මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 22, 2025

හැබෑම නම් තව මරේ මරු



 තරු පොකුරේ සැගවුණාට 

දුර අහසේ ඉගිලුනාට 
මහ පොළොවයි මේ අපට හිමි 
මේ පොළොවයි අප හැමට හිමි 

පඩිය පඩිය එසවුණාට
තට්ටු හතට ලංවූණාට 
මුල අමතක වෙනවා නම් බොරු 
පෙන්නුවාට හිතට බෑ බොරු 

විසල් මන්දිරේ ළගදී 
අළුත් වාහනේ ළගදී 
හිනා පිරුණු මුණ නම් බොරු 
හැබෑම නම් තව මරේ     මරු 

එක බත්පත බෙදන් කාපු 
එකම ඇඳක  බර දරාපු 
මට මොකටද තවත් නම් බොරු 
ඇයි මෙච්චර පෙන්නන්නෙ බොරු බොරු 

අනුරුද්ධ වැලිගමගේ   












2025 නොවැම්බර්  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



Saturday, November 15, 2025

කැනඩාවේදී වැඩිම දෙනෙක් බැලූ ප්‍රදීපාගාරය තිබෙන Peggy’s Cove වෙත ගියදා

 



















Peggy’s Cove  කියල කියන්නේ පළාතේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන කුඩා ධීවර ගම්මානයක්. හැලිෆැක්ස් අග නගරයේ  ඉඳන් නිරිත දිග දිශාවෙන් තිබෙන මේ ගම්මානය කැනඩාවේ ප්‍රමුඛ සංචාරක නවාතැන්පොළ අතුරින් එකක්. කැනඩාවට මුලින්ම ආ ප්‍රංශ නාවිකයා ලෙස හැඳින්වෙන Samuel de Champlain  1766  දී තමන්ගේ අම්මාගේ නම වන St. Margeret   කියන එක මෙතන තිබෙන බොක්කට භාවිතා කළාලු . මාගරට් කියන නමට කියන විකට නාමය වන " පෙගී " කියන නමින් ඒ ප්‍රදේශය ජනප්‍රිය වුණා කියලා කියන්නේ. තවත් කතාවක කියැවෙන විදියට Halibat Rock  පර්වතයේ හැපිලා නැවක්  විනාශ වුනාලු. ඒ නැවෙන්  දිවි ගලවා ගත් පිරිස අතරේ හුන් තරුණ ගැහැණු ළමයෙක් ප්‍රදේශයේ කෙනෙක් විවාහ කර ගත්තාලු. ඒ ගෑණු ළමයට යෙදුණු විකට නාමය වන  " පෙගී "  නමින් මේ ප්‍රදේශයේ ජනප්‍රිය වුණා කියලත් කියනවා.




 1811 දී ජර්මන් පවුල් හයකින් පටන්ගත් මේ ගමට  කලින් කලට පිරිස් එකතු වුණු ධීවර කර්මාන්තය ප්‍රමුඛ කරගත් ප්‍රදේශයේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වුනා. මනස්කාන්ත භූමිදර්ශන සිතුවමට නැගුනු සිත්තරුන්ගේ නිර්මාණ හරහා මහි අසිරිය නගර කරා ගිහින් සංචාරකයින් මේ පැත්ත බලන්න ආව කියල කියනවා. පසු කාලීනව ඡායාරූප ශිල්පීන්ගෙන් නිරන්තර අවධානයට මේ ප්‍රදේශය ලක්වුනු  නිසා වැඩි වැඩියෙන් පිරිස් මේ කලාපයට ඇදුනා. අදත් විශේෂයෙන්ම ගිම්හාන කාලයට මේ පැත්ත කැනඩාවේ විවිධ ප්‍රදේශ වලින් වගේම පිටරටවලින් එන සංචාරකයින් ගෙන් පිරී ඉතිරී යනවා.




අවුරුදු මිලියන 400ක තරමේ ඉතිහාසයක් ඇති පර්වත මතුපිට තිබුණු අයිස් තට්ටුව මීට අවුරුදු විසිදහසකට තරම් කලකදී දියවී පර්වත සහිත මේ ප්‍රදේශයේ ඉතුරු වුණා කියලයි භූ විද්‍යාඥයන් කියන්නේ.  බලන්න ලස්සන පාට පාට ගෙවල් තිබෙන ධීවර ගම්මානයට අමතරව මේ වෙනකොට වැඩි දෙනෙක් මේ ප්‍රදේශයට එන්නේ කැනඩාවේ වැඩිම පිරිසක් නැරඹූ බවට වාර්තා වක් තිබෙන ප්‍රදීපාගාරය බලන්නයි.  එතරම් උසක් නැති ප්‍රදීපාගාරයක් වුණත් ඉර බැස යන මොහොතේ පර්වතය මත තිබෙන ප්‍රදීපාගාරය සේයාරු ගත කරන්න පොරකන පිරිස අතරේ අපිත් ඒ අසිරිය දැක්කා.




Peggy’s Point Lighthouse




පර්වත බහුල මාග්‍රට්  බොක්කේ නාවික ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා ලී වලින් තැනුණු මඩුවක වහලේ භූමිතෙල් ලාම්පුවක් පත්තු කරන්නට 1868 දී්‍ ප්‍රදේශවාසීන් කටයුතු කළා.  රිදී තැවරූ කණ්ණාඩියක් පරාවර්තකයක් විදියට භාවිතා වුනා.  අද අපි දකින අඩි 49 ක් උස රතු සහ සුදු පැහැයෙන් අට පටන් හැඩයේ කොන්ක්‍රීට් ප්‍රතිපාගාරය ඉදිකර තිබෙන්නේ 1914 දී.  1954  දී එඩ්නා සුළි කුණාටුවෙන් විනාශ වීම නිසා ඉවත්කරන තුරු ප්‍රදීපාගාරය  අසල ප්‍රදීපාගාර පාලකවරයා වෙනුවෙන් නිවසක් තිබුණත් 1958 දී එය යාන්ත්‍රීකරණය  වූ පසු  ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරුණු  නිසා යළිත් නිවසක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණේ නෑ . එම යාන්ත්‍රීකරණයේදී රතු එළිය වෙනුවට සුදු එළියට ප්‍රදීපාගාරයේ පහන මාර වුණා. 1970 දී එය කොල පාට එළියක් ලෙසත් යළිත් 2007 දී ජාත්‍යන්තර සම්මතයට අනුව රතුපාටටත් මාරු කෙරුනා. මෙය අදත් ධීවරයන් සහ නාවික යාත්‍රා වෙනුවෙන් සේවය සලසන ප්‍රමුඛ ප්‍රදීපාගාරයක්.  




මුද්දර සහ සමරු ලියුම් කවර ලබා ගත හැකි කුඩා තැපැල් හලක් 2019 වනතුරු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබූ බවත්  එහි ප්‍රදීපාගාරයක හැඩැති විශේෂ මුද්‍රාවක් තිබූ බවත් ඉතිහාසය කියැවෙනවා.  2021 දී මෙහි පැමිණෙන සංචාරයකින්ගේ ආරක්ෂාව සඳහා පර්වත මත යාම අවම කරමින් සොයාරූ සහ වීඩියෝ ගත කිරීම සඳහා විශාල වේදිකාවක් ඉදිකර තිබෙනවා එහෙත් පර්වත අතරේ දුවන පනින පිරිස් වලින් නම් අදත් අඩුවක් නෑ.












SwissAir 111 Flight Memorial



ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට ස්විස්ටර්ලන්තයේ  ජිනීවා බලා 1994 සැප්තැම්බර් දෙවැනිදා ගමන් ගත් SwissAir 111  ගුවන් යානය අනතුරට ලක්වුණේ මීට කිලෝමීටර් අටක් තරම් මහ මුහුදේ දී . යානයේ ගමන් ගත් මගීන් 215 දෙනාත්  කාර්ය මණ්‍ලයේ  14 දෙනාත් මෙහිදී මිය ගියා . ඒ ඛේදවාචකයේදී ඒ වෙනුවෙන් සියලු මෙහෙයුම් දියත් කෙරුණේ  කැනඩා රජයේ අනුග්‍රහය යටතේ මේ ප්‍රදේශයේ සිටයි. ඒ ගුවන් අනතුරින්  මිය ගිය සියලු දෙනා සැමරීම පිණිස ඉදිවුණු  ස්මාරකයක් අදත්  Peggy’s Cove වලදී  ඔබට දකින්න පුළුවන්.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


Saturday, November 8, 2025

මොඩල් කෝච්චි පිස්සුව





කෝච්චි කියල කියන්නෙ සංකීර්ණ තාක්ෂණික කාරණා ගොඩක එකතුවෙන් බිහිවුනු කර්මාන්තයක්.  ඒ වගේම තමයි කෝච්චි කියල කියන්නෙ අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවාහන මාධ්‍යයක්.  රටින් රටට දුම්රිය ප්‍රවාහනය විවිධ වෙනවා වගේම පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනයේ  පටන් විශේෂ සැපදායක ගමන් මාධ්‍යයක් වශයෙනුත් සංචාරක කර්මාන්තයේදිත් ඉතිහාසය මුළුල්ලේම කෝච්චිය වෙනස් වෙලා තියෙනවා.




 Railway Modelling  කියන බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි වදනින් වගේම උතුර ඇමරිකාවේ Model Railroading  කියලා කියන්නේ විනෝදාංශයක් විදිහට සැබෑ දුම්රියවල  ඇති දෑ අඩු පරිමාණයකට සකස් කළ වෙනමම දුම්රිය කට්ටල  සහ අනෙකුත් අංග භාවිතා වන විනෝදාස්වාදන කර්මාන්තයක්. සැබෑ ප්‍රමාණයෙන් අඩු පරිමාණයකට සකස් වන ඒ වගේ පද්ධතිවල ලෝකයේ මෙතෙක් භාවිතා වුනු සියළුම දුම්රිය එන්ජින්, විවිධාකාර මාදිලි වල දුම්රිය ගැල්, වීදි රථ, දුම්රිය මාර්ග සංඥා පද්ධති වගේම පාරවල් , පාලම්, වාහන,  වරාය කඳු,ගංඟ, බිම් ගෙවල් වගේම විවිධ පරිසර පද්ධතීත්  තියෙනවා.




 ඉතිහාසයේ  කියවෙන විදිහට මුල්ම මොඩල් රේල් එක ඉදිකර තිබුනේ 1859 දී ප්‍රංශ අධිරාජයා වුණු තුන්වන නැපෝලියන්ගේ අවුරුදු තුනක කුඩා ළදරුවා වෙනුවෙන් පැරීසියේ Chateau De Saint Cloud මන්දිර භූමියේ දී. ඒවගේම පැරණිතම ක්‍රියාකාරී මොඩල් රේල්වේ එක  හදල තියෙන්නේ 1912 දී Lancashire and Yorksire Railway සමාගමේ සිග්නල්මන්වරුන්ගේ පුහුණු කටයුතු සඳහායි .වර්තමාන National railway museum  භූමියේ තිබුණු එය  1995 දක්වා ක්‍රියාත්මක වී තිබෙනවා. 




මොඩල්  කෝච්චි විවිධ පරිමාණයන්ගෙන් සහ පීලි පරතරවලින් නිෂ්පාදනය කර තිබෙනවා. සැබෑ පරිමාණයෙන් හාරසිය පනහෙන් එකක්( 1 : 450)  වන ටී (T )  වර්ගයේ දුම්රියේ  සිට සැබෑ පරිමාණයෙන් විසිදෙක දශම පහක් වන( 1 : 22.5 ) ජී (G ) වර්ගය දක්වා විවිධ පරිමාණයන්ගෙන් මේ දුම්රිය කට්ටල සහ උපාංග නිර්මාණය වී තිබෙනවා.  ජී වර්ගයේ  දුම්රිය කට්ටල  වල මගීන් කිහිප දෙනෙකුට ගමන් කරන්නටත් පුළුවන්.  සමහර දුම්රිය ලෝලීන්ගේ ගෙවතුවල  වගේම විවිධ දුම්රිය කෞතුකාගාර සහ සංවිධාන තම තමන්ගේ පරිශ්‍රවල මේවා සකස් කරගෙන ක්‍රියාත්මක කරනවා. ඒවගේම රටින් රටට මේ එකම පරිමාණ වල වුණත් සුළු සුළු වෙනස්කම් තියෙන්නත් පුළුවන්




 
ScaleRatio
T1:450
ZZ1:300
Z1:220
N1:160
2mm1:152
TT1:120
3mm1:101
HO1:87
OO1:76.2
S1:64
O1:48
11:32
G1:22.5

   

රටින් රටට,  කලාපයෙන් කලාපයට අනෙකුත් දුම්රිය පරිමාණ භාවිතය වෙනස් වෙනවා. බොහෝ විට ඒවා පෞද්ගලික මට්ටමින් නිවෙස්වල වගේම කෞතුකාගාර, වෙළඳ ප්‍රදර්ශනාගාර, සහ විවිධ ජංගම ප්‍රදර්ශන වලදීත් ඔබට දකින්නට පුළුවන්. 

පීලි අතර පරතරයත් වර්ග කිහිපයක් දකින්නට පුළුවන්. නිෂ්පාදිත සමාගම් වගේම NEM ( Normen Europäischer Modellbahnen ) සහ NMRA ( The National Model Railroad Association )  කියන සංවිධානවල පරාමිතික අනුවත් මේවායේ පීලි අතර පරතරය සකස්ව තිබෙනවා මිලිමීටර් 4.5  සිට  මිලිමීටර් 260 දක්වා විවිධ පරතරවලින් මේවා නිෂ්පාදනය වී තිබෙනවා.


ඉතිහාසයේදී මේ දුම්රිය එන්ජින් බලගැන්වී තිබෙන්නේ Clockwork  කියන දුනු සහ දැති මත බලය එකතු කරන ක්‍රියාදාමය භාවිතයෙන්. ඔබ කුඩා කාලයේ භාවිතා කළ කරකවන එලාම් ඔරලෝසුවල තිබුණු ක්‍රමවේදයත් මෙයයි. ඒ ක්‍රමයේදී දුම්රිය නතර වෙන්නේ දුනු බලය ඉවර වෙන විදිහටයි. වර්තමානයේදී බැටරි බලයෙන් වගේම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මොඩල් කෝච්චි  තිබෙනවා. ඒවා AC - Alternating Current ඒ.සී සහ DC - Direct Current ධාරාවන්ගෙන් බලය ලබා ක්‍රියාත්මක වෙනවා. බොහෝවිට විදුලියෙන් ක්‍රියාත්මක වන මෝඩල්  කෝච්චිවල පීලි දිගේ විදුලිය සම්ප්‍රේෂණය වෙලා දුම්රියෙන්  එන්ජිමේ මෝටරය ක්‍රියාත්මක වීමෙන් තමයි ධාවනය සිද්ධ වෙන්නේ.

එතරම් තාක්ෂණික දැනුමක් නැති වුණත් කෝච්චි ගැන තියෙන උන්මාදය නිසා උතුරු ඇමරිකාවේ ජනප්‍රිය වගේම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ඇති HO  පරිමාණයේ දුම්රිය කට්ටල කිහිපයක් පැරැණි දුම්රිය ලෝලීන්ගෙන් මිලදී ගන්නට මට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට ගෙදර ඉඩක් හදාගෙන ඒවා ධාවනය කරලා විනෝද වෙන්න පසුබිමක් සකස් කරන්න බලාගෙන ඉන්නවා.

කාට හරි මේ ගැන වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් මේ දිගු  ප්‍රයෝජනවත් වේවි.


https://en.wikipedia.org/wiki/Rail_transport_modelling

https://hmrs.org.uk/

https://www.morop.org/index.php/en/

https://www.nmra.org/

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                                                      සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


Saturday, November 1, 2025

සරු ගේය පදවැල් අතුරා...



සරු ගේය පදවැල් අතුරා 
නිති සතුට බෙදමුද මිතුරා 
නව නළු රසය ගෙන කලතා 
මිහිමඩල .... රඟමඩල ....සරු සාර කල  වියතා .....

සරු  මහරු පදරුත් ගලපා
සුරු අනගි නිමැවුම් කෙරුවා //
තරු අකුරු මත හිත රඳවා
ගරු නමක් මෙහි පැල කෙරුවා 

සරු ගේය පදවැල් අතුරා....

හෙළ ලකුණු මතකය ඔස්සේ 
පසුතලය හැඩවී ඇත්තේ //
අප වෙසෙන මේ හිම පියසේ 
ලක් මතක වැසි වැටෙනාසේ 

සරු ගේය පදවැල් අතුරා....

කෙටිකතා පොත් පිටු අතරේ 
මුල් සමයෙ  ටෙලිනළු මැද්දේ // 
නිති මතුව එන යන සබදේ 
අපි පතමු ජය සිරි නිබදේ //



ගී පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිදු ජයතිලක, ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න



සටහන - ටොරොන්ටෝ ප්‍රජාවේ කලා කටයුතු වලදී නිරතුරු තම දායකත්වය දක්වන බන්දුල 
                කුරුවිට ආරච්චි මහතා වෙනුවෙන් පැවති ප්‍රණාම උළෙලේ උපහාර ගීතය 



බන්දුල අය්යාට උපහාර පිණිස යම් පිරිසක් උත්සවයක් සංවිධානය කරන බව රූපණ මාධ්‍ය ජාල ප්‍රධානි වීරා ෆොන්සේකා මට කිව්වෙ අගෝස්තු මාසෙ දවසක . " අපි මොනවා හරි කරමු " කියල පටන් ගත් කතාබහට කරුණු කීපයක් එකතු වුනා. ඒ අතරෙ තිබුනු දෙයක් තමයි උපහාර ගීතයක් ලියන එක. 

වැඩසටහනේ ආකෘතිය ගැනවත් , ඊට සම්බන්ධ වන සම්පත් දායකයින් ගැනවත් මට තොරතුරු ලැබුනෙ නැහැ. මම ස්වයං වාරණ දෙකක් දාගත්තා. එකක් බන්දුල අය්යාගේ නම නොලියා ඉන්න. දෙවැන්න බොරුවට පේන අගය කරන වචන එකතු නොකර ගන්න. මම දවස් කීපයක්  බන්දුල අය්යා කල කී දේවල් ගැන හිතුවා.  මුලින්ම ලියැවුනේ " සරු ගේය පදයක අතුරා " කියන පෙල. පස්සෙ  සංගීතයට ගැලපෙන්න " සරු ගේය පදවැල් අතුරා"  කියල ඒක වෙනස් වුනා.

හැබැයි මට ලැබුනු ප්‍රතිචාර වලින් මට හිතුනෙ මම බන්දුල අය්යාට සාධාරණයක් කලා කියලයි. ඒ සමරු දේශනය සහ වාර්තා වීඩියෝවේ විස්තර කල බන්දුල අය්යාව විනාඩි 3 කින් ආවරණය කරන්නට මට පුළුවන් වුනු හන්ද. අපි කැනඩාවේ සංගීත නිර්මාණ ශිල්පියෙක් ලවා යම් උත්සාහයක යෙදෙන කොට සංවිධායක මණ්ඩලය තරිදු ජයතිලක සම්බන්ධ කරගෙන ලංකාවෙන් සංගීත නිර්මාණය කරගෙන තිබුනා. ඇත්තටම තරිදුගේ නිර්මාණයට මම කැමති වුනා. ඒක හරි ලස්සන වැඩක්.

උත්සවයේදී එය මියුරු ලෙස ගායනා කලේ ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා මිතුරා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න දියණියයි. හැබැයි කවුද ගීය ගායනා කරන්නේ කියල මම කලින් දැනගෙන හිටියෙ නැහැ.  
















මේ ඒ උත්සවය ගැන මා ලියූ සටහන 


බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු මල් පොකුර " ආදරණීය සැඳෑවක්"


https://ahasgawwenehalokaya.blogspot.com/2025/10/blog-post_11.html