මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 10, 2024

අප්පච්චි .......

 



කදුළු හංගන් හිත් කොනේ 

තාත්තලා ඇත සිව්කොනේ 

තුරුල්ලේ නැති වුණත් දරුවන් 

බැල්ම ඇත තවමත් හිතේ 

බැල්ම ඇත හැමදා හිතේ 


සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා 

ගෙදර සකසුරුවම් කලා 

දා බිංදු රැස නිති වගුරලා 

තාත්තලා බර පැන සොයා 

තාත්තලා ඇත වෙහෙසිලා 


සුමේ කරනා තුන්යමේ 

වින්ද දුක් නම් නිම් නැතේ 

අඩලා දොඩලා නොකිව්වට නිති 

නැතිද දන්නේ දරුවනේ 

නැහැනෙ දන්නේ දරුවනේ 


තුරුල්ලේ ඉදහිට හොවා 

සෙනෙහේ පානා අප්පලා 

හිතේ මහමෙර තරම් රැදි 

සෙනෙහෙ ගඟ නැත වියැකිලා 

තවම නැත එය වියැකිලා 


පිය සෙනේ නැත මතුවෙලා

තාත්තලා ඇත සැඟවිලා

කදුළු කැට නැත මතුවෙලා 

දුක දරයි සැප දුක දරා 

සැපද දුක සමබර කලා  



අනුරුද්ධ වැලිගමගේ


















2024 පෙබරවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

16 comments:

  1. දෙතනේ කිරි එරෙන්නැති එක විතරයි මල්ලී!

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඇත්ත.

      Delete
  2. වැඩි හරියක් තාත්තලා හැඟීම් පෙන්නන්නෙ නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඇත්ත.

      Delete
  3. මම හිතන්නෙ අපේ රටේ බොහොම පියවරුන්ට පවුලේ බර උසුලන වග කීම එහෙම පිටින්ම පැවරෙනවා.ඔවුන් මානසිකවත් ශාරීරිකවත් මහත් පීඩාවට පත් වෙලයි ගෙදර එන්නෙ.ඒත් සම්පූර්නයෙන්ම විසදිච්ච නැති ගැටලු ගොන්නක පීඩනයත් එක්කයි.පහුවෙන්දත් එම රටාවමයි.ඉතින් ඔවුන්ට දරුවන්ට සෙනෙහස පාන්න ඉස්පාසුවක් නැහැ මම හිතන්නෙ තමන්ගෙ හිත තුල දරුවන් කෙරෙහි කොපමන ආදරයක් තිබුනත්.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම හිතන්නෙ ඕක දකුණු ආසියානු කලාපයටම පොදු වුනු දෙයක්. ඒත් දැනුම පැතිරීමත් , මව්වරුන් රැකියාවලට යාමත් එක්ක සුබවාදී විදිහට වෙනස්කම් වෙලා තියෙනවා.

      Delete
  4. ම්ම් වටිනා පිය ගුණ වරුනාවක්. ලස්සනයි අනුරුද්ධ
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. හ්ම්ම්ම් ඒ තමයි තාත්තා ..මෙවර ලන්ඩන් කවි අතර මාත් හිටියා..මං මේ කවියත් දැක්කා

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ කවියත් දැක්කා.ලස්සනයි . ඔබේ හැඩ කවි අතරින් එක ගානෙ හැම 20 වෙනිදාම මාසෙකට සැරයක් යවන්න. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 සදහා ''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' පළමු අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (ජනවාරි 12) සිට මෙම වසරේ මැයි 15 දින දක්වා සිදු කෙරේ.* නවකතා * කෙටිකතා සංග්‍රහ* කාව්‍ය සංග්‍රහ
      * පරිවර්තන (ඉංග්‍රීසි) අත්පිටපත් ශ්‍රී ලාංකේය පුරවැසි, ආධුනික, ප්‍රවීණ ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. විස්තර සදහා මේ යොමුවට යන්න. https://www.facebook.com/profile.php?id=61555293310728&mibextid=ZbWKwL . මේ ගැන බලලා තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න කියල අපේ බ්ලොග් සගයින් හැමෝටම ආරාධනා කරන්න කැමතියි.

      Delete
  6. ලස්සන නිසැදසක් අනුරුද්ධ සහෝදරයා...

    පිය සෙනෙහස දැනෙන්නෙ...
    පියකු වී ජීවීත ගමනේ යද්දී කියලා සමහර විට මට දැනෙනවා..

    මට දැනුනු විදිහට තෙවැනි නිසැදසින් ඒ බව කියැවෙනවා..
    //සුමේ කරනා තුන්යමේ
    වින්ද දුක් නම් නිම් නැතේ
    අඩලා දොඩලා නොකිව්වට නිති
    නැතිද දන්නේ දරුවනේ
    නැහැනෙ දන්නේ දරුවනේ //

    මෙහි පලවෙනි පේලීය මට හරියටම තේරුණ කියලා කියන්න නම් බැහ...

    අන්තිම නිසැදස හරියටම තාත්තලගේ ආදරයේ සංක්ශිපතයක් වගේ..

    //පිය සෙනේ නැත මතුවෙලා
    තාත්තලා ඇත සැඟවිලා
    කදුළු කැට නැත මතුවෙලා
    දුක දරයි සැප දුක දරා
    සැපද දුක සමබර කලා//

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම ඉන් අදහස් කලේ ගොඩක් පියවරුන් රැකියා කරන තැනදී , මගතොටේදී අත්දකින කරදර ගැන අම්මලා වගේ කිය කිය ඉන්නෙ නැහැ කියන එකයි.

      Delete
  7. පිය සෙනෙහෙට කවි ගී ලියවුනා මදී... තමා. 💔🙏

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  8. පිය සෙනෙහස ට කව් ගී ලියැවුණා මදී
    පිය සෙනෙහස පිළිබඳ ව කියැවුණු ජනකවි දක්නට නොමැති තරම් ය. මීට හේතු පිළිබඳ ව සමාලෝචනයක් මේ දක්වා ඉදිරිපත් කිරීමට වියතුන් කුහුලක් නො දැක්වුව ද ඒ අරභයා කාලෝචිත මැසිවිල්ලක් මෑත කාලයේ ඉදිරිපත් වූයේ සුභාවිත ගීතයක වේශයෙනි. ඒ වූ කලී මාලනී ජයරත්න විසින් පබඳින ලදුව ටී. එම්. ජයරත්න ගායන ශිල්පියා විසින් ගැයුණු “පිය සෙනෙහසට කව් ගී ගියවුණා මදී” ගීතය යි.

    “සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ”

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ටී එම් ජයරත්න මහතාගේ ගීතය ජනප්‍රියම එක වුණත් තවත් පිය ගුණ ගීත කිහිපයක්ම තියෙනවා.
      මේ මගේ කලින් සටහනක් . https://ahasgawwenehalokaya.blogspot.com/2021/06/blog-post_19.html
      හැබැයි මම ආයේ ලියනවා නම් තව උදාහරණ කිහිපයක් තියෙනවා. ඉදිරි පියවරුන්ගේ දිනයේදී ඒක ලියන්නම් .

      Delete