මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 15, 2025

කැනඩාවේදී වැඩිම දෙනෙක් බැලූ ප්‍රදීපාගාරය තිබෙන Peggy’s Cove වෙත ගියදා

 



















Peggy’s Cove  කියල කියන්නේ පළාතේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන කුඩා ධීවර ගම්මානයක්. හැලිෆැක්ස් අග නගරයේ  ඉඳන් නිරිත දිග දිශාවෙන් තිබෙන මේ ගම්මානය කැනඩාවේ ප්‍රමුඛ සංචාරක නවාතැන්පොළ අතුරින් එකක්. කැනඩාවට මුලින්ම ආ ප්‍රංශ නාවිකයා ලෙස හැඳින්වෙන Samuel de Champlain  1766  දී තමන්ගේ අම්මාගේ නම වන St. Margeret   කියන එක මෙතන තිබෙන බොක්කට භාවිතා කළාලු . මාගරට් කියන නමට කියන විකට නාමය වන " පෙගී " කියන නමින් ඒ ප්‍රදේශය ජනප්‍රිය වුණා කියලා කියන්නේ. තවත් කතාවක කියැවෙන විදියට Halibat Rock  පර්වතයේ හැපිලා නැවක්  විනාශ වුනාලු. ඒ නැවෙන්  දිවි ගලවා ගත් පිරිස අතරේ හුන් තරුණ ගැහැණු ළමයෙක් ප්‍රදේශයේ කෙනෙක් විවාහ කර ගත්තාලු. ඒ ගෑණු ළමයට යෙදුණු විකට නාමය වන  " පෙගී "  නමින් මේ ප්‍රදේශයේ ජනප්‍රිය වුණා කියලත් කියනවා.




 1811 දී ජර්මන් පවුල් හයකින් පටන්ගත් මේ ගමට  කලින් කලට පිරිස් එකතු වුණු ධීවර කර්මාන්තය ප්‍රමුඛ කරගත් ප්‍රදේශයේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වුනා. මනස්කාන්ත භූමිදර්ශන සිතුවමට නැගුනු සිත්තරුන්ගේ නිර්මාණ හරහා මහි අසිරිය නගර කරා ගිහින් සංචාරකයින් මේ පැත්ත බලන්න ආව කියල කියනවා. පසු කාලීනව ඡායාරූප ශිල්පීන්ගෙන් නිරන්තර අවධානයට මේ ප්‍රදේශය ලක්වුනු  නිසා වැඩි වැඩියෙන් පිරිස් මේ කලාපයට ඇදුනා. අදත් විශේෂයෙන්ම ගිම්හාන කාලයට මේ පැත්ත කැනඩාවේ විවිධ ප්‍රදේශ වලින් වගේම පිටරටවලින් එන සංචාරකයින් ගෙන් පිරී ඉතිරී යනවා.




අවුරුදු මිලියන 400ක තරමේ ඉතිහාසයක් ඇති පර්වත මතුපිට තිබුණු අයිස් තට්ටුව මීට අවුරුදු විසිදහසකට තරම් කලකදී දියවී පර්වත සහිත මේ ප්‍රදේශයේ ඉතුරු වුණා කියලයි භූ විද්‍යාඥයන් කියන්නේ.  බලන්න ලස්සන පාට පාට ගෙවල් තිබෙන ධීවර ගම්මානයට අමතරව මේ වෙනකොට වැඩි දෙනෙක් මේ ප්‍රදේශයට එන්නේ කැනඩාවේ වැඩිම පිරිසක් නැරඹූ බවට වාර්තා වක් තිබෙන ප්‍රදීපාගාරය බලන්නයි.  එතරම් උසක් නැති ප්‍රදීපාගාරයක් වුණත් ඉර බැස යන මොහොතේ පර්වතය මත තිබෙන ප්‍රදීපාගාරය සේයාරු ගත කරන්න පොරකන පිරිස අතරේ අපිත් ඒ අසිරිය දැක්කා.




Peggy’s Point Lighthouse




පර්වත බහුල මාග්‍රට්  බොක්කේ නාවික ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා ලී වලින් තැනුණු මඩුවක වහලේ භූමිතෙල් ලාම්පුවක් පත්තු කරන්නට 1868 දී්‍ ප්‍රදේශවාසීන් කටයුතු කළා.  රිදී තැවරූ කණ්ණාඩියක් පරාවර්තකයක් විදියට භාවිතා වුනා.  අද අපි දකින අඩි 49 ක් උස රතු සහ සුදු පැහැයෙන් අට පටන් හැඩයේ කොන්ක්‍රීට් ප්‍රතිපාගාරය ඉදිකර තිබෙන්නේ 1914 දී.  1954  දී එඩ්නා සුළි කුණාටුවෙන් විනාශ වීම නිසා ඉවත්කරන තුරු ප්‍රදීපාගාරය  අසල ප්‍රදීපාගාර පාලකවරයා වෙනුවෙන් නිවසක් තිබුණත් 1958 දී එය යාන්ත්‍රීකරණය  වූ පසු  ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරුණු  නිසා යළිත් නිවසක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණේ නෑ . එම යාන්ත්‍රීකරණයේදී රතු එළිය වෙනුවට සුදු එළියට ප්‍රදීපාගාරයේ පහන මාර වුණා. 1970 දී එය කොල පාට එළියක් ලෙසත් යළිත් 2007 දී ජාත්‍යන්තර සම්මතයට අනුව රතුපාටටත් මාරු කෙරුනා. මෙය අදත් ධීවරයන් සහ නාවික යාත්‍රා වෙනුවෙන් සේවය සලසන ප්‍රමුඛ ප්‍රදීපාගාරයක්.  




මුද්දර සහ සමරු ලියුම් කවර ලබා ගත හැකි කුඩා තැපැල් හලක් 2019 වනතුරු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබූ බවත්  එහි ප්‍රදීපාගාරයක හැඩැති විශේෂ මුද්‍රාවක් තිබූ බවත් ඉතිහාසය කියැවෙනවා.  2021 දී මෙහි පැමිණෙන සංචාරයකින්ගේ ආරක්ෂාව සඳහා පර්වත මත යාම අවම කරමින් සොයාරූ සහ වීඩියෝ ගත කිරීම සඳහා විශාල වේදිකාවක් ඉදිකර තිබෙනවා එහෙත් පර්වත අතරේ දුවන පනින පිරිස් වලින් නම් අදත් අඩුවක් නෑ.












SwissAir 111 Flight Memorial



ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට ස්විස්ටර්ලන්තයේ  ජිනීවා බලා 1994 සැප්තැම්බර් දෙවැනිදා ගමන් ගත් SwissAir 111  ගුවන් යානය අනතුරට ලක්වුණේ මීට කිලෝමීටර් අටක් තරම් මහ මුහුදේ දී . යානයේ ගමන් ගත් මගීන් 215 දෙනාත්  කාර්ය මණ්‍ලයේ  14 දෙනාත් මෙහිදී මිය ගියා . ඒ ඛේදවාචකයේදී ඒ වෙනුවෙන් සියලු මෙහෙයුම් දියත් කෙරුණේ  කැනඩා රජයේ අනුග්‍රහය යටතේ මේ ප්‍රදේශයේ සිටයි. ඒ ගුවන් අනතුරින්  මිය ගිය සියලු දෙනා සැමරීම පිණිස ඉදිවුණු  ස්මාරකයක් අදත්  Peggy’s Cove වලදී  ඔබට දකින්න පුළුවන්.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


No comments:

Post a Comment