මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 17, 2024

එතකං නංගී අවදිව අයියන්ඩියේ






තබවා ඉණි හරි හරියට , සදවා නිසි ලෙස ඉණිවැට

ජීවිතයට පාර කියූ පුංචි සන්දියේ

පුබුදා පැතුමන් පිට පිට , ජීවන ගමනම එළිකොට

සැදූ පහන් තරුව ඔබයි මගේ සුදු අයියන්ඩී


හිත රිදිලා හරි හරියට, ඇදිලා ගිය මහ රැල්ලට

සුනාමියේ දුක රිංගූ පාළු වංගියේ

නොසැලී මහමෙර විලසට, සනසා සිත මා දැඩිකොට

දුන්නු දිරිය තාමත් ඇත මතක මන්ඩියේ


යොදුන යොදුන පියමං කොට, ඉගිල ගියත් දුරු රටකට

සීතල පිණිකැට සුසුමන් දැනෙන වංගියේ

ඈත අහස් කුස පසුකොට, රැහැන් කුළුණු නැග හනිකට

එන ඇමතුම නුබෙ උණුහුම පුරවයි අයියන්ඩියේ


අනුරුද්ධ වැලිගමගේ








2021 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.












විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

Saturday, August 10, 2024

දෙවරක් හිරු නගිනු දුටු ගුවන් ගමනක්



 

මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන දීර්ඝතම නොනවතින ගුවන් ගමන ලෙස හැඳින්වෙන්නේ Sinagapore Airlines  විසින් සිංගප්පූරුවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ  නිව්යෝක්  නුවර වෙත යන කිලෝමීටර් 15,349ක් දිග ගුවන් ගමනයි. ඒ  සඳහා ගතවන ගුවන් කාලය පැය 18 කුත් විනාඩි 50 ක් .

 

Aviation Voice යූ ටියුබ්   නාලිකාව සමඟ පැවති සංවාදයක දී කපිතාන් එල්මෝ ජයවර්ධන  හෙලි කල තොරතුරක් වුණේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ හංස විලෙන් ( Swan Lake)  පටන් අරගෙන ලංකාවේ කොග්ගල ඔය දක්වා පැමිණි අපූරු ගුවන් සේවාවක් ගැනයි.  සාමාන්‍යයෙන් මේ  නොනවතින ගමන සඳහා දළ වශයෙන් ගුවන් පැය 30 තරම් ගත වෙතත් වාර්තාගත වැඩිම වේලාව පැය 32 කුත් විනාඩි 9 ක්. 

 

ගුවන් ගමන් ගැන කැමැත්තෙන් ඉන්නා මට මේ පුවත අපූරු එකක් වුණු හින්දා මම කළ විස්තර හෙවීම අවසන් වුණේ තොරතුරු රැසක් එක්කයි. ඔබට ඉන් කොටසක් මේ සටහනේ සටහන් කරලා අවශ්‍ය කෙනෙකුට වැඩිදුර විස්තර දැනගන්න දිගු මෙයට එකතු කරන්නටයි මම හිතුවේ.




බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ ඔස්ට්‍රේලියාව සහ ලන්ඩනය අතර සබඳතා සඳහා 1934 දී  ගුවන් සේවාව පටන්ගෙන තිබුණු ගුවන් සබඳතාව හැඳින්වුණේ The Kangaroo Route යන නමින්. තැපැල් මළු සහ විදේශ සේවයේ නිරත වැදගත් පුද්ගලයන් ප්‍රවාහනය ඉලක්ක කරගෙන පැවති මේ ගමන් මාර්ගයේ ප්‍රධාන නැවතුම්පළවල් වුණේ සිංගප්පූරුව,  කල්කටා හෝ කරච්චි කයිරෝ සහ  ට්‍රිපොලි යන නගර. 

 

දෙවන ලෝක යුද සමය අග්නිදිග  ආසියානු කලාපය සහ ආසියානු කලාපයේ ගුවන් සහ නාවික බලය ජපානය විසින් අත්පත් කරගත් හින්දා බ්‍රිතාන්‍යයට මේ සේවාව කරගෙන යන්න බැරි වුණේ මෙහි අතරමග ඉන්ධන සහ සේවා සපයාගත් සිංගප්පූරුව ජපානයේ පාලනය යටතේ තිබුණු හින්දයි. ඒ වෙනුවෙන් විකල්ප හොයද්දී හමුවුණු හොඳම විසඳුම ඕස්ට්‍රේලියාවේ පර්ත් වලින් පටන්ගන ලංකාවේ ගාල්ලට එන්න පුළුවන් ගුවන් මාර්ගයයි. පසුකාලීනව එය කරච්චිය දක්වා දීර්ඝ කෙරුණු අතර සමහර ගමන් වාර සදහා අතරමග කුඩා දුපතකුත් එකතු කෙරුණා.  මේ ගමනාන්තය අතර දුර කිලෝමීටර් 6500 ක් .

 

අද මෙන් දියුණු තාක්ෂණික උපකරණ නොතිබුණු ඒ කාලයේ මාලිමා සහ තරු ලකුණු , සිතියම් මාර්ගයෙන් කෙරෙනු ඒ ගමන සඳහා කැටලීනා වර්ගයේ  ගුවන් යානා පහක් නවීකරණය කෙරුණා. කුලී පදනම යටතේ බ්‍රිතාන්‍ය ගුවන් කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් ඒවා නම් කෙරුනේ Rigel Star, Spica Star, Altair Star, Vega Star  සහ Antares Star  වශයෙන්. ඒ මේ ගමනේදී මග සලකුණු වෙනුවෙන් උදව් වුනු  තරු 5 ක නම්.  

කිලෝමීටර් 6700 ක  දුර යා හැකි ලෙස මුල් යානාවල සමහර කොටස් අයින් කර අමතර තෙල් ගබඩා එකතු කලවිට තෙල් ලීටර් 9040 ක්  සහිතව යානාව නවීකරණය වුනේ අතරමග සේවා පහසුකම් නොමැති ඉන්දියන් සාගරය උඩින් පියාසර කෙරුණු හින්දයි.  ඒ ගමනට කපිතාන්වරයෙක්, සහය ගුවන් නියමුවෙක්,  රේඩියෝ පණිවිඩකරුවෙක් සහ ඉංජිනේරුවකු ඇතුළත් වූ බව කියවෙනවා . එහි  ගෙනයාමට අනුමත වුණේ කිලෝ69 ක් බර ලිපි මළු  සහ විශේෂ අමුත්තන් තුන්දෙනෙකු පමණයි.  කලින් සූදානම් කළ කෑම පෙට්ටි ඔවුන් වෙනුවෙන් පටවා ගනු ලැබූ බව සඳහන්. නිතර සෝදිසියේ ඉන්නා ජපන්  හමුදාවන්ට හසුවේ යන බියෙන් ගමනේ යම් දුරක් ඔවුනට සිදුවුණේ රේඩියෝ උපකරණ ක්‍රියා විරහිත කර රාත්‍රියේ කළුවරේම ගමන් කරන්නටයි.

 

සතිපතා 1943 සිට  1945 දක්වා කාලයේදී ක්‍රියාත්මක වුණු එම සේවාව අවසන් වන විට ගමන් වාර 271 ක්  කිලෝග්‍රෑම් 4500 ක   බඩු බාහිරාදිය( ප්‍රධාන වශයෙන්ම ලිපි මළු )  සහ පුද්ගලයන් 860 දෙනෙකු ගෙන ගොස් තිබෙනවා. ඉතා විශිෂ්ඨ කාරණය වන්නේ කිසිදු අනතුරු වාර්තාවකින් තොරව එය කරන්නට තරම් ඒ වෙනුවෙන් කැපවුණු නියමුවන් , තාක්ෂණික නිලධාරීන් ,  ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් දැක්වූ සමත්කමයි.

දෙවරක් හිරු නගින අත්දැකීම මේ ගමනේ මගීන්ට අත්විඳින්නට ලැබුණු නිසා මෙහි ගමන් කළ මගීන්ට  Secret order of double sunrise . නම් සහතිකය ලබා දුන් බව කියවෙනවා.

 

අනුරුද්ධ වැලිගමගේ 


මේ එම සේවාව ගැන එහි සේවය කළ ගුවන් නියමුවෙක් හෙළිකරන තොරතුරු ඇතුලත් වාර්තා චිත්‍රපටයක දිගුවක්



Double Sunrise (2013) - Catalina documentary

 Aviation Voice යු ටියුබ්  නාලිකාව කපිතාන් එල්මෝ ජයවර්ධන  සමග කළ සංවාදය



Flight of the Double Sunrise | ‘ද්විත්ව හිරු උදාවේ පියසැරිය‘




විකි පීඩියා තොරතුරු දිගුව


https://en.wikipedia.org/wiki/The_Double_Sunrise

මේ අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් මේ ගැන ලියවුණු සටහනක්




Double Sunrise: History's Longest Ever Commercial Air Service





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
















මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, August 3, 2024

අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු





































 කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය පටන් ගන්නා සඩ්බරි ( Sudbary) නගරය ජනප්‍රියව තිබුණේ පතල් කර්මාන්තය සහ දැව කර්මාන්තය සඳහා. කැනේඩියන් පැසිපික් දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ඩිපෝවක් ලෙස සංවර්ධනය වුණු මේ නගරයට මේ නම ලැබෙන්නේ එංගලන්තයේ සඩ්බරි ප්‍රදේශයේ තැනැත්තියක් දුම්රිය සේවය ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ වුනු  හින්දයි  ලෝකයේ දෙවන ප්‍රධානතම නිකල්  නිධි  මේ ප්‍රදේශයෙන් හමුවීම නිසා මේ ප්‍රදේශයේ පතල් කර්මාන්තය අතරින් ජනප්‍රිය වුණා.


 අපි නැවතිලා හිටපු හෝටලෙන් ගමන පටන් අරගෙන දවස පටන් ගත්තේ බිග්නිකල් කියන සුවිසල් නිර්මාණය ගාවට ගිහින්.



බිග් නිකල්  ( Big Nickel )




1963 අවුරුද්දේ සඩ්බරි නගරයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් සැමරුම් කරන්නට නිර්මාණය වුණු කමිටුව ජනතා අදහස් විමසීමක් කළා.  එහිදී  ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අතරේ ගිනි නිමන භටයෙකු වූ  Ted Szilva ඉදිරිපත් කළ අදහස නිකල්වලින් යම්කිසි  සිහිවටනයක් හදන්න ඕන කියලයි. ඒ අදහසට පාදක වුණේ නගරය  නිකල් පතල්  කර්මාන්තය සහ බැඳී තිබීම නිසා. මේ නගරයේ පරම්පරා දෙකක පිරිස් වලින් බහුතරය මේ භූගත පතල් වල වැඩ කල අයගෙන් පැවත එනවා.  ඒ සිහිවටනය නිර්මාණය වීම පිළිබඳ විස්තර ඔහුගේ Big Nickel , untold Story .පොතෙන් කියවන්නට පුළුවන්.



අඩි තිහක් උස අඩි දෙකක් ඝනකම මේ නිර්මාණය කිලෝග්‍රෑම් දහතුන්දාහක් බරයි. මේ කාසිය රඳවා තිබෙන කණු දෙක අඩි 12 බැගින් උසක් එකතු කරන නිසා මෙහි මුළු උස අඩි 42ක්. සැබෑ  නිකල් මිල අධික නිසා මේ ප්‍රතිමාව තනා තිබෙන්නේ ස්ටේන්ලස් ස්ටීල්වලින් ( Stainless Steel) . මේ නිර්මාණයේ නිර්මාණ  ශිල්පියා Bruno Cavallo. 



වරින්  වර කෙරෙන පවිත්‍රතා මෙහෙයුම්වලදී මේ නිර්මාණය ශුද්ධ කරන්නට සහ ඔප දමන්නට පැය එකොළහක් පමණ ගතවන බව කියවෙනවා. ඒ වාගේම කැනඩාවේ එකසිය පනස්වෙනි සංවත්සරය සහ විශේෂ අවස්ථාවලදී මෙය වර්ණ ගැන්වෙන ප්‍රක්ෂේපණ තහඩුවක් ලෙසත් භාවිතා වී තිබෙනවා.





 ඩයිනමික් අර්ත්  ( Dyanamic Earth )




 බිග්නිකල් එක ගාවම තියෙන පරිශ්‍රය බාලමහළු හැමටම දැනුම බෙදන අධ්‍යාපන මධ්‍යස්ථානයක්.  නිකල් නිධි හැදුණු ස්වභාවික ක්‍රියාවලිය පියවරෙන් පියවර ආදර්ශන මගින් මෙහි නිර්මාණය කර තිබෙනවා. ඔබට කැමති නම් අපි වගේම සිහිවටන වෙළද සැලෙන් ඒ ආදර්ශන වලට පාදක වුණු පාංශු කොටස් මිලට ගන්නටත් පුළුවන්.   පාසල් විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට විද්‍යා දැනුම සඳහා ක්‍රියාකාරකම් සහ ප්‍රදර්ශන මැදිරි පිරි ඒ පරිශ්‍රයේ පතල් කර්මාන්තය සඳහා යොදාගත් භාවිතයෙන් ඉවත් කළ යන්ත්‍රෝපකරණවල නැගී ඔබටත් පතල් කර්මාන්තයේ සුවිශේෂිතා ගැන යම් අවබෝධයක් ලබන්නට පුළුවන්.





භූගත පතල් සංචාරය  ( Undegreound Mining Tour) 



















අපි ඉදිකිරීම් සඳහා භාවිතා වන තොප්පි දාගත්තා. පතල් සේවකයන් අඳින ඇඳුමින් සැරසුණා. අපි මේ සූදානම් වෙන්නේ කලින් අන්තර්ජාලයෙන් වෙලාව වෙන් කරවා ගත්ත භූගත පතල් චාරිකාවට යන්න. අපට විනාඩි කිහිපයක උපදෙස් මාලාවක් ලැබුනා .කුඩා කණ්ඩායමක් වෙන්කරලා නියාමක වරයෙක් හදුන්වා දුන්නා. 














විදුලි සෝපානයෙන් පහළට ගිහින් අපි පතලකට ඇතුළු වුණා. අතීතයේදී පතල් කැණීම් කළ ආකාරයේ ආදර්ශන ගැන විස්තර දැන ගනිමින් අපි ඉදිරියටම යද්දී  අතීත පතල් ජීවිතය ගතකල පතල් කම්කරුවන් පාවිච්චි කළ උපකරණ ගැන අපේ විස්තර ඉදිරිපත් කරන්නා කදිමට විස්තර කරා. ඇයගේ සීයාත් මේ පතල් වල සේවය කල කම්කරුවෙක්.  දෙවන ලෝක යුද්ධ සමයේදී ලෝක නිකල් නිෂ්පාදනයෙන්  අති විශාල දායකත්වයක් දැරූ කැනඩාව අදත් පතල් කර්මාන්තයේදී ඉතා ඉහළින් ඉන්නා රටක්. මේ ප්‍රදේශයේ මේ ලෝහ නිධි නිර්මාණය වූ ස්වභාවික ක්‍රියාවලිය ඉහල මාලයේදී හොදින් අධ්‍යනය කර තිබුණු හින්ද ශීතල , පස් වල ගඳ සුවඳ අතරේ ඩයිනමයිට් වෙඩි බෙහෙත් අතරේ වෙනස්ම අත්දැකීමක් ලැබුනා කියල කියන්න පුළුවන්.   අද වෙනකොට පතල් කර්මාන්ත තාක්ෂණය අතිශය දියුණු මට්ටමකට ගිහින් පතලේ නොසිට දුරස්ථ පාලක ක්‍රියාවලියකින් යන්ත්‍ර උපකරණ මගින් ඒවා කරන හින්දා අවදානම පහව ගිහින් තියෙන විදිහත් අපට එහිදී හොඳින්ම පැහැදිලි කළා. 


Sudbary නගරයේ තවත් තැන් 


Bell Park




Onapping Falls & AY Jackson Lookout



Northern Ontario Railroad Museum






කිලානි පළාත් උද්‍යානය  ( Killarney Provincial Park )




සඩ්බරි නගරයේ ඉදන්  පැයක පමණ වාහන ධාවනයකින් පස්සේ අපි ආවේ කිලානී පළාත් උද්‍යානයට. 1964  දී ආරම්භ වන මේ පළාත උද්‍යානය වර්ග කිලෝමීටර් 485 ක් පුරා පැතිර තිබෙන රක්ෂිතයක්.  අපි මින් පෙර උතුරු ඔන්ටාරියෝ ගැන ලිපි වලදී කතා කර තිබෙන කැනඩාවේ Group 7 චිත්‍ර ශිල්පී A Y Jackson ගේ බලපෑම මේ ප්‍රදේශයේ පළාත් උද්‍යානයක් ඉදිකරන්නට බලපෑ බව කියවෙනවා.





විශේෂයෙන්ම Canoe  සහ Kayak  පැදීම සඳහා ඉතා විශාල ඉඩකඩක් තිබෙන ජල පහරවල් මේ උද්‍යානය තුළ තිබෙන හින්දා  අනෙක් උද්‍යානවල වගේ නෙවෙයි මෙතැන ඒ උපකරණ කුලියට ගන්නේ පැය ගනනක් වෙනුවට දින ගණනක පදනම ටයි . ඒ වගේම අති විශාල පිරිසක් ඇදෙන්නේ කලබලකාරී බවින් තොර නිස්කලංකව කාලය ගතකරන්නටයි ඒ හින්දා දවස් කිහිපයක් Canoe, Kayak  කුලියට අරගෙන එහෙම නැත්නම් තමන්ගේම උපකරණ ගෙනවිත් කඳවුරු බිම් බඳින අය වගේම ජංගම නිවහන් ( RV - Recreational Vehicles )  මගින් ඇවිත් පරිසර සුව විඳින පිරිසුත් මෙහිදී වැඩිපුර දකින්නට පුළුවන්. 




Light Pollusion  අවම ඉසව්වක හින්දා ඔබ ආකාශ වස්තු නිරීක්‍ෂණය කර සඳහා ආසා කෙනෙක් නම් මෙය කදිම තැනක් .ඒ සඳහා ඉදිකළ නිරීක්ෂණ පහසුකම් මෙහි හොඳින්ම තිබෙනවා. ඒ වගේම මාළු  බාන්න, ඇවිදින්න,  බයිසිකල් පදින්න පළාත් උද්‍යානය තුල පහසුකම් රැසක් තිබෙනවා. 


අනුරුද්ධ වැලිගමගේ




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි