මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, March 10, 2024

පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිද ?



 පසුගියදා කැනඩාවේ සිදූවූ සය පුද්ගල මිනීමැරුම සමඟ කතාබහට ලක්වුණු කරුණු කාරණා ලංකාවෙන්  පිටරටවලට සංක්‍රමණය වන පිරිස් වලට අත්දකින්නට ලැබෙන දුෂ්කරතා ගැන කාගේත් අවධානය යොමුවූ අවස්ථාවක් බව පෙනේ. මියගිය කාන්තාවන් එක්වරම රූමත් කාන්තාවන් වන , චූදිතයින් උසාවිය වැරදිකරුවන් කරන්නටත් පෙර මිනීමරුවන් වන ශ්‍රී ලංකාවේ මාධ්‍යය එම සිදුවීම වාර්තා කල ආකාරය ගැන මා තුල එතරම් පැහැදීමක් නැත.මේ කැනඩාවේ මාධ්‍යය ඒ සිදුවීම වාර්තා කල ආකාරයයි.


https://ottawacitizen.com/news/local-news/six-people-dead-including-four-children-at-barrhaven-home-one-person-arrested

ඒ  අතරම ශ්‍රී ලංකාවෙන් බැහැරව විශාලතම සිංහල ප්‍රජාවක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශය ආශ්‍රිතව වැඩිවෙමින් පවතින දික්කසාද වීම් ඉහලයාම පිළිබද යූ ටියුබ් සංවාදයක් ද පහුගිය සතියේම අසන්නට ලැබුනි.

මේ එහි දිගුවයි.   


මේ දෙකම බලා අවසානයේදී මට හිතුනේ පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිය යන අදහසින් පසුවන ශ්‍රී ලාංකිකයින් සැබෑව සහ සිහින  අතර අතරමං වන ආකාරයයි. ඉදිරියේදී හැකියාවක් ඇතොත් ඒ පිළිබද දැනුම ඇති කිහිප දෙනෙකු සහභාගී කර ගනිමින් රූපවාහිනී වැඩසටහනක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිමි .

දියුණු යැයි සම්මත රටකට පැන ගත්තොත් ගොඩ යන කල්පනාවෙන් පසුවන බහුතරයක් අතරේ සිටිනා නෑදෑ හිතමිතුරන් කැනඩාව සහ සංක්‍රමණ විධි ගැන අසනා විට මා පවසන සමහර තොරතුරු අසා මා සමඟ  අමනාප වූ අයද මා වැනි සැබෑ තොරතුරු සහ මූලාශ්‍ර සපයන අය ගැන විවිධ පුද්ගලයින්ට කියා ඇත්තේ ඉරිසියාවට එසේ කියන බවය. 

කැනඩාවේ සංක්‍රමණික තොරතුරු සම්බන්ධ නිල වෙබ් අඩවියේ දිගුව 

https://www.canada.ca/en/services/immigration-citizenship.html

සංක්‍රමණය සම්බන්ධ රාජ්‍යයේ නිල වෙබ් අඩවිය අවශ්‍ය සියළු තොරතුරු පැහැදිලිව දක්වා තිබියදීත් , විවිධ වෙළද ආයතන සහ සමහර යූ ටියුබ්  වැඩසටහන් පතුරුවන අසත්‍ය තොරතුරු මත පදනම් ව විවිධ පුද්ගලයින්ට ලක්ෂ ගණනින් මුදල් දී විවිධ මාදිලියේ උසස් අධ්‍යාපන ආයතන වල ලියාපදිංචි වී නියමිත වීසා බලපත්‍ර නොමැතිව ජීවත් වන (ගල් වන) අයත් , සංචාරක වීසා මත පැමිණ සේවා වීසා, සරණාගත වීසා සකසා ගෙන දුෂ්කර පලාත්වලට යන අයගේ කථාවලිනුත් අඩුවක් නැති බව කිව යුතුය . 

ඉතා ඉහල නිවාස කුලියක් හෝ නිවාස ණය වාරිකයක් , අධික මිලක් ගෙවන වාහන රක්ෂණ වාරිකයක්, ඉහල මිලක ජංගම දුරකථන බිල්පත් අතරේ හිරවන අළුතින් රටකට සංක්‍රමණය වන කාහට වුවත් තමන්ගේ නියම සුදුසුකම් වලට සරිලන හොඳ රැකියාවක්, ගෙයක් , සුවපහසු අළුත් වාහනයක් ගන්නට සාමාන්‍යයෙන් අවුරුදු 3-5 අතර කාලයක් ගතවන අතර විවිධ හේතු මත ඒ කාලසීමාව අඩු වැඩි වන්නට පුළුවන් වන්නේ මේ වන විටත් උග්‍ර නිවාස සහ රැකියා අවස්ථාවල හිගයක් සහ ඉහල යන උද්ධමනයක් අතරේ අපේ අසල්වැසි මහා රාජ්‍යයෙන් පැමිණි විශාල විදෙස් සිසුන් ප්‍රමාණයක් ද රැකියා සහ නවාතැන් වෙනුවෙන් පොරකන කලකය.        

එදිනෙදා ජීවත් වන්නට අමතරව සමාජ මාධ්‍යය තුලින් තමන්ගේ හිත  මිතුරන් බලාපොරොත්තු වන සෞභාග්‍ය පෙන්වීම වෙනුවෙන් දහ අතේ ණය වන්නටත්, දිවා රෑ නොබලා විවිධ රැකියාවල නිරත වන්නටත් අළුත් සංක්‍රමණිකයින්ට සිදුවන්නේ එනිසයි. කුඩා දරුවන් බලාගැනීමේ සේවාවන් වෙනුවෙන් ඉතා ඉහල මිලක් ගෙවන්නට වන බැවින් දරුවන් සිටිනා පවුලක නම් බිරිඳට උසස් පාසැල දක්වා යනතුරු වැඩි වේලාවක් දරුවන් බලාගනිමින් නිවෙසේ ඉන්නට වන නිසා සැමියාට දිවා රෑ මුළුල්ලේ රැකියා කිහිපයක් හෝ අමතර ආදායම් මාර්ග සොයා යාමටත් සිදුවන්නේ  නිතැතින්මයි.

එබැවින් රට යන්නට බලාපොරොත්තුවෙන් සිටිනා අයත්, මෑතකදී පිටරටවලට සංක්‍රමණය වූ අයත් පවුලත් , ජීවිතයත් , තම තමන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයත් රැකගැනීම වෙනුවෙන් හොඳ සූදානමකින් සහ දැඩි ඉවසීමකින් කටයුතු කිරීමත් ඉතා වැදගත් බව අවධාරණය කරන්නට කැමතියි.    

අනුරුද්ධ වැලිගමගේ 


     

        සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

10 comments:

  1. පිටරටකට ගිහින් අළුතින් ජීවිතය පටන් ගැනීම අභියෝගයක්...ඒ අභියෝග ගැන දැනුවත් වී අළුත් රටකට පැමීනීම ඉතා වැදගත් තමා..

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒ සූදානම සහ ඉවසීම අඩුකම තමයි ගැටළු ඇති කරන්නේ.

      Delete
  2. ඉතාම වටිනා ලිපියක්, මේ දික්කසාද කතාව දැක්කේ අද

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. හොඳ අදහසක් අනුරුද්ධ , කරන්න. මේ ගැන ගොඩක් කතා ලියන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නය ළමයි හදන ආකාරය . විශේෂයෙන් පුතාලව නලවනවා. දුවලගෙන් වැඩ ගන්නවා. මම මේ දැකල තියෙන දෙයක්. ඕක කියන්න ගිහින් බැනුම් ඇහුව. ඔයට පුතාල නැති නිසා ඉරිසියාව කියල. දික්කසාද ප්‍රශ්නයේ ඇත්තෙත් ඔහොම එකක්. ගැහැණු උදවියට පේනවා අනිත් පිටරට ගැහැණු වැඩි නිදහසක් භුක්ති විඳිනවා. මෙහෙ වැඩටත් ගිහින් ගෙදර ඇවිත් ගේත් අස් කරලා බතුත් උයල ඉන්න බැහැ . අනිත් පැත්තට පිරිමි අයගේ පැත්තේ ගත්තොත් එයාලටත් අසාධාරණයක් වෙනවා. ගැහැණු අය ඇටෙන්ෂන් එක දෙනවා අඩුයි පිරිමියාට.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ මතුකර තිබෙන යොමු හරිම වැදගත් . ගතින් පිටරටක හිටියත් මතවාද සහ ආකල්ප අතරේ සංක්‍රමණය වුනු මුල් කාලෙ පුදුම පීඩනයක් මැද්දෙ තමයි ගත කරන්නට වෙන්නෙ. බලමු මම මේ දවස්වල ඒ සදහා සුදුසු කැනඩාවේ විද්වත් චරිත දෙකක් හොයනවා.

      Delete
  4. සත්‍ය සිදුවීම මොකක් වුනත් ඒ සිද්ධිය දැඩි කම්පනයකට හේතු වුනා
    තව ටිකක් කල් අරගෙන සාකච්ඡාව කලොත් හොඳයි වගේ නැද්ද
    නැත්නම් මේ සිද්ධියත් එක්කම සාකච්ඡාවත් යට යන්න ඉඩ තියෙනවා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ අදහස වටිනවා. මට හිතෙන විදිහට වැඩසටහන් පෙලක්ම කරන්න වෙයි වගේ. මේ එක පුපුරා යාමක් විතරයි.

      Delete
  5. පිටරට ජිවිතේ ගැන ලංකාවේ අය සිහින මවන හැටි දැක්කම දුක හිතෙනවා . නමුත් ඇත්ත දැනගෙන නියම විදියට ආවේ නැත්නම්, දරාගෙන ඉන්න හරි අමාරුයි ... අපි කිව්වත් ඔය කියන තරම් ලේසි නැහැ කියල පිළිගන්නෙත් නැහැ ..

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. පෞද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. සල්ලි , කාලෙ නාස්ති කරලා වටේ රවුමක් ගිහින් ආපහු නියම පාරෙන් සංක්‍රමණ මගට ඇවිත් මාත් එක්ක තරහ වුනු අයත් කිහිප දෙනෙක් ඉන්නවා.

      Delete