මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 11, 2026

ගින්දරත් ශීතලත් එකට මුසු වුනු අපූරු අයිස්ලන්තය




ගිනි කඳු,  ග්ලැසියර වලින් වැසුණු හිම කඳු , දියඇලි සහ පාවෙන විශාල අයිස් කුට්ටි එකම තැනකදි බලන්නට පුළුවන් රටක් විදියට හඳුන්වන එක අයිස්ලන්තය හඳුනන එක තමයි සුදුසු. ජනප්‍රිය සංස්කෘතියේ දී මහත් ජනප්‍රසාදයට පත් Interstellar, Prometheus, Fast & Fury 8 කියන චිත්‍රපට වගේම Game of Thrones කතා මාලාවත්,  ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber)  මියුසික් වීඩියෝවත් රූගත කල පසුතල නිසා අයිස්ලන්තය කරා ඇදී යන සංචාරකයින් දෙගුණ තෙගුණ වී තිබෙනවා.


අත්ලාතික සාගරයේ , ආක්ටික්  මුහුදට පහළින් ග්‍රීන්ලන්තයට නැගෙනහිරට වන්නට පිහිටි දූපතක් වන අයිස්ලන්තය උතුරු ඇමරිකානු සහ යුරෝපා මහද්වීපය යන දෙකටම  අයත් වුනත් නෝර්වේ සහ ඩෙන්මාර්ක්  යටත් විජිත ලෙස පැවතුනු නිසාත් යුරෝපා මහද්වීපයට කිලෝමීට අටසීයක් තරම් දුරින් පිහිටි නිසාත් එය අයත් වන්නේ යුරෝපයටයි . ග්‍රීන්ලන්තය සහ අයිස්ලන්තය අතර තියෙන්නේ කිලෝමීටර් 280 ක දුරක් විතරයි. යුරෝපා ජාතීන් අතර තිබෙන සබදකම් නිසා යුරෝපය සහ අයිස්ලන්තය අතර වාහන ගෙන යා හැකි පාරු සේවා ක්‍රියාත්මක වෙනවා. ගුවන් මහින් යනවාට අමතරව සැලකිය යුතු පිරිසක් නිතිපතා තමන්ගේම වාහන වලින් එහෙම අයිස්ලනතයට එනවා.   


 


පරිසරයට ආදරය කරන ගවේෂණාත්මක සංචාරයට කැමැති පිරිසගේ බකට් ලිස්ට් ( Bucket List) එකේ ඉහලින්ම තියෙන රටක් වන අයිස්ලන්තයේ සංචාරයක යෙදෙන්නට පහුගිය දවසක මට පුළුවන් වුණා. මේ සටහන ලියවෙන්නේ ඒ අත්දැකීම් ඇසුරෙන්. ජූනි සිට අගෝස්තු වලදී පැය විසි හතරම තරම් දවසේ වැඩි කාලයක් ඉර එළිය පායන අයිස්ලන්තයට ගිම්හානයේදී පිරිස් ඇදෙන්නේ ගිනි කඳු,  දිය ඇලි සහ  ග්ලැසියර  බලන්නයි. ඒ අතර දිගු රාත්‍රිය කාලයක් තියෙන සැප්තැම්බර් මාර්තු කාලයේදී අහස වර්ණවත් කරමින් දර්ශනය වන Northern lights ලයිට්ස් බලන්නත් සමහර පිරිස් අයිස්ලනතයට  යනවා.  අපේ ගමනේ දී එලෙස Northern lights  බලන්නට විශේෂයෙන්ම සකස් කළ විනිවිද පෙනෙන විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ කූඩාරම් රැසක් අපිට දකින්නට ලැබුණා.


අයිස්ලන්තයේ සංචාරක යෙදෙන අය ගමන් ගන්නා ප්‍රධාන චාරිකා වර්ග දෙකක් තිබෙනවා. එකක් රත්තරන් වක්‍රය (Golden Circle ) ගමන . එය අයිස්ලන්ත Reykjavik අගනුවරින් පටන් ගෙන කිලෝමීටර් 250ක් පුරා විහිදෙන මේ ගමනට ගතවෙන්නේ පැය හය සිට අටක තරම් ධාවන කාලයක් වුණත් , හරියට තැන් බලල පරිසරය විදින්න නම් දින තුනක්වත් ඕන කියලයි කියන්නේ.




වාහනයක් කුලියට අරගෙන යන්න තමාම පදවාගෙන යන්නට බැරි,  වැඩි ගවේශණයකට මහන්සි නොවෙන අයට ගැලපෙන මේ ප්‍රදේශයේ සංචාරය කරන්න කැමති නම් ඒ වෙනුවෙන් සේවා සපයන සංචාරක ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා .ලෝක උරුමයක් වන උතුරු ඇමරිකානු සහ යුරේසියානු  Tectonic plates  වෙන් වන Almannagja George  තියෙන්නේ Pingvellier  ජාතික උද්‍යානය තුලයි . ඔබට පිහිනන්නට පුළුවන් නම් Snorkling  කරලා පැහැදිලි වතුරේම ඒ භූතට්ටු වෙන්වන තැන් දකින්න පුළුවන්.  ඒ වගේම Geysir Geothermal Area  එකේ තියෙන මඩ පොකුණ,  හැම විනාඩි පහක් දහයක් අතර කාලයේදීම අඩි හතළිහක් තරම් උසට වතුර විදින නිසා සේයා රූ ගන්න වගේම ඒ දර්ශනය වීඩියෝ ගත කරන්න පුල පුලා බලන් ඉන්න සංචාරකයන් අතරට ඔබටත් එකතු වන්නට පුළුවන්. Gulfoss  දියඇල්ල තට්ටු දෙකක් විදියට මහා ජල කලක් ඇදහැලෙන අඩි සීයක් තරම් උස දිය ඇල්ලක්. foss කියල නම ඉවර වෙන හැම තැනක්ම දිය ඇල්ලක් බවත් fjöll කියල ඉවර වෙන හැම තැනක්ම කන්දක් කියල අයිස්ලන්ත භාෂාවෙන් කියැවෙන බව පළමු දවසෙම අපි ඉගෙන ගෙන තිබුනා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවට geyser කියන වචනය එකතු වෙලා තියෙන්නෙ Geysir කියන අයිස්ලන්ත උණු දිය උල්පත නිසයි.  


2025 වසරේදීත් විදාරණය වුණු සක්‍රිය ගිණි කඳු තියෙන අයිස්ලන්තයට යන සමහරු ඒවා බලන්නත් යනවා. ආරක්ෂිතව ඒ තැන්වලට සංචාරකයින් ගෙන යන ආයතන රැසක් තිබෙනවා. ඔවුන් අදාල බලධාරීන් එක්ක නිරන්තර අවධානයෙන් ඒ කාර්යය කරනවා. ඒ අතරම තමන්ටම ඇවිදින මංපෙතක ගිහින් 2003 විදාරණය වුනු ගිනිකන්දක ලාවා ගලා ගිය පාර බලන්නත් පුළුවන්. සංචාරකයින් වෙනුවෙන් හොදින් පහසුකම් සලසා තියෙන සංචාරක ඉසව් සියල්ලටම පාහේ වාහන නවත්වන්නට මුදල් ගෙවන්න තියෙනවා. ඒ වෙනුවෙන් කිසිදු සේවකයෙක් නැහැ . ගේට්ටු නැහැ . හැබැයි කැමරා නම් තියෙනවා . හැමෝම අවංකව ඇප් එකෙන් හරි එතැන පිහිටුවා තිබෙන යන්ත්‍රයට කාඩ් එකෙන් හරි මුදල් ගෙවනවා. ඊට අමතරව අයිස්ලන්තයට යන කවුරු වුණත් උණු දිය උල්පතක නෑමක් අමතක කරන්නේම නෑ. ඒ තැන් වලදී ඇගේ තවරන  සිලිකා වලින් පිරුණු සුදු පාට මඩ තමන්ගේ හම පිරිසුදු කරන Deep Cleansing  එකක් කියලයි කියන්නේ.





අයිස්ලන්තයේ සංචාරයේ යෙදෙන තරුණ සහ ක්‍රියාශීලී අය යන ගමන රිං රෝඩ් එකේ

 ( Ring Road Tour ) ටුවර් එකයි. අයිස්ලන්ත දූපත වටේම යන හොඳින් සකස් කළ පාරට තමයි රිංග්‍රෝඩ රූට් 1 කියලා (Route 1)  කියන්නේ. එය කිලෝමීටර් 1322ක් දුරයි. ඕනෑම වාහනයකට යන්නට පුළුවන් වුණත් අයිස්ලන්තයේ කඳු පල්ලම් හින්දා ඔබට බොහෝ විට කුලියට ගන්නට වෙන්නේ අතින්  ක්‍රියාත්මක වන මැනුවල් ගියර් ( Manual Gear) වාහන තමයි. ඒ වගේම ජනශූන්‍ය ප්‍රදේශ වැඩි , හෝටල් පහසුකම් අඩු නිසා බොහෝ දෙනෙක් මේ වැඩේට යොදා ගන්නේ ජංගම නිවාස (RV Motorhomes )  එකක්. ඒවා නවත්තන්න පහසුකම් තියෙන පරිශ්‍ර රට වටේම තියෙනවා . වාහනයට අවශ්‍ය විදුලිය වගේම කෑම උයන්න , නාගන්න , වැසිකිළි යන්න, රෙදි හෝදගන්න , වේලගන්න  පහසුකම් ඒ තැන් වල තියෙනවා . සමහර තැන් වල නාගන්න වෙනම මුදල් ගෙවන්න වෙනවා . විනාඩි 7 කදී ඔබේ මුදල අවසන් වෙලා වතුර නවතිනවා. අවම තරමේ දින හතක් වත් අවශ්‍ය මේ ගමන හොඳින් කරන්න නම් සති දෙකක් ඕන කියලයි කියන්නේ. ඒ  වගේම බොරළු පාරවල් ( Gravel Roads) රැසක් තියෙන නිසා රිං රෝඩ් එකෙන් පිටට යනවා නම් ෆෝ බයි ෆෝ (4*4 - Four wheel Drive)  වාහනයක් තියෙනවා නම් වඩාත් හොඳයි. අපේ මුළු ගමනට කිලෝමීටර 3500 ක් තරමේ අගයක් එකතුවෙලා තිබුනේ විවිධ තැන් බලන්න , අශ්වයින් පදින්න වගේම ලස්සන මුහුදුබඩ ගම්මාන , දියඇලි , ගිණිකදු රැසක් බලන්න අපි රිං රෝඩ් එකෙන් පිට ගිය නිසයි. ඒ නිසා වාහනය වෙන්කරවා ගන්නකොට අසීමිත කිලෝමීටර ( Unlimited Kilometers) ගණනකට ගන්න එක සුදුසුයි.  


වර්ග කිලෝමීටර් අට දහස් එක සීයක් (8100) විසුරුණු යුරෝපයේ ලොකුම Vatnajokull  ග්ලැසියර් එක, විශාල අයිස් කුට්ටි  පාවෙන Glacier Lagoon එක,  දියඇලි සහ දැනට ක්‍රියාත්මක නොවන පැරණි ගිනිකඳු අති විශාල සංඛ්‍යාවක් , ලස්සන ධීවර ගමන රැසක් ඔබට මේ ගමනේදී දකින්න පුළුවන්. කළු වැල්ලෙන් පිරුණු  විවිධ වෙරළ තීර,  පර්වත හැඩයන්,  ගුහා වගේම වහලෙට තණකොල වගාකර තිබෙන පල්ලි,  ගෙවල් බලන්නත් ඔබට පුළුවන් . මදුරුවො දකින්නට නැති අයිස්ලන්තයේ ඉන්නා එකම ස්වදේශීය ක්ෂීරපායී සත්වයා වැන්නේ ආක්ටික් නරියා( Arctic Fox ). විශාල කොණ්ඩයක් තියෙන අපූරු අයිස්ලන්ත ආශ්වයන්,  පිනිමුවන් වගේම බැටළුවන් ඔබට රිං රෝඩ් එකේදි පහසුවෙන් දකින්නට පුළුවන්. අයිස්ලන්තයේ ඉන්නා මිනිසුන් ගණනට වැඩි සංඛ්‍යාවක් බැටළුවන් ඉන්නවා කියලයි කියන්නෙ. රිං රෝඩ් ගමනේදී  ඔබේ ගමන කෙටි කරගන්න ඔබට උමං 4 ක් පාවිච්චි කරන්න පුළුවන්. Hvalfjörður  එක මුහුද යටින් යන එකක්. Almannaskarð , Fáskrúðsfjarðargöng කදු වටේ යනවා වෙනුවට කදු අතරින් යන්න හැදූ ඒවා. Vaðlaheiði පාවිච්චි කරන අය ගමන යන්න කලින් හරි ගමන ගිහින් පැය 24 ක් ඇතුලත ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න ඕන. කැමරාවෙන් වාහනේ නොම්මර තහඩුව ස්කෑන් කරනවා .එහෙම නොගෙව්වොත්  වාහනේ අයිති කෙනාට ගාස්තුව වගේම දඩයකුත් ගෙවන්න වෙන නිසා වාහනය කුලියට දුන් ආයතනය  ඒ ගැන අපට කිහිප වතාවක් කිව්වා. පැයට කිලෝමීටර 90 ක වේගයකින් බොහෝ තැන්වල මේ පාරේ යන්න පුළුවන්. වේගය පාලනය කරන්න තැනින් තැන කැමරා විශාල ගණනක් සවි කරලා තියෙන්නෙ ගාණ සැර දඩේ අයිතිකාරයටම යවන විදිහටයි. 




ඒ වගේම රිං රෝඩ් එකේ යද්දී Eyajafjoll  කඳුවැටියේ Brekkukot ගොවිපළේ වැටේ තනපට එල්ලා තිබෙනවා. ලෝ ප්‍රකට නවසීලන්තයේ  Cardrona Bra Fence  එකට අමතරව ලෝකේ මේ වගේ එකක් තියෙන අනිත් තැන තමයි මේ . ගෑණු ළමයි වගයක් දවසක් රෑ පාටියක් ඉවර වෙලා ඇවිත් තමන්ගෙ තණපට ගලවල දාලා මේ වැඩේ පටන් ගත්තා කියලයි කියන්නේ.  Sigurour Hjartarson කියන ගුරුවරයා දරුවන්ට විද්‍යාව කියා දෙන්න 1974 දී ගව ශිෂ්ණයක් යොදාගෙන පටන් ගත්ත ගමනින් ආරම්භ වුණු ලෝකෙ තියෙන එකම ශිෂ්ණ කෞතුකාගාරය තියෙන්නෙත් අයිස්ලන්තෙ. මිනිසුන් ඇතුළුව සත්ව ලෝකයේ විවිධ ක්ෂීරපායී සතුන් 100 කට වැඩි ගණනකගේ ශිෂ්න 300 කට වැඩි  ප්‍රමාණයක් තියෙන මේ පරිශ්‍රයත් ඔබට අයිස්ලන්ත සංචාරයට  එක් කරගන්නට පුළුවන්. දැන් එය පවත්වා ගෙන යන්නේ ඔහුගේ  පුතා. තාත්තා ශිෂ්න එකතු කරන්න සත්ව ඝාතනාගාර ( Slauterhouses ) වලට ගිහාම තමන් ලැබූ අමිහිරි අත්දැකීම් ගැන ඔහුගේ දියණිය කියල තියෙන හැටි  ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්.

අයිස්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් සියයට 11කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් වැහිලා තියෙන්නෙ ග්ලැසියර් වලින්. ඒවගේම පර්වත ගන් ගිනිකඳු විදාරණය වෙලා විසුරුණු ලාවා සහ පර්වත කොටස් නිසා විශාල ගස් සහිත වනාන්තර වෙනුවට බොහෝ ප්‍රදේශවල තියෙන්නේ පාසි බැඳුණු කුඩා පැළෑටි පිරුණු බිම් තමයි. 


අයිස්ලන්තියේ බලශක්තිය සම්පූර්ණයෙන්ම වගේම නිෂ්පාදනය කරන්න ජල විදුලිය සහ පොළොව යට තිබෙන කරන්නේ Geothermal උණුසුමෙන්.. ඒ වගේම විදුලි වාහන ඇතුළු පරිසර හිතකාමී කටයුතු වෙනුවෙන් රජයේ මහත් සහයක් රට පුරාම දකින්න පුළුවන් .  කුණු බිත්තර ගඳ තිබුණත් අයිස්ලන්තයේ  වතුර ලෝකෙ හොඳම පානීය ජල මූලාශ්‍රයක් කියලා කියනවා අපායේ කතාවල අහල තිබිච්ච ලෝදිය වගේ පෙන දමමින් උතුරන ජල සහ විවිධ වායූන් නිකුත්වෙන තැන්වලින්  සමහරක්  ආරක්ෂිත සීමා මායිම් යටතේ සංචාරකයන්ට විවෘතව තිබෙනවා. අයිස්ලන්තයේ සාම්ප්‍රදායික ක්‍රමයට පොළොවේ වළල්ලා Geothermal උණුසුමෙන් උදුනක වගේ  පාන් පිළිස්සූ  බවත් කියවෙනවා.




ඉතිහාසය දිහා බැලුවොත් ක්‍රිස්තු පූර්ව 874 දී නෝස් වයිකින් වරු අයිස්ලන්තියට ගිය බවයි කියන්නේ. ඒ වගේම යුරෝපයේ පැරණිම පාර්ලිමේන්තුව තියෙන්නෙත් අයිස්ලන්තයේ කියලා කියන්නේ. ඒ මීට අවුරුදු 1096  කට කලින් කිස්තු වර්ෂ 930 දී. 


ජුල්ස් වර්න් ගේ  විද්‍යා ප්‍රබන්ධවල හැටියට පෘථිවියේ මධ්‍යයට යන පාර තියෙන්නේ අයිස්ලන්තයේ Snaefelljjokul  ග්ලැසියර්  වලින් වැහුනු ගිනිකන්දේ තමයි.  ඒ වගේම 1965- 1967  කාලයේදී ඇමරිකානු නාසා අභ්‍යවකාශ ගාමින් සඳ මතට ගොඩ බැසිම පුරුදුවන්නට ගිහින් තියෙන්නෙත් අයිස්ලන්තයට. 2006 වනතුරු ශීතල යුද්ධය සමයේ රුසියාවෙන් ඇතිවිය හැකි තර්ජන වෙනුවෙන් නේටෝ ගිවිසුමට අනුව විශාල ඇමෙරිකානු හමුදා කදවුරක් අයිස්ලන්තයේ තිබුනත් අඩු තර්ජන සහ වියදම් කප්පාදුව එක්ක  එය වසා දමා තිබෙනවා.  




කිසිවක් නොවැවෙන ඉතා අඩු කෘෂි නිෂ්පාදනයක් තියෙන අයිස්ලන්තයේ සියලු දේම පාහේ ආනයනය කරන්නේ යුරෝපයෙන්. ඒ වගේම අයිස්ලන්තයේ බදු අගයක් ඉහලයි ඒ නිසා අයිස්ලන්තයේ හැම දෙයක්ම සාමාන්‍ය යුරෝපීය සහ උතුරු  ඇමරිකානු මිල වගේ දෙතුන් ගුණයක් නිසා ඔබත් සංචාරකයට යනවා නම් කලින්ම තොරතුරු හොයාගෙන සැලසුම් කළොත් පසුම්බියට පහසුවක් වේවි.  ජූලි , අගෝස්තු මාස අයිස්ලන්තයේ සංචාරක ස්ථාන ඉතා කාර්යබහුල නිසා ඔබ කැමති නම් මැයි මාසෙ මැද ඉදන් ජූනි අග වෙනකම් කාලෙ වගේම සැප්තැම්බර් මාසෙ ඔබ යනවා නම් නිදහසේ ඒ පරිසරය විදින්නත් , පසුම්බියට මුදලක් ඉතිරි කර ගන්නත්  පුළුවන්. ඒ කොහොම වුණත් අයිස්ලන්තය කියලා කියන්නේ ජීවිතේ එක් වරක් හෝ බලන්නට වටින ලෝක බිම්කඩක්.


අනුරුද්ධ වැලිගමගේ



2026 ජූනි 28 වන ඉරිදා සිළුමිණ පුවත්පතේ පලවූවකි. විශේෂ ස්තූතිය සිළුමිණ නියෝජ්‍ය කතෘ ජයත් පියදසුන් මහතාට

මේ ලිපිය ඉඩකඩ සීමාවන් යටතේ ලියැවුනකි. අයිස්ලන්තයේ බලන්නට වටින තැන් රැසක් ගැන ලිපි පෙලක් ඉදිරියේදී ලියන්නම් . 


සේයාරූ -  අන්තර්ජාලයෙන් , Pixabay images, Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment