මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 30, 2021

ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව...........

 ලංකාවෙන් දුර බැහැර විදේශයන්හිදී  සිංහල භාෂාවත් , සංස්කෘතියත් නගා සිටුවීම වෙනුවෙන් සැකසුණු වේදිකා තිබෙන්නේ අතලොස්සකි. එයට හේතු කාරණා ලෙස බොහෝ දේ උදාහරණ කොට දක්වන්නට පුළුවන් වන්නේ දශකයකට අධික කලක පටන් මා ද මව්බිමෙන් බැහැරව දිවි ගෙවන බැවිනි. ඒ අතින් ගත් කල කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආශ්‍රිතව ජීවත්වන අපට ඒ වෙනුවෙන් අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වන යාත්‍රා සහ දසත මාසික පුවත්පත් දෙකක් වේ. රේඩියෝ මාධ්‍යයෙන් ඒ කාර්යභාරය ඉටු කරන්නේ සවන අන්තර්ජාල ගුවන් විදුලියයි. රූපවාහිනී මාධ්‍යයෙන් කේබල් නාලිකා හරහා කලා කවය රූප මාධ්‍ය දායකත්වය දරන අතර වසර පහක සම්පුර්ණ වැඩසටහන් පෙලම වෙබ් ගත කරමින් රූපණ අන්තර්ජාල රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මෙහෙවරක යෙදී සිටී.

 එදිනෙදා සිංහල කතා කරන, සිංහලෙන් ලියන කියවන ලංකාවේ අයට වඩා මව්බිමෙන් බැහැරව ඉන්නා අයට භාෂාවේ භාවිතය අවම වටාපිටාවක් තිබේ. එහෙයින් මැදි වියේ හෝ වයස්ගතව සිටින සිංහල ප්‍රජාවගේ භාෂා ව්‍යවහාරය රැක ගැනීමටත්, තරුණ සහ යොවුන් පිරිස් වෙත සිංහල භාෂාව පිළිබද ඇල්ම වැඩීම සදහාත් මේ මාධ්‍යය කරන මෙහෙවර අති මහත් ය.

ලංකාවේ ජාතික පුවත්පත් තුලින් කවි සහ සාහිත්‍යය පිළිබද කතිකාවතට වෙන්වුණු පිටු ඉවත්ව යන සමයක මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වෙබ්ගත වන ලන්ඩන් කවියත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බ්ලොග් ගතවන සිසිල සඟරාවත් මාසිකව ඉදිරිපත් කිරීම අගය කල යුත්තකි. මේ කෙටි සටහන ලියැවෙන්නේ ඔවුනගේ ඒ අගනා මෙහෙවරට උපහාරයක් ලෙසිනි.


ලන්ඩන් කවිය 


2021 ජනවාරි මාසයේ පටන් වෙබ්ගත වන ලන්ඩන් කවිය ලොව වටා විසිරී සිටින ප්‍රවීණ සහ ආධුනික නිර්මාණ කරුවන් අතින් ලියැවුණු විවිධ තේමාවන් යටතට ගැනෙන කවි නිර්මාණ 75-100 ක මාසික කවි එකතුවක් ලෙස හදුන්වා දිය හැකිය. සදැස්, නිසදැස් සේ ම නිදහස් ආරේ අද දවසේ නිර්මාණ සේම පැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන්, කොළඹ යුගයේ නිර්මාණ අතුරින් සහ 70 දශකයේ බිහිවුණු කවි ද එකතැන් කල වටිනා වෙළුමක් ලෙස ලන්ඩන් කවිය නම්කල හැකි ය.

ඩිජිටල් මුද්‍රණයක් ලෙස වෙබ් ගත කිරීමට අමතරව ලන්ඩන් කවිය කවි හා සබැදි ඉසව් පිළිබද යූ ටියුබ් අවකාශයේ වැඩසටහන් පෙලක් ද අන්තර්ජාලයට මුදා හැර තිබේ.

අගනුවර තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයෙකු වන විල්සන් හෑගොඩ සහ නන්දා හෑගොඩ යුවලගේ පුතකු වන, ලාල් හෑගොඩ කිවිදුන්ගේ සොයුරු, අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් නීතිඥ  අනුර හෑගොඩ මහතා ලන්ඩන් කවියේ සංස්කාරක ධූරය හොබවයි.

ලන්ඩන් කවි වෙබ් දිගුව 

https://londonkavi.com/

නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව  

https://londonkavi.com/contact/

 

සිසිල සඟරාව 

2021 සැප්තැම්බර් මාසයේ පටන් ඩිජිටල් මුද්‍රණයක් ලෙස ප්‍රකාශයට පත්වන මාසික ඊ සඟරාවක් ලෙස සිසිල හදුන්වා දිය හැකිය. කෙටිකතා , කොටස් වශයෙන් පලවන නවකතාවක්, කවි සේම සංචාරක සටහන් ද මේ වාර ප්‍රකාශනයේ අන්තර්ගත  වේ. අද පුවත් පත් වලින් ඉවත්වන හරස්පද ප්‍රහේලිකාවක් සේම  විදෙස් රටකට සංක්‍රමණය වන කෙනෙකුගේ ජීවන අන්දරය ලියැවුණු දිනපොතක් ද මෙහි වේ. සුභාවිත ගීතයක් විදින්නට දෙන අත්වැල ද අපූරු අත්දැකීමක් ගෙන දෙයි. විවිධ තේමාවන් යටතේ ලියැවුණු සටහන්, සඳැස් නිසඳැස් කවි ඇතුලත්  මේ නිර්මාණය ප්‍රකාශයට පත් කරන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයයි.


කවි කියන, විකට කථා කියන, ගී පද බදින රසිකලොජි සිංහල බ්ලොග් අඩවියේ රචක රසික සුරියආරච්චි සිසිල සංස්කාරකවරයාය.

ඔබගේ පිටපත ලබාගැනීම සඳහා sisila.sangarawa@gmail.com ට ඔබේ විද්‍යුත් ලිපිනය යවන්න  


නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය  

sisila.sangarawa@gmail.com


අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.













6 comments:

  1. ලොව වටා 'අපේ අයගේ' සහජ දක්ෂතා එකතු කර දැක්වීම ඉතසිතින් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ නිර්මාණත් මේ දෙකටම යවන්න.

      Delete
  2. එය හොඳ වෑයමක් වගේම ඇගයිිය යුතු ක්‍රියාවක්. ජය

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ නිර්මාණත් මේ දෙකටම යවන්න.

      Delete