ඇමෙරිකානු සංචාරයක මතකය
ලොස් ඇන්ජලිස් නුවරට යන කවුරුන් වුණත් බලන්නට යන නිතරම ජනයාගෙන් පිරී තිබෙන තැනක් තිබෙනවා. අර්ධ ගෝලාකාර අපූරු හැඩයකින් යුතු මේ ඉදිකිරීම ආකාශ වස්තු නිරීක්‍ෂණාගාරයක් විදියට හඳුන්වන්නත් පුළුවන්. පහුගිය වතාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගිය ගමනේ දී එය වසා දමා තිබූ හින්දා බලන්නට බැරිවුණු නිසා මේ වතාවේදී කොහොම හරි බලනවා කියන අදහසින්ම මම පහුගිය දාක එය වෙත ගියා. ග්‍රිෆිත් මධ්‍යස්ථානයත් , ග්‍රීක රඟහලත් ග්‍රිෆිත් ජේ ග්‍රිෆිත් නම් ධනවත් ව්‍යාපාරිකයා මහජනතාව වෙත ලබාදුන් අපූරු සම්පත්.
1850 ජනවාරි හතරවෙනිදා මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් හි උපන් ග්‍රිෆිත් ජේන්කින් ග්‍රිෆිත් ( Grifith
Jenkins Grifith ) තම දෙමව්පියන් සමගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවට සංක්‍රමණය වුනේ ඔහු තරුණ කාලයේදී. ටික කලකින්ම ඔහු කැලිපෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට යන්නේ Herald Publishing Company හි කළමනාකාරවරයකු ලෙසින්. පසුකාලීනව පතල් කර්මාන්තය වෙත ඇදී යාමෙන් ධනවත් වන ඔහු කැලිපෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරයට එන්නේ ව්‍යාපාරික ලුවිස් මෙස්මර්ගේ( Louis Mesmer) දියණිය මේරි ඇග්නස් ක්‍රිස්ටිනා විවාහ කර ගැනීමත් එක්කයි. 1882 වසරේදි දේපළ වෙළදාම කටයුතුවල යෙදී සිටින ඔහු අක්කර හාරදාහක දේපලක් මිලට ගන්නේ නිසි ලියැවිලි නොමැතිව ඒ ඉසව්ව ස්පාඤ්ඤ ආණ්ඩුකාරවරයා විසින් ජෝස් වින්සන්ට් ෆෙලිස්
( Jose Vincente Feliz) නම් සොල්දාදුවාට පවරා දී තිබූ ඉඩමකින් ( Rancho Los Feliz mexican land grant ) . අද මෙන් ජනාකීර්ණ , ජනප්‍රිය සංස්කෘතියේ මුදුන් මල්කඩ නොවූ ඒ අවදියේ වත්මන් කැලිපෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤ පාලනයට පත් අතීත මෙක්සිකානු බිමක්. ඒත් හදිස්සියේම 1886 දී ග්‍රිෆිත් යුවල නත්තල් තෑග්ගක් විදියට ඉන් අක්කර තුන්දහස් පහළොවක් (3015) ලොස් ඇන්ජලිස් නගර සභාවට පවරා දෙන්නේ කවුරුත් පුදුමයට පත් කරමින්. කලබලකාරී හොලිවුඩයේ තරු දිදුලන සිනමා නගරය තුල අදත් ඒ ඉඩකඩ ඔබට නිස් පාසුවේ ගත කරන්නට පරිසරයක් මවා දෙනවා. දේපල වෙළඳාම් කටයුතුවල යෙදුණු ඔහු සමාජ වගකීමක් සේ සලකා මේ දේපළ සමග ලොස් ඇන්ජලිස් ගඟ දිගේ පිහිටි තවත් අක්කර දාහක්(1000) ලොස් ඇන්ජලිස් නගරයට තෑගි කර තිබෙන බව කියැවෙනවා.
ග්‍රිෆිත් ජේන්කින් ග්‍රිෆිත් ගැන වැඩි විස්තර මේ දිගුවෙන් ඔබට කියවන්නට පුළුවන්
https://en.wikipedia.org/wiki/Griffith_J._Griffith
මම ග්‍රීක රඟහල ගාව තිබෙන රථගාලේ වාහනය නවත්වලා අවට පරිසරය බලමින් කිලෝමීටර් දෙකකට කිට්ටු පා ගමනකට සූදානම් වුණා . තාමත් වෙලාව උදේ නමයයි. මධ්‍යස්ථානය විවෘත කරන්නේ උදේ දහයට හින්දා තව පැයක් තියෙනවා. අවට වටපිට බලාගෙන ජනප්‍රිය හොලිවුඩ් සලකුණ දිහාත් බලාගෙන නිවිහැනහිල්ලේ ඒ උද්‍යානය තුල ඇවිදලා සේයාරූ මතක එකතු කරගන්නයි මම හිතුවේ. වාහනය නවත්වපු තැන ඉඳන් ෂටල් බස් එකකින් හරි ග්‍රිෆිත් මධ්‍යස්ථාන රථගාලේ හෝ ඒ කිට්ටුව පාර අයිනේ මුදල් ගෙවා වාහනය නවත්වලා මේ මධ්‍යස්ථානයට යන්නත් ඔබට පුළුවන්. සඳුදා දිනයේ දී මෙය වසා තැබෙනවා. ඒත් සතියේ අනෙකුත් දින හයේම මෙය මහජනයා සඳහා විවෘතයි, විශේෂයෙන්ම කිව යුතු දේ නම් ග්‍රිෆිත් භාරයේ අදහස් අනුව මෙහි පොදු මහජන අංශ බලන්නට ඔබ කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ කියන එකයි.
Mount Hollywood වල දකුණු බෑවුමේ තියෙන මේ පරිශ්‍රය බොහෝ ඈතකට පෙනෙනවා. ඒ වගේමයි ඉදිකිරීම් නැති විශාල බිම් කඩක් නිසා එහි උද්‍යානයට වගේම ඉහල මාලයට ගියාම ඔබටත් නගරය බොහෝ දුරක් ආසාවෙන් විඳින්නට පුළුවන්. 1935 දී විවෘත වූ දා පටන් ලොව දස දෙසින් මිලියන 85 කට වඩා වැඩි පිරිසක් මෙය බලන්නට පැමිණ තිබෙන බවයි අන්තර්ජාලය කියන්නේ. අඩි 176 ක් දිග අඩි 236 ක් පළල මේ ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෝලාකාර කොටස(Dome ) අඩි 77ක් උසයි. දෙපසින් පිහිටා තිබෙන සමමිතික කුඩා ගෝලාකාර කොටස් අඩි 55 ක් බැගින් උසයි. ඒවායේ මහජන ප්‍රදර්ශනය සඳහා යෙදවෙන අගල් නවය හමාරක සහ අඟල් දොළහ ප්‍රමාණයක කාච සහිත දුරෙක්ෂ දෙකක් තිබෙනවා.
කැමති අයට ඒවා ගැන වැඩි තාක්ෂණික විස්තර මේ දිගුවෙන් කියවන්නට පුළුවන්
https://griffithobservatory.org/exhibits/telescopes/zeiss-telescopes/
ග්‍රිෆිත් මධ්‍යස්ථානය
අභයවකාශ නිරීක්‍ෂණ කටයුතු පිළිබඳව ව්‍යාපාරික ග්‍රිෆික් තුළ උනන්දුවක් තිබුණේ වෝල්ටර් සිඩ්නි ඇඩම්ස් ( Walter Sydney Adams ) ජෝජ් හේලි ( George Ellery Hale ) සමඟ මේ කඳු මුදුනේ සිට කළ ආකාශ වස්තු නිරීක්ෂණ කටයුතු නිසා. ජනතාව සඳහා නොමිලේ බලන්නට පුළුවන් දුරේ ක්ෂයක් එක්ක අපූරු ගොඩනැගිලි සැලසුමක් ඔහු සතුව තිබුණා. ඔහුගේ අවසන් කැමති පත්‍රය මගින් පිහිටුවා තිබූ ග්‍රීෆිත් භාරයේ ( Grifith Trust) මුදල් යොදවා ගනිමින් 1933 ජුනි 30 වැනිදා මේ ගොඩනැගිල්ල ඉදිකිරීම පටන්ගෙන තිබෙනවා. ජෝන් සී ඔස්ටින් ( John C Austin) සහ ෆෙඩ්රික් එම් ඈශ්ලේ
( Fedrick M Ashley) යන දෙදෙනා මෙහි ගෘහ නිර්මාණ ශිල්පීන් වෙනවා. ඔවුන්ට ඒ සඳහා රසල් ඩබ්ලිව් පෝටර්( Russel W Porter) ඇඳි සැලසුම් උපකාරී වූ බව කියවෙනවා රසල්ගේ ඒ සැලසුම් ග්‍රිෆිත්ගේ මූලික අදහස් අනුව ඇඳි ඒවා බවයි කියවෙන්නේ.
John C Austin Fedrick M Ashley
වර්ග අඩි 67,000 දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයක්, ග්‍රහලෝකාගාරයක් වගේම මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් වුණු සුවිසල් ශාලා කිහිපයක් ඇති තැනක්. වහලය මතට නැගිලා ඔබට අවට නිරීක්ෂණය පුළුවන් වගේම උද්‍යානය පුරා ඇති විවිධ දේ බලන්නත් පුළුවන් . 2002-2006 කාලයේදී මෙය තවත් පහසුකම් සහිතව නවීකරණය කෙරුණේ වර්තමාන අවශ්‍යතාවලට අනුකූලවයි.
Samuel Oschin Planatarium
ග්‍රීෆිත් මධ්‍යස්ථානයේ තිබෙන ග්‍රහලෝකාගාරය වන මෙය ආසන 290 ක ධාරීතාවයෙන් යුක්තයි. මෙහි දර්ශන ඉදිරිපත් කරන්නේ සෙයිස් ස්ටාර් ( Zeiss Star) ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින්. ඇලුමිනියම් වලින් තැනූ ගෝලාකාර වහලයට ප්‍රක්ෂේපණය කරන දසුන්, දියුණු ශබ්ද උපකරණ සහ සුවපහසු ආසනවල සිට විනාඩි හැටේ සිට අනුව ( 60,90) දක්වා කාලසීමාවක් තුළ ඉදිරිපත් කෙරෙන දර්ශන සඳහා ඔබට මුදල් ගෙවා ටිකට් පතක් ගන්නට වෙනවා. මේ වන විට ඔවුන් දර්ශනවාර ලක්ෂයකට වඩා ප්‍රදර්ශනය කර තිබෙන බවත් ඉන් අටදාහකට වඩා වැඩි ප්‍රමාණයක් එහි සිටි කීර්තිමත් අධ්‍යක්ෂක ක්ලැරන්ස් ක්ලෙමින් ෂෝ ( Clarence Cleminshaw) විසින් ඉදිරිපත් කළ ඒවා බවත් කියවෙනවා.
Exhibits
Wilder Hall of the Eye Exhibits
මිනිසා ආකාශ වස්තු දෙස බලන්නට පුරුදුවුණු අතීතය සහ විශ්වය ගැන ඉදිරිපත් වූ විවිධ මත , ඇසින් පටන් ගන දුරේක්ෂ හරහා ආකාශ වස්තු නිරීක්ෂණය කරන අයුරු. Palomar දුරේක්ෂ සහ කැමරා වර්ගත් මේ ප්‍රදර්ශනාගාරයේදී ඔබට දකින්නට පුළුවන්.
රැහැන් රහිත විදුලි ප්‍රවාහනය ගැන කියැවෙන ප්‍රමුඛතම නාමය වන නිකොලා ටෙස්ලාගේ ( Nikola Tesla ) ටෙස්ලා කොයිල් සංකල්පය යටතේ 1910 දී Earle Ovington අතින් නිමැවුණු ටෙස්ලා කොයිල් එකකුත් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.
Ahmanson Hall of the Sky
සෞරග්‍රහ මණ්ඩලයේ හිරු ,සඳු සහ තරු ගැන ප්‍රදර්ශන භාණ්ඩ වගේම සූර්ය දුරේක්ෂත් මෙහි තිබෙනවා. දිවා සහ රාත්‍රී කාල උදාව, සඳ ගමන සහ අපට කලින් කල සඳ දිස්වෙන ආකාරය ටයිම් ලැප්ස් චිත්‍රපට මෙහිදී ඔබට දකින්නට පුළුවන්.
ප්‍රවේශපත්‍ර කවුළුව, ප්‍රධාන දොරටුව අද්දර තිබෙන රොටුන්ඩා සිවිලිම හරිම ආකර්ෂණීය එකක්.
රාත්‍රියකට ඔබ මේ මධ්‍යස්ථානයට ගියොත් ග්‍රිෆිත්ගේ ඉල්ලීම අනුව නොමිලේම දුරේක්ෂ මගින් ආකාශ වස්තු නිරීක්ෂණය කරන පහසුකම් ඔබට ලබාගන්නට පුළුවන්.
මෙහි උද්‍යානයත් හරිම දැකුම්කළු එකක්. ඉතා අලංකාරවත් ලෙස සැලසුම් කර තිබෙන මෙහි ඇති කොල පැහැති සාරවත් බව අවට ශුෂ්ක කලාපීය ගස්වලින් පිරි අනෙකුත් ප්‍රදේශ අතරේ කැපී පෙනෙනවා. එහි තිබෙන Astonomers Monument එක ඉතිහාසයේ විවිධ යුගවල අභ්‍යවකාශ නිරීක්ෂණ සහ සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වය ගැන විවිධ මතවාද අදහස් පලකල විද්වතුන් 6 දෙනෙකුගේ නිරූපනයක්. ඒ හය දෙනා වන්නේ Hipparchus, Nicholas Copernicus, Galilio Galilei, Johans Kepler, Isaac Newton, William Herschel.

ලෝකයේ චිත්‍රපට සහ ජනප්‍රිය රූපවාහිනයට වැඩසටහන් බහුලවම සපයන ඇමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩයට නුදුරින් පිහිටා තිබෙන දර්ශනීය සම්පතක් නිසා ලෝකයේ මෙතෙක් බිහිවූ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් විශාල ප්‍රමාණයකට මේ පරිශ්‍රය දර්ශන තල සපයා තිබෙනවා.
දෙවන ලෝක යුධ සමයේ යුධ ගුවන් නියමුවන්ට උපකරණ සහය නොමැතිව තරු ලකුණු වලින් පියාසර කිරීම පුහුණු කිරීම සදහාත්, ඇපලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ පහුණු වූ අභ්‍යවකාශ ගාමීන්ට විශේෂ පුහුණු කටයුතු වෙනුවෙනුත් මේ මධ්‍යස්ථානය සහ සම්පත් භාවිතා කල බව කියැවෙනවා.
.jpg)
ඔබටත් ඉඩක් ලැබුනොත් වෙලාව අරගෙන ගිහින් බලන්න කදිම තැනක්.
https://en.wikipedia.org/wiki/Griffith_Observatory
මම ඈත කන්දේ හොලිවුඩ් සලකුණ බලාගෙන වාහන නැවතුමට යන්න ෂටල් බස් එකට නැග්ගා
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි
අහස සහ ආකාශ වස්තු ගැන මිනිසා පරිනාමයේ ඉඳලා බොහොම කුතුහලය දනවපු ක්ෂේත්‍රයක්. අදටත් ඒක එහෙමමයි!
ReplyDelete