මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 13, 2022

ගිම්හානයේ සුව විදින්නට ඊරි විල දිගේ තවත් තැන් හොයමු.



හියුරන් විල ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් කල හැකි උද්‍යාන ගැන හොද ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හින්ද ටොරොන්ටෝවේ ඉදන් පැය 2 ක තරම් ගමනකින් යා හැකි ඊරි විල අසබඩ තැන් කිහිපයක් ගැන තොරතුරු එක්කලේ ඉඩක් ලැබුණොත් මේ ගිම්හානයේ හරි ඉදිරි අවුරුද්දක හරි ගිහින් ඒ අත්දැකීම් විදින්නයි.


ඊරි විල ( Lake Erie)

 පංච මහා විල් අතුරින් 4 වන තැන හිමි කරගන්නා ඊරි විල අඩුම කලක් ජලය රදන විල හැටියටත් සැලකෙනවා. ඊරි විලට වතුර එන්නේ  ඩිට්‍රොයිට් ගග හරහා හියුරන් විලෙන්. මේ වතුර පිටවෙන්නේ නයගරා ඇල්ලෙන් වැටෙන වතුර ඔන්ටාරියෝ විලට ගෙනයන නයගරා ගගෙන්. විලේ උතුරු කොටස කැනඩාවේ ඔන්ටාරියෝ පලාතෙන් මායිම් වෙද්දී  බටහිර කොටස මිචිගන්, දකුණු කොටස ඔහියෝ සහ පෙන්සිල්වේනියා යන ඇමෙරිකානු ප්‍රාන්ත වලින් සහ නැගෙනහිර කොටස නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් මායිම් වෙනවා.  

මේ විලේ විශාලත්වය වර්ග කිලෝමීටර 25, 667 ක්. විලට නම ලැබිලා තියෙන්නෙ ඒ ප්‍රදේශයේ සිටි ඊරි ගෝත්‍රික ස්වදේශිකයින් හින්දයි.   




Point Pelee National Park

කැනඩාවේ මධ්‍යම රජය මගින් සංරක්ෂණය වන ජාතික උද්‍යානයක් වන මෙය කැනඩාවේ දකුණු කෙලවරේම තිබෙන ගොඩබිම් කඩ ලෙසත් සැලකෙනවා. කැනඩාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිම වැටි තිබෙන්නේ ඊරි විල මැදින්. මුළු උද්‍යානයම වර්ග කිලෝමීටර 15 ක් තරම් එකක් වන අතරේ වැඩිපුර තිබෙන්නේ වගුරු ප්‍රදේශයි. මේ තෙත්බිම් ප්‍රෙදේශය බලන්න බොහෝ දෙනා යන්නේ සංක්‍රමණික කුරුල්ලන් බලන්නත්, Monarch වර්ගයේ සමනළයින් බලන්නත් . ඉතා ඈත අතීතයේ පටන් ස්වදේශික ගෝත්‍රික ජනයා  වාසය කල බිම් කඩක් වුනු මෙය 1670 දී ඩොලියර් සහ ගලිනි පුජකවරුන් විසින් මුඩු තුඩුව යන අරුත ඇතිව Pointe Pelee නමින් නම්කර තිබෙනවා. බ්‍රිතාන්‍ය නාවුක හමුදාව විසින් භාවිතා කල මේ බිම් කඩ පසුකාලීනව ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්වුනා.










සියළු පහසුකම් සහිත නිත්‍ය වශයෙන් ඉදිකල කදවුරු නිවහනක් කුලියට අරගෙන ඔබට දින කිහිපයක් මෙහි ගත කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දවසක් ගතකරන්න ගිහින් බයිසිකල් පදින්න, Kayak සහ Canoe ඔරු පදින්නත් , කුරුල්ලන් බලන්නත්, ඇවිදින්නත් පුළුවන්. කැනඩාවේ දකුණු කොනේ තිබෙන තුඩුවට කිලෝමීටර 2 ක් දුර ඇවිදින්නත්, එහෙම අපහසු අයට Shuttle එකෙන් යන්නත් පුළුවන්.      

https://www.pc.gc.ca/en/pn-np/on/pelee   

Longpoint Provincial Park.  

මෙම උද්‍යානය ජෛව විවිධත්වයෙන් අනූන යුනෙස්කෝ රක්ෂිතයක් වෙනවා. මෙය වඩාත් ජනප්‍රියව තිබෙන්නේ කුරුල්ලන් නිරීක්ෂණයට කැමති සංචාරකයින් අතරයි. වර්ග 383 කට අධික කුරුළු විශේෂ මෙහිදී දකින්නට පුළුවන් හින්ද සමහරු මෙහි කුඩාරම් ගහගෙන , ජංගම නිවාස වලට වෙලා ඉන්නෙ උදේට , හවසට ඒ කුරුල්ලන්ව දකින්නයි. කුරුල්ලන්ට අමතරව  මැඩි, කැස්බෑ සහ සර්ප විශේෂ මෙහිදී සුලබව දකින්නට පුළුවන්.

මේ උද්‍යානය පැරණි සහ නව ලෙසින් කොටස් දෙකක් වශයෙන් තිබෙනවා. පැරණි උද්‍යානය කුඩා පහසුකම් සීමිත එකක්.ඒත් නව උද්‍යානය තුල සංචාරකයින්ට බොහෝ පහසුකම් තිබෙනවා. මෙහි තිබෙන වෙරළ තීරය කිලෝමීටර 1.5 ක් තරම් දිගයි. සමහර ගිම්හාන කාලවලදී දැඩි සුළගක් මෙහිදී අප අත්දැක තිබෙනවා. ඒ වගේම  Ticks ගෙන් පරිස්සම් වෙන එකත් හොදයි.    

https://www.ontarioparks.com/park/longpoint

Turkeypoint Provincial Park 

කිලෝමීටර් 2 ක තරමේ වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය ගොල්ෆ් පිටියක් තිබෙන එකම ඔන්ටාරියෝ පලාත් උද්‍යානයද වෙනවා. ඔන්ටාරියෝ විල ඇතුළු පලාතේ අභ්‍යන්තර ජලාශ රැසකට අත්ලාන්තික් සහ චිනුක් සැමන් මසුන් මුදා හැරීම සදහා මත්සයින් අභිජනනය කරන මධ්‍යස්ථානයක් මෙහි තිබෙනවා. කලින් වෙන්කරවා ගැනීම් කලොත් සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දිනක උදෑසන 8 සිට හවස 4 දක්වා කාලය තුල එය බලන්නත් පුළුවන්.     

   

1814 - 1815 කාලයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් කදවුරු ලාගෙන සිටි ඉසව්වක් මේ උද්‍යානයේ ගොල්ෆ් පිටියට ඇති පිවිසුම් දොරකඩ අසල තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිකල සිහිවටනය කැනඩාවේ ජාතික ඓතිහාසික පරිශ්‍රයක් ලෙසින් සංරක්ෂණය වෙනවා.

https://www.ontarioparks.com/park/turkeypoint











Rockpoint Provincial Park

මෙම උද්‍යානය ග්‍රෑන්ඩ් ගගේ මුවදොර අසබඩ පිහිටා තිබෙන නිසා තෙත් බිම් වගේම වැලි කදුත් දකින්න පුළුවන්. මෙහි තිබෙන වසර මිලියන 300 පැරණි ඩෙවෝනියන් යුගයේ පොසිල  පරිශ්‍රයත් බලන්න වටින තැනක්.

 සංක්‍රමණික කුරුල්ලන් හට සලකුණු එකතු කරන සහ දත්ත වාර්තා කරන තැනක් මෙහි පිහිටා තිබෙන හින්දා ඔබත් කුරුල්ලන්ට ආසා කෙනෙක් නම් මෙතැන සංක්‍රමණික කුරුල්ලන් බලන්න හොද තැනක්. ඒ අතරේ කිලෝමීටරයක් තරරමේ දුරක වෙරළ තීරයකුත් මෙහි දකින්න පුළුවන්.     

 

https://www.ontarioparks.com/park/rockpoint






Port Burwell Provincial Park










කිලෝමීටර 2.5 ක් තරමේ වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය වෙරළේ දිනක් ගත කරන අය අතර ජනප්‍රිය හින්ද සති අන්තවලදී යනවා නම් කලින්ම යන එක හොදයි. බලු සුරතලුන් සදහා වෙන්වුණු කොටස් මේ උද්‍යානයේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. 









https://www.ontarioparks.com/park/portburwell

Erie විල ආශ්‍රිතව තිබෙන තවත් ජනප්‍රිය සංචාරක නැවතුම් කිහිපයක් ....

Port Dover


HMCS Ojibwa Submarine

Port Stanley Terminal Rail

Dunnville Mudcat

Sandhill Park

Elgin County Railway Museum

Rondeau Provincial Park

Wheatley Provincial Park

Port Colborne History & Marine Museum

Earlrowe Provincial Park

Selkirk Provincial Park

සටහන අනුරුද්ධ වැලිගමගේ

 සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ අන්තර්ජාලයෙන්

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි. 

No comments:

Post a Comment