මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 18, 2023

සියහඬ හද සක්මනේ ඇවිද ගිය මතක .....



අන්තර්ජාතික ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සියහඬ රේඩියෝ නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් විදිහට 'හද සක්මන' හදුන්වන්න පුළුවන් . වැඩසටහනේ ආකෘතියට අනුව කරන්නේ ගීත 7 ක් අතරින් ශ්‍රාවක හිත කියවන එකයි . ඒ සදහා මට ආරාධනාව ලැබුනේ ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි මහත්මිය හරහා. සෑම් දිසානායක, සුජීව ක්‍රිෂාන්ත ගමගේ මහත්වරුන් සමග කෙරුණු මූලික කථා බහෙන් පස්සෙ ජානි වසන්ති එක්ක වැඩසටහන කරන්න අපි ඉඩක් හදා ගත්ත කිව්වොත් හරි .  

මීට කලින් ටොරොන්ටෝවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ සුනිමල් බාලසූරිය මහතා මෙහෙයවන සක්මන් මළුව වැඩසටහන තුලින් වගේම , සවන හීන හතක් වැඩසටහන් තුලිනුත් මම ගී 7 බැගින් ඉදිරිපත් කර තිබෙන හින්ද යලිත් ඒ ගී යොදා නොගන්නට මම අදහස් කලා. ඒ වෙනුවෙන් මා ලියූ බ්ලොග් සටහන් ඔස්සේ ඔබට ඒ වැඩසටහන් වල යූ ටියුබ් දිගු වලට කන් දෙන්නට පුළුවන්.


සක්මන් මළුවේ මතකයන් දිගේ ඇවිද ගිය මොහොත

http://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_25.html

සවන හීන හතක් ..... ගී පොකුරක් හදවතින්ම විදිමුද ? 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/08/blog-post_22.html


මේ හද සක්මන තුලින් මා ආසාකරන ගීත රැසක් අතරින් යම් රිද්මයකින් යුතුව පැයකට වැඩි කලක් ඔබට අහන්නට පුළුවන් ගී හතක් ගෙන එන්නයි මම උත්සාහ කලේ .


මේ ඒ ගීත පෙලගැස්මයි . 

1. මා වවුලන් රෑ පුරාම - ආචාර්ය ඩබ්ලිව් . ඩී අමරදේව 
2. කොවුලෙක් මොටද - සමණලී ෆොන්සේකා 
3. අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක් - ආචාර්ය වික්ටර් රත්නායක 
4. සිරීපාදේ වන්දවන්න - විශාරද නිරංජලා සරෝජිනී 
5. දුරු රට පිපෙනා - ශ්‍රී ලාල් ෆොන්සේකා සමග මිනුපමා බාලසූරිය 
6. පෙරවදනක් - සනුක වික්‍රමසිංහ 
7. වහින්නට හැකිනම් - ආචාර්ය නන්දා මාලනී  
  
ජානි ගේ හරබර වදන් පෙල මැද්දෙන්,  ඇය මට යොමුකල ප්‍රශ්න වලට මා තේරූ ගීත 7 අතරින් පරිස්සමින් ශ්‍රාවක ඔබට ලැබුණු පිළිතුරු මේ යූ ටියුබ් දිගුවෙන් ඔබට අහන්නට පුළුවන්. 

ඉහතින් මා නම් සදහන් කල පිරිසට අමතරව මේ වැඩසටහන වෙනුවෙන් මට දායකත්වය දැක්වූ සියළු නිර්මාණ ශිල්පීන්ටත් , සියහඬ කළමණාකාරීත්වයටත් මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි.  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ ගීත එකතුවට ඔබත් ඇළුම් කරන්නට ඇති . සමහර විට ඔබ මින් පෙර නොඇසූ ගීතත් දකින්නට ඇති. ඒ වගේම මම කියූ සමහර අදහස් වලට එකඟ වෙන්නත් ඇති . සමහර විට එහෙම නොවෙන්නත් ඇති. මගේ බ්ලොග් සටහනේ ප්‍රතිචාර වලට කිසිදු වාරණයක් නැහැ. ඒ හින්ද මේ වැඩසටහන ගැන ඔබේ අවංක අදහස් දැනගන්න කැමතියි. ඉඩක් තියෙන වෙලාවක වැඩසටහන අහල ඔබේ අදහස් ලියන්න.    


Saturday, February 11, 2023

සම්මානනීය ප්‍රේමානිශංස සමග ගෙවුණු අඩ පැයක්

 


2022 වසරේ ලංකාවේ පැවති සාහිත්‍යය උත්සව හතරේම අවසන් වටයට තේරී ස්වර්ණ පුස්තක , විද්යෝද්‍ය සහ ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලවල හොදම නවකථාවට හිමි සම්මානය හිමි කරගත්තේ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස නවකථාවයි.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, රාජ්‍ය නිලධාරියෙකු , කවියෙකු , බ්ලොග් රචකයෙකු ලෙසින් විවිධ වගකීම් රැසක් හෙබවූ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ කෘති මීට පෙරත් ලංකාවේ සාහිත්‍ය උත්සව වල ඇගයීමට ලක්ව තිබෙනවා. අවුරුදු 16 ක් තිස්සේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් පලවන ප්‍රමුඛ සිංහල පුවත්පතක් වන යාත්‍රා හි කතු වරයා වන්නේත්  ඔහුයි . 

https://yathranews.com/home-en/

http://iranamvila.blogspot.com/

ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍යය වල සේම යූ ටියුබ් අවකාශයේත් නාලිකා කිහිපයකත් මුද්‍රිත මාධ්‍යය රැසකත්    පොත ගැන බොහෝ තොරතුරු මේ වනවිටත් ගොනුව තිබෙනවා. මේ උත්සව සම්භාෂණ සහ වැඩ කටයුතු රැසක් මැද ලංකාවේ සහ  ඕස්ට්‍රේලියාවේ ගතකල කාර්ය බහුල සමය නිමාකර පැමිණි ඔහු සමග මෑතකදි දවසක  සුහද කතාබහක යෙදෙන්නට අපට ඉඩ ලැබුණා . මේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පොත් පිටු අතරින් වැඩසටහන වෙනුවෙන් අප කල කථා බහයි.


මේ වැඩසටහන තුලට ලංකාවේදී ඔහුට ලැබුණු ඇගැයුම් වල දර්ශන සේම කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී 2023 ජනවාරි 15 වැනිදා පැවැත්වුණු ඇගැයුම් උත්සවයේ විශේෂ අවස්ථා ත් ,  ප්‍රේමානිශංස  පොත ගැන ඔහු ලියූ ගීතයේ කොටසක් ද ඇතුලත් කර තිබෙනවා.  


https://rupane.com/2023/02/11/rupane-episode-334-february-11-2023/

****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගත් කතුවර චන්ද්‍රරත්න බණ්ඩාර 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, January 28, 2023

අත්හැර දමන ලද තැන් 500 ක් හරහා ලෝකය දකිමු.


 අත්හැර දමන ලද තැන්  වල අභිරහස් - Mysteries of the abandoned. 





පහුගිය මාස 4 තිස්සේ දිනකට එක බැගින් බෙහෙත් වඩියක් බොනවා  තරමට බලන්නට මම ඇබ්බැහිව සිටි වැඩසටහන් පෙලක්  තිබුනි. ලෝකයේ හතර දිග් භාගයේ විවිධ තැන්වල පිහිටි මේ වනවිට අත්හැර දමන ලද ඉදිකිරීම් සහ නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් ගැන විනාඩි 45 වැඩසටහන් 108 ක් පුරා කතාකරද්දී ඉතිහාසය, දේශපාලනය , සමාජ විපර්යාස හරහා මම ලෝකය වටා කිහිප වරක් යන්නා සේ මට හැගුණි. ඒ  Science channel  මගින් නිෂ්පාදනය කර විකාශය වූ  Mysteries of the abandoned  වැඩසටහන් පෙලයි. ඉදිරියේදීත්  ඒ වැඩසටහන් මාලාවේම තවත් වැඩසටහන් පෙලක්‌ නිර්මාණය වන බව දැනගන්නට ලැබුණි.  

විශේෂයෙන්ම ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ ඉතිහාසය විෂය ක්ෂේත්‍රවල නිරත වන අයට වැදගත් විය හැකි වෙනස්ම වැඩසටහන් පෙලක් වූ නමුදු සංචාරය සහ ඉතිහාසයට ආසා කරන මා ඒ තුලින් ලද දැනුම සහ වින්දනය අති මහත්ය. ඒ වැඩසටහන් පෙලේ තේමාව , ආකෘතිය සහ විෂය ප්‍රවීණයන්ගේ දැනුම තුලින් කෙරුණු ඒ නිර්මාණ චාරිකාව කදිම ඉදිරිපත් කිරීමකි. කුතුහලය දනවන අයුරින් ඒ ගැන අපට කරන හදුන්වා දීම් , ඒ ඒ ඉදිකිරීම් ක්‍රියාත්මක වූ කාලයේ එහි සේවය කල අයවලුන් හෝ ඒ ගැන බොහෝ අධ්‍යන හෝ පර්යේෂණ කල පුද්ගලයින් ලවා අභිරහස් දිග හරින විට සේම ඒ අත්හැර දැමීමට හේතු හෙලිකරන්නේ රහස් පරීක්ෂක කතාවක පරිද්දෙනි.  

යුද්ධ , දේශපාලනය , බල ලෝභීත්වය සමහර ඉදිකිරීම් සදහා හේතු වූවා සේම ඒ තැන්වල විනාශයටත් එම සාධකම බලපා තිබුනේ අටලෝ දහම පසක් කරමිනි. සමහර ඉදිකිරීම් විනාශ වන්නට සොබාවික විපත් බලපා තිබුණි. තවත් විටෙක මිනිස් ක්‍රියාකාරකම් වෙනස්වීම නිසා පරිසරයට සිදුවුණු විනාශ ඒ සදහා බලපා තිබුණි . සමහර ඒවා අභාවයට යන්නට හේතුවී තිබුනේ කලින් කලට සිදුවුණු තාක්ෂණයේ දියුණුවයි. තවත් සමහර තැන් අත්හැර දමනු ලැබ තිබුනේ ඒ ඒ තැන් ඉදිකිරීමට මුල්වූ පුද්ගල චරිතවල අභාවයයි. තවත් විටෙක කාලය සහ සමාජ වෙනස්වීම් හමුවේ නොවෙනස්ව තිබීම ඒ සදහා හේතු වී තිබුණි

විශේෂයෙන්ම ජර්මනිය, ඇමෙරිකාව , රුසියාව , එංගලන්තය , ජපානය දෙවන ලෝක යුධ සමයේදී කල ඉදිකිරීම් සහ නව නිර්මාණ ලෝකයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වූවා සේම සෝවියට් සමුහාණ්ඩුව කඩා වෙන් කරන්නට බටහිර රටවල් කල දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක වීම තුලින් වෙන්වුණු රටවල් තාක්ෂණික බංකොලොත් භාවයට පත්වුණු හැටි පෙන්වන සාක්ෂි ලෙස මේ වැඩසටහන් පෙලේ තැන් රැසක්ම හමුවේ .

ලෝකයේ බලවතුන් අතර තරඟය වෙනුවෙන් , ලෝකයේ යහපත සහ ශුභ සාධනය වෙනුවෙන් වැය කරන්නට තිබූ කෙතරම් ධනස්කන්ධයක් නාස්ති කර තිබේද යන්නත් , ගෝලීය උණුසුම ඇතුළුව පාරිසරික  සාධක නිසා කාලානුරූ පී ව වෙනස් වුනු තැන් දිහා බලනවිට අපටම අප ගැන හිතන්නට බොහෝ දේ තිබේ .

ඒ වැඩසටහන් පෙල වෙනුවෙන් ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ විද්වත් සම්පත් දායකයින් විශාල පිරිසක් දායක වී තිබෙනවා .ඒ අතරේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරියක වන  Shini Somarathne ( Shini Somara) සිටිනු දැකීමත් සතුටට කරුණක්.  

https://en.wikipedia.org/wiki/Shini_Somara

මේ වැඩසටහන් මාලාවේ අදියර 9 ක් යටතේ වැඩසටහන් 108 ක් මේ වනවිට විකාශය වී තිබෙනවා . ඒ තුලින් කතා කෙරුණු තැන් 500 කට වැඩියි .  වැඩි විස්තර අවශ්‍ය නම්  මේ දිගුව ඔබට ඒ වෙනුවෙන් පාර කියාවි . ඉඩක් ලැබුණොත් ඔබත් වැඩසටහන් කිහිපයක් හෝ බලන්න .

https://thetvdb.com/series/mysteries-of-the-abandoned/allseasons/official

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ  එළිය කරාවි.

Saturday, January 21, 2023

සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට ....

 



සංචාරයට කැමති මට සිරස   නාලිකාව ඔස්සේ විකාශය වූ සංචාර වැඩසටහනෙන් අපූරු ගවේෂණාත්මක සංචාරකයෙක් දකින්නට ලැබෙනවා. වැඩසටහන් ගණනාවක් පුරා ලෝකයේ  රටවල් රැසක  ඔහු කරන ගමන් වලට ආසා කරන මම ඔහුගේ බ්ලොග් අඩවිය    sanchara.lk   සමගත් , මුහුණු පොත සමගත් බැදෙනවා.

https://www.sanchara.lk/

බොහොම වෙහෙස මහන්සියෙන් , හොදින් සැලසුම් කරගෙන ඔහු යන දුෂ්කර , ත්‍රාසජනක , ගවේෂණාත්මක සංචාර රසවිදින මට දැනෙන්නේ රොහාන් ඩිරෙක්ස් කියන්නේ සිංහල බසින් සංචාර කදිමට සන්නිවේදනය කරන කදිම සන්නායමක් 
        ( Brand එකක්  ) කියලයි.රොහාන්ගේ  වෙබ් අඩවියට අනුව ඔහු මේ වනවිට ලෝකයේ රටවල් 88 ක නගර 114  කට සංචාරය කර තිබෙනවා.  

මුහුණු පොත හරහා කල ආරාධනයෙන් රූපණ බලන ඔබ වෙනුවෙන් රොහාන් අපිත් එක්ක වැඩසටහන් 2 ක් සදහා කැමති වෙනවා. තවත් වෙනස්ම සංචාරයකට සුදානමින් සිටි මොහොතක ඉතාම නිහතමානීව ඔහු අප සමග බෙදාගත් දැනුම සහ දර්ශන වෙනුවෙන් අප ඔහුට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.



අප මේ වැඩසටහනින් ඔබව කැදවාගෙන යන්නේ රුසියාවේ නොදුටු තැන් බලන්න. මේ බොහෝ දර්ශන රොහාන් මින් පෙර වෙනත් කිසිදු මාධ්‍යකට නිදහස් කර නැහැ .


ඔබට මේ වැඩසටහනෙන් 

- ලෝකයේ ශීතලම ගම්මානය 
- ලෝකයේ දිගම දුම්රිය මාර්ගය (ට්‍රාන්ස්  සයිබීරියන් ) 
- මොස්කව් නගරයේ පොලොව යට බංකරය 
වගේම  රුසියානු කෑම ගැනත් දැනගන්න පුළුවන්.


https://rupane.com/2023/01/21/rupane-episode-331-january-21-2022/


*****************************************************************

සම්පත් දායකත්වය -  සංචාරක ගවේෂක රොහාන් ඩිරෙක්ස් 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - ගොයුම් එරංග   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************
ළගදීම දවසක රොහාන් එක්ක ඉරාකයේ සහ කුර්දිස්ථානයේ ඔබ කිසිදා නොදුටු දසුන් ඔබට දකින්නට පුළුවන්.  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, January 7, 2023

ලක්බිමට අවුරුදු පැතුමක්


පින්බිමයි , මේ බිමයි අපට අගනා 
වන්දනා කරන අයට ජයම ලැබෙනා 
සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා  
සාදු දී වදිනෙමි  මේ මව්බිම බැතිනා 

දවස ගානෙම හත් අට වටයක් යනෙනා 
සිරි දළදාවේ සුදු බුදු  රැස් බලෙනා 
සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා 
හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා 

නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා 
සුදු සේල වලා වැනි දියඇලි මවනා 
ඒ දියවර රටක්ම සරු  කරනා 
කෙත් වතු , නෙක තුරු පල බරිනා  
 
රන් වැලි සෑ මළු පිස එන පවනා 
රන්වන් බෝපත් සෙලවෙන සරිනා
ගුණ දම් දළු ලා දුකදුර දුරුකරනා 
නව වසරේ පතනෙමු ජය බැතිනා 

අනුරුද්ධ වැලිගමගේ


















2023 ජනවාරි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ 
එළිය කරාවි. 

Saturday, December 31, 2022

ලක්සෙට කොඩිය දැම්මට පස්සේ ......



2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන දෙයක් වුණත් ඒ දිරිය සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මට තව ඉදිරි ගමනකට පාර කියනවා. 


 බ්ලොග් එකක් ලියන්න හිතුණු හැටි.

සිංහල බ්ලොග් එකක් ලියන්න මට හිතුනෙ අහම්බෙන්. 2017 නොවැම්බර් මාසෙ සවන අන්තර්ජාල රේඩියෝව පටන් ගන්න සුදානම් වෙනකොට ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන් මට වැඩසටහනක් කරන්න ආරාධනා කලා. මගේ අදහස වුනේ රේඩියෝ කෙටිකථා මාලාවක් කරන්න. සිංහල පොත් නැති, සිංහල පත්තර නැති මේ රටේදී වැඩේට කෙටිකථා හොයන එක ලේසි වුනේ නැහැ. බූන්දි වලින් කථා කීපයක් තෝරාගත්තා. නිර්මාණ ශිල්පීන්ගෙන් අවසරය ගත්තා. එහෙම කියවද්දී බස්සීගේ නවාතැන වගේම පරිවර්තන කියන බ්ලොග් අඩවි මගේ ඇස ගැටුණා. ඔවුන්ගේ දිගු හරහා තවත් සිංහල බ්ලොග් අඩවි වලට පිවිසුනු මට බොහෝ සටහන් කියවන්නට ලැබුනා . ඉන් මගේ හිතගත් කථා රේඩියෝ මාධ්‍යයට භාවිතා කිරීමට අවසර ඉල්ලා විද්යුත් තැපෑලෙන් යැවූ අවසරයන්ගෙන් ඔවුන්ගේ කථා භාවිතයට අවසර ලැබුනේ බස්සිගේ නවාතැන, තිලක සිත, හැලප කඩේ , පරිවර්තන, මගේ ලෝකය , කට්ටකාඩුව, සිරා ගේ කාමරේ , සොදුරු සිත , Tansylvania, Hot chocolate days  කියන බ්ලොග් අඩවිවලින් . 

මේ දිගුවෙන් දින නැති දිනපොත රේඩියෝ කෙටිකථා වැඩසටහන් 50 ගැන දැන ගන්න පුළුවන්. http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_94.html

හැබැයි ඒ කියැවීම් හරහා මටත් බ්ලොග් එකක් ලියන්න ආසාව ඇතිවුණා. යූ ටියුබ් එකෙන් බලලා, අන්තර්ජාලයෙන් විස්තර කියවලා බ්ලොග් එකක් අටවගෙන හා හා පුරා කියල මුලින්ම සටහනක් ලිව්වෙ 2018 ජුනි 2 වැනිදා. ඊට පස්සෙ බ්ලොග් එක නිර්මාණාත්මක වගේම සංවිධානාත්මක විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියල ඉගෙන ගනිමින් මේ වෙනකොට සටහන් 286 ක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා.    

අහස් ගව්වෙන් එහා ලෝකය අන්තර්ගතය ....

දේශපාලන, ආගමික වගේම දෙපැත්ත කැපෙන කථා වලින් තොර මගේ සටහන් ඇතුලෙ කවි, ගීත , ළමා ගීත, රේඩියෝ වැඩසටහන් , රූපවාහිනී වැඩසටහන්, චාරිකා සටහන්, කැනඩාවේ විවිධ තොරතුරු,මා රසවිදි චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් ,  සිතුවිලි වගේම විවිධ තේමාවන් යටතේ ලියැවුණු මගේම සටහන් තියෙනවා. ඒ හින්ද අහස ගව්වෙන් එහා ලෝකය හුදෙක් බ්ලොග් සටහනකට එහා ගිය මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍යය එකට කැටිකල වින්දන අවකාශයක් විදිහට හදුන්වන්නයි මම කැමති.  

ලන්ඩන් කවි සඟරාවට මා ලියූ කවි ඇතුළුව නිදහසේ මා ලියූ කවි රැසක් මේ පිටු අතරේ තියෙනවා. මේ වනවිට ශ්‍රව්‍ය මාධ්‍යයෙන් නිෂ්පාදනය වූ යූ ටියුබ් අවකාශයේ තිබෙන මා ලියූ ගීත කිහිපයක් වගේම 1990-1993 කාලයේදී පාසැල් සිසුවෙකුව ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වලට ලියූ ළමා ගී කිහිපයකුත් මේ පිටු අතරෙ තියෙනවා. 

සිංහල බ්ලොග් රචකයින් කිහිප දෙනෙකුගේ කථා ඇතුලත් "දින නැති දිනපොත" රේඩියෝ කෙටිකථා 50 හේ කථා කොටස් සහ යූ ටියුබ් දිගු මේ අතර තියෙනවා. සිසිල  සඟරාවේ සහ දසත පුවත්පතේ පලවූ මගේ කෙටිකථා කිහිපයක්, යාත්‍රා පුවත්පත වෙනුවෙන් ලියැවුණු කැනඩා උරුම ලිපි වගේම කැනඩාවේ, ඇමෙරිකාවේ, යුරෝපයේ රටවල් කිහිපයක විවිධ ප්‍රදේශවල මා කල සංචාර ඇසුරින් දසත පුවත්පතට ලියන සංචාරයක මතකය ලිපි මාලාවේ ලිපි බ්ලොග් ගත කර තිබෙන්නේ ඔබටත් ඉඩක් ලැබුණොත් ඒ තැන් බලන්න යන්නයි.   

රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් කවිය ගැන කරන අමයුරු කවි රස , ගීත රචනා ගැන කරන නොමැකෙන ගී රස , පොත් ගැන කථා කරන පොත් පිටු අතරින්, කැනඩාවේ චාරිකා ගැන කථා කරන ගමනක මතකය වගේම විවිධ වාර්තා වැඩසටහන් සදහා දිගු අහස් ගව්වෙන් එහා ලෝකයේදී හොයාගන්න පුළුවන්.   

 ස්තුතියි ....

මගේ සටහන් කියැවූ ඔබට , ප්‍රතිචාර ලියූ සැමට , තමන්ගේ බ්ලොග් අඩවිවලට මගේ බ්ලොග් දිගුව අමුණා සහය දැක්වූ සැමට , මාතලන්ගේ සින්ඩිය, අටම්පහිය , විගස, සඳකඩ පහන, සිතුවිලි සිත්තම, රටගිය ඇත්තෝ බ්ලොග් සින්ඩිකේටර් මෙහෙයවන නිර්මාණ ශිල්පීන්ට , අහස් ගව්වෙන් එහා ලෝකය මුහුණු පොතේ සාමාජිකයින්ට , අඩයාලම මුහුණු පොතේ ඇඩ්මින් වරයාට, මගේ නිර්මාණ ජනගත කරන්නට වේදිකාවන් තනා දෙන ලන්ඩන් කවියේ සංස්කාරක අනුර හෑගොඩ, දසත සංස්කාරිකා චමරි අබේසිංහ, සිසිල සංස්කාරක රසික සුරියආරච්චි, රූපණ අන්තර්ජාල රූපවාහිනියේ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා, සවන ගුවන් විදුලියේ නියමු වසන්ත ලංකාතිලක යන අයට මගේ අවංක ආදර ස්තුතිය හිමිවෙනවා .    

2023 දී ...

  • තවත් වෙනස් කවි රැසක් 
  • යුරෝපයේ සහ කැනඩාවේ තවත් චාරිකා සටහන් 
  • රේඩියෝ කවි පැය , සවන කවි මිණි ආර යූ ටියුබ් දිගු 
  • වෙනස් තේමාවන්ගෙන් යුත් රූපවාහිනී වැඩසටහන් රැසක් 

එක්ක හැම සෙනසුරාදාවකම වෙනස් දෙයක් අරගෙන එන්නම් .

කියවන ඔබටත් , සියළු සිංහල බ්ලොග් රචක රචිකාවින්ටත් නිරෝගීමත්, වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා.   

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.







මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්මාණ  එළිය කරාවි.

Saturday, December 24, 2022

හිරිහැරයක් නෑ වෙන්නේ , සමණලුනේ නොම යන්නේ









පාට ගොඩක් ගෑවෙන්නේ 

දේදුන්නේලු රෑ ඉන්නේ 

මල් නොතලා පැණි බීවේ 

කොහෙ ඉදලද ඔබ ආවේ 


සිනිදු සේලයෙන් මහලා 

කවුරුද ඇදුමක් දුන්නේ 

පාට පාට මල් ඉහිරුණු 

ඇදුමයි සිරියක් දෙන්නේ 


හිමිදිරියෙම ඔබ එන්නේ 

හිරුත් සමග යලි යන්නේ 

සමණල කන්දට ගිහිල්ලා 

සිරිපා වැදගෙනද එන්නෙ 


ආස නිසයි මේ ආවේ 

ඇයි ඔබ පියබා  යන්නේ 

හිරිහැරයක් නෑ වෙන්නේ 

සමණලුනේ නොම යන්නේ 


අනුරුද්ධ වැලිගමගේ  


 1993 ජුලි 09 දින ජාතික රූපවාහිනියේ  උදාර වැඩසටහනින් විකාශය විය .

දෘශ්‍ය පිටපත් හෝ දායකත්වය දැක්වූ නිර්මාණ ශිල්පීන් පිළිබද  පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.