා ගෙදරට එනවා. චාල්ස්  එනකොට ගෙමා මැරිලා. හේතුව පාන් හිරවෙලාලු. කතාව ඉවර වෙනකම් බැලුවොත් ඔබට ඒ ගැන හොයාගන්න පුළුවන්.    


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Gemma_Bovery_(film)

Trailer  යු ටියුබ් දිගුව   






Palthu Janwar - Malayalam  (2022)   

  

  පශු පරීක්ෂකවරයෙකු විදිහට ආණ්ඩුවේ රස්සාවක් අරගෙන ඈත ගමකට යනවා. වැඩට ගිය මුල්ම දවසේම ගම් සභාවේ නියෝජිතයා එක්ක ඔහු රණ්ඩු වෙන්නේ ගව මඩුවක් සම්බන්ධයෙන්. පශු වෛද්‍ය සුනිල් ඔහු එක්ක එකතු වෙලා මුදල් හොයන ක්‍රමයක් ගැන කියද්දී ඒකට කැමති නොවුණු හින්ද ඉන්නේ එච්චර හොද හිතකින් නෙවෙයි. සෞඛ්‍යය තත්වය හොද නැති හින්ද සුනිල් රස්සාවෙන් අයින් වෙලා ගියාම ඔවුන්ගේ ප්‍රදේශය ආවරණය කරන්නේ වෙනත් කලාපයක වැඩ කරන  පශු වෛද්‍යවරයෙක් හින්ද ප්‍රසුන් ට වැඩිපුර වැඩත් ගොඩගැහෙනවා. 


ගමේ පල්ලියේ හොරකමක් ගැන හොයන්න ආපු පොලිස් බල්ලා වැරදි මාත්‍රාවක් බෙහෙත් එන්නත් කිරීම හින්ද මැරෙනවා. දැන් ප්‍රසුන්ගේ රස්සාව අනතුරේ හින්ද ඔහු හිතන් ඉන්නේ මේක දාලා යන්නයි. ඩේවිස් කියල මනුස්සයෙක් රෝහලට දුවගෙන එන්නේ මේ අතරේ. මොලිකුට්ටි කියන එයාගෙ පැටියෙක් ලැබෙන්න හිටපු එළදෙන කන්දෙන් පහලට වැටිලා ගමේ ගොඩ වෙදකම් වලින් පලක් නැතුවයි ඉන්නෙ. ප්‍රසුන් ට වැඩේ තේරෙනවා. එළදෙන කන්දෙ හංගලා තිබ්බ අරක්කු වගයක් බීලා. බේකින් සෝඩා දීලා ඇයව සුවපත් කරන්නේ ඔහුගේ ගෑණු ළමයා Stephy එක්කයි.  එළදෙන සුවපත් වෙනවා. ඒත් වතුර බෑග් එක කැඩිලා හින්දා ඇගේ දරු ප්‍රසූතිය අනතුරුදායක වෙනවා. ගමේ මිනිස්සු පුදුමයට පත් කරවමින්  ප්‍රසුන් එළදෙනත් පැටියාත් බේරා ගන්නවා.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Palthu_Janwar

Trailer  යු ටියුබ් දිගුව  


අනුරුද්ධ වැලිගමගේ     


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

   

5 comments:

  1. අනුරුද්ධ; මේ ලෝකෙතියෙන සියළුම චිත්‍රපටි ටික එක පැත්තකට දාලා අනෙක් පැත්තට The untouchables දැම්මත් මම තෝරා ගන්නේ අන් untouchables!
    ඒක ඒ තරම්ම සුන්දර වීර වික්‍රමාන්විතයක්.
    ඒත් ෆිල්ම් සීරීස් එකක් විදියට ඉන්ඩියානා ජෝන්ස් ෆිල්ම්ස් ටික ආසාවෙන් බැලුවා.

    ඒත් එක නළුවෙකුගේ කැමතිම චිත්‍රපටි තියෙන්නේ නම් ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ!

    මේ මොනවා උනත් බකට් ලිස්ට් කියන්නේ මගේ හදවතේ රිද්මය වෙනස් කරණ්නට සමත් වුනු චිත්‍රපටයක්.
    මමත් හදවත් රෝගියෙක්!
    මම බලාපොරොත්තු වන්නේ තව අවුරුදු හතරක් ජීවත් වෙන්න තිබුනොත් ඇති කියලයි!
    මම මගේ බ්ලොග් එකේ පාවිච්චි කරලා තියෙනවා ඔය බකට් ලිස්ට් කියන වචනය!
    ඇත්තටම මගේ බ්ලොග් එකේ නිර්මාණාත්මක දේ වෙනුවට මගේ අත්දැකීම් ලියැවෙන්නේ මැරෙන්නට කලින් ඒවා කොහේ හරි ලියා තබන්නට ඕනෑ නිසාමයි.

    ඔය සයිකල් පැදිලි, කයාක් පැදිලි හැම දේම මගේ බකට් ලිස්ට් එකේ දේවල් තමයි.

    ඔය බකට් ලිස්ට් කියන දේ කවදාවත් අවසාන වෙන එකක් නම් නෙවේ!~

    මේ දවස් වල ආශාවක් තියෙනවා ඉන්දියාවෙන් පටන් ගෙන කිලෝමීටර දහස් ගනනක් වාහනයක් පදවාගෙන පෘථිවියේ අනෙක් පැත්තට ගමන් කරණ්න!

    වයසට යන කොට මිනිස්සු පොඩි ළමයි වගේ වෙනවා කියන්නේ නිකංද නේද?

    ReplyDelete
    Replies
    1. මංජුල ප්‍රතිචාරයට ස්තුතියි. සියයට සියයක් එකඟයි. ඔබේ චිත්‍රපට මතක සහ සටහන් ලියන්න. රසවින්දන මුහුණු පොත් පිටුවෙත් රූපයක් එක්ක පල කරන්න .

      බකට් ලිස්ට් එක ගැන ඔබ ලියා තිබුණු අදහස් කෙටිකතාවක් තුලට හරි ලියැවිලි මාලාවක් විදිහට තීරු ලිපි වගේ වර්ධනය කරලා ලියන්න පුළුවන්. හිතල බලන්න. ඔබ බ්ලොග් සටහන් ගැන ලියා තිබූ දේටත් මම කැමතියි. ඔබේ විවිධ සටහන් ඇතුලේ අපෙත් මතක අවදි වෙනවා. ඒ වගේම මහන්සියෙන් ඔබ ආ ගමන දිරිය ගමනක් යන්නට කාට හරි අත්වැලක් වෙන්නට පුළුවන්.

      බකට් ලිස්ට් මිනිසුන් ජීවත් කරනවා. මගෙත් බකට් ලිස්ට් එක නිතිපතා වෙනස් වෙනවා. මගේ ආර්ථික හැකියාවන්, වෙන් කරන්නට පුළුවන් කාලය එක්ක මම නම් උත්සාහ කරන්නේ ශරීර සෞඛ්‍යය හොද කාලයේදී පුළුවන් තරම් දේ කරන්නයි. බලමු . ඔබේ වාහන ගමනේ සිහිනය හරි අපූරුයි. සංචාර වෙබ් අඩවිය කරන රොහාන් ඩිරෙක්ස් ට කථා කරන්න. ඔහුගෙන් ඔබට බොහෝ විස්තර දැනගන්න පුළුවන් වේවි. ඔබට ඒ ගමන යන්න පුළුවන් වේවි කියල ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. මම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් අපිත් ඔබේ ලියැවිලි කියවන්න බලන් ඉන්නවා. අධ්‍යන කටයුතු හින්ද හරි රාජකාරි වැඩ හින්ද හරි කාර්ය බහුල වන්නට ඇති කියල හිතන් හිටියෙ.

      Delete
    2. සෞඛ්‍ය කටයුතු නිසා කාර්ය බහුල වුණා කියල කිව්වැකි...

      Delete