මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 30, 2023

ඇනෝලාට බයවෙන්න උවමනා ද ?

 

දියුණු සමාජයක කියවීමේ සහ ලිවීමේ නිදහසක් උපරිමයෙන්ම තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.  ඒ වගේම විශේෂයෙන්ම සිංහල බ්ලොග් ලියැවිලි ලියන අපි බ්ලොග් එකක් පවත්වාගෙන යන්නේ රසිකයන් කියල හිතන පිරිසක් එක්ක නිර්මාණ ගනුදෙනුවක යෙදෙන්නයි. ගෝත්‍රිකත්වයෙන් මිදුණු  ඒ  දියුණු සමාජයේම අපි ලියන දේවල් වලට වගේම අපි අනික් අයට තබන ප්‍රතිචාරවලටත් යම් සීමාවක් තියෙන එක සුදුසුයි කියලයි මම හිතන්නේ.

නිර්මාණකරුවා සහ පෞද්ගලික චරිතය අතර තිබෙන වෙනස හඳුනාගන්න ඕන මෙතනදි තමයි.  අපි අගය කරන්න , විවේචනය කරන්න ඕනේ නිර්මාණකරුවාගෙන් නිර්මාණ කාර්යය මිසක් පෞද්ගලික කාරණා නෙමෙයි.  උස,  මිටිකම , තරබාරුකම,  වයස වගේ පිටින් පෙනෙන කාරණා වගේම පොතපතින් යම් අධ්‍යාපන ආයතන වලින් ලබා තිබෙන සහතික ඇය හෝ ඔහු ඉගෙන ගත්ත ගුරුකුලය එතනදි මට නම් වැදගත් නැහැ. . ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතයේ පුරුදු සහ කාර්යයන් අයිති වන්නේ පුද්ගලික කොටසටයි.  යම් නිර්මාණකරුවෙක් හෝ කාරිනියක් පිළිබඳව සමාජයේ යම් ප්‍රතිරූපයක් ගොඩනැගෙන හින්දා ඒ අයත් ඒවා පරිස්සමට කරන එක හොඳ උනත් ඒ ගැන වාරණ සීමා දාන්න අපට අයිතියක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

හොඳ බ්ලොග් සංස්කෘතියක් ඇති කරවන්නට නම් බසු මහත්තයා කියනවා වගේ හැමෝම මේ වෙනුවෙන් එකට පෙනී ඉන්නවා වගේම ඇනෝලගෙ ප්‍රතිචාරවලට වැටබඳින එකත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.  සුබවාදී,  ධනාත්මක ප්‍රතිචාරවලින් සහ උදව්වලින් අනෙකුත් බ්ලොග් රචකයන්ට උදව් කරන එක හැරුණාම වල්පල් කතා සහ තේමාවන් තුළින් ඔවුන්ගේ රචනා සීමා කරන එක ඔවුන්ගෙන් දකින්නට තියෙන හොඳ නිර්මාණය නවතා දමන වැඩක්.  මේක කියවලා විහිළුවට සහ සංවාද ගොඩනැගීම වෙනුවෙන් යොදන ප්‍රතිචාර නවත්වන්න එපා කියලත් කියන්න කැමතියි.

මම එතරම් පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුමැත්තෙක් නෙමෙයි.ඒත් රාජකාරි කටයුතු  යටතේ අන්තර්ජාලය හරහා කරන අනවශ්‍ය බලපෑම් ගැන කටයුතු කරනවා. මා දැනුවත්ව බ්ලොගර් හරහා  ඇනෝලාට විරුද්ධ ක්‍රියාකාරී කටයුතු ගැන වාර්තා කරන්න අසීරුතා තියෙනවා.  ඒත් ගූගල් සමාගමට නීතිමය තත්ත්වයන් යටතේ ඇනෝලාගේ පරිගණක පිළිබඳ සමහර තොරතුරු හොයන්න පුළුවන්.  ෆේස්බුක් සහ වට්ස් ඇප්  කියන සමාජ ජාලා විවිධ බොරු නම්වලින් පෙනී සිටිමින් සමාජ සම්මත භාවිතයට එරෙහි  ක්‍රියාකාරීන්,  පරපීඩිත මානසික තත්ත්වයන් ඇති අයට එරෙහිව කටයුතු කරන්න බොහෝ පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම වසංගතයෙන්  පසුව වර්තමාන සමාජයේ මානසික අසමතුලිතා බහුල අය වැඩි හින්ද ඔවුන් කලින්ම හඳුනාගන්න එක වගේම ඔවුන්ගේ ක්‍රියා නවතා දමන එකින්  ඔවුන්ට වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් හොඳ දිවි පෙවෙතක් ගත කරන්න කරන උදව්වක් ලැබෙනවා. 

තමන් ජීවත්ව සිටිනා රටේ තමන්ට අන්තර්ජාල හෝ දත්ත සේවා සපයන සමාගම් හරහා අනවශ්‍ය බලපෑම්වලට වැටබඳින්නට නීතිමය උපකාර පතන්න ඔබට පුළුවන්.  ඔබ බ්ලොගය Blogger  යටතේ පවත්වාගෙන යනවා නම්  Google user කෙනෙකුගේ ප්‍රතිචාරවලට සීමා කිරීම් වගේම Comment Moderation  හරහාත් ඔබට අනිත් අයගේ ප්‍රතිචාර පාලනය කරන්න පුළුවන්.  


මේ දිගුව හරහා ඔබට Google chrome සහ Appple Safari බ්‍රව්සර් වලින් ගන්නට පුළුවන් අත්වැල දැනගන්න පුළුවන්.

A Fix for Anonymous Commenting with Blogger 

https://www.lifeandlinda.com/2022/07/a-fix-for-anonymous-commenting-with.html#:~:text=To%20comment%20under%20your%20Blogger,them%2C%20you%20can%20add%20exceptions.

 මේ  youtube දිගුවත් ඔබට බ්ලොගර් හරහා කමෙන්ට් පාලනය කරන හැටි පියවරෙන් පියවර දැනුවත් කරාවි.  



මේ  දිගුව හරහා ඔබට වර්ඩ් ප්‍රෙස් හරහා ඔබේ ප්‍රතිචාර පාලනය ගැන විස්තර දැනගන්න පුළුවන්

Wordpress Comment Moderation: A Beginners Guide

https://wordpress.com/go/tutorials/wordpress-comment-moderation/

වැරැදි සහ නුසුදුසු පුරුදුවලට වැට බඳින්නත් ,  රචකයන්ගේ මහන්සියට අකුල් හෙලමින් තමන්ගේ වටිනා කාලය නාස්ති කරන ගමන් අනවශ්‍ය විනෝදයක් ගන්නා ඇනෝලාට ඔබේ බ්ලොග් අඩවියට පිවිසෙන්නට 2024 වසරේදී ඉඩ ඉඩක් නොතියන්නත්  මේ තොරතුරු උපකාර වේවි කියල හිතනවා.

බ්ලොග් රචක ඔබ සැමට ලබන්නා වූ 2024 අලුත් අවුරුද්ද වැඩි වැඩියෙන්ම නිර්මාණ දායාද කරන වසරක් වේවායි් ප්‍රාර්ථනා කරන්න කැමතියි . 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

17 comments:

  1. මේක හුඟක් අමාරු දෙයක් අනුරුද්ධ කරන්න. හැමෝම එක විධිහට හිතන්නේ නැහැනේ. නමුත් ඔබේ මේ උත්සාහය අගය කරනවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. වඩාත්ම සුදුසු දේ ලෙස මා දකින්නේ ප්‍රතිචාර නොදක්වා කොමෙන්ට් එක ඉවත්කර නිහඬවීමයි.

    ReplyDelete
    Replies
    1. වෘත්තාන්ත ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. නම් නැති අයට ( ගුගල් ගිණුමක් නැති කෙනෙකුට ) මගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන්න ඉඩ නැහැ.

      Delete
  3. ඇනෝ උනත් මොකෝ ලියපු දේ ගැන අදහස් උදහස් දක්වනවානම්..ඒත් මේ බ්ලොග් වලනම් නං දැකල තියෙන්නෙම පෞද්ගලික කාරණා අල්ලගෙන මඩගහන එක එහෙමත් නැත්තං බොරු ප්‍රචාර කරන එක වගේ දේවල්.
    ඔයාටත් 2024 ට සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ හරියට හරි. ලංකාවේ දේශපාලන සංවාද වගේ ඒවායේ තියෙන්නෙ විවේචනය හෝ මතවාද එකග නොවීම් නොවෙයි මඩගැසීම් විතරයි.

      Delete
  4. අදහස වටිනවා අනුරුද්ධ .
    සුබ නව වසරක් වේවා .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. ඇනෝලා සම්බන්ධයෙන් මගේ නම් ප්‍රතිපත්තිය ටිකක් ලිහිල්...

    මොකද බ්ලොගර් කෙනෙක් ඇරුනම වෙනත් ඇතැමෙකුට බ්ලොගර් ගිණුමක් නැති අයෙකුට කමෙන්ට් එකක් කරන්න ඕනේ උනාම ඉතා පහසුවෙන් ඇනෝ කමෙන්ට් එකක් දාන්න පුලුවන්...ඒක තමයි ඒකෙ හොද පැත්ත..


    නරක පැත්ත තමයි මේ පහසුකම අවභාවිතය. විශේෂයෙන් තුන්වෙනි පාර්ශවය ක් උදෙසා මඩ.... නොගැලපෙන් කමෙන්ට් නම් මම අයින් කරනවා..

    ඇතැම් විට ඔය අනවශ්‍ය ප්‍රතිචාර අයින් කරන්න කාලයක් ගියොත්, ගිණුමේ අයිතිකාරයාගේ කාර්‍යබහුලත්වය නිසා වැනි හේතුවක් නිසා....ඇතැම් විට ප්‍රශ්ණ ඇතිවෙනවා මම දැක තියෙනවා...

    මේ තියෙන්නෙ මගේ බ්ලොග් එකේ කමෙන්ට් ප්‍රතිපත්තිය...

    කමෙන්ට් කරන කොට...
    ඇත්ත නමින් ආවත්, ප්‍රොෆයිල වලින් ආවත් ඇනෝ ආවත් කමෙන්ට් කොරන කොට මේකත් පොඩ්ඩක් හිතට ගන්න...

    1. පරිණතභාවය අගේ කරමු. අන්‍යන්ගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංයමයෙන් වචන හසුරවමු
    2. ඔයා ගාව තියෙන බුද්ධියට, දැනුමට හා හාස්‍යට ඉඩ දෙන්න..ඒත් අන් අයට අප්‍රසන්න වෙන්නෙ නැතුව ලියමු.
    3. සංවාදයේ කොලිටියක් තියා ගමු

    - Mayya

    ReplyDelete
    Replies
    1. මය්යා ඔබේ දිගු ප්‍රතිචාරය හරිම අරුත්බරයි . ඔබ කියන දේ හරියට හරි .අපි කියවන්නන් ගෙන යන්න ඕන එතනට තමයි .

      ඔබ හොදින් බැලුවොත් අපේ ප්‍රජාව අතරේ වන බහුතර සංවාද කෙලවර වෙන්නේ මඩ ගැහිල්ලකින් එහෙමත් නැත්නම් ඕපාදුපයකින්. පිරිමියෙක් නම් වෙනත් ගැහැණියක්, කුලයක් , ජාතියක් හෝ රැකියාවක් අල්ලාගෙන සංවාදය අතරමග නවත්වනවා විනා හරි විචාරයක් වෙන්නේ නැහැ . ලංකාව ඇතුලෙත් , ලංකාවෙන් පිට විප්‍රවාසී සමාජයේත් පිරිස් එහෙම කරන්නෙ පුරුද්දටද , ආකල්ප හරි ගෝත්‍රික මානසිකත්වය හින්දද කියල හිතා ගන්න අමාරුයි . ඇත්තටම අපි එකිනෙකාට උදව් කරගෙන යන්න පුළුවන් ගමන් කෙටි වෙන්නෙ ඒ හින්දම තමයි.

      Delete
    2. මයියා වගේම මමත් ලිහිල ප්‍රතිපත්තියක් තමා මුලදී අනුගමනය කලේ . නමුත් එහෙම කලහාම කවුරුහරි කෙනෙක් අකැමැති දෙයක් ලීවොත් එන ඇනෝ කමෙන්ට්ස් දරුණුයි. මම කොහොමත් දේශපාලන ලිපි ලියනවනේ. ඒවා නිසා නොයෙක් අය නොයෙකුත් අදහස් මවා ගන්නවා. අනිත් එක තමයි හුඟක් ඇනෝ ලා අපි දන්නා අයම තමා.

      Delete
    3. ඔව් ඇනෝ ලත් එක්ක ගණුදෙණුව ලේසී කෙලියක් නෙවේ....

      නමුත් සමහර විට ඇනෝලට ඉඩ ඇරියම, පොස්ට් එකට තිත්ත ඇත්ත කමෙන්ට් ලැබෙනවා...එවා ප්රොෆයිල් වලින් ලියන අය දැන ඇදුනුකම් නිසා හෝ කාලයක් තිස්සෙ අදුනන කමට හෝ ලියන්න මැලි වෙන කමෙන්ට්ස්....බ්ලොග් වල හොද පැත්ත ඒක තමයි...කී බෝඩ් වීරයෙකු වෙන්න පුලුවන් කම...ඒක නරක දෙයක් නෙමේ....පිහියේ මුවහත ගන්න ගලේ ගාන්න ඕනේ වගේ සමහර පොස්ස්ට් වල ට අදාල කර්කශ විවේචනය පොස්ට් එකේ තියුණු බව වැඩි කරනවා...

      ගොඩක් වෙලාවට පොස්ට් එකට විවෙචන එන ඒවා හොද ඇනෝලා...
      තුන්වෙනි පාර්ශවයකට කුණුහරුපෙන් බණින ඒවා නරක ඇනෝලා :) කියලා මම වර්ග කරන් ඉන්නවා.....පොස්ට් එකේ අන්තර්ගතයට කිසිම අදාලත්වයක් නැති, කුණුහරුපෙන් වෙන කෙනෙකුට බණින ඒවා නම් ඩිලීට් කරලා දානවා....වෙලාව නැති කමෙන් හෝ මග ඇරීමේන් මෙසේ ඩිලීට් කරන්න බැරි වෙන කමෙන්ට් නිසා තව කෙනෙකුට හිත රිදවීම් ඇතිවෙන්න පුලුවන්...

      - Mayya

      Delete
    4. ඇනෝවෙක් එක්ක මගෙ දරුණුම වලිය ගියේ වෙනත් අයෙකුගෙ බ්ලොග් පොස්ට් එකක්...ඇනො කිව්වට පොර ආවේ
      'N' න්කියලා අනන්‍ය ඇනො කෙනෙක් වශයෙන්...මේ තියෙන්නේ ඒ පෝස්ට් එක...

      https://srilankanatheists.wordpress.com/2013/06/27/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b7%9d%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%93/

      Delete
    5. මය්යා ඔබේ ප්‍රතිචාර දිගුව සහ වැඩි විස්තර කියෙව්වා . වැඩේ ලේසි නෑ තමයි.

      Delete
  6. හුම්.......

    සුබ නව වසරක් ඔබටත් පවුලේ සැමටත්... අයියා 🙏

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete