පළමූවන ශ්‍රේණියේ පටන් දහතුන වසර දක්වා මම ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන් . කුඩා කාලයේ පටන් අපොස සා පෙළ විභාගය දක්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව හදාරා එයට විශිෂ්ට සාමාර්ථයක් ( D - ඩී එකක් ) ගන්නට මට පුළුවන්කම ලැබුණා. මා එහි වැඩි ගෞරවය දෙන්නේ මගේ පියාටයි.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා තිබූ මගේ පියාගේ බලපෑම නිසා ඉංග්‍රීසි බසින් ලියැවුනු දේ කියවන්නටත් ලියන්නටත් මට හැකියාව ලැබුණා . මුල් කාලයේදී අපේ ගෙදරට දින පතා Daily News පුවත්පත වගේම ඉරිදා Sunday Observer පුවත්පතත් ගත් අතරේ එහි කතුවැකියේ කොටසක් දිනපතා කියවන්නටත් එහි මුල් පිටුවේ ඇති වචනවලින් ඔහු තෝරා ගත් වචන දහයක් ලියන්නටත් (Dictation ) අපට නියමව තිබුණා. ඒ පුරුද්ද වියදම් වැඩිවීමත් එක්ක සති අන්තයේ ගැනුණු The Sunday Times පුවත්පත දක්වා අඩුවුණත් දිනපතාම මටත් මගේ මල්ලිටත් කතුවැකියේ කොටසත් වචන දහය ඩික්ටේෂන් ලිවීමත් සාපෙළ විභාගය දක්වාම කරන්නට සිදුවුනු දෙයක්.
රැකියාවේදී සහ උසස් අධ්‍යාපන කටයුතුවලදී මම ඉංග්‍රීසි භාවිතා කළත්, ඉංග්‍රීසියෙන් කතාබහ කෙරුණේ බොහොම අඩුවෙන් කිව්වොත් ඒක හරි. ශ්‍රී ලාංකික සමාජයේ ඉංග්‍රීසිය කඩුවක් වී සමාජයේ විවිධ අයවලුන්ට කෙටෙන්නේ ඒ නිසා. විදේශගත වන්නට ගත් තීරණයක් එක්ක IELTS විභාගයේ Speaking කොටස හොඳින් සමත් වුණේ බ්‍රිතාන්‍ය කවුන්සලයේ පුස්තකාලයේ සති දෙකක් කළ නොකඩවා කැපවීම නිසා.
ඒත් මම විශ්වාස කරන්නේ මම බය සැකකින් තොරව ඉංග්‍රීසි කතා කරන්නට පටන් ගත්තේ කැනඩාවට සංක්‍රමණය වුණාට පස්සේ කියලයි ඒ සඳහා ටොයික් ඩෝස් මාස්ටර්ස් වගේම රැකියා ස්ථානවල බොහෝ දෙනා උදව් වන බව මම තරයේ විශ්වාස කරනවා. ලෝකයේ ඕන තැනක ගිහින් තැනේ හැටියට ඇනේ ගහගන්න භාෂාව පැත්තෙන් එය මහත් පිටිවහලක්.
මගේම උදාහරණ අරගෙන මම ඔය ටික ලිව්වේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීය නිසා ඉංග්‍රීසි කතා කරන්න ගියාම ලංකාවේ අයට වන පාඩුව ගැන කියන්නටයි. අන්තර්ජාලය සහ You tube නිසා වත්මන් පරපුරට අපට වඩා සම්පත් වැඩිපුර ලැබුණත් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම කතා කරන ඉංග්‍රීසිය දියුණු කරගත්තොත් හරිම වටිනවා කියන එක සහතික ඇත්තක්.
සිංහලෙන් සරලව දේ කියාදෙන හිටපු ප්‍රවීණ ගුවන් නියමු එල්මෝ ජයවර්ධන තමන්ගේ විශ්‍රාමික ජීවිතයේදී වැඩි සද්ද බද්ද නැතුව ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සුන්ට උදව් වන කෙනෙක් . විශ්වවිද්‍යාල සහ උසස් පන්තිවල සිසුන්ගේ ඉංග්‍රීසි කතාව දියුණු කරන්නට ඔහුගේ කැන්ඩල් ඒඩ් ආයතනය අපූරු වැඩක් කරනවා වැඩසටහනේ නම " ටෝක් බඩීස් ".
ඒ වැඩසටහනේ දෙපිරිසක් ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය තමන් ගැන රචනාවක් ලියල කැන්ඩල් ඒඩ් ආයතනයේ නොමිලේ ලියාපදිංචි වෙනවා. සම්පත් දායකයින් විදියට ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවල, විවිධ වයස්වල , විවිධ තරාතිරම්වල අය කැන්ඩල් ඒඩ් ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්නවා. සම්පත් දායකයන්ට කරන්න තියෙන්නේ සතියකට පැයක් තමන්ට නිදහස් වෙලාවක් බලලා තමන්ට ලබා දුන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කෙනා එක්ක කතා කරන එකයි.
ඔබ සම්පත් දායකයෙක් වුණොත් කැන්ඩල් ඒඩ් ආයතනයේ " ටෝක් බඩිස්" ව්‍යාපෘති සම්බන්ධීකාරකවරිය ඒ ඒ කාර්තුවට සකස් කළ වැඩසටහනේ ඔබට වෙන් කළ අයගේ විස්තරත්, ඔවුන්ගේ රචනාත් එවනවා. ඒ වගේම සතිය මැදදී අදාළ කෙනා ඔබේ දුරකථන අංකයට වට්ස් ඇප් පණිවුඩයක් එවනවා.
මම නම් කරන්නේ මගේ සති අන්තයේ ඉඩක් ඇති වෙලාවක් බලල ලංකාවේ කෙනාට ඒ ගැන දැනුම් දෙන එකයි පස්සේ පැයක් ඔහු හෝ ඇය එක්ක ඉංග්‍රීසියෙන් විවිධ ධනාත්මක දේ ගැන කතා කරනවා. ඒ වගේම ඔවුන් ඉගෙන ගන්නා ක්ෂේත්‍රය අනුව මා දන්නා අඳුරන අය වගේම ඔවුන් සම්බන්ධතා පටන් ගත යුතු යැයි සිතන අය ගැනත් මගේ අදහස් කියනවා. ලංකාවේ අයගේ පුරුද්ද ඉක්මනින්ම දේවල් ලබා ගැනීමත් පහසු ක්‍රමයට මුදල් හෙවීමත් කෙරෙන කාරණා වුණත් පුද්ගල සම්බන්ධතා වගේම අමතර රැකියා, ස්වේච්ඡා ව්‍යාපෘති මගින් ලබාගත හැකි අමතර වාසි ගැනත් කැනේඩියානු අත්දැකීම් ඇසුරෙන් ඔවුන්ට පහදා දෙන්නට මම උත්සාහ කරනවා
කෙනෙකුට මුදල් දෙනවාට වඩා අධ්‍යාපනය සහ ලෝකයට විවෘත කිරීම තුළින් වන පුද්ගල සංවර්ධනය වඩා වටිනා බවත් කෙනෙකු දුප්පත් වෙලා ඉපදුනත්,දුප්පත් වෙලාම මිය නොයා යුතුයි කියන අදහසෙත් මම ඉන්න හින්දා විවිධ නිර්මාණ හා පෞද්ගලික කටයුතු අතරේ කාර්යබහුල සති අන්තයෙන් කොහොම හරි පැයක් මේ වැඩේට අයින් කරගන්න මට බැරි නෑ.
ඔබටත් ඒ කැපවීම කරන්න පුළුවන් නම් , පුළුවන් කාර්තුවකදී ටෝක් බඩී සම්බන්ධීකාරකවරිය දැනුවත් කරන්න ඔබට පුළුවන්. එතකොට ඔබටත් ඔබේ අත්දැකීම් වගේම ඔබේ දක්ෂතාවය තවත් කෙනෙකුගේ ජීවිතේ එළිය කරන්නට දායක කරන්න පුළුවන්. මුදලින් කරන උදව්ව එක වරක් කරන ප්‍රධානයක් වුණත් කෙනෙකුගේ ජීවන තත්ත්වය උසස් කරන එක ප්‍රජාවක්ම දියුණු කරන වටිනා සම්පතක් කියලයි මම හිතන්නේ.
ආයතනය ගැන සහ ඒ ව්‍යාපෘති තොරතුරු පහත දිගුවලින් ඔබට දැන ගන්න පුළුවන්
https://www.candleaid.org/english-programme
සේයාරූ - අන්තර්ජාලයෙන් Pixabay free
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.



.jpg)
.png)


No comments:
Post a Comment