මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 14, 2023

Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා

 


කැනේඩියානු සංචාරයක මතකය 


කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට පහසුවෙන් එන්නට පුළුවන් මේ උද්‍යානයට උතුරින් Trans - Canada Highway  එකත් දකුණින් Highway 60  එකත් වැටිලා තියෙන හින්ද කාට වුනත් එතැනට එන්න හරිම ලේසියි. 19 වන සියවසේ ලෝක දැව නිෂ්පාදනයේ විශාල දායකත්වයක් දැරූ රටක් විදිහට කැනඩාවේ White Pine සහ Red Pine  දැව සැපයුම් ඉසව්වක් වුනු හින්ද පරිසර විනාශය සමතුලනය කරන්නට 1893 දී මේ උද්‍යානය පිහිටුවා තිබෙනවා. අදත් මේ උද්‍යානයේ 35% ක පමණ කොටසක දැඩි පාලනයක් යටතේ දැව කර්මාන්තය සිදු කෙරෙනවා.  

   

Northern Canada සහ Southern Canada වෙන්කරන මායිම විදිහට හැදින්වෙන මේ උද්‍යානය සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ ගිම්හාන කාලයට කදවුරු බිම් ගත කරන්න , ඔරු පදින්න , බයිසිකල් පදින්න , ඇවිදින්න වගේම දින චාරිකාවක යෙදිලා විලකින් නාලා තරමක විවේකයක් ගත කරලා හවසට ආපහු ගෙදර එන්න කදිම තැනක් හින්දයි.    ඍතු විපර්යාසයත් එක්ක ගස්වල කොල, කොලපාටින් රතු, තැඹලි , කහ පාටට වෙනස්වෙලා හැලිලා යනකොට මවන අපූරුව බලන්න විශාල වශයෙන් සංචාරකයින් යනෙන තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒකට යන්නෙ Highway 60 corridor  එකටයි. 

 මේ ලිපියෙන් මම සුදානම් වෙන්නෙ පහුගිය දවසක මා එලෙස විදි අසිරිය ඔබත් එක්ක බෙදා ගන්නයි. පලාත් උද්‍යානයේ නිලධාරීන් සහ වෙබ් පිටුවට අමතරව Algonquin     උද්‍යානයට පෙම් බැදි පිරිස් පවත්වා ගෙන යන අන්තර්ජාල තොරතුරු අඩවි සහ මුහුණු පොත් පිටු මේ ගමන සැලසුම් කරගන්න ඔබට බොහෝ උදව් වේවි. ඒ තොරතුරු  වලට දිනපතා අළුත්වන සේයාරූ , සජීවී Webcam දර්ශන වගේම කොලවල පාට වෙනස් වන රටාව ගැනත් තොරතුරු ඇතුලත්. Algonquin park fall colour report ඉන් ප්‍රධානයි.   

   

ඒ තොරතුරු බලල මම නම් ගමන සැලසුම් කරගත්තා. දවස් 5 කට කලින් උදෙන්ම අන්තර්ජාලයෙන් Day pass  එකක් book කරගත්තා. ටොරොන්ටෝවේ ඉදන් පැය 3 ක විතර ගමනකට පස්සෙ Huntsville නගරයෙන් දකුණට හැරිලා Highway 60 එකෙන් බටහිර දොරටුවෙන් උද්‍යානයට ඇතුළු වුනා.  Fall colours අසිරිය බලාගෙන කිලෝමීටර 80ක වේගයෙන් Ottawa පැත්තට යන්න ඔබට Day Pass එකක් අවශ්‍ය නොවුනත් තනි මං තීරුවක් තියෙන ඒ පාරෙ ඔබට කිසිසේත්ම වාහනය පාර අයිනෙ නවත්වලා Fall colours බලන්න අවසර නැහැ.  

අන්තර්ජාලයෙන් හරි උද්‍යානයේ මායිම් දොරටුවල තියෙන තොරතුරු මධ්‍යස්ථාන වලින් හරි ගන්න පුළුවන් සිතියම් ඔබේ ගමනෙදි වාහනය නවත්වන්න පුළුවන් තැන් , Trails සහ Hikes වල තොරතුරු දැනගන්න පුළුවන් හොද මුලාශ්‍රයක්. අපි බටහිර දොරටුවේ තොරතුරු මධ්‍යස්ථානයෙන් සිතියමක් ගත්තා. දවසේ වෙලාව අනුව යන්න පුළුවන්  Trail කිහිපයක් ගැන කෙටි සටහනක් ගහගත්තා. West Gate එකේ ඉදන් East Gate එකට කිලෝමීටර 55 ක් තියෙනවා. ඔබට යන්නට පුළුවන් තැන් සිතියමේ ලකුණු කරලා තියෙන්නෙ ඒ මාර්ගයෙන් හැරිලා යන විදිහටයි.  


Algonquin Art Centre  

West gate  එකේ ඉදන් කිලෝමීටර් 20 ක් ගියාම Algonquin Art Centre  එක හමුවෙනවා. කැනඩාවේ ස්වභාව සෞන්දර්ය චිත්‍ර කලාවේ නම තැබූ Group of Seven  චිත්‍ර ශිල්පීන් ගැන මීට පෙර චාරිකා සටහන් වල විස්තර සටහන් කොට තිබෙනවා. ඔවුන්ට ආභාෂය සැලසූ      Tom Thomson  ගේ පටන් වර්තමානයේ ප්‍රකට චිත්‍ර ශිල්පී Michael Dumas  දක්වා චිත්‍ර ශිල්පීන් රැසකගේ තෙල් සායම්, දිය සායම් ඇතුළු විවිධ වර්ගවල චිත්‍ර රැසක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්. ඒ වගේම මෙතැනදී චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර මිලදී ගන්නත් පුළුවන්. ගණන් තරමක් ඉහල වුණත් ඔබට ගන්නට පුළුවන් නම් ඒවා හරිම අගෙයි. ඒ වගේම ඒ පරිශ්‍රයේ පැවැත්වෙන චිත්‍ර පන්ති සහ සමූහ ක්‍රියාකාරකම් බාල මහළු ඕනෑම වයසක කෙනෙකුට හොදයි.  

  


Algonquin logging Museum


මේ කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ උද්‍යානයේ  නැගෙනහිර දොරටුව කිට්ටුවයි. නැපෝලියන් බොනපාට් යුරෝපයෙන් එංගලන්තයට එන දැව සැපයුම නැවැත්තුවට පස්සේ බ්‍රිතාන්‍ය  නාවික යාත්‍රා වලට අවශ්‍ය සුදු සහ රතු පයින් දැව ලබාගත් ප්‍රධාන තැනක් විදියට Algonquin ප්‍රදේශය ඉතිහාසගත වෙනවා ජල පහරවල් හරහා Old Quebec City වෙතට ගෙන ගිය ඒ විශාල දැව කොට එතැනදී යුරෝපයට යන නැව් වලට පටවලා තියෙනවා. පස්සේ කාලෙකදී  ඇමරිකාවට අවශ්‍ය දැව සපයන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් විදියට සංවර්ධනය වූ මේ ප්‍රදේශයේ ලී මෝල් ,  දුම්රිය මාර්ග ඉදි කරලා පංච මහා විල් හරහා නැව් මගින් ඇමරිකාවට ඒ දැව ප්‍රවාහනය කළ හැටි ඔබට මේ කෞතුකාගාරයේ දී විස්තර ඇතුව දකින්න පුළුවන් . ඉතා දුක් ගැහැට  මැද්දේ එදා වෙහෙස මහන්සියෙන් විශාල සේවක පිරිසක් කල  කාර්යය වෙනුවට අද ඒ කටයුතු කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙන් ඉතාම සුළු සේවක පිරිසක්. 

වන වගාවන් කරමින් භාවිතය සඳහා අවශ්‍ය දැව ලබා ගන්නා අතරම පරිසරය සමතුලනය සඳහා අවශ්‍ය වන ගහනයක් පවත්වාගෙන යන්නත් , පරිසරය රස විඳින්නන් සදහා ක්‍රියාකාරකම් සහිතවත් මේ  අපූරු උද්‍යානය ක්‍රියාත්මක වෙනවා. කූඩාරම් කඳවුරු බිම් , බයිසිකල් පදින්න, ඇවිදින්න වගේම මේ උද්‍යානය තුළ තිබෙන විශාල විල් ප්‍රමාණය ,  Canoe, Kayak , මෝටර් බෝට්ටු පදින්නත් ඔබට ඕනෑතරම් ඉඩකඩ ලබා දෙනවා.

අපි තවත් වැඩිපුර Fall colours බලන්නට කිලෝමීටර් 70ක් විතර ගෙවල Peterborough පැත්තෙන් ආපහු ආවා. ඔබත්  කැමතිනම් ඒ වැඩිදුර ගෙවන එක පාඩු නැහැ කියලයි මට හිතෙන්නෙ.  


අනුරුද්ධ වැලිගමගේ  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

12 comments:

  1. Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. හැමදා වාගේම ඔබගේ සංචාරක සටහන් අපිව එතැනට ගෙනියනවා.
    එම ස්ථානයේ තිබෙන වටාපිටාව ස්වභාව සෞන්දර්‍යය වැනි කරුණු වගේම එහි ඇති පෞරාණික බවද එක් කොට ඇති වීම විශේෂිත කාරණයක්

    අවසානයේ කියන්නට ඇත්තේ අර නන්දා මාලණියගේ ගීතයම තමයි!
    "අනේ අපි කවදාද පීනන්නේ ඒ ගඟේ . . . . //"

    "ශනිදා දහයට" එක්වූ ඔබ සාදරයෙන් වැළඳ ගන්නෙමු!

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ශනිදා දහය තුලින් බ්ලොග් රචකයින්ට යලිත් බ්ලොග් රචනා ලියන්නට කල අත්වැල අගෙයි.
      මම යම් තැනකට යන්න කලින් අන්තර්ජාලය , යූ ටියුබ් වීඩියෝ බලල යම් පුර්ව සුදානමක් කරනවා. ඒ තුලින් ඒ යන තැන ගැන හොද අවබෝධයක් ගන්නට මට පුළුවන්. ඒ ගැන සටහනක් ලියද්දී , එහෙමත් නැත්නම් වැඩසටහනක් කරද්දී හොද යමක් කරන්නට එවිට මට පුළුවන්. ඒ වගේම ඒ තැන් හා බැදුණු වෛරී සහ අසුබවාදී අතීත සිදුවීම් ඉදිරිපත් නොකර ඉන්නේ ඒවා ගැන කතා කිරීමෙන් වැඩක් නැති හින්දයි.
      "හැමදා වාගේම ඔබගේ සංචාරක සටහන් අපිව එතැනට ගෙනියනවා." අඩුම තරමින් එතැනට යා නොහැකි තවත් කෙනෙකු ඒ ගැන දැනගන්නා හින්ද ඔබේ කියමන ගැන මා සතුටු වෙනවා.අපි යටත් වාසීන් හෝ දේශ වාසීන් ගෙන් මිදී ලෝකවාසී මිනිස් ආකල්ප වලට යනවා නම් බොහෝ දේ තවත් සුන්දර වේවි .

      Delete
  3. කලාව, පරිසරය විදින්න දන්න මිනිස්සුන්ට තමයි... ජීවිතයේ සතුට උපරිමයෙන් භුක්ති විඳින්ට ඇහැකි.
    කැනඩාව ඒ අතින් ඉදිරියෙන් ඉන්නව. මේ තමයි ඒවට සාක්ෂි!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. අපූරු සටහනක් වගේම අපූරු පින්තූර ටිකක්. ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. ලස්සන කවියක් වගේ සටහනක්. කියවන්නත් බලන්නත් ආස හිතෙනවා. වටිනවා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  6. Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete