මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 15, 2026

තර්කය සහ හැඟීම් අතර මනෝවිද්‍යාත්මක සටනක යෙදෙන අපේ මනස ගැන ලියන ටෂින්ගා චිගෙවෙනා

 



අනුරුද්ධ වැලිගමගේ

කර්තෘ මණ්ඩල ප්‍රධානි, ශ්‍රීලංකන් නිව්ස් වෙබ් පුවත්පත, මිසිසාගා, කැනඩාව



මම තර්කනය පමණක් අනුගමනය කරන විට, මට හිස් බවක් දැනුනි.මගේ තීරණ නොසැලකිලිමත් නොවීය. ඒවා සිහිසුන් විය. ඒ අවබෝධය රිදුම් දෙන්නට පටන් ගති. ඒ මන්ද මා ඉන් අදහස් කළේ මම බුද්ධිමත්, නමුත් සම්පූර්ණයෙන්ම අවංක නොවූ බවයි. මෙම පොත ආරම්භ වූයේ මම පරිපූර්ණ මාර්ගය සොයා ගැනීමට උත්සාහ කිරීම නවතා මා තෝරා ගන්නා මාර්ගය පරීක්ෂා කිරීමට පටන් ගත් විටය. මම පීඩනය යටතේ මා දෙසම  බලා සිටියෙමි. ප්‍රශංසාව මගේ විශ්වාසය පුම්බා ඇති ආකාරය මම දුටුවෙමි. විවේචන මාව ආරක්ෂාකාරී කළ ආකාරය මම දුටුවෙමි.

(8 වන පිටුව, මනස ගැටුමක, ඊ මුද්‍රණයෙන්)  


අපේ මනස අප සමඟම නිරන්තර සංවාදයක යෙදෙන බව කාහට වුවද නොරහසක් . ඒ සංවාද අතර විවිධ අදහස්,මත , සිතුවිලි අතර පොරබදිමින් යන ගමනේ අපි ක්‍රියාවට නගන්නේ නීතියට , සදාචාරයට, සමාජ සම්මත වලට අනුකූල දේ පමනයි.  එසේ නොමැති වූ කල එකී තැනැත්තා හෝ තැනැත්තිය නීතිය ඉදිරියේ වරදකරුවෙක් , සමාජය ඉදිරියේ තිරිසනෙක් , සමාජ සම්මත අතරේ නරුමයෙක් බවට පත් වන්නේ විනාඩි කිහිපයකින් . ඒ අතරේම අප ඒ සිතුවිලි වලින් ගන්නා තීන්දු , තීරණ විශ්ලේෂණය වන්නේ තර්කය සහ හැඟීම් අතුරින් තමයි. ආයෝජන , විද්‍යාත්මක නිපැයුම්, වෙළද හෝ කුමන හෝ අංශයක භාණ්ඩ එලෙස තර්කනය භාවිතා කරමින් මොළයෙන් ගන්නා තීන්දු මත බිහිවන දේ . මොළයෙන්ම ක්‍රියාත්මක වුවත් ප්‍රේමය , රාගය , කලාව වැනි සමහර දේ  හැඟීම් අතුරින් බිහිවේ. සමහරු නම් කියන්නේ ඒවා හදවතින් ගන්නා තීන්දු කියලයි.    


" ඔබේ හිසෙහි නායකයින් දෙදෙනෙක් ජීවත් වෙති. එක් අයෙක් සිතියම් අඳිමින්, පාලම් මනින අතර, "එසේ වුවහොත් කුමක් සිදුවේද..." යනුවෙන් අසයි. අනෙකා තරඟය ආලෝකවත් කරයි, වැදගත් දේ පෙන්වා "මෙය කෙබඳු බවක් දැනෙනවාද?" යනුවෙන් අසයි. දෙදෙනාම ඔබට උදව් කිරීමට උත්සාහ කරති."  පොතේ තවත් තැනක එහෙම කියන්නේත් ටෂින්ගාම තමයි.  


ටෂින්ගා චිගෙවෙනා යනු තරුණ මනෝවිද්‍යාඥයෙක්, ලේඛකයෙක් සහ චින්තකයෙක් . ඔහුගේ  මේ කෘතිය මිනිස් හැසිරීම්, විඥානය සහ අරමුණෙහි සැඟවුණු ගෘහ නිර්මාණ ශිල්පය ගවේෂණය කරයි. මහා සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු, මානව ඉරණම මෙහෙයවන නිහඬ රටා අනාවරණය කර ගැනීම සඳහා දාර්ශනික පරාවර්තනය සමඟ මනෝවිද්‍යාත්මක අවබෝධය ඒකාබද්ධ කරන්නෙක් ලෙස පතලයි .


සමාන අවස්ථා තිබියදීත් මිනිසුන් සාර්ථක වන්නේත් , අසාර්ථක වන්නේත්  හෝ එකතැන පල්වන්නේ මන්දැයි යන කුතුහලයෙන් පෙලඹී, ටෂින්ගා අධ්‍යයන ගැඹුර සහ අභිප්‍රේරණ බලය හරහා අද්විතීය ලිවීමේ හඬක් වර්ධනය කර තිබෙනවා . ඔහුගේ ආශාව පවතින්නේ පාඨකයන්ට ඔවුන්ගේ අනාගතය නිහඬව හැඩගස්වන නොපෙනෙන තේරීම්, සිතුවිලි සහ හැඟීම් හඳුනා ගැනීමට උපකාර කිරීම තුළයි .


ඔහුගේ "The Invisible Clock of the Soul: Psychology of Unseen Choices" නම් ග්‍රන්ථයේ, ටෂින්ගා පාඨකයින්ට කාලය, ස්වයං විනය සහ දැනුවත්භාවය පිළිබඳ අභ්‍යන්තර යාන්ත්‍රණයන් අවදි කිරීමට ආරාධනා කරයි. පුද්ගලික අත්දැකීම්, ඓතිහාසික විශ්ලේෂණය සහ මනෝවිද්‍යාත්මක න්‍යාය වලින් උපුටා දක්වමින්, ඔහු පාඨකයින්ට සාර්ථකත්වය නැවත සිතා බැලීමට අභියෝග කරයි - කාලයට එරෙහි තරඟයක් ලෙස නොව, කෙනෙකුගේ අභ්‍යන්තර රිද්මයට එකඟව ජීවත් වන්නේ කෙසේදැයි කියන්නට උත්සාහ කරයි.




තීරණයකට පෙර තත්පරයක මනෝවිද්‍යාව ( The Psychology of A Second Before A Decision) , කාලානුරූපී මනස( The Timeless Mind) , නොපෙනෙන තේරීම්වල මනෝවිද්‍යාව ( The Psychology of Unseen Choices), අවධානය යොමු කළ මානසිකත්වය ( The focused mindset) ඔහු ලියූ තවත් පොත් කිහිපයක් . පොතපත ලිවීමෙන් ඔබ්බට, ටෂින්ගා මනෝ උපදේශකයෙක්, කථිකයෙක් සහ මානසික හා චිත්තවේගීය පරිවර්තනය සඳහා වන  උපදේශකයෙක් ලෙස කටයුතු කරයි .  ඔහුගේ මෙහෙවර වන්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ අභ්‍යන්තර ඔරලෝසුවල  අරමුණක් සමඟ සමමුහුර්ත කිරීමට උපකාර කිරීමයි, ඒ දැනුවත්භාවය ක්‍රියාවට නැංවීමට  සහ සාමාන්‍ය දින අර්ථවත් අවස්ථා බවට පත් කිරීම වෙනුවෙන් ඔහු කටයුතු කරන බවයි කියන්නේ.ටෂින්ගා ගේ දැක්මට අනුව "කාලය යනු අපට  කළමනාකරණය කල හැකි  දෙයක් නොවේ - එය අප අතට පත්වන දෙයක් පමණයි .ඒ කාලයේදී ඔබ ගන්නා සෑම නොපෙනෙන තීරණයක්ම අපගේ ඉරණමේ රිද්මය හැඩගස්වයි."


“හැඟීම් සැමවිටම පළමුව පැමිණේ. තර්කනය සැමවිටම පැමිණෙන්නේ පසුවය. ප්‍රශ්නය වන්නේ ඉන් කුමන එක  භාවිතා කරනවාද යන්න නොව, ඒවා කවදා හෝ හමුවන්නේද යන්නයි. ඔබේ  හැඟීම් සංඥා කිරීමට සහ තර්කනය අර්ථ නිරූපණය කිරීමට ඉඩ දෙන විට, පීඩනය තවදුරටත් ඔබට අයිති නොවේ. ඔබ ඔබේ ක්‍රියාවන්, ඔබේ සබඳතා සහ ඔබේ අනාගතය පිළිබඳ කර්තෘත්වය නැවත ලබා ගනී. හැඟීම් තට්ටු කරයි. තර්කනය එයට හේතුව පැහැදිලි කරයි. දොර විවෘත කරන්නේ කවුද සහ කෙසේද කවදාද යන්න තීරණය කරන්නේ ප්‍රඥාව විසිනි.” (22 වන පිටුව, මනස ගැටුමක, ඊ මුද්‍රණයෙන්)  




2026 ජුලි 26 වැනිදා සිළුමිණ කලාපයේ පලවිය. විශේෂ ස්තූතිය සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google  images                                  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment