මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 18, 2026

සීතල යුද්ධයෙන් පසු සඳමතට මිනිසුන් ගෙනයන නාසා ආයතනයේ ආර්ටිමිස් (Artemis ) මෙහෙයුම් .

 

ගුවන් යානා සහ දුම්රිය ගැන මහත් උනන්දුවෙන් පසුවන මම මේ මාසය මුලදී ආටේමිස් මෙහෙයුම ගැන තොරතුරු හෙව්වා . බෙන් හබ්ඩ් ගේ මේ පොත දැක්කේ ඒ අතරේ. අවුරුදු කටේ වුනත් මම ඒ ගැන ජයත් මහත්මා ට කිව්වා. අවුරුද්දෙන් පස්සෙ වැඩට ආපු කණඩායම ඒ සටහන මේ සතියේ සිළුමිණ පත්තරේ දාල තිබුනේ මෙහෙමයි. 

  



අනුරුද්ධ වැලිගමගේ

කර්තෘ මණ්ඩල ප්‍රධානි, ශ්‍රීලංකන් නිව්ස් වෙබ් පුවත්පත, මිසිසාගා, කැනඩාව


" ආර්ටිමිස් ව්‍යාපෘතිය නැවත මිනිසුන් සඳමතට ගෙන යාමට නියමිතයි. 1972 දී ඇමෙරිකා එකසත් ජනපදය ඇපලෝ ව්‍යාපෘතිය නවත්වන තුරුම 1969 සිට 1972 අතර කාලය තුලදී අවස්ථා 6 කදී අභ්‍යවකාශ ගාමීන් 11 දෙනෙක්  සඳ මතට පා තබා තිබේ . ඇපලෝ ව්‍යාපෘතිය ඒ නමින් නම් වන්නේ  ග්‍රීක මිත්‍යා කතාවල එන ඇපලෝ දෙවියන් නිසයි. ඇපලෝ ව්‍යාපෘති විශිෂ්ට අභ්‍යවකාශ චාරිකා රැසක් ඉතිහාස ගත කර තිබේ . ආර්ටිමිස් ව්‍යාපෘතිය නම් වන්නේ ඇපලෝ දෙවියන්ගේ  නිවුන් සොහොයුරිය ආර්ටිමිස් දෙවඟන සිහිගන්වමිනි. එය මනුෂ්‍යයා තුල ඇති අභ්‍යවකාශ ආශාවන් යලි දල්වන එකක් වෙතැයි විශ්වාශ කෙරේ .


ඇපලෝ ව්‍යාපෘතිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර පැවති අභ්‍යවකාශ තරඟයේ එක් කොටසකි. සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය රුසියාව ඇතුළු රාජ්‍යයන් 15 කින් සමන්විතව තිබී 1991 දී බිද වැටෙන තෙක්ම ඇමෙරිකාවේ පසමිතුරු රාජ්‍යයක් වූ අතර දෙපිල අතර බොහෝ දේ වෙනුවෙන් ඉතා තියුණු  තරඟයක් පැවතිනි ." 

( පිටු 10,11 - නාසා හි ආර්ටිමිස් ව්‍යාපෘතිය ඊ මුද්‍රණයෙන් ) 



ඉරානයට එරෙහිව පැවති යුද්ධය පිළිබදව ලෝකය තුල වූ අවධානය බිදිමින්  මේ දිනවල ලෝක අවධානය යොමුවුනු අභ්‍යවකාශ ගමන ආර්ටිමිස් 2 මෙහෙයුමයි . අධික වියදම සහ ශීතල යුද්ධයේ උණුසුම පහව යාමත් සමඟ නැවතී තිබුණු ඇමෙරිකා එකසත් ජනපදයේ  අභ්‍යවකාශ ව්‍යාපෘති යලි පණ ගැන්වුනේ 2017 වසරේදී . සමහරු කියන්නේ එය නොනිල වශයෙන් පටන් ගත්තේ චීනය ලොවට අනාවරණය කල අභ්‍යවකාශ සැලැස්ම හමුවේ ඇමෙරිකාවට වන මදි පුංචි කමට කල වැඩසටහනක්  විදිහටයි.  සඳට සහ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සහ ජනපද පිහිටුවීම අරමුණු කර ගනිමින් පෞද්ගලික අංශයේද දායකත්වය ඇතිව ආර්ටිමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එය අදියර 5 ක් පුරා විහිදෙන දීර්ඝ කාලීන එකක්. ඉන් Artemis I      මිනිසුන් රහිත පර්යේෂණ යානාව 2022 නොවැම්බර් 16 වැනිදා  ගුවන් ගතවී සාර්ථක මෙහෙයුම නිමා කරමින් පෘතුවියට ආවේ 2022 දෙසැම්බර් 11 වැනිදා . 



2026 අප්‍රේල් 1 වැනිදා ගුවන් ගත වුනු අභ්‍යවකාශ ගාමීන් 4 දෙනෙකු රැගත් Artemis II දින 10 ක ගමනක් යන එකක්. නමටම ගැලපෙන ලෙසින් මුලින්ම සම්පුරණ කාන්තා මෙහෙයුමක් ලෙස සැලසුම් කෙරුණත් ශාරීරික යෝග්‍යතා ගැටළු සහ වෙනත් හේතු නිසා මිනිසුන් රැගත් මේ යානයට Reid Wiseman (Commander ) ලෙසත් , Victor Glover  (Pilot ) ලෙසත් , Christina Koch   සහ Jeremy Hansen   (Mission Specialists)  ලෙසත් සහභාගී වෙනවා. මේ අතරින් සුදු ජාතික නොවන පළමු ඇමෙරිකානු මෙහෙයුමක  නිරත වන අභ්‍යවකාශ ගාමීයා වන්නේ වික්ටර් ග්ලෝවර් . ඇමෙරිකානු චන්ද්‍ර මෙහෙයුමක නිරත පළමු අභ්‍යවකාශ ගාමිනිය වන්නේ ක්‍රිස්ටිනා කොච්. ඒ අතරින්  පළමු තිදෙනාම National Aeronautics and Space Administration- ඇමරිකානු අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරද්දී ජෙරමි නියෝජනය කරන්නේ CSA- කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියයි.  


ආර්ටිමිස් ව්‍යාපෘතියේ 3 වන අදියර Artemis III  2027 වසරේදී වාණිජ මෙහෙයුමක් ලෙසත් , Artemis IV 2028 වසරේ මුල් භාගයේදීත් , Artemis V 2028 අග භාගයේදීත් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා . ඉදිරි මෙහෙයුම් වෙනුවෙන් භාවිතා කරන්නට අපේක්ෂිත යානා වල අභ්‍යවකාශ ගාමීන්ට අමතරව ඉහල මිලක් දැරිය හැකි සංචාරකයින්ද සහභාගී කරවා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් සැකසුනු පොරොත්තු ලේඛන දිගු ඒවා බවත් සදහන්.    


" ඉතිහාසයේ පළමු වතාවට නාසා ආයතනයෙන් පිටත වෙනත් ආයතන විසින් ඇමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට අවශ්‍ය යානා සහ ආම්පන්න සැපයීම සිදුකරන්නේ ඇමෙරිකානු රජයට ඒ අතිවිශාල වියදම දරා ගැනීම අසීරු නිසාය.SpaceX, Blue Origin, Boeing  යන පෞද්ගලික ආයතන විවිධ සංකීර්ණ නව තාක්ෂණික පර්යේෂණ සිදු කරමින් නැවත නැවත භාවිතයට ගත හැකි යානා නිපදවීම සිදුකරයි. එම ආයතන වලට අනුව අභ්‍යවකාශය අනාගතයේදී ආදායම් උපදවන සංචාරක ගමනාන්ත වනු ඇත. ඔවුන් ඒ සදහා මුලින්ම පෘථිවියේ පහත් කක්ෂයේ හෝටල් ඉදිකිරීමටත් අපේක්ෂිතයි."  

( පිටු 19,20 - නාසා හි ආර්ටිමිස් ව්‍යාපෘතිය ඊ මුද්‍රණයෙන් )


ආටෙමිස් II කාර්ය මණ්ඩලය ඔවුන්ගේ මෙහෙයුම සඳහා වසර දෙක හමාරක  සිට  පුහුණු වූ අතර, එය 2023 ජුනි මාසයේදී පමණ ආරම්භ විය. මෙම පුළුල් පුහුණුව ඔරියන් කැප්සියුලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් , අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) සැරිසැරීම සම්බන්ධයෙන් සහ හදිසි ක්‍රියා පටිපාටි සහ මෙහෙයුම් සමාකරණ කෙරෙහි අවධානය යොමු කළ අතර, සැතපුම් 695,081  ක දුරක් ගොස්  දින 10 ක ගමනකින් පසුව 2026 අප්‍රේල් 10 වැනිදා සාර්ථකව සැන් දියෝගෝ වල පැසිපික් සාගරයට ගොඩ බැසීම සිදුකලා. .


ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා ගැන උනන්දුවෙන් පසුවන කෙනෙකු හැටියටත් , ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි නාසා ආයතනයේ අභ්‍යවකාශ යානා මෙහෙයුම් ,  ඇපලෝ සහ වත්මන් ආටිමිස් මෙහෙයුම කරන පරිශ්‍රයට  සංචාරයක යෙදුනු  කෙනෙකු හැටියටත් මේ පොත දුටු සැනින් එක හුස්මට කියවා නිම කලෙමි .  මේ දිනවල මාධ්‍ය තුලින් දැල්වූ උනන්දුව හරහා ඔබ වසර 55 කට පසුව සිදුවන නව සඳ ගමන් ව්‍යාපෘතියේ නොදත් විස්තර රැසක් සහ  අනන්‍ය සේයාරූ රැසක් මේ පොත තුලින් ඔබට කියවන්නට පුළුවන් . 

    




2026  අප්‍රේල් 19  වැනිදා සිළුමිණ  කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සංස්කාරක ජයත් පියදසුන් මහතාට 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment