මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 21, 2023

අම්මා තාත්තා සමරු ප්‍රසංගයේ අගය

 




 අම්මලා තාත්තලාගේ අගය බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඔවුන් අප අතරින් වෙන්ව ගියාට පස්සේ . යොවුන් කාලෙදි අම්මලා තාත්තලා වදයක් වෙන වෙලාවලුත්  තියෙනවා උනත් එහෙම වෙන්නේ ඒ කාලේ අපි වචනෙට කියන වයස වැරැද්දත්  එක්ක.

 මේ  වෙනකොට අපේ සමහර යාලු හිත මිත්‍රයන් ගේ අම්මලා තාත්තලා අපි අතරින් වෙන් වෙලා ගිහින්. ඉන්න අම්මලා තාත්තලා වුනත් හුඟක් වයසයි.විශේෂ්යෙන්ම විප්‍රවාසී සංක්‍රමණිකයින්  බොහෝ දෙනකුට තමන්ගේ මවුපියන් තමන් ජීවත් වන රටට ගෙන්වාගෙන   සැලකිලි දක්වන්න හැකියාවක් නැහැ ඒ වගේම අසීරුතා තිබුණත් දෙමාපියන් බොහෝ දෙනෙක් තමන්ගේ ගෙදර දොර පරිසරය දාලා වෙන රටකට යන්නත්  සුදානම් නැහැ ඒ හින්ද ඒ  සම්බන්ධතා  Whatsapp, zoom,viber,facetime   සංවාද වලට සහ වසරකට හෝ වසර කිහිපයකට සැරයක් ගිහින් බලලා එන එකක් තරමට දුර ගිහින්.



මේ ගැන දුක් වෙවී ඉන්නවාට වඩා අපූරු වැඩක් ටොරොන්ටෝවේ ජීවත්වන තනු රචක, ගායන සහ වාද ශිල්පී ජෝන් පෙරේරා කරන්න පටන් අරගෙන  තියෙනවා. අම්මා තාත්තා සමරු ප්‍රසංගය කියන්නේ එහි ප්‍රතිඵලය තමයි.  යම්කිසි දර්ශනයක් හිතේ තියාගෙන කැපවීමෙන් වැඩ කරන ජෝන්ගේ පළමු ප්‍රසංගය පැවැත් වුණේ  2019 අවුරුද්දෙ වුනත්  මට ඊට සහභාගි වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.  පහුගිය සෙනසුරාදා ( 2023 ඔක්තෝබර් මාසේ දාහතර වෙනිදා ) ඔහුගේ සංවිධායක සංවිධායකත්වයෙන් පැවැත්වුණු 

දෙවැනි අම්මා තාත්තා සමරු ප්‍රසංගය ටොරොන්ටෝවේ මැඩෝනා  කතෝලික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.



 බ්ලොග් එක කියන්නේ මට හිතෙන දේ වාරණයකින් තොරව ලියන්නට පුළුවන් එක් නිදහස් අවකාශයක් හින්දා මම මේ ලියන සටහන් කාගෙවත් ඉල්ලීම් වලින් තොරව ලියැවෙන සැහැල්ලු ලියවිලි විදිහට හඳුන්වන්න කැමතියි. 



මම ඒ ප්‍රසංගයේ දුටු  වැදගත් කාරණා කිහිපයක් තිබුණා. ඉන් පළමුවැන්න විදිහට කුඩා දූ දරුවන්ට තමන්ගේ ගායනා ඉදිරිපත් කරන්නට දී තිබුණු අවස්ථා රැස හදුන්වන්න  කැමතියි. අද අප කරන නිර්මාණ කාර්යයන්ට පදනම වැටුනේ ඒ වගේ අපට 

අතීතයේදී ලැබුණු අවස්ථා හින්දා තමයි.  හැබැයි පොඩි ළමයි වැඩිහිටියන්ගේ ගීත ගැයීම ගැන නම් මගේ ප්‍රසාදයක් නැත්තේ අද කතා නොකෙරුණත් ලංකාවේ හොඳ ළමා ගී කලාවක් තිබුණු හින්දා.



 දෙවැන්න ඒ ප්‍රසංගයේ  තරුණ යොවුන් දරුවන්ට ලැබුණු අවස්ථා.  ඒ හරහා අපේ ඊළඟ පරම්පරාවට අපේකම දැනෙන තරම වැඩියි.  තුන්වැනි කාරණය  ප්‍රසංගය සඳහා සිංහල , දමිල, ඉංග්‍රීසි  භාෂා තුනේම,  කණ්ඩායම් සංගීතයේ ගීත,  සරල ගීත වගේම අනුකාරක ගීතත්  කදිමට, අපූරුවට මුසු කරලා තිබුණු හැඩයයි .



වැඩසටහන  සන්නිවේදනය කළ සුනිමල් බාලසූරිය සහ සම්පත්  පෙත්තාවඩුගේ පූර්විකා සහ කෙටි හැඳින්වීම් මැද සුමුදු ඇන්තනි ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු  Matrix සංගීත කණ්ඩායම හා කදිම  සජීවී සංගීත අත්දැකීමක් අපට ගෙන දුන්නා.



 ජෝන් පෙරේරා මහතා ඇතුළුව මේ වැඩසටහනට  දායක වූ සියලුම දෙනා අපට හැඟුම්බර අත්දැකීමක් ගෙන දුන් බව සටහන් කර තබන්නේ සතුටින්.  අම්මා තාත්තා ප්‍රසංගයේ තුන්වන  අදියර නුදුරු වසරක වෙනස්ම විදිහකට බලන්නට ආසාවෙන් ඉන්නා ප්‍රේක්ෂකයෙකු වෙන්න කැමතියි.   




අනුරුද්ධ වැලිගමගේ    

සේයාරූ -  රොයිස් ඩී අල්මේදා 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

21 comments:

  1. "අම්මා - තාත්තා"

    ඒ දෙදෙනාම මගෙන් ඈතට ගිහින්!
    තාත්තා ගැන මම බ්ලොග් එකේ ලිව්වත් අම්මා ගැන මම ලියලා තියෙන්නේ ඉතා අල්ප වශයෙන්!
    මගේ අම්මා වසර දෙකක් තුනක් ලෙඩ ඇඳක දුක් විඳලා මියගිය කෙනෙක්! මම කවදා හරි අම්මා ගැන ලිව්වොත් එම ලිපියෙන් වැඩි හරියක් වැය වන්නේ ඒ කාලේ ගැන ලියන්න! ඊට ඇති අකමැත්ත නිසාම මම අම්මා ගැන ලියන්නේ නෑ. ඒත් ඒක ලොකු අඩුවක් නිසා ලියන්නත් ඕන!
    මම මේ මෑතකදී මගේ දියණිය සමග යෙදුනු කථා බහකදී ඇය කිව්වා ඇය විවාහ දිවියකට ඇතුලත් වේද ඒ ඇතුලත් උනත් දරුවන් හදයිද යන්න හිතා බැලිය යුතු දෙයක් බව!
    මම ඒ වෙලාවේ එයාගෙන් ඇහුවා පොඩි ප්‍රශ්නයක්!
    "මගේ ජීවිතේ ආපහු මුලට යන්න ලැබුනොත් මම කාව කසාද බඳීද?" එයා කිව්වා "දන්නේ නෑ!" කියලා. මම කිව්වා "ඔයාගේ අම්මව ම වෙයි!" කියලා . එහෙම කියලා මම ආයෙමත් ඇහුවා ඔයා දන්නවද ඒ ඇයි කියලා?' කියලා! එතකොට මෙන්න මේ කෙල්ල මගෙන් අහනවා; ඇහ්තටම එයා යෝජනා කරණවා "අපි දෙන්නා (එයත් එයාගේ අයියත්) හින්දද?" කියලා! මම කිව්වා ඔව් මගෙ පුතේ කියලා!
    අම්මාගේ ආදරය ගැන මම ඇසූ බොහෝ කථා තියෙනවා ඒ වා ලියා ගන්නට බැරි තරම් හෘද්යාංගම වූ ඒවා!
    ඔව් දාරක ප්‍රේමය ඉදිරියේ අනිත් සියල්ල විකිණෙන්නේ සිල්ලරට.
    ඒක මම විතරක් නෙවේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයනුත් කියලා තියෙනවා නේ. මගේ මතකයේ හැටියට බුදුනුත් ඒ බව දේශන කරලා තියෙනවා.
    දාරක ප්‍රේමය යනු මස් විනිවිද ගොස් කටුව විනිවිද ගොස් ඇට මිදුළු කකියවන හැඟීමක්!
    ඒ වෙනුවෙන් ගී ප්‍රසංගයක් නොවේ දහසක් පවත්වලත් මදි!

    ReplyDelete
    Replies
    1. ඔබේ සංවේදී ප්‍රතිචාරයට ස්තුතියි. එතනම සටහනකට කිට්ටු තොරතුරු රැසක් තිබුනා.

      Delete
  2. මේ මම සංවේදීම වෙන මාතෘකාවක්...ඇත්තතටමඑයාලා වෙනුවෙන් මොනවා කලත් මදි.

    ReplyDelete
  3. අම්මලා තාත්තලා ගමේ ඉද්දි කොළඹට ආපු අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක්ගේ ළමයි රටෙන් එලියට යනවා අපි කොළඹ ඉද්දි .අර සියා ආච්චි, අම්ම තාත්තා ළමා ළපටි එකට හිටි ගම පරණ මතකයක් විතරයි

    ReplyDelete
    Replies
    1. තිලක ඉදහිට ගමට යනවනෙ. අපිට තත්වෙ ඊට වඩා වෙනස්. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. අපට ජීවෙ ලැබදුන් අපෙ පියා මව
    හිතට ශක්තියක් වෙනවා බොරුව නොව
    හෙටට රැකබලා ගන්නා පුතා දුව
    පිනට හැරෙයි ඒ ගැන ලියනෙමී කව...

    වටිනවා පෝස්ට් එකක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අපි තව කවි ලියමු.

      Delete
    2. අනිවාර්යයෙන්ම . දුමීගෙ පැත්තට ආවොත් කවි අග්ගලා තියෙනවා කන්න.

      Delete
  5. සෙනෙහස film එකේ ගීයක් මතක් වුණා
    .https://www.youtube.com/watch?v=nlXmCCXTFwY

    ReplyDelete
    Replies
    1. නිදි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ලින්කුව බෙදා ගත්තාට ස්තුතියි.

      Delete

  6. මේක හරිම අපුරු වැඩසටහනක් කියලා අහලා තියෙනවා. සහබාගි වෙන්න නම් බැරි උනා. මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ දැන් කාර්ය බහුල හින්ද බොහෝ තැන්වලදී හමුවෙන්න බැරිවුනා. ඉදිරියේදී බලමු.

      Delete
  7. අපූරු විදිහට පැවැත්වුණ වැඩසටහනක් වෙන්න ඇති කියල හිතෙනව.
    ළමා ගීත කතාවට නං එකඟයි. දැං ළමා ගීත කියල ජාතියක් නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සංගීතය සහ ගී තනු සහ පුහුණු කිරීම පිළිබද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගී පද හොයාගන්න පුළුවන්. පිට රටකදී අනික්වා තමයි කරන්න බැරි. ඉස්සර ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනිය කොච්චර ඒ වෙනුවෙන් වැඩසටහන් කලාද.

      Delete
    2. දැං ඔක්කම කමර්ෂල් විතරයි.
      ඒ ජාතික රූපවාහිනිිය ගුවන් විදුලිය දැං නෑ

      Delete
  8. මංජුල මම ඒවාට ගොඩවෙලා ප්‍රතිචාර ලියන්නම්.

    ReplyDelete
  9. ප්‍රසංගයට සුබපතනව 🙏!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  10. මේ වගේ ප්‍රසංග කොච්චර වටිනවද කියලා තේරෙන්නෙ ලංකාවෙන් ඈත් වෙලා ඉන්න කොට. ඒ වගේම දරුවන්ටත් ලංකාවේ කල්චර් එක අදුනගන්න හොද අවස්ථාවක් -Mayya

    ReplyDelete
  11. මායා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete