සංචාරයට ප්‍රිය කෙනෙකු විදිහට ලෝකයේ විවිධ ඉසව්වලට යන මම පහුගිය දවසක අයිස්ලන්තයේ රිං රෝඩ් ( Iceland Ring Road ) එකේ සංචාරයක් නිම කළා. ගිනිකඳු සහ දිය ඇලි බහුල ග්ලැසියර වලින් පිරුණු අයිස්ලන්තය උණුසුම සහ සීතල එකට කැටි වූ අපූරු පරිසර පද්ධතියක් ( Iceland - Land of fire & Ice ) ඒ ගමන් ගැන ඉදිරියේදී මගේ ගමන් සටහන් ලියැවේවි.
මේ වතාවේ මම සටහනක් ලියන්නට හිතුවේ වෙනස් දෙයක් ගැනයි. සංචාරයට කැමති බොහෝ දෙනෙකුට මේ සටහන වැදගත් වේවි. අපේ සංචාරවල වර්ග දෙකක් තියෙනවා. එකක් අපි යම් තැනකට ගිහින් නිදහසේ යම් කාලයක් ගත කරන එක. එතකොට අප කරන්නේ කොටේජ් ( Cottage ) එකක් හරි කෑම්ප් සයිට් ( Campsite ) එකක් හරි වෙන්කරවාගෙන සැලකිය යුතු කාලයක් එම ස්ථානයේ නිදහසේ ගත කරන එකයි. එතනදි අපි බොහෝ දේ සැලසුම් කරන්නේ නෑ. නිදහසේ එම පරිසරය විඳින එක ගැන විතරයි එතනදි හිතන්නේ .ඒ ගමන්වල පූර්ව සැලසුම් බොහෝම අඩු මට්ටමකයි තියෙන්නේ.
අනිත් ගමන්වලදී අපි අවධානය යොමු කරන්නේ ලෝකයේ බලන්නට වටින තැන් රැසක් පසුම්බියට ගැලපෙන විදිහට අඩු කාලයකදී ආවරණය කරන්නයි. ගමන් පැය, ගුවන් පැය සහ සැලසුම් පැය වැදගත් වන්නේ එතකොටයි.
ලෝක සංචාර වලින් මේ වෙනකොට මම ආවරණය කරලා තියෙන්නේ ආසියානු, යුරෝපා සහ උතුරු ඇමෙරිකානු මහද්වීපවල කොටස් කිහිපයක් පමණයි. ඒවායින් බොහොමයක් ගැන විස්තර සටහන් මගේ බ්ලොග් අඩවියෙන් ඔබට බලන්නට පුළුවන්. බොහෝ දෙනෙක් සංචාරය අධික වියදම් කාරියක් විදියට දකින්නේ කලබලයෙන් ඔහේ යන හින්දයි .මට හිතෙන විදියට නම් ඔබ ඒ වෙනුවෙන් කරන සැලසුම් තමයි ඒ ගමන සාර්ථක කරන්නේ. ඔබ සැලසුම් කරන සියල්ලම ඔබට කරන්නට බැරි වුණත් අඩුම වශයෙන් එයින් තුනෙන් දෙකක්වත් ආවරණය කරගන්න ඔබට පුළුවන් වේවි. ඒ වගේම ඔබ තොරතුරු හොයා බැලුවොත් පැහැදිලි වෙන විදිහට, සැලසුම් කිරීම තුළින් ඔබට ඔබේ ගමන් වියදමෙන් තුනෙන් එකකට වඩා ප්‍රමාණයක් අඩු කරගන්නත් පුළුවන් හින්දා මම ගමන් සැළසුම් වෙනුවෙන් වැඩි කලක් වෙන් කරනවා. ඒ වගේම ඒ සැලසුමටම අනපේක්ෂිතව සිදුවන්නට පුළුවන් වෙනස්කම් වෙනුවෙන් ආදේශක තබා ගන්නත් පරිස්සම් වෙනවා. උදාහරණයක් විදිහට එකම ගමනාන්තයට ගුවන් යානා දෙකක් එකම ගුවන් සේවයෙන් යනවා නම් පළමුවැන්න සහ දෙවැන්න අතර පරතරය වගේම අතරමැද ගුවන් යානා මාරු වන කාලය ගැනත් හිතන්නේ සිදුවන්නට පුළුවන් ගුවන් ප්‍රමාද සහ යානා අවලංගු කිරීම් හින්දයි.
ගුවන් පැය ප්‍රමාණය, ගුවන්යානාව ගුවන්ගත වන වෙලාව ගමනකදී වැදගත් වන්නේ යානා කිහිපයකට මාරුවීම සහ දවල් කාලය ගුවන් යානා ගමනකට නාස්ති කිරීම කාලය කා දමන, ගමන් වෙහෙස වැඩි කරන දෙයක් නිසයි. අනිත් කාරණාව නම් රාත්‍රී කාලයේදී ගුවන් ගත වන ගුවන් යානාවල ගාස්තුවක් ප්‍රමාණාත්මකව අඩු එකක් .සතියේ කාර්යබහුල සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දින මගහැර ගුවන්යානා වෙන්කරවා ගැනීමත් , වසරේ ජනවාරි තුන්වන සතියේදී ගුවන් යානා ටිකක් පත් මිලදී ගැනීමත් ලාභදායි වන දෙයක්. සමහර වෙලාවට කාර්යබහුල කාලසීමාවෙන් ( Peak Season ) වෙනුවට අතරමැද කාලසීමාවන් ( Shoulder Season ) වල ගුවන්යානා වෙන්කරවා ගැනීමත් ලාභදායී වෙනවා. ඒ කාරණාවම කුලියට ගන්නා වාහන වලදීත් ( Rental vehicles) වැදගත්.
වැඩි කිලෝමීටර් ගණනක් රථ ධාවනය මට නම් වෙහෙසකර දෙයක් නෙමෙයි. හැබැයි ඒ වෙනුවෙන් මනා පෙර නින්දක් වගේම, නිසි කාල පරතරවල විවේකයත් හරිම වැදගත්. ඔබේ ගමන් වලට තවත් රියැදුරෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා නම් ඔබට ගමන මාරුවෙන් මාරුවට යන්නත් පුළුවන්. මේ වෙනකොට මම ගිහින් තිබෙන එවන් ගමන් කිහිපයක් ගැන ලියන්නම්.
Iceland , Ring Road - 3300 km - RV - (දින 10)
Canada, Trans Canada Hwy ( Calgary - Victoria BC)- 3200 km - RV, Rented Car + Ferry (දින 10)- 2 Times
Rome To London - Cross country tour, 7 Countries ( Italy, Switzerland, Germany, Belgium, Netherlands, France, United Kingdom- 3000 km- Bus Tour & ferry + Private additions via public transits & taxis ( දින 14)
United States of America- Las Vegas to Los Angeles via Phonix & Grand Canyon - 2800 km - Rented Cars (දින 10)- 2 Times
Canada, Trans Canada Hwy (Toronto - Cape breton Island NS) -4500km - Own Vehicle (දින 14)
Canada, Trans Canada Hwy (Halifax - Moncton NB & around PEI) -2500km - Rented Vehicle (දින 8)
මීට අමතරව කැනඩාවේ මා ජීවත්වන ඔන්ටාරියෝ පළාතේ සහ ඊට යාබද කැනේඩියානු පළාත්වලටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ අපට ආසන්න ප්‍රාන්ත වල සමහර නගර වලටත් දින හතකට අඩු කාලයකදී ගිය ගමන් අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා.
අඩු පිරිවැයක් වෙනුවෙන් එවන් අවස්ථාවලදී මම කරන්නේ ගමන සැලසුම් කරගෙන වාහනය කලින්ම වෙන් කරවා ගන්නා එකයි. සුළු අමතර මුදලක් ගෙවලා හදිසියේ ගමන අවලංගු කරන්න වුනොත් මුළු මුදලම ලබාගන්නා විදියට පහසුකමක් තියාගන්නත් මම අමතක කරන්නේ නෑ. මුද්‍රිත සිතියම්, අන්තර්ජාලයෙන් බාගත කරගත් සිතියම් මම ගමන් මල්ලට සහ දුරකථනයට දාගන්නේ අතරමගදී සන්නිවේදන පහසුකම් නොතිබෙන්නට ඉඩ තියන නිසයි.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න. මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.


.jpg)





No comments:
Post a Comment