ඒ 2020 ජූලි 25 වැනිදා. ලොව සෑම රටකටම සංචාරය කිරීමේ මගේ අරමුණ සම්පූර්ණ කරමින්, මගේ 197
වැනි රටට පා තැබීමට නියමිතව තිබුණේ මීට මාස දෙකකට පෙරයි . එහෙත් 2020 මාර්තු මාසයේ සිට
තවත් රටවල් හයක් ඉතිරිව තිබියදී මට නිවසටම වී සිටීමට සිදුව ඇති අතර, එම ගමනේ අවසාන අදියරට
මා ළඟා වන්නේ කවදාදැයි කිසිදු අදහසක් මට නොමැත. ලොව ඇති රටවලින් සියයට අනූ පහකට වැඩි
ප්‍රමාණයකට සංචාරය කිරීමෙන් පසු, මගේ ඉලක්කය සම්පූර්ණ කිරීමට තව ඉතිරිව ඇත්තේ රටවල් හයක්
පමණක් බව විශ්වාස කිරීමට පවා මට නොහැකිය - ඒ වෙනිසියුලාව, ඉක්වදෝරය, ජැමෙයිකාව, සෞදි
අරාබිය, ඝානාව සහ පලාවු යන රටවල්ය. ( පිටුව ix - පෙරවදන - Just Go)
ඕනෑම සංචාරයක් සඳහා මනා සූදානම අත්‍යවශ්‍ය වේ; ඔබ යන්නේ ආරක්ෂිත යැයි සැලකෙන රටකට හෝ අනතුරුදායක යැයි සැලකෙන රටකට වුවද, අනාගතය ගැන හෝ ඔබට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ගැන කල්තියා කිසිවක් කිව නොහැක. එබැවින්, හැකි උපරිමයෙන් කල්තියා සැලසුම් කිරීම නුවණට හුරු ක්‍රියාවකි. (33 වන පිටුව)
'Drew Binsky' ( ඩ්රිව් බින්ස්කි) යන අන්වර්ථ නාමයෙන් අන්තර්ජාලය තුළ ප්‍රකට ඩ්රිව්ගෝල්ඩ්බර්ග්
(Drew Goldberg), සිය සංචාරක වීඩියෝ (vlogs) සඳහා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු යූ ටියුබ්
(YouTuber) නිර්මාණකරුවෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇති ගණනින්
197 ක් වූ ලොව සෑම රටකටම ඔහු සංචාරය කර ඇති අතර, 2021 ඔක්තෝබර් 29 වන දින සෞදි
අරාබියේදී ඔහු සිය ඉලක්කය සපුරා ගත්තේය. මේ වනවිට ලෝකයේ රටවල් සියල්ලටම ගොස් තිබෙන
250 ක් තරමේ අතලොස්සක් අතුරින් වයස අවුරුදු 30ට කලින් ලෝකය වටේම කරක් ගැසූ කිහිප
දෙනාගෙන් කෙනෙකි.
විද්‍යාල අධ්‍යාපනයෙන් පසු, බින්ස්කි මාස 18ක් දකුණු කොරියාවේ සෝල් නුවර ඉංග්‍රීසි ඉගැන්වීමේ රැකියාවක නිරත විය. ඔහු එම කාලය තුළ ආසියාවේ රටවල් 20ක සංචාරය කිරීමටත් සමත් විය. 2015 දී ඔහු සිය ඉගැන්වීමේ රැකියාවෙන් ඉවත් වී පූර්ණ කාලීනව සංචාරය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, ඒ සඳහා ඉන්දියාව හරහා මාස 3ක තනි සංචාරයක් ආරම්භ කළේය.2015 ඔක්තෝබර් වන විට ඔහු ලෝකයේ රටවල් 73 කට සංචාරය කර තිබුණි. ඔහු "The Hungry Partier" නමින් සංචාරක බ්ලොග් අඩවියක් ආරම්භ කළ අතර Instagram සහ Snapchat හරහා තම සංචාර පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පටන් ගත්තේය.
2017 දී, වියට්නාමයේ හැනෝයි වෙත පදිංචියට ගිය අවස්ථාවේදී ඔහුගේ එවකට පෙම්වතිය වූ ඩියානා සලාවෝ (Deanna Sallao) ඔහුට කැමරාවක් මිලදී ගෙන දුන් අතර, එය ඔහුට තම YouTube නාලිකාව සඳහා වීඩියෝ නිර්මාණය කිරීමට සහ පළ කිරීමට පෙළඹවීමක් විය.2017 මැයි මාසයේදී, ඔහු උතුරු කොරියාවේ සිදු කළ සංචාරයක් පිළිබඳ වීඩියෝවක් තම YouTube සහ Facebook නාලිකාවලට එක් කළේය එම වීඩියෝව දින 2ක් ඇතුළත නැරඹුම් වාර මිලියන 10 ක් ඉක්මවා ගියේය. බින්ස්කි YouTube සහ Facebook හි වෙළඳ දැන්වීම් ආදායම මෙන්ම විවිධ වෙළඳ සන්නාම සමඟ ඇති කරගත් අනුග්‍රාහක හවුල්කාරිත්වයන් හරහා මුදල් ඉපයීමද ආරම්භ කළේ පූර්ණ කාලීනව සංචාරක කටයුතු වල නිරත වෙමිනි . සමාජ මාධ්‍ය තුළ ඔහුට අනුගාමිකයින් මිලියන 12කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ඔහු ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියයි: ඒ පැය 24 ක කාලයක් තුළ වැඩිම යුනෙස්කෝ උරුම ස්ථාන සංඛ්‍යාවක් නැරඹීම සහ ඉතා වේගයෙන් ගමන් මල්ලක් සකස් කිරීම වෙනුවෙනි.
කිසියම් සංචාරයකට පෙර මිතුරන් ඇති කරගන්න. ඕනෑම ගමනක් යාමට පෙර, මම සාමාන්‍යයෙන් මෙවැනි සටහනක් පළ කරමි: "ආයුබෝවන් මිතුරනි, මම ඉදිරි සති තුන තුළ ජෝර්ජියාහි රැඳී සිටිනවා; ඒ අවට සිටින අය කවුරුන් හෝ ඉන්නවාද?" ඉන්පසු මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙන අතර, ඒ අතරින් මා සමඟ කාලය ගත කළ හැකි පුද්ගලයින්ව මම තෝරා ගනිමි (20 වන පිටුව).
ඔබ කොතැනකට ගියත්, ලෝකය අත්විඳිය හැකි හොඳම ක්‍රමයක් වන්නේ ප්‍රදේශවාසියෙකු මෙන් සංචාරය කිරීමයි. ඒ අතරතුර, සංචාරකයින්ගෙන් අධික මුදල් අය කරන ස්ථාන මග හැරීම ද ඉතා යහපත්ය. නගර මධ්‍යයේ ඇති විශාල හා මිල අධික ආපනශාලාවලට වඩා, ප්‍රදේශවාසීන් අඩු මුදලකට ආහාර ගන්නා කුඩා හා සරල ආපනශාලාවලින් මගේ සංචාර අතරතුරදී මට බොහෝ විට ඉතා රසවත් ආහාර ලැබී තිබේ ( 23 වන පිටුව).
" Just Go " ඩ්රිව් බින්ස්කිගේ පොත ප්‍රයෝගිකව එක් රස කල අත්දැකීම් රැසක් සරල වදනින් කරන දැනුම් හුවමාරුවක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ප්‍රයෝජනවත් වන පොත් පිංචක් ලෙස සලකන්නට කැමැත්තෙමි. ඉඩකඩ සීමාවන් නිසා මේ සටහන නිමා කරන්නට " Just Go " පොතේ මේ ලියැවිල්ල එක් කිරීමට කැමැත්තෙමි.
" සෑම කෙනෙකුම සිනාසෙන්නේ එකම භාෂාවකිනි. සිනහව යනු ලොව ඇති එකම විශ්වීය භාෂාව බව මම නිතරම පවසන්නෙමි. ඒ ගැන මොහොතක් සිතා බලන්න; හුදෙක් සරල සිනහවක් මගින් බිලියන අටක් තරම් වූ මිනිසුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකිවීම කෙතරම් පුදුමාකාර දෙයක්ද? ශරීර භාෂාව භාවිත කිරීමෙන් ඔබට ඕනෑම දෙයක් සන්නිවේදනය කළ හැකිය; ඔබට කුසගින්නක් දැනේ නම්, වෙහෙසක් දැනේ නම් හෝ වැසිකිළියක් භාවිත කිරීමට අවශ්‍ය නම්, අතින් පෙන්වීම හෝ මුහුණේ ඉරියව් මගින් ඒ බව ප්‍රකාශ කළ හැකිය." ( Just Go 73 වන පිටුව)
2026 අගෝස්තු 16 වැනිදා සිළුමිණ කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය සිළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට
මේ දිගුවෙන් ඔබට ලිපිය විද්‍යුත් පුවත්පතින් කියවන්න පුළුවන්
https://www.silumina.lk/2026/08/16/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/65494/%e0%b6%85%e0%b6%a9%e0%b7%94%e0%b6%b8-%e0%b7%80%e0%b6%ba%e0%b7%83%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b7%99%e0%b6%b8-%e0%b6%9a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b6%9c/
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.



.jpg)



.jpg)
No comments:
Post a Comment