මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 21, 2026

කැනඩාවේ ශත දහය අනිත් පැත්තේ තියෙන බ්ලූනෝස් නෞකාව




 "උතුරු අත්ලාතික රැජන" ( Queen of the North Atlantic) කියන විරුදාවලිය ලැබූ බ්ලූනෝස් නෞකියාව 1921 දී කැනඩාවේ ලුනෙන් බර්ග්  ප්‍රදේශය නිෂ්පාදනය කළ  Gaff Rig Schooner වර්ගයේ තරඟ යාත්‍රාවක්.  එය මත්ස්‍ය කර්මාන්තයටත් යොදාගත් බව සඳහන්.Gaff Rig Schooner කියලා කියන්නේ විශාල  රුවල් හතරක් සඳහා එක් ප්‍රධාන කණුවක් මගින් පාලනය වන රුවල් නෞකා විශේෂයක්. බ්ලූනෝස් නම හැදුනු හැටි ගැන තර්ක 3 ක් තියෙනවා. එකක් අර්තාපල් සම්බන්ධ කතාවක්. ඒකේ හැටියට 19 වන සියවසේ අත්ලාන්තික් කලපයේ වගාකල අර්තාපල් විශේෂයක් වුනු අලය අග නිල්පාට බ්ලූනෝස් නිසා වෙන්න පුළුවන්. අනෙක් කතාව කාලගුණය සම්බන්ධ එකක්. දිගු කාලයක් අත්ලාන්තික් මුහුදේ ශීතලෙන් වැඩ කරන කොට ධීවරයින්ගේ නහය නිල්පාට වෙනකොට බ්ලූනෝස් කියල අනෙක් අය කියනවාලු. පොදුවේ නෝවා ස්කොෂියා ධීවරයින්ට එහෙම කියනවා කියලත් කියනවා. තුන්වැන්න කලාපයේ විදෙස් ආක්‍රමණිකයින් ගේ පක්ෂපාතී එදිරිවාදිකම් නිසා යෙදුනු එකක් . මෙම යෙදුම මුලින් 1785 දී මුල් පදිංචිකරුවන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර දේශපාලන අපහාසයක් ලෙස භාවිතා කල එකක් . නමුත් පසුකාලීනව අවසානයේ එය මහත් සිවිල් අභිමානයක් සහිත යෙදුමක් බවට පරිණාමය වුනු එකක් .


William james roue



Angus K Walters


1921 දී  නිෂ්පාදනය වුනු මේ යාත්‍රාව න් විලියම් ජේම්ස් ( William James)   කියන බෝට්ටු සැලසුම්කරුවා විශේෂයෙන්ම නිෂ්පාදනය කළේ ඒ වන විට උතුරු ඇමරිකාවේ තිබූ යාත්‍රා පරදවමින් තරඟ ජයග්‍රහණය කරන්නටයි. ඒ වගේම ඇන්ගස් වෝල්ටර්ස් (Angus K Walters) කියන  කපිතාන්වරයා යටතේ මේ යාත්‍රාව අතිවිශාල තරඟ වාර්තා රැසක් තබා තිබුනා. තරඟ නීති රීති නිසා මෙහි මුල් සැලසුමේ ප්‍රමාණයට වඩා තරමක් කුඩා කල බ්ලූනෝස් යාත්‍රාව අඩිය එකසිය හතලිස් තුනක් (143) දිග,  අඩි එකසිය එකොළහක් (111) ක් පළලට තිබුණ එකක්.  ඒ පළාතේ නම් දරාපු Smith and Rhuland  කියන යාත්‍රා  නිෂ්පාදනාගාරය  තමයි මේ නිර්මාණය කර තිබුණේ.  1946 දී හයිටි ප්‍රදේශයේදී මේ නැව අනතුරට ලක්ව විනාශ වූ බව සඳහන්.  අත්ලාන්තික් කලාපය වගේම මුළු කැනඩාවේම  මහත් ජනප්‍රිය යාත්‍රාව වුනු  මෙය 1929 දී ශත පනහේ කැනඩා මුද්දරය සඳහා යොදාගෙන තිබුනා.





පළාතම ආදරය කරපු මේ යාත්‍රාව ගැන ආශාවෙන් හිටපු ඒ  පළාතේ මත්පැන් ව්‍යාපාරිකයකු වුණු සිඩ්නි කල්වරල් ඔර්ලෑන්ඩ් ( Sidney Culvewell Orland)   ට  1963 දී නැවතත් බ්‍ලූනෝස් ප්‍රතිනිර්මාණය කරන්නට අවශ්‍ය වුණා . මුල් යාත්‍රාව නිෂ්පාදනය කළ Smith and Rhuland ආයතනය කැමති කරවගෙන  කපිතාන් ඇන්ගස් කේ වෝල්ටර්ස්ගේ  (Angus K Walters) උපදෙසුත් අරගන බ්‍ලූනෝස් 2 

( Blunose II )නමින් අලුත් නැව හදවන්න කැනේඩියන් ඩොලර් ලක්ෂ තුනක් වියදම් කළාලු. මේ  වතාවේ යාත්‍රාව නිෂ්පාදනය කළේ සංචාරක කටයුතු වෙනුවෙන් මිසක් තරඟ සඳහා නෙවෙයි. ඒ නිසා සමහර තාක්ෂණික කාරණා දියුණු කළේ නැහැයි කියලා කියනවා. නමුත් තරග නීති රීති බලපාන්නේ නැති නිසා යාත්‍රාවේ තිබූ මුල් දිග ප්‍රමාණය අනුගමනය කරමින් යාත්‍රාව අඩි හතකින් පමණ දිගින් වැඩි කරන්නට පුළුවන් වුණා.



                                                                  Sidney Culverwell Oland

     

Schooner Larger  කියන බියර් සන්නාමය සඳහා ප්‍රචාරක යාත්‍රාව විදියට භාවිතා කරන අවසරය ඇතුව 1971 දී සිඩ්නි ඔරලන්ඩ් ඩොලර් එකක මිලකට  බ්‍ලූනෝස්දෙක නෞකාව නෝවා ස්කොෂියා පළාත් රජයට පවරා දී තිබෙනවා. අද වන විට ය පාලනය කරන්නේ  බ්‍ලූනෝස් 2 සංරක්ෂණ පදනම යටතේ 1995 දී 2009 දී වගේම 2016 වසරේ දී යාත්‍රාව මධ්‍යම රජය සහ නෝවා ස්කොෂියා පළාත් රජයේ ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ සමහර නවීන තාක්ෂණික උපාංග  එයට එකතු කරමින්.




විවිධ සංස්කෘතික කටයුතු සඳහා බ්‍ලූනෝස්  දෙක කැනඩාවේ සහ ඇමෙරිකාවේ විවිධ වරාය වෙත විශේෂ සංචාර කරනවා. ඒ වගේම ගිම්හාන  කාලයේදී සංචාරකයන් වෙනුවෙන් ලෝක උරුම ලුනෙන්බර්ග්  වරායෙන් කුඩා සංචාර සඳහා පිටත්ව යනවා.කලින් මුදල් ගෙවා වෙන් කරවාගෙන ඔබටත් බ්‍ලූනෝස්  දෙක දෙක යාත්‍රාවේ මුහුදු ගමනක් යන්නට පුළුවන්. ලුනෙන්බර්ග්  නගරයට ගියාම බ්‍ලූනෝස් නැවේ  විවිධ පරිමාණයේ අනුරූ ගන්න පොරකන පිරිස් මම ඇත්තටම දැක්කා. නාවික කටයුතුවලට , බෝට්ටු ගැන උනන්දුවක් ඇති අයට ඒක හරිම පිස්සුවක්. ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයෙනුත් බ්‍ලූනෝස් මොඩල්  නැව් මිලදී ගන්න පුළුවන් .ඒ වගේම තරමක් ඉහළ මිලක් වුණත් යම්කිසි ගෙවීමක් කරල බිලූනෝස්  යාත්‍රාවේ ගමන් කරන්නත් පුළුවන් 


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images, Google Images

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.




No comments:

Post a Comment