මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 28, 2023

ටොරොන්ටෝවේ අප දන්නා දෙදෙනෙකුගේ පනාපුත්‍ර කුහුඹුපැණි මතක


 



පහුගියදා අප අතරින් වෙන්වූ නිර්මාණ ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගැන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ තොරතුරු මතුවුනා. පූර්ණ කාලීනව මාධ්‍ය කටයුතුවල නොයෙදෙන අප හිතුවෙ  ඔහුගේ කාර්යභාරය ගැන වෙනස් ඇහැකින් බලන්නයි. ඒ නිසා ඔබ ඉදිරියට ගෙනෙන්නට ටිකක් කල්ගත වුනත් ටොරොන්ටෝවේ අප අතර ඉන්නා ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සහ ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක සහ අධ්‍යක්ෂක කෝසල මකුලොළුව සම්බන්ධ කරගෙන කල මේ වැඩසටහන තුලින් ඔබ නොදැන සිටි බොහෝ තොරතුරු වගේම ඔබ කිසිදා නොදුටු සමහර වීඩියෝ දර්ශනත්  ඔබට දකින්නට ලැබේවි.




ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සම වයසේ  සිනමාව , වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍යය වගේම අප නොදුටු තිරයෙන් පිටුපස සංවාද  කව  සහ මිතුරු එකතුවල සිට දේශපාලන හේතු නිසා ලංකාවෙන් බැහැරව විදේශ ගත වුනු ලංකාවේ කලා නිර්මාණවලට අතහැරුණු සම්පතක්.

ජාතික රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා හරහා ජැක්සන් ඇන්තනි මහතා ඉදිරිපත් කල බොහෝ වැඩසටහන් වල නිෂ්පාදන සහ අධ්‍යක්ෂණ කටයුතු වල යෙදුනු කෝසල මකුලොලුව මහතා සතු සමීප නිර්මාණ කාර්ය මතක ඔබට ජැක්සන් ඇන්තනි නිර්මාණ ශිල්පියා තුල තිබුනු  කැපවීම සහ වෙහෙසට ජීවමාන සාක්ෂියක්.



https://rupane.com/2023/10/28/rupane-episode-371-october-28-2023/


***********************************************

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය - 

ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස

ප්‍රවීණ රූපවාහිනී  නිෂ්පාදක සහ  අධ්‍යක්ෂක කෝසල මකුලොලුව

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

සහාය අධ්‍යක්ෂණය - දර්ශිකා චන්ද්‍රතිලක 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************

මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........





1958 ජුලි මස 8 වැනිදා රාගම පොඩිවී කුඹුරේදී උපත ලබන

කොන්ගානිගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි ඔබ අප 

කවුරුත් හඳුනන්නේ ජැක්සන් ඇන්තනි යන නමින්.

කපුගොඩ ශාන්ත මරියා ප්‍රාථමික පාසැල , බණ්ඩාරවෙල

ශාන්ත මරියා විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා

විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු කොළඹ විශ්ව

විද්‍යාලයෙන්  සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක්

සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය

පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත් විද්‍යාර්ථියෙක්.


විශ්වවිද්‍යාල සමයේ දී නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන්

යන මිනිස්සු සහ මානවයෝ නම් නාට්‍යවලත් , ඊ . එම් . ඩී උපාලිගේ

මෙතනින් මාරුවෙනු නාට්‍යයේත් කල රංගනය ඔහුට  සිංහල වේදිකා

නාට්‍ය රැසක රංගනයට වාසනාව උදාකර දෙනවා .සුගතපාල සිල්වාගේ

මරාසාද් , දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා , මහාචාර්ය

සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස,  ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ, 

ජයන්ත චන්ද්‍රසිරිගේ අත් , මෝරා සහ ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ

ඉගිලෙති නාට්‍ය ඔහු රංගනයෙන් දායක වූ නාට්‍යය ලෙස ඉතිහාසගත

වනවා. 

ශ්‍රී  ලංකාවේ ටෙලිවිෂන් ආගමනයත් සමඟ බිහි වූ ටෙලි නාට්‍ය වංශ

කතාවේ නොමැකෙන මතක සටහන් තැබූ පළිඟු මැණිකේ, 

ඇල්ල ලග වලව්ව,  සුසීමා , වෙද හාමිනේ,  කඩුල්ල,  පිටගම්කාරයෝ

සහ අකාල සන්ධ්‍යා තුළ ඔහු කළ රංගන නිරූපණය විශිෂ්ටයි .


සිංහල සිනමාවේ රංගනයෙන් දායකත්වය දැක්වූ ජැක්සන් ඇන්තනී

රඟපෑ චිත්‍රපට අතර ගුරු ගෙදර , චුට්ටි,  අයෝමා , ලොකු දුව, තරණය

බව දුක, බව කර්ම,  විසිදැල,  ගිනි අවි සහ ගිනි කෙලි,  අස්වැසුම

අග්නිදාහය,  මිල්ලෙ සොයා,  සූරිය අරණ,  රන් දිය දහර, 

ගරිල්ලා මාර්කටින්,  කුරුලු පිහාටු,  කුසපබා,  ප්‍රවේගය,  මහරජ

ගැමුණු , ඇහැලේපොළ කුමාරිහාමි , ඇඩ්රස්‌ නෑ , ධර්ම යුද්ධය, 

ඝරසරප,  උදුම්බරා,  විෂම භාග , ලක්නව් සහ සීරුවෙන් සිහිපත්

කරන්නට පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ජුලියට්ගේ

භූමිකාව, ඇඩ්රස්‌ නෑ සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත

එකගෙයි සොකරි තුළ ඔහු විශාල කාර්යභාරයක් සිදුකර තිබෙනවා.  


ස්වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්ෂවරයාව සිටි සමයේ

ඔහු ඉදිරිපත් කළ මහා සිංහලයේ වංශ කතාව ලංකා ඉතිහාසය

පිළිබඳ පොදු ජන අවධානය ඉහළ නංවන්නට සමත් වුනා. ඒ කාලයේදීම

ඔහු දරු දැරියන්ගේ නිර්මාණ දක්ෂතා එළි දක්වන්නට ඉදිරිපත් කළ

හපන් පැදුර තුළින් ලංකාවේ  මාධ්‍ය ක්ෂේත්‍රයට බොහෝ පිරිසක් දායක

කර තිබෙනවා .


ලංකාවේ ගවේෂණාත්මක සංචාරය පිළිබඳ පොදු ජන අවධානය යොමු

කරවන්නට ඔහු කළ අවාරයේ සිරිපා , ගඟදිගේ , රෝම පුරානේ සහ

සලංහන්තේ වැඩසටහන් විශාල බලපෑමක් කළා.  

මීට අමතරව චිත්‍ර කතා නිර්මාණ ශිල්පියෙකු, තීරුලිපි රචකයෙකු, ගීත

රචකයෙකු , ගායකයෙකු,  යූටියුබ් ඉතිහාස වැඩසටහන් නිර්මාණ

ශිල්පියෙකු,  රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු විවිධ

දක්ෂතා ඉදිරිපත් කොට තිබෙනවා.

තමන්ගේ බටහිර නම වෙනුවට දිවයින පුවත්පතට ඔහු ලියූ තීරු

ලිපි පෙළේදී ඔහු තමන් හඳුන්වා ගත්තේ පනාපුත්‍ර කුහුඹුපැණියා

යන නමින් .


2022 ජූනි මස දෙවැනිදා හදිසි අනතුරකට ලක්ව ජාතික රෝහලේ

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ජැක්සන් ඇන්තනි නිර්මාණ

ශිල්පියා 2023 ඔක්තෝබර් මස නම වැනිදා සදහටම දෙනෙත් පියා

ගත්තා. ගතින් ඔහු අද අප අතර නැතත් ඔහුගේ නිර්මාණ බොහෝ

කලක් ශ්‍රී ලාංකික නිර්මාණ වංශකතාවේ සලකුණු තබනු

නොඅනුමානයි.  


පසුබිම් කථනය - මංජුලා වික්‍රමරත්න 

පිටපත - අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.


15 comments:

  1. හිතක පිරුණු ඒ මතකය අකුරු ගැළපිලා
    මතක මැදින් සටහන්වී බ්ලොගය හැඩකලා
    රටක වටින චරත ගැනම මෙලෙස ලියවිලා
    රැයක් ශනිද ඉන්නව දැන් මමද එය බලා...
    අගෙයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හැමදා කවියකින් වදනක් ලියනා ඔබට
      කවි බර කලා හිතකින් දෙන දිරි රැසට
      සිංහල බ්ලොග් රැල්ලේ කරනා පෙළහරට
      තුති පුද එක්ක මේකත් ශනිදා පෙලට

      Delete
    2. නිවාඩු වෙලාවක මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න. ජයවේවා

      Delete
    3. ඔබේ කවි නිතර කියවනවා වුනත් විරිතට කවි පිලිතුරු ලියන්නට අමාරු හින්ද මොකුත් නොලියා ඉන්නවා . ඉදිරියේදී වචනවලින් ලියන්නම්. ඔබේ කවි ලන්ඩන් කවියටත් , මුහුණු පොතේ කවි එකතු වලටත් යවන්න. එතකොට තවත් මාධ්‍ය දෙකක රසික පිරිසකට ඔබේ නිර්මාණ අගය කරන්න පුළුවන් . ඔබ කැමති නම් මේ දිගු දෙක ඔබට උදව්වක් වේවි . ඉදිරියේදී වෙනස් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔබ කැමති නම් ඔබේ කවි ඒ වැඩේට ගන්න පුළුවන්. https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_30.html, https://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_30.html

      Delete
    4. ඇත්තෙන්ම දැනටමත් මුහුණු පොතේ කවි එකතු 20 කට පමණ එකතුවී කවි ලියනවා. ඉතින් මේ දැණුවත් කිරීම වටිනවා බොහොම.
      ඔබේ ඉදිරියේ කරන වෙනස් වැඩේටත් දායක වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ පිළිබදව ඉදිරියේදී දැණුවත් කරනු ඇතැයි සිතනවා. එය මට සතුටක්.
      ඉතින් ස්තූතිය ගොඩක් ඔබට.
      ජයවේවා !!!

      Delete
  2. අගේ ඇති ලිපියක්. මේ මතක හැමදාමත් අමතක නොවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ලියෝනි මතක ඇතුව වැඩසටහන බලන්න. අපූරු දුර්ලභ වීඩියෝ රැසක් තියෙනවා.

      Delete
  3. සොඳුරු මතක..අපූරු සටහනක්...

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. ඇත්ත. ඔහුගෙ නිර්මාණ නම්... කාලයක් අපේ මතකයේ ඉහලින්ම පවතීවි!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  6. මම හිටියේ නගරයෙන් පිට! ඇත්තම කියනවා නම් ටිපීයේ! ඉතින් එතනට සිග්නල් අබිං වගේ! ෆෝන් එලෙන් කොටන්න පුළුවන් ඒවාට පිළිතුරු සැපයූවා!
    ඒත් ඔයාලගෙ බ්ලොග් වලට ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න බෑ!

    සත්තකින්ම ජැකා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්!
    හරියට ක්‍රිකට් වලට අනුර රණසිංහ වගේ!
    ඕල් රවුන්ඩර්.

    ඒත් දෙශපාලනය කියන සර්පයා වලිගෙන් අල්ලාගෙන කරේ දාගැනීම නිසාම අපට නැති උනා!
    ඔබ ලංකාවේ ජීවත්ව නොසිටි නිසා ඔහුගේ වෙනස් වීම පරිනාමය පිළිබඳව වැටහීමක් නැතිව ඇති. කලකට පෙර සිටි අහිංසක කලා කරුවා; ඔහුගේ දේශපලන ආගමනය සමග ඔහු තුලින් ඈත්වූවා.

    ReplyDelete
    Replies
    1. මංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ලංකාවේ අය තරම් අපට තොරතුරු නොලැබුණත් ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. නිර්මාණ ශිල්පීන් පක්ෂ දේශපාලනය හෝ කල්ලි වාද තුල සිරවීම දකුණු ආසියානු කලාපය තුල තිබෙන වැරදි පුරුද්දක්. මගේ සාමාන්‍ය කතාබහකදී කරන සංවාද වලින් මිදිලා ඩිජිටල් අවකාශය තුල සහ තව කෙනෙක් ගැන පොදු අවකාශයක කරන ඉදිරිපත් කිරීමකදී සුබවාදී දේ ගැන විතරක් ඉදිරිපත් කරන්න මම උත්සාහ ගන්නවා. ඒ සමහර දේ ඔහු නොකලා නම් කියන තැන ඔබ වගේම මමත් ඉන්නවා.

      Delete