කැනඩාවේ අන්තර් පළාත් මගී ප්‍රවාහන දුම්රිය ආයතනය ලෙස ක්‍රියාත්මක වන්නේ කැනඩා මධ්‍යම රජයට අයත් Via Rail ආයතනයයි. CP - Canadian Pacific සහ CN - Canadian National යන කැනඩාවේ ප්‍රධානතම දුම්රිය සමාගම් දෙක යටතේ තිබූ මගී ප්‍රවාහන දුම්රිය එන්ජින්, ගැල් සහ සම්පත් භාවිතයෙන් 1977 දී මේ ආයතනයේ පිහිටවනු ලැබුවේ ලාභය වෙනුවට මගී ප්‍රවාහනය සේවයක් යන පදනමේ සිටයි. කැනඩාවේ දුම්රිය මාර්ගවල හිමිකාරීත්වය දරන CP, CN සමාගම් දෙක භාණ්ඩ ප්‍රවාහනය තම මූලික ව්‍යාපාරික කටයුත්ත සේ සලකා ක්‍රියා කරන බැවින් මගී ප්‍රවාහනය ගැන ඔවුන් වැඩි තැකීමක් කළේ නැහැ. ඊට අමතරව යුරෝපයේ මෙන් නොව උතුරු ඇමෙරිකා මහද්වීපයේ ජනතාවගේ වැඩි නැඹුරුව තිබෙන්නේ පෞද්ගලික මෝටර් රථ භාවිතය කෙරෙහි නිසා වීමත් කැනඩාවේ දුම්රිය මගී ප්‍රවාහනය ප්‍රචලිත නොවීමට එක හේතුවක්.
Via Rail ආයතනයේ එක් ප්‍රධාන නඩත්තු අංගනයත් ටොරොන්ටෝ අවට මිමිකෝ ප්‍රදේශයේ පිහිටුවා තිබෙනවා ඇමෙරිකාවේ Amtrak ආයතනයේ ටොරොන්ටෝවට එන දුම්රිය නඩත්තු කටයුතු කරන්නෙත් ඒ පරිශ්‍රයේදී. දැඩි දුම්රිය ලෝලියකු වන මට පහුගිය සති අන්තයක ඒ අංගනයේ චාරිකාවකට වරම් ලැබුණේ එහි සේවය කරන ශ්‍රී ලාංකික දුම්රිය ඉංජිනේරු මිතුරකු නිසා. සේවක නීති රීති හා ආයතනික සමාජ මාධ්‍ය සීමා මායිම් නිසා ඔහුගේ නම මෙහි සඳහන් නොකරන අතර මා පෞද්ගලිකව ලබාගත් ජංගම දුරකථන සේයාරූ මෙයට අමුණන්නේත් නැහැ.
සෙනසුරාදා දවසක උදේ මම ඒ අංගනයට ගියේ හේතු දෙකක් නිසා. පළමුවැන්න සෙනසුරාදා මගේත් ,ඔහුගේත් නිවාඩු දවසක් වීම. දෙවැන්න කැනඩාවේ මගී ප්‍රවාහනයේ සුවිශේෂි දුම්රිය වන " The Canadian " දුම්රිය කට්ටලයක් එදා අංගනයේ නඩත්තු කටයුතු වෙනුවෙන් පැමිණ තිබීම. “ ද කැනේඩියන්” දුම්රිය ගැන ඉදිරි දවසක " කැනඩා උරුම" යටතේ ලියන්නම්.
අපි මුලින්ම කළේ ආයතනයේ ආරක්ෂක ක්‍රමවේදවලට අනුව ආරක්ෂිත සපත්තු, ආරක්ෂිත කන්නාඩි, ආරක්ෂිත හිස් වැසුම් සහ ලුමිනස් තැඹිලි පාට ආරක්ෂිත කබාය දාගන්න එකයි. ඒ කර්මාන්ත පරිශ්‍රයකදී විය හැකි අනතුරු අවම කරගන්නයි. ඊට පස්සේ තමයි නඩත්තු පරිශ්‍රයේ විශාල ගරාජයක නවතා තිබුණු ද කැනේඩියන් දුම්රියට නැග්ගේ. ගිම්හාන කාලයේදී ද කැනේඩියන් දුම්රිය මගී ධාරිතාවය වැඩි වන නිසා මේ දුම්රියට ගැල් වැඩි වැඩියෙන් එකතු කරනවා. ඒ නිසා මේ නඩත්තු ගරාජ පරිශ්‍රයේ පීලි දෙකක, ද කැනේඩියන් දුම්රියේ කොටස් නවතා තිබුණා.
අපි මුලින්ම කලේ පසුපස මැදිරියට නැඟලා මැදිරි හරහා ඉදිරියට ගමන් ගන්නා එකයි. Prestige class ,Sleeper plus cabin for two, Sleeper plus upper birth, Economy Class ලෙස මාදිලි හතරක මැදිරි මේ දුම්රියේ තිබෙනවා. Prestige පන්තියේ නිදන මැදිරි දහවල් කාලයේදී එල් හැඩති සෝපානයක් විදියටත් රාත්‍රියේදී ද්විත්ව ඇඳක් බවට පත් කරන්නටත් පුළුවන්. මේ කුටියක් කාමර තුල වෙනමම නාන කාමරයක් තිබෙන කුඩා හෝටල් කාමරයක් වගේ. දුම්රියේ පිටුපසම තිබෙන Park Car එක (ලංකාවේ උඩරට දුම්රියවල නැරඹුම් මැදිරියට සමානයි) අවට වටපිටාව හොඳින් පෙනෙන Panoromic View එකක් තිබෙන එකක්. ඒ ආලින්දයට යාව විවිධ කෑම බීම වර්ග නිරතුරුව තිබෙන කුඩා අවන්හලකුත් තිබෙනවා. මෙය Prestige පන්තියේ ටිකට්පත් හිමියන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්.


පවිත්‍රතා සේවකයින් අදාල කටයුතුවල යෙදෙද්දී කාර්මික නිලධාරි මහතුන් දුම්රිය මැදිරිවල සහ එන්ජිමේ විවිධ නඩත්තු කටයුතුවල යෙදුණා. දුම්රියේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම සහ ශීතකරණ වල තිබෙන දේ නරක් නොවී තබා ගැනීම සඳහා නඩත්තු අංගනයට පැමිණි පසුව මුළු දුම්රියටම විදුලි බලය ලබාදීම සිදු කරනවා.
Sleeper plus cabin for two, Sleeper plus upper birth, Economy Class මැදිරි, දුම්රිය මැදිරියේ තිබුනු මුළුතැන් ගෙවල් දෙක, භෝජනාගාර දෙක සහ කුඩා අවන්හල්. අවට සිරි නැරඹීම සඳහා විවිධ පන්තිවල මගින් වෙනුවෙන් නිර්මාණය කර තිබෙන ඉහළ මාලයේ skyline doom car , තුවක්කු ගබඩා කර තැබිය හැකි පහසුකම් සහිත ගමන්මලු ගැලත් දකින්නට මට ඉඩකඩ ලැබුණා.
මේ දුම්රිය පිටුපසින්ම ගමන් ගන්නා Park Car එකට නම ලැබී තිබෙන්නේ කැනඩාවේ විවිධ ප්‍රදේශවල තිබෙන ජාතික උද්‍යානවල නම් වලින්. 1954 වර්ෂයේදී බඩ්ස් සමාගම විසින් නිෂ්පාදිත Stainless Steel බෝඩි සහිත එවන් Park Car 14 ක් Via Rail ආයතනය සතුව තිබෙනවා.මැදිරියට වීදුරු වහලක් එක් කළ නැරඹුම් කොටසක් ලෙස සකස් කළ Skyline doom car 16 ක් Via Rail ආයතනය සතුව තිබෙනවා. ඒවාත් 1954 වසරේ දී Budd සමාගම විසින් නිෂ්පාදිත Stainless Steel බොඩි සහිත මැදිරි. කැනඩාවේ විවිධ ප්‍රදේශවල තිබෙන විල්වල නමින් නම්වුනු භෝජනාගාර රථ දහතුනක් Via Rail ආයතනය සතුව තිබෙනවා 1955 වසරේ දී Budd සමාගම විසින් නිෂ්පාදනය කළ ඒවා. ඩීසල් දුම්රිය හඳුන්වා දීමත් සමගම CP දුම්රිය සමාගම විසින් මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම සඳහා ඇනවුම් කර භාවිතා කළ මේ මැදිරි 1977 දී Via Rail ආයතනය පිහිටුවන විට එයට පැවරුණා.


තාක්ෂණික සහ වැඩි විස්තර කැමති අයට මේ දිගු උදව්වක් වේවි
https://en.wikipedia.org/wiki/Budd_Company
දුම්රිය මැදිරි වල සිදුවන නිරීක්‍ෂණ කටයුතු, නඩත්තු කටයුතු බලලා අපි ගොඩ වුණේ දුම්රියට බලය සපයන එන්ජින් දෙකින් එකකට. " ද කැනේඩියන් " දුම්රිය සඳහා අවශ්‍ය දැවැන්ත ධාවන බලය සහ විදුලිය සැපයීම සදහා ඇමෙරිකාවේ GM- General Motors ආයතනයේ නිෂ්පාදිත F40PH 2 එන්ජින් දෙකක් හෝ තුනක් එකට අමුණා අවශ්‍යතා මත යෙදවෙනවා 1987 නිෂ්පාදිත මෙවන් දුම්රිය එන්ජින් පනස් තුනක්(53) Via Rail ආයතනය සතුව තිබෙනවා.
තාක්ෂණික සහ වැඩි විස්තර කැමති අයට මේ දිගු උදව්වක් වේවි
https://en.wikipedia.org/wiki/EMD_F40PH
ඊට පස්සෙ අංගනයේම තවත් තැනක නවතා තැබුණු GE - General Electricals ආයතනය 2001 දෙදහස් එක වසරේ දී නිපදවුනු p142 dc වර්ගය දුම්රිය ඇන්ජිමකට නගින්නට මට අවස්ථාව ලැබුණා ඒ වගේම එය පණ ගන්වා ක්‍රියාත්මක කරන හැටි දකින්නටත් ඉඩ ලැබුනා. මෙවන් දුම්රිය එන්ජින් 21 ක් Via Rail ආයතනය සතුව තිබෙනවා.
තාක්ෂණික සහ වැඩි විස්තර කැමති අයට මේ දිගු උදව්වක් වේවි
https://en.wikipedia.org/wiki/GE_Genesis
කැනඩාවේ තිබෙන දැඩි නීතිරීති නිසා දුම්රිය ධාවනය වන විට දුම්රිය ඇන්ජිමේ එහි නියමිත බලපත්‍ර හිමි දුම්රිය රියැදුරන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ගමන් කරන්නට ඉඩක් නැහැ.ඒ වගේම ගුවන් යානයක වගේම එහි සිදුවන උපාංග මෙහෙයුම් දත්ත , දුම්රිය එන්ජිමේ පිටත සහ නියාමන කුටියේ මෙහෙයුම් කැමරා දර්ශන, කළු පෙට්ටියට සමාන පටිගත කිරීමේ උපකරණයක පටිගත කෙරෙනවා. ඊට අමතරව තාක්ෂණික ඉංජිනේරු කාර්ය මණ්ඩලයට අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන දුම්රියේ තොරතුරු රැසක් ලබාගන්නට පුළුවන්. සෙනසුරාදා දවසක් වුණත් වසරේ දින 365 පුරා ක්‍රියාත්මක සේවාවක් නිසා ටොරෝන්ටෝවට පැමිණෙමින් තිබුනු දුම්රිය එන්ජිමක තිබූ දෝෂයක් හදුනා ගන්නටත් ඒ වෙනුවෙන් අමුණන්නට අතිරේක දුම්රිය එන්ජිමක් සූදානම් කරන හැටිත් මට දකින්නට ලැබුනා.
තාක්ෂණික සහ වැඩි විස්තර කැමති අයට මේ දිගු උදව්වක් වේවි
https://corpo.viarail.ca/en/projects-infrastructure/train-fleet
Via Rail දුම්රිය මැදිරි සහ එන්ජින් නවීකරණය යටතේ සීමන්ස් ආයතනයේ නිෂ්පාදිත දුම්රිය කට්ටල මේ වනවිට ඇනියට එකතු වෙමින් පවතිනවා. ඒවා නඩත්තුවට අළුත් ගරාජයකුත් ඉදිවෙනවා . නඩත්තු පරිශ්‍රයේ තිබූ එවන් දුම්රිය කට්ටලයකටත් ගොඩවන්නට මට මේ දවසේදී ඉඩ ලැබුණා .
බලශක්ති සංරක්ෂණය කළ නවීන පහසුකම් වලින් සමන්විත මේ කට්ටලවල අනිත් අන්තයේ දුම්රිය ධාවන කුටියක් තිබෙන නිසා දුම්රිය එන්ජින් මාරු කිරීමක් අවශ්‍ය වන්නේ නෑ.ඒ දුම්රියට ක්ෂණිකවම වේගය වැඩි කරන්නටත් වැඩි වේගයකින් ගමන් කරන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ගමන් කරන මගීන්ට ගමන් කරන බව නොදැනෙන තරමේ සුව පහසුවක් ද ලබා දී තිබෙනවා.
තාක්ෂණික සහ වැඩි විස්තර කැමති අයට මේ දිගු උදව්වක් වේවි
https://www.viarail.ca/en/plan/new-fleet
ඉදිරියේදී ඇල්ටෝ නම් හයිස්පීඩ් රේල් සර්විස් එකක් සඳහා කැනඩා රජය Via Rail හරහා මේ වන විට පිඹුරු පත් සැකසෙනවා. වසර හැත්තෑ එකක් පැරණි දි කැනේඩියන් දුම්රිය ගැල් සහ වසර 38ක් තරම් පැරණි එන්ජින් වෙනුවට විශේෂයෙන්ම දුර ගමන් සඳහා නිෂ්පාදිත නව දුම්රිය කට්ටල ඇණවුම් කිරීම් වෙනුවෙන් මේ වනවිට විට සැලසුම් සකස් කෙරෙනවා .එහෙම වුණොත් කැනඩාවෙදි අධිවේගී දුම්රියක අනාගතයේ දවසක යන්න කියන්න ඉඩක් ලැබෙයි කියන අදහසින් මම මිතුරාත් එක්ක දුම්රිය අංගනයෙන් ආවෙ මතක රැසක් මගේ හිතට එකතු කරගනිමින්. ඒ නොමැකෙන මතක සටහන් එකතු කළ මිතුරාට මගේ හදපිරි ස්තූතිය පිරිනමන්නේ මුදල් ගෙවා දුම්රියේ යන්නට හැකි වුණත් මෙවන් අත්දැකීමක් ගන්නට බොහෝ දෙනෙකුට ඉඩ නොලැබෙන නිසා.
https://en.wikipedia.org/wiki/Alto_(high-speed_rail)
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
ෂා , හොඳ සටහනක්. මමත් හරි කැමැතියි යන්න ඔය වගේ තැන්වලට . අපි දෙන්නම් හොඳ දුම්රිය ලෝලියෝ එහෙනම් මගේ යූ ටියුබ් චැනලයේ හුඟක් වීඩියෝ දාල තියනව . අපි කැනේඩියන් ටුවර් එක ගැනත් සාකච්ඡා කරලා තමයි අන්තිමට ජපානයට ගියේ . ද කැනේඩියන් ඉවත් කරන්න කලින් එන්න වෙයි වගේ . කැනේඩියන් එන්ජින් ලස්සනයි . තියනවද දන්නේ නැහැ ngauge මොඩෙල් ට්‍රේන්
ReplyDelete