


කැනඩාව කියන්නේ සංක්‍රමණිකයන්ගෙන් පිරුණු රටක්. ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත බල ප්‍රදේශ ලෙස පැවැති බිම් කොටස් 1867 දී කැනඩාව නම් වූ රාජ්‍යයක් ලෙස සකස වුනු පසුවත් අද මේ අප දකින රට බිහිවන්නට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල වශයෙන් දායක වී තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දෙනා ආවෙත් ආවේ යුරෝපයෙන් නැව් මගින් අත්ලාන්තික් සාගරය තරණය කරමිනුයි.
හැලිෆැක්ස් වරාය හරහා කැනඩාවට පිවිසෙන සංක්‍රමණයකින්ගේ කටයුතු පහසු කරනු පිණිස කැනඩා රජය විසින් හැලිෆැක්ස් වරායේ 21 වන ජැටිය ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවේ 1928 වසරේ දී. ඒ හරහා නැව් මගින් එන මගීන් සේම ඔවුනගේ බඩු බාහිරාදිය ගොඩබෑම ක්‍රමවත්ව සිදු කරන්නටත් එවක ප්‍රධාන ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යය වූ දුම්රිය භාවිතයෙන් ඔවුන් යන්නට බලාපොරොත්තු වූ කැනඩාවේ ඈත ගමනාන්තයට යවන්නටත්, නීතිමය වශයෙන් ඉතා වැදගත් ආගමන කටයුතු නිසි ලෙස සිදුකරන්නටත් , රේගු කටයුතු වෙනුවෙනුත් පරිශ්‍ර ඉදි කෙරුණා. රැකියාව හෝ සංක්‍රමණ සම්බන්ධය තහවුරු කෙරෙන තුරු තාවකාලික රඳවා තබා ගැනීම් කරන්නටත්, එකල අත් අකුරින් භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් පිරවෙන පෝරම බහුල ලේඛන කටයුතු සඳහා ගතවෙන කාලයේදී කුඩා දරුවන් බලා ගැනීමට මෙන්ම දුම්රියෙන් දින කිහිපයක් ගමන් ගන්නා කාලයේදී කෑම පිසීමට අවශ්‍ය බඩු මිලදී ගන්නට කුඩා වෙළද සැලක් සේම මේ පරිශ්‍රයේ සිටිනා කාලය තුළ ආහාර ලබාගන්නට අවශ්‍ය පහසුකම් වලින් මේ සංකීර්ණය පිරී තිබුණා.
දෙවන ලෝක යුධ සමය අවසන් වූ සැනින් ජනගහණය අධික ලෙස වර්ධනය වුවත් ( Baby boomers) , ඉන් පසුව එලෙස ජනගහණය වර්ධනය නොවීම නිසා කැනඩාවට අවශ්‍ය අන්දමින් රටේ ශ්‍රම බලකාය වර්ධනය වුනේ නැහැ. වැඩිවන විශ්‍රාමික පිරිසට දීමනා ලබාදීම සහ රටේ එදිනෙදා ව්‍යාපාර සහ සේවා පවත්වා ගෙන යාමට කැනඩාවට වැඩි වැඩියෙන් පිරිස් අවශ්‍ය වුනා. එයට විසදුමක් ලෙස යුරෝපයට පමණක් නොව ලෝකයේ අනෙකුත් මහද්වීපවල සිටින පිරිස් සඳහාත් කැනඩාවේ සංක්‍රමණික ඉඩකඩ විවෘත වීම නිසා ලෝකයේ නන් දෙසින් පැමිණි පිරිස් වාණිජ ගුවන් යානා මගින් පැමිණිමත් නිසා 1971 දී මේ පරිශ්‍රය වසා දැමුණා.
කැනඩාවේ දෙකොන යා කළ කැනීඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය දෙපස ප්‍රෙයරි තණබිමේ සරුසාර ඉඩම් සංවර්ධනය සඳහා , 1940- 50 කාල සීමාව තුළ දෙවන ලෝක යුද්ධයෙන් පීඩා විඳි පිරිස්, දෙවන ලෝක යුද්ධයට කැනඩාවෙන් යුරෝපයට ගිය සෙබළුන්ට දාව උපන් දරුවන් සමග පැමිණි යුධ බිරියන්
( War Brides) නිසාත් මේ පරිශ්‍රය කැනඩා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.
1971 සිට 1997 දක්වා විවිධ නාවික පුහුණු කටයුතු සඳහා භාවිත වූ මේ පරිශ්‍රය 1997 දී National historic site එකක් බවටත්, 2009 දී හැලිෆැක්ස් වරාය පාලනාධිකාරිය සමඟ එක්වී කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය ලෙසත් සකස් කෙරුනා . මෙය කැනඩාවේ තිබෙන ජාතික කෞතුකාගාර නමයෙන් එකක් වගේම කැනඩාවේ අග නගරය වන ඔටවා නුවරින් පිටත පිහිටුවා තිබෙන ජාතික කෞතුකාගාර දෙකින් එකක්,
කැනඩාවේ සංක්‍රමණික ක්‍රියාවලියේ සම්පූර්ණ කතන්දරය මේ කෞතුකාගාරයේදී ඔබට මැනවින් වටහා ගන්නට පහසු ආකාරයට මෙම කෞතුකාගාරය මනාව නිර්මාණය කර තිබෙනවා. පැයෙන් පැයට ක්‍රියාත්මක වන ගයිඩ් ටුවර් එකට එකතු වුණොත් ඔබට එහි තොරතුරු සජීවි අන්දමින් විස්තර කරන්නට එහි මග පෙන්වන්නන් කටයුතු කරනවා. භාවිතයෙන් ඉවත් කළ CN - Canadian National මගී දුම්රිය ගැල් දෙකක් ඇතුලට වන්නටත් පිටතට පෙනෙන පරිදිත් පිහිටුවා තිබෙනවා. ඒ ඇසුරින් එදා සංක්‍රමණිකයන්ගේ කැනඩාව ඇතුළත දුම්රියෙන් ගමන් කළ හැටි ගැන ඔබට සම්පූර්ණ අවබෝධයක් ගන්නටත් පුළුවන්.
විසිඑක්වන ජැටිය අදත් හැලිෆැක්ස් වරාය භාවිතා කරනවා. අද එය භාවිතා වන්නේ සංචාරකයින් ගමන් කරන Cruise Ships සඳහා.
21 වන ජටිය සකස් කරන්නට පෙර කැනඩාවට මිනිසුන් සංක්‍රමණය වූ හැටි, හැලිෆැක්ස් වරාය එහිදී මූලික වුණේ ඇයි ?. කැනඩාවට ඇතුළුවන්නට සංක්‍රමණික පිරිස් මේ යොදාගත්තේ කොහොමද ? අත්ලාන්තික් සාගරය හරහා සති දෙකක තුනක ගමන කොයි වගේ එකක්ද? නැව්වල කුටි සහ සැකැස්ම , කැනඩාවට පැමිණි පසු මේ පරිශ්‍රයේදී සිදුවූ ක්‍රියාවලිය, සංක්‍රමණික රෝහල, කැනේඩියානු පුරවැසියෙකුට එහෙමත් නැත්නම් ස්ථිර පදිංචිකරුවෙකුට 21 වන ජැටිය වැදගත් වන්නේ කොහොමද ? , නැවෙන් ගොඩ බට පිරිස් සිය වාරය එනතුරු රැඳී සිටි ශාලාවේ තොරතුරු , මගීන් එකිනෙකා ගෙනා විවිධ වර්ගයේ බඩු භාණ්ඩ සහ ගමන්මළු , කැනඩාවේ විවිධ සංක්‍රමණික රැළි, 21 වැනි ජැටියේ මතක සොයාරූ එකතු, මේ පරිශ්‍රයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයින්ගේ නිල ඇඳුම්, මෙහි සේවයේ යෙදුණු ස්වේච්ඡා පිරිස ගැන පූර්ණ අවබෝධයක් ඔබට මේ කෞතුකාගාර සංචාරයකදී දැනගන්නට පුළුවන්.
මේ කෞතුකාගාරයේම පහත මාලයේ පිහිටුවා තිබෙන SFHC - Scotiabank Family History Centre ආයතනය මගින් ඔබේ මුතුන් මිත්තන් මේ පරිශ්‍රය හරහා කැනඩාවට පැමිණ ඇත්නම් ඇත්නම්, ඔවුන් කැනඩාවට පැමිණි යාත්‍රාව සහ නැංගුරම් ලද දිනය, ඔවුන් ගමන් ගත් දුම්රිය, පදිංචිය පිණිස ගියේ කුමන ප්‍රදේශයකටද, සමහර විට ජීවත් වූ ප්‍රදේශයේ තොරතුරු දැනගන්නටත් පුළුවන්. ඊට අමතරව මේ විෂය පිළිබඳ පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වන පරිශීලන ග්‍රන්ථ සහ තොරතුරු එකතු රැසක් මෙහි තිබෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.



















No comments:
Post a Comment