මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 25, 2022

ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය - Trans Canada Highway

ට්‍රාන්ස්  කැනඩා අධිවේගී මාර්ගය පැසිපික් සාගරයත් , අත්ලාන්තික් සාගරයත් යා කරනවා . කිලෝමීටර් 7821 ක් ( සැතපුම් 4860) ක් දිග මාර්ගය කැනඩාවේ බටහිර අන්තයේ බ්රිටිෂ් කොලොම්බියා පලාතේ වැන්කුවර් දුපතේ වික්ටෝරියා නගරයේ පිහිටි බීකන් හිල් උද්යානය අද්දරින් පටන් ගෙන කැනඩාවේ නැගෙනහිර අන්තයේ පිහිටි නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් ( St. John’s) නගරයේ පිහිටි Mile 0 ක්රීඩා සහ සම්මේලන සංකීර්ණය අද්දරින් අවසන් වෙනවා . 1977 දී මෙට්රික් ක්රමයට මාරුවන තුරු කැනඩාවත් දුර මනින ඒකකය ලෙස සැතපුම් භාවිතා කල නිසා මේ මාර්ගයේ දෙකොන අදත් හැදින්වෙන්නේ මයිල් සිරෝ නමින් .

දුර ගමන් සදහා දුම්රිය යොදාගැනීමත් , මෝටර් රථ මිල අධික වීමත් නිසා අතීතයේදී සාමාන් ජනයාට අධිවේගී මාර්ගවල අවශ්යතාවයක් දැනුනේ නැහැ . දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ කාරය පහසු මිලකට ගත හැකි පවුලේ වාහනයක් වීම නිසා මහාමාර්ග වලට ඇතිවූ ඉල්ලීම නිසා මධ්යම රජය අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කලේ 1949 දී සම්මත වූ Trans Canada Highway පනත මගින්. අනුව එහි ඉදිකිරීම් 1950 දී ආරම්භ වුනේ 1920 දී කැනඩා ඔටෝ මොබයිල්  සංගමය බිහිකිරීමට මූලික වූ වෛද් පෙරී ඩුලිටල් ( Perry Doolittle)   ගේ රට වටා මෝටර් රථයකින් යන සිහිනය සැබෑ කරමින් .



කැනඩා මධ්යම රජයත් , පලාත් රාජ්යය එක්ව ආරම්භ කල මේ ව්යාපෘතිය සදහා කැනඩා මධ්යම රජය 1950 දී මිලියන 150 ක් සහ පසුකාලීනව තවත් මිලියන 825 මුදලකුත් යොදවා තිබෙනවා . ඉදිකිරීම් පටන්ගෙන අවුරුදු 12 කට පස්සෙ 1962 ජුලි 30 වැනිදා  රොකී කදුවැටියේ Rogers Pass හිදී ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නිල වශයෙන් අගමැති John Diefenbaker අතින් ජනතා අයිතියට පත් වුනා . 1971 දී මෙය සම්පුර්ණයෙන්ම නිම වුනේ ලෝකයේ දිගම අධිවේගී මාවත ලෙස වාර්තාවක් තබමින් . ප්රවාහන අවශ්යතා මත කලින් කලට මෙය නවීකරණය වෙන්නේ වඩාත් හොද සේවයක් සලසන්නයි .

පැසිපික් සාගරය තරණය කරන්නට වැන්කුවර් දුපතේ Nanaimo සිට බටහිර වැන්කුවර් නගරයේ Horseshoe bay අතර කිලෝමීටර 57 ක් දුරක කොටසත් , අත්ලාන්තික් සාගරය නෝවා ස්කොෂියා පලාත සහ එඩ්වඩ් කුමාර දිවයින මෙන්ම නිව් පවුන්ඩ්ලන්තය අතර දුරත් තරණය කල යුත්තේ රථවාහන ගෙන යාහැකි සුවිසල් පාරු භාවිතයෙන් . පාරු අවන්හල් ඇතුළු සියළු නවීන පහසුකම් සහිත ඒවා නිසා ඔබට කාලය ගෙවෙනවා දැනෙන එකක් නැහැ .

Yukon, North west teritories  සහ Nunavut හැර කැනඩාවේ අනෙකුත් පලාත් සියල්ලම ආවරණය වන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය පාලනය වන්නේ පලාත් ආණ්ඩු මගින් . විවිධ හේතු මත තැනින් තැන මෙහි ධාවන වේගය කිලෝමීටර 50 සිට 110 දක්වා වෙනස් වෙනවා.

දර්ශනීය ෆ්රේසර් නිම්නයත් , රොකී කදුවැටියත්  හරහා බ්රිටිෂ් කොලොම්බියාවේ සහ කැල්ගරි පලාතේ දර්ශණීය ඉසව් හරහා දිවෙන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය Saskatchewan  සහ Manitoba පලාත්වල  ප්රෙයරි තණබිම් කලාපයේදී සරුසාර ගොවිබිම් හරහා යනවා . කැනඩාවේ පැරණිතම වනෝද්යානය වන බැන්ෆ් ඇතුළුව වනෝද්යාන රැසක් මැද්දෙන් යන මේ මංපෙත සංචාරකයෙකුට නිමක් නැති මනරම් දසුන් මවන සම්පතක්


උතුරු ඔන්ටාරියෝ ප්රදේශයේදී පතල් ආශ්රිත ප්රදේශ හරහා යන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය උතුරු සහ නැගෙනහිර සුපිරියර් (Lake Superior) විල් ඉවුරෙන් ගිහින් කැනඩාවේ අගනුවර වන Ottawa නගරය හරහා Quebec පලාතට ඇතුළු වෙනවා .

කියුබෙක් පලාතේදී St.Lawrence ගග යටින් යන Louis-Hipplyte Lafontaine Bridge tunnel උමග හරහා කිලෝමීටර් 1.3 ක් දුර ගෙවන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය St.lawrence ගග දකුණු පසින් ගිහින් New Brunswick පලාතේ Saint john ගග නිම්නය හරහා යනවා . අර්තාපල් වගා බිම් , ලදු කැලා පහුකරන මේ පාර එඩ්වඩ් කුමාර දිවයිනට යන්නේ කිලෝමීටර් 13 ක් දුර අත්ලාන්තික් සාගරය මතින් ඉදිවුණු සුවිසල් Conferderation  පාලමෙන් . අතරෙ ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ කොටසක් නිව් බ්රුන්ස්විච්ක් පලාතේ ඉදන් නෝවා ස්කොෂියා පලාතට යනවා .

කැනඩාවේ කුඩාම පලාත එඩ්වඩ් කුමාර දිවයිනේ අගනුවර වන Charlottetown පසුකරන කොටස wood island පාරු පර්යන්තයෙන් කිලෝමීටර් 26 පාරු ගමනකට පස්සෙ නෝවා ස්කොෂියා පලාතේ caribou නගරයට සේන්දු වෙනවා . අනෙක් පැත්තෙන් නෝවා ස්කොෂියා පලාතේ අගනුවර Halifax බලාගිය කොටසත් එකට එකතු වෙලා කේප් බ්රිටන් දුපතේ සිඩිනි නගරයේ පාරු තොටුපලින් ආයෙත් පාරුවට නගින්නේ නිව් ෆවුන්ඩ් ලන්තය වෙත යන්නයි. Channel port aux basques දක්වා අත්ලාන්තික් සාගර ගමන කිලෝමීටර 177 ක් දුරයි .

නිව්ෆවුන්ඩ්ලන්තයේ එක කොනක ඉදන් අනෙක් අන්තය දක්වා කිලෝමීටර 905 දිගු ගමනක යෙදෙන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය අවසන් වෙන්නේ එහි අගනුවර වන ශාන්ත ජෝන් නගරයේ මයිල් සීරෝ ක්රීඩා සංකීර්ණය අසලින් . එක පැත්තකින් බැලුවාම ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නැගෙනහිර අන්තයෙන් පටන් ගන්නේ මෙතැනින් කියන්න පුළුවන් හින්දයි මෙතැනටත් මයිල් සීරෝ කියන්නෙ .

කිලෝමීටර 7821 ක් දිගු ගමනේදී  ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය විවිධ පලාත්වලදී විවිධ නම් ලබනවා . බොහෝ මාර්ග එකතු වෙනවා . විවිධ භූ විෂමතා කලාප හරහා යනවා . මේ මාර්ගයේ මද්යය ( Midpoint) ලෙස සැලකෙන්නේ ඔන්ටාරියෝ පලාතේ Sault Ste Marie නගරයේ ඇති Batchwana bay  නම් තැනයි . වෛද් ඩූ ලිට්ල් කිව්වට මේ මූළු මාර්ගයම ආවරණය කරන එක ලේසි නැහැ .   සදහා විශාල කාලයක් , ශ්රමයක් සහ මුදලක් අවශ් නිසා . ඒත් සමහරු RV- Recreational  Vehicles රථ භාවිතයෙන් එහෙම කරනවා .



 Vivien Bowers ඇගේ ජනප්රිය පොත WOW Canada තුලින් ගැටවර පුතෙකුගේ ඇසින් පවුලක් කරන සංචාරයක් ලෙසින් කරන සටහන බලන්නට වටින එකක් . වගේම 1980 දී නිව් ෆවුන්ඩ් ලන්තයේ සිට ඔන්ටාරියෝවට කිලෝමීටර 5373 ක් පිලිකා මර්ධනය සදහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් Terry fox කල දිරිය  පා ගමන  ට්රාන්ස් කැනඩා මාර්ගයේ තවත් මතක සටහනක් .


බැන්ෆ් වනෝද්යානයේදී ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නිසා දෙකඩ වන කැලය තරණය සදහා පරිසර හිතකාමී පියවරක් ලෙස  Wildlife Overpass ඉදිකලේ 2007 දී . ඊට අමතරව Tesla Roadstar සමාගම 2012 දී නොමිලයේ විදුලි වාහන බලගන්වන Electric Vehicle charging centres ඉදිකරමින් ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ලෝකයේ එවන් පහසුකම් ඇති ලොව දිගම මාවත බවට පත්කලා .


අනුරුද්ධ වැලිගමගේ 


 

2019 අප්‍රේල් සහ 2019 මැයි මස කලාපවල කොටස් 2 ක් ලෙස පලවිය. 


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 
මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකතයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

6 comments:

  1. ස්වභාව සෞන්දර්ය රැකෙන විදිහට පාරවල් ටික හදලා තියේ... එත් ඒවා බලාකියාගෙන යන්න ගියොත් තමා වැඩේ😄

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .දේශපාලන බලපෑම් වලින් තොරව කරන හින්දත් , විද්වත් උපදෙස් අකුරටම පිලිපදින හින්දත් කැනඩාවේ පරිසරය සුරැකීම හරිම ඉහලයි. මුලින් මධ්‍යම රජය මුදල් දීල ඉදිකරාට පස්සෙ පලාත් ආණ්ඩු මේවා නිසි විදිහට නඩත්තු කරන්න වාහන බලපත් වලින් , ඉන්ධන වලින් ගන්නා බදු යොදවලා නියම කාලයට නඩත්තු කරනවා. සම්මේලන පාලම සහ ගග යටින් යන උමග සදහා මධ්‍යම රජය මුදල් දීල තියෙන්නෙ දිගු කාලීන ණයක් විදිහට. ඒ හින්ද ඒ හරහා යන්න පොඩි මුදලක් අය කරනවා. පාරේ අනෙක් කොටස් භාවිතයේදී කෙලින්ම මුදලක් අය කරන්නේ නැහැ.

      Delete
  2. වෙලාවක අනිවාර්යයයෙන්ම ඇවිත් ඔය පාරවල් වල යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔය පාරේ මොන්ට්‍රියල් ඉදන් බ්රුක්ස් කොටස හැර ඉතිරි කොටසේ සංචාරය කරන්න මට ඉඩ ලැබිලා තියෙනවා. බොහෝ කොටස් හරිම ලස්සනයි. විශේෂයෙන්ම රොකී කදුකර ප්‍රදේශය සහ වැන්කුවර්. ශාන්ත ලෝරන්ස් ගංගා මිටියාවතත් ඒ වගේමයි. යනවා නම් කියන්න මට තව තොරතුරු දෙන්න පුළුවන්, මට හිතෙන්නෙ Halifax වලින් RV Motorhome එකක් අරගෙන Vancouver දක්වා ගියොත් සති 3 කින් විතර නිවී හැනහිල්ලේ ඔක්කොම බලාගෙන යන්න පුළුවන් වේවි.

      Delete
  3. අනුරුද්ධ ඔබගේ චාරිකා සටහන ඉතාමත් ආශාවෙන් කියවූවා. ඔය දුම්රිය මාර්ගය පිළිබඳව අප අටවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලේ (1953) අපට Geography ඉගැන්වූ ගුරු තුමා ඉතාමත් තදින් හිතේ කාවදින ආකාරයට ඉගැන්වූවා. Video වැනි කිසි දෙයක් නොමැති ඒ කාලේ, කැනඩාවේ සිටි ගුරුතුමා ගේ මිතුරෙකුගෙන් ගෙන්වා ගත් ඡායාරූප පමණයි අපට දකින්නට ලැබුණේ. ඔබගේ විස්තරය නිසා දශක හතක පමණ මතකය අවදි වූවා. මේ ගැන ඔබට මාගේ ස්තුතිය. අධිවේගී මාර්ගය ගැනනම් යමක් දැනගත්තේ අද යි.

    ReplyDelete
  4. වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. රටක් යා කරමින් තැනුණු දුම්රිය මග ගැන තොරතුරු ඇතුලත් වැදගත් ප්‍රකාශනයක් මට කියවන්නට ලැබුණා. ඒ අනුසාරයෙන් යාත්‍රා පුවත්පත වෙනුවෙන් මම ලිපි 5 ක් ලිව්වා. ඉදිරියේදී මා ඒවා බ්ලොග් සටහන් වලට ගොනු කරන්නම්. ඊට අමතරව කියවන ඔබේ ප්‍රතිචාරය හින්ද කැනඩා උරුම කිහිපයක් ගැන ලියන්නත් හිතුවා. කෙනෙකුට මම ඉන්නා රට ගැන කෙරෙන පම්පෝරියක් විදිහට මෙය පෙනෙයි කියලයි මෙතෙක් කල් බ්ලොග් ගත නොකලේ.

    ReplyDelete