මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 12, 2022

ජීවිතය විනිවිද දකින මලයාලම් චිත්‍රපට 5 ක්.

චිත්‍රපට ලෝකය 16.

ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර්  මාණ  රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර්  මාණ අතරේ වර්  තමානයේදී ඉතා ඉහල ජනප්‍රියත්වයක් දරන්නේ මලයාලම් චිත්‍රපට කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ. තවත් පැත්තකින් මලයාලම් සිනමාවට පසුබිම් වන ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ගහකොළ , පරිසරය සහ මිනිස් හැඩරුව , ගති ලක්ෂණ සමහරක් ශ්‍රී ලාංකික අපට සමාන ඒවා නිසා ඒවා අපට අපේම අත්දැකීම් විදිහට පෙනෙන්නත් පුළුවන්. ඉතිහාසය පුරා කලින්  කල ලංකාවේ ජන ජීවිතයට කේරල බලපෑම එක්ව තිබෙන නිසා ඉංග්‍රීසි උපසිරැසි ඇති ඒ චිත්‍රපට අපට ගලපා ගන්නට අසීරු නැහැ. ඔවුන් කථාකරන සමහර වචනත් අපට හුරු බවක් තිබෙනවා.

පසුගිය කාලයේ මා බැලූ එවන් චිත්‍රපට අතුරින් 5 ක් ඔබේ අවධානය ට යොමු කරන්නට හිතුවේ ඔබත් ඉන් යම් වින්දනයක් ලබනු ඇතැයි යන සිතුවිල්ලෙන්.මීට පෙර ම ලියූ චිත්‍රපට ලෝකය සටහන් 15 තුලින් ලෝකයේ විවිධ රටවල විවිධ භාෂාවලින් නිපැයුණු චිත්‍රපට 100 කට වැඩි ගණනක් ගැන තොරතුරු එහි Trailer links (යොමුව ) සමගින් ගොනු කර තිබෙනවා.  ඒ හින්ද ඔබට ඉඩ ඇති පරිදි ඒවා කියවන්නත් ආසා කරන චිත්‍රපට බලන්න විදිහක් හොයාගන්නත් පුළුවන්.


Bangalore Days (2014)

 කුන්ජු , කුට්ටන් සහ අජූ කියන්නේ නෑනා මස්සිනාවරු තුන් දෙනෙක්. බාල කලේ ඉදන්ම ඔවුන් හරිම එකතුයි. දෙමාපියන් දික්කසාදව ඉන්නා අජූ මෝටර් සයිකල් කාර්  මිකයෙක් විදිහට ජීවිතය පටන් ගන්නවා. කුට්ටන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට නගරයට ගියත් ඔහුගෙ හිත තාමත් තියෙන්නෙ ගමේ. මේ පිරිමි ළමයි අතර ඉන්නා රූමත් තරුණිය කුන්ජු කළමනාකරණ අංශයෙන් ඉහල උපාධිය ලබන්නට සුදානම් වෙද්දී , රැකියාවට තදින් බැදුණු දාස් ට විවාහ කරලා දීලම නගරයට යවන්න දෙමාපියන් සුදානම් වෙන්නේ යෝජිත විවාහයක් විදිහට.    

ගුප්ත , නිහඩ දාස් සමග නගරයට යන කුන්ජු ට ගෙවන්න වෙන්නෙ නීරස ජීවිතයක්. ගුවන් සේවිකාවක හා පෙමින් බැදෙන කුට්ටන් වඩාත් සමාජශීලී වෙනවා. දිනක් දාස් සමග රණ්ඩු වන කුන්ජු නිවසේ වසා තිබුණු කාමරයක් අරිනවා. එය පුරවා තිබෙන්නේ වෙනත් කාන්තාවකගේ සේයාරූ සහ විවිධ බඩු බාහිරාදිය දකින ඇය ගමට යනවා. තම මව සහ නැගණිය අතහැර යන පියා නිසා  කුට්ටන් ට අම්මාව නගරයට ගේන්නට වෙනවා.මේ අතර තරග තහනමකට ලක්ව සිටින අජූ සාරා නම් රේඩියෝ නිවේදිකාවගේ හඩට වශීවී පෙමින් බැදෙන්නේ ඇය හැබැහින් නොදැක. දිනක් හැබැහින් ඇය දකින ඔහුට පෙනෙන්නේ ඇය ආබාධිත තරුණියක බවයි.

දාස් ගෙන් වෙන්වන්නට සුදානමින් සිටින කුන්ජු ට දැනගන්න ලැබෙන්නේ දාස් හිටපු මෝටර් සයිකල් ශුරයෙකු බවත්, ඔහුගේ පැරණි පෙම්වතිය නටාෂා ඔහුත් සමග මෝටර් බයිසිකලයේ යද්දී අනතුරකට ලක්ව මියගිය නිසා දාස් බලවත් කම්පාවෙන් ඉන්නා බවයි. නටාෂා ගේ දෙමාපියන් හමු වී දාස් ගේ හිත හදන කුන්ජු දාස් සමග හොද ජීවිතයක් පටන් ගන්නවා. ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යත්වයක් සදහා යන්නට සුදානමින් සිටි සාරා අජූ සමග බැංගලෝරයේ රැදෙනවා. අජූ මෝටර් සයිකල් තරගයෙන් දිනනවා. කුට්ටන් මිෂෙල් එක්ක විවාහ වෙනවා. අන්තිමේදී දාස් , කුන්ජු , අජූ , සාරා , කුට්ටන් සහ මිෂෙල් සතුටින් එකතු වෙනවා .  

  

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Bangalore_Days

 Trailer  යු ටියුබ් දිගුව 




The Great Indian Kitchen (2020)

බහරේන් වල හැදුණු වැඩුණු ඉන්දියානු නැටුම් ශිල්පිණියක් යෝජිත විවාහයකින් විවාහ වන්නේ සම්ප්‍රදායික ඉන්දීය පවුලක ගුරුවරයෙකු සමගයි. ඒ නිවසේ පුරුදු පුහුණු වූ හැටියට අම්මා උදේ පටන් රෑ වනතුරු පියාගේත් , පුතාගේත් සියළු දේ කරනවා. නැන්දම්මා  තම සැමියාගේ දත් බුරුසුව පවා සූදානම් කරමින් පළමුව පිරිමින්ට කෑම කන්නට දෙනවා. වැනසූ මේසය අස්කර ඇය කෑම ගන්නේ අන්තිමටයි. ගැබ්ගත් තම දියණියට උදව් වන්නට හදිසියේම  නැන්දම්මා ගිය පසු මේ සියල්ල කරන්නට වන්නේ අළුත් ලේලියටයි.

ඇගේ ගුරු සැමියා තම බිරිදව හරිහැටි තේරුම් ගන්නේ නැහැ . ලිංගික එක්වීමේදී එය වේදනාකාරී නොකර යම් හුරතල් කාලයක් ගැන ඇය කථා කරද්දී ඔහු සැක කරන්නේ ඇය වෙනත් සබදතා තිබූ කෙනෙක් කියලයි. මාස් ශුද්ධිය සිදුවන කාලයට කාන්තාවන් නිවසේ වෙනත් කාමරයක සිටීමත් , ගගෙන් නෑමත් ඒ ප්‍රදේශයේ පුරුද්දක් හින්ද ඇයට සිදු වන්නේ ඒවාට අනුගත වෙන්නයි.

මේ සියළු අකටයුතුකම් ඉවසා දරන්නට නොහැකි වූ තැන ඇය ඉදුල් වතුර සැමියාටත් , මාමණ්ඩිය ටත් වීසි කර දමා නිවසින් පිටව යනවා. චිත්‍රපටය අවසන් වන්නේ ඇය ජනප්‍රිය නර්  තන ගුරුවරියක් වී හිටපු සැමියාගේ නිවසට කාරය පදවා ගෙන එන දර් ශනයකින්.  


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Great_Indian_Kitchen

 Trailer  යු ටියුබ් දිගුව 




Maniyarayile Ashokan (2020)    











චිත්‍රපටය පටන් ගන්නේ අශෝකන් ගේ මගුල් දා රෑ මනාලිය ඔහුගෙන් අහන ප්‍රශ්නයකින්. ඇය අහන්නේ මේ ඔහුගේ දෙවන විවාහයද කියලයි. විවාහ විය යුතු කලවයස පහු කරමින් ඉන්නා අශෝකන්ගෙන්  ගම්මු සහ නෑයින් නිතරම අහන ප්‍රශ්ණය කවදාද බදින්නේ කියන එකයි . ඒ අතර ඔහුගේ මස්සිනා අජයන් විශේෂයි. ශරීරයෙන් කුඩා හිත හොද අශෝකන් ගේ පැත්තට හිටියෙ දෙමාපියන් සහ ඔහුගෙ හොදම යාළුවො දෙන්නා රතීෂ් සහ සයිජු. මුලින්ම අශෝකන්ට ගෙනෙන යෝජනාව නාරායන් මහත්තයගෙ දුව අන්ජු. අන්ජු අශෝකන්ව ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ හමේ පාට සහ උස අඩුකම ගැන කියලයි. ඒ අතරෙ අශෝකන් ශ්‍යාමා විවාහ කරගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවෙ පරහට ඉන්නෙ කේන්දරේ. හදහන බලද්දී කියන්නේ ඔහු සමග විවාහ වන පළමු බිරිය මිය යනවා කියලයි. මේ අතරෙ රතීෂ් රානි නම් ගුරුවරිය විවාහ වුනු හින්ද අශෝකන් ට විවාහයේ බලපෑම තදින් දැනෙනවා.

මේ අතරෙ අශෝකන් නැකත් කරුවෙකුගෙන් පිලියමක් දැනගන්නවා, ඔහු කියන්නේ කෙසෙල් ගසක් විවාහ කරගත්තොත් මේ අපලය දුරුවෙනවා කියලයි. ඉතින් අශෝකන් හොද කෙසෙල් ගහක් තෝරගෙන කසාද බදිනවා. බිරිද කියල හිතාගෙන නිතර නිතර ගිහින් ගහට කථා කරනවා. කෙහෙල් ගහ මැරුණම දුක් වෙනවා. එයින් හට ගත්තු පැල දෙකට සලකන්නේ තමන්ගෙ දරුවො කියලයි.

ඔන්න අශෝකන්ට තවත් විවාහ යෝජනාවක් එනවා.අශෝකන් කියන්නේ දැන් තමා විවාහක හින්ද ආයේ බදින්න බෑ කියලයි. රතීෂ් අශෝකන්ව මනෝ චිකිත්සක මධ්‍යස්ථානයකට ගෙනියනවා. ඒ ප්‍රතිකාර එක්ක අශෝකන් යථාර් ථයට මුහුණ දීල විවාහ වෙනවා. ඔහු මනාලිය ඉන්දුට කියන්නේ මේ තමන්ගේ පළමු විවාහය කියලයි .                

  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Maniyarayile_Ashokan

 Trailer  යු ටියුබ් දිගුව 









Uyare (2019)   

     

පල්ලවී ගේ බලාපොරොත්තුව  ගුවන් නියමු වරියක් වන්නයි . අගේ පෙම්වතා ගොවින්ද් ඇය දැඩි ලෙස පාලනය කරන්නට උත්සාහ කරනවා. මුම්බායි වල ගුවන් නියමු පාසැලේ කාර්  යබහුල ඇයට  ගොවින්ද් කියන්නේ නිතර තමා හමුවන්න කියලයි. ඔවුන් අතර වුණු බහින් බස් වීමකදී පල්ලවී කියන්නේ ගොවින්ද් ට  තමන්ගේ ජීවිතයෙන් අයින් වෙන්න කියලයි. ගොවින්ද් ඇගෙන් පලිගන්නේ මුහුණට ඇසිඩ් ගහලයි. ඇස් දෙකට මුහුණට වන දරුණු තුවාල හමුවේ පල්ලවී ට ගුවන් නියමු බලපත්‍රය අහෝසි වෙනවා.ඇසිඩ් ප්‍රහාරය වෙනුවෙන් ගොවින්ද් අත් අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති වීම හින්ද ඔහු ඇප මත නිදහස් වෙනවා. 


පල්ලවී සමග ගුවන් ඇකඩමියේ උගත් මිතුරියක් හමුවන්නට ගිය මොහොතක ගුවන් සමාගමේ හිමිකරුගේ පුතු විශාල් ට ඇයව ඇස ගැටෙනවා.  ඇය ගැන විස්තර දැනගත් විශාල් ඇයව ගුවන් සේවිකාවක ලෙසින් බදවා ගන්නේ පියාගේ විරෝධතාවය නොසලකමින්. විශාල් පල්ලවී ට ආදරය ප්‍රකාශ කරත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර දිනක් පල්ලවී ට ගුවන් මගියෙකු ලෙසින් ගොවින්ද් හමුවෙනවා. ඔහු කියන්නේ තමන්ගේ අනාගතයට කැලලක් වෙන හින්ද ඇසිඩ් ප්‍රහාරයේ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න කියලයි. කෝප වන පල්ලවී ඔහුට ශීතල වතුර වලින් මුණට ගහනවා . විශාල ලැජ්ජාවකට පත්වන ගොවින්ද් කරන පැමිණිල්ල විභාග කරන විශාල් පල්ලවී ට කියන්නේ ඔහුගෙන් සමාව ගන්න කියලයි. ඇය එය ප්‍රතික්ෂේප කරන හින්ද ගුවන් සමාගම අවවාද ලිපියක් නිකුත් කරනවා.

ඊළග දවසේදී පල්ලවි සේවයේ යෙදෙන ගුවන් යානයේ නියමුවා හදිසියේ රෝගී වෙනවා. සහාය නියමුවා කලබල වෙලා යානයේ ගමන අවදානමකට ලක් වෙනවා. එවේලේ ඉදිරියට එන පල්ලවී යානයේ පාලනය භාරගෙන ආරක්ෂිතව ගුවන් තොටුපලට බස්සවනවා. ගුවන් ගමන් පාලක මැදිරියේ සමහර නිලධාරීන්ගේ විරෝධතා මැද්දෙ තමන්ගෙ ජීවිතය බේරීම ගැන ගුවන් මගීන් ඇයට ස්තුතිවන්ත වෙනවා. විශාල් හමු වන්නට යන පල්ලවී ජීවිතයේ එක වතාවක් හෝ මගීන් සහිත වාණිජ ගුවන් යානයක් පැදවීමට දුන් ඉඩට ස්තුතිවන්ත වෙනවා. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Uyare

 Trailer  යු ටියුබ් දිගුව 






Varane Avashyamund (2020)  

රූමත් දික්කසාද වුනු කාන්තාවක් වන නීනා ජීවත් වෙන්නේ චෙන්නායි නුවර තට්ටු නිවාසයක. ඇගේ දුව නිකී. ඔවුන්ගේ අල්ලපු ගෙදර ඉන්නේ විශ්‍රාමලත් තනිකඩ හමුදා නිලධාරියෙක් වන මේජර් අන්ක්‍රිෂ්නන්. ඔහුගේ සුරතලා බල්ලෙක්.  තරුණ වයසේ ඉන්නා නිකි ට විවිධ විවාහ යෝජනා ආවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඇය කැමැත්තෙන් ඉන්නෙ අබි ට . ඒ හින්ද නිකී අබි ගේ අම්මා දොස්තර ශරලීව හොදින් ආශ්‍රය කරනවා.

ආවේග පාලනය ගැන ගැටළු තිබෙන මේජර් වරයා ඊට උපදෙස් ගන්න යන්නේ දොස්තර් බෝස් ළගටයි. නැටුම් උගන්වන්න නීනා යන්නේත් දොස්තර බෝස් ගේ මධ්‍යස්ථානයටම තමයි. නීනා මේජර් වරයාට කැමති වුණත් දුව නිකි අහද්දී එය ප්‍රතික්ෂේප කරනවා. ගංවතුරෙන් ආපදාවට පත්වෙලා බිබ්ලිෂ් සහ සහෝදරයා නිකී ලගේ ගෙදරට එන්නේ මේ අතරෙ. මේ හින්ද බිබිලිෂ් එක්ක නිකී ගේ හිතවත්කම ආදරයකට හැරෙනවා. නිනා සහ නිකී ගේ ජීවිත ඉන් පස්සෙ වෙනස්වන හැටි චිත්‍රපටයේ ඉතිරි කොටසේදී ඔබට බලන්නට පුළුවන්.    

  වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Varane_Avashyamund

 Trailer  යු ටියුබ් දිගුව 




                සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


8 comments:

  1. ගොඩක්ම ස්තුතියි මේ විස්තරයට. අනිවාර්යයෙන්ම බලන්න ඕන.
    piku බලල තියෙනවද.....හින්දි...හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරය ට ස්තුතියි. ඉඩ තියෙන විදිහට බලන්න . Piku බලල නැහැ . Trailer එක බැලුවා. ලස්සනයි. හොයාගෙන බලන්න ඕන.

      Delete
  2. දැන් මලයාලම් films උත් බලන්න වෙනවනෙ. වැඩ වැඩි වෙනවා අප්පා😂

    ReplyDelete
    Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඉඩ තියෙන වෙලාවක බලන්න. හැබැයි ඔබ ආසා කරාවි. ඒ චිත්‍රපට වල පරිසරය ලංකාවෙ වගේ.

      Delete
    2. අනිවාරෙන්ම බලන්න ඕනි. අනිත් එක මලයාලම් films අනිත් ඉන්දියානු ඒවාට වඩා සාපේක්ෂව ගොඩක් යථාර්ථවාදී ලු. කියලා මං අහලා තියෙනවා

      Delete
  3. මලයාලම් කියන්නෙ.. බොලිවුඩ්, කොලිවුඩ් තියෙන ඉන්දියාවේ වෙනම අපූර්ව වූ සිනමාවක්. ඉඩක් ලැබුණුවිට ආසාවෙන් නරබනවා... මලයාලම් සිනමා නිර්මාණ. ළඟදීම බැලුවේ Jo and Jo.

    ReplyDelete
  4. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ කියන දේ ඇත්ත. බොලිවුඩ්, කොලිවුඩ් අන්ත දෙකෙන් මිදිලා මලයාලම් චිත්‍රපට යන්නේ යථාර් වාදී විදිහට. ඉරාන සිනමාව වගේ ජීවිතය කියවන සිනමා පට ගොඩක් බිහිවෙන්නෙ ඒ විදිහට. ඒ වගේම තමයි තවමත් බොහෝ නුසුදුසු සම්ප්‍රදායන් අළුත් සමාජයට ගලපන්නත් ඔවුන් උත්සාහ කරන බව ඇත්ත. Jo And Jo බලල නැහැ. ඉඩ ලද විටෙක බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉරාන සිනමාව මොනවගේ ද කියන්නකො

      Delete