මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 19, 2024

හේතු......

 



දඩාස්”ඉස්සරහ සීට් එකේ තිබුණු ෆයිල් මිටිය බිමට වැටුණා. ඒ දිල්කිට හදිස්සියේම වාහනේ බ්රේක් කරන්න වුනු හින්ද.තමන්ගෙ ධාවන පථයට එහා මං තීරුවෙ ඉඳන් තරුණ කාන්තාවක් වාහනය කැපුවෙ අනපේක්ෂිත විදිහට.

අද දවස හරිම කාර්ය බහුලයි. දිල්කිට දවසේ වැඩ ටික එකින් එක සිහියට නැගුණා. උදේ නමයට දික්කසාද නඩුවකට එන ඉන්දීය යුවලක්. දවල් දොළහට දුෂණයට ලක් වූ තරුණියක්‌ සම්බන්ධ නඩුවක පූර්ව සංවාදයක්.හවස හතරට ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයක්.

ඒත් එක්කම ලබන සතියෙ ඕක්ලන්ඩ්වලදී පටිගත කෙරෙන “ටෙඩ් ටෝක්ස්” මහජන දේශනයකට දිල්කිට ආරාධනාවක් ලැබී තිබුණා. ඒ විශ්වවිද්‍යාලයේ තරුණ ශිෂ්‍යාවන්ට ඇය කළ දේශණ කිහිපයක වීඩියෝ ඉන්ටර්නෙට් එකේ සංසරණය වන හින්දයි.

ඒකට කොහොම කථාවක් කරනවද කියල තාම දිල්කිට අදහසක් නැහැ. හැබැයි හොදට හැමෝටම දැනෙන කතාවක් කරන්න ඕන. මොකද මේක ජාත්‍යන්තරයටම යන එකක්නෙ.

එක පාරටම කහ එළිය වැටුණා. වාහනය ධාවනය කළ වේගයත් එක්ක යන්න බැහැ.

ඊළගට වැටුණෙ රතු එළිය. අකමැත්තෙන් වුණත් වාහනය විනාඩි කිහිපයකට නතර කරන්න වුණා.

හොඳින් ගලාගිය තමන්ගෙ ජීවිතයටත්ඒ වගේම රතු එළියක් වැටුණු හැටි?

දිල්කිට මතක්වුණේ අවුරුදු තුනකට කලින් තමන්ට අත්දකින්නට වුනු ඒ සිද්ධිය. ඒක කොහොම අමතක කරන්නද?

“ඒක ටෙඩ් දේශනයට හොඳයි නේද?”ඇයට හිතුණා.

 

දිනය:2020 ඔක්තෝබර් 30 සඳුදා

වේලාව: පස්වරු 7.30

ස්ථානය:St Alfred රෝහල, මෙල්බර්න්

 

වෛද්‍ය ඩන්කන්: “ඇයි චරිත්ටසියදිවි නසා ගන්න හිතුණේ?”

චරිත්රත්වත්ත: “ඩොක්ටර් මම අද හවස හාඩ්වෙයා ස්ටෝස් එකට ගියපු වෙලාවේ මට එතනදි හම්බ වෙච්ච යාළුවෙක් කියපු කතාවක් හින්දා”

වෛද්‍ය ඩන්කන්:  “මොකක්ද චරිත්ට යාළුවා කිව්වේ?”

චරිත්රත්වත්ත:  “උඹ දන්නවදඇයි දිල් උඹේ ගෑනිට ගැහැව්වෙ?කියල”

වෛද්‍ය ඩන්කන්: ඉතින් එතකොට ඔබ මොකක්ද කිව්වේ?

චරිත්රත්වත්ත: “මටත් තවම හිතාගන්නවත් බෑ මචන්. මම අද රෑට සමදරාගෙන්ම අහන්නයි ඉන්නේ කියලා. මෙන්න එතකොටම යාළුවා කියපි, බලන් හිටපන්,උඹට ඔන්න කියල කියයි.උඹ දන්නවද සිඩ්නිවලදී සමදරා හොර මිනිහෙක් එක්කඉන්නවා දිල්ට මාට්ටුවෙලා බව?”

වෛද්‍ය ඩන්කන්: “සමදරාකියන්නේ ඔබේ බිරිඳ වෙන්න ඕන. එතකොට ඔබ ඒ කතාව විශ්වාස කරනවද?

චරිත්රත්වත්ත: “ඔව් ඩොක්ටර්, සමදරා කියන්නේ මගේ වයිෆ් තමයි. ඒ කතාව ඇහුවම මට හරිම පුදුමයි. මගේ නෝනා වැඩ කරන්නේ නැෂනල් බැංකුවේ විගණන අංශයේ. ඉතින් මාස කීපයකට සැරයක් ඇය තවත් කිහිප දෙනෙකුත් එක්ක ඕස්ට්‍රේලියාවේ විවිධ නගරවලට රාජකාරි කරන්න යනවා. අදත් එයා වැඩට ගියා. මීටින් එකක් හින්ද ටිකක් රෑ වෙනවත් කියල කිව්වා. ඉතින් මම එතනදී ම සමදරාට කතා කරා.කිසි උත්තරයක් නෑ. ෆෝන් එක බිසී. මැසේජ් එකකුත් දැම්මා.”

වෛද්‍ය ඩන්කන්: “ඔබට තිබුණේ බිරිඳ එක්ක මේ ගැන කතා කරල මේ ගැන දැනගන්න නේද? තුන්වෙනි පාර්ශවයක් කියන කතාවකින් ඔබ වගේ උගත් කෙනෙක් තීරණයක් ගන්න එක හරි මදි නේද?

චරිත්රත්වත්ත:  ඒ වෙලාවේ මට ඇතිවෙච්ච තරහා කියන්න බැරි තරම්.විශේෂයෙන්ම ටෙලිෆෝන් එකට කතා නොකර හින්දා මගේ තරහත් තවත් ඇවිස්සුණා. එතකොටම තමයි මහින්ද “ජේන් නෝනා” කියන ෆේස්බුක් ගොසිප්පිටුවේ තිබිච්චපෝස්ට් එකක්WhatsAppහරහා එවල තිබුණේ. ඒකෙ තිබුණෙ සමදරා, මයික් කියන නැෂනල් බැංකුවේ ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක සිඩ්නි ඔපෙරා හවුස් එක ඇතුලේ ෂෝ එකක් බලන්න ගිහින් තුරුළුවෙලා ඉන්න ෆොටෝ එකක්. එතකොටම තමයි මට මතක් වුනේ සති දෙකකට කලින් මයික් , සූසන් , සමදරා සහ රයන් සිඩ්නි රීජන් එකේ ඔඩිට් එකකට ගියා  කියල. 

“පැයකට පස්සෙ සමදරා කතා කරා.ඇයි හදිස්සියක්ද පැටියො මං ටීම් ගැදරින් එකක හිටියෙ චුට්ටක් රෑ වෙයි. මම රෑට කාලයි එන්නෙ කියල කිව්වා.”

“මම එතකොටම අර ෆොටෝ එකට එයාට යවල අද ඔයා  දවල් උසාවියකට ගියාද? මේ ෆොටෝ එක ඇත්තක්ද?

කියල ඇහුව.”

“සමදරාට එකපාරටම තරහා ගියා. ගහෙන් ගෙඩි එන්නා වගේ කිව්වා - ඒක ඇත්ත තමයි ඕයි. තමුසෙ හැම තිස්සෙම පන්සල බදාගෙන හිටියට මටත් හැගීම් දැනීම් තියෙනවනෙ, කියලා”

වෛද්‍ය ඩන්කන්: ඉතින් ඔබට තිබුණෙ Lifeline Australia එකට කතා කරන්න නේ. එතකොට උදව්වක් ගන්න තිබුනනෙ.

චරිත්රත්වත්ත : ඩොක්ට නම් ලේසියෙන් කියයි. ඔන්න එතකොටම ෆෝන් එකේ ෆේස්බුක් දැනුම් දීමක් ආවා. වල් ජෝන් කියල කෙනෙක් පොස්ට් එකක් දාල මාව ටැග් කරලා. ඩාවින් වල බීච් එකක මයික් එක්ක සමදරා නාන ඇඳුමෙන් ඉන්න සෙල්ෆි එකක්. ඒකෙ තිබුණෙ-සභාපතිබුදුන්වඳී, සමදරා නිදිවදී- කියල. අපි අවුරුදු හතක් යාළුවෙලා ඉඳලා බැන්දේ ඩොක්ට. මම කවදාවත් සමදරා මෙහෙම කරයි කියල හිතුවෙ නැහැ. මං මේ ළග පන්සලේ දායක සභාවේ සභාපති. මට අපේ සමාජයේ ගොඩදෙනෙකුගෙ හොඳ පිළිගැනීමක් තියෙනවා. කිහිප දෙනෙක් නම් මාත් එක්ක තරහයි කියල අහල තියෙනවා. ඒත් දැනුවත්ව නම් කවුරුත් මට මුකුත් නරකක් කියල නැහැ.”

වෛද්‍ය ඩන්කන්: “දුව තමයි ට්‍රිපල් සීරෝ කතා කරලා ඔයාව ගෙනත් තිබුණෙ. අන්තිමට ඔයාට මතක මොනවද?

චරිත්රත්වත්ත:  මට ජීවිතේම එපා වුණා. නෑදෑයෝ, යාළුවො මොනවා කියයිද කියලා හිතුණා. මම හරි හොදින් ජීවත්වුණු කෙනෙක්. මම සමදරාටවත්, දරුවන්ටවත් වරදක් කරලා නැහැ. මට අහුවුනේ හිසරදයට ගන්න බෙහෙත් පෙති කුප්පිය. මං ඒකෙ තිබ්බ පෙති 30 ක් විතර දිගටම ගිල්ලා.”


 

දිනය: 2020 ඔක්තෝබර් 30 සඳුදා

වේලාව: පෙරවරු10.30

ස්ථානය: මහේස්ත්‍රාත් අධිකරණය, මෙල්බර්න්

 

පැමිණිල්ලේ නීතිඥ:  එම්පෝරියම් සාප්පු සංකීර්ණයේ රථගාලේ දී ඔබ සමදරාට ගැහුවෙ ඇයි?

දිල්කි වත්සලා දිසානායක: “මට හිතන්නෙ හේතුව ක්ෂණික කෝපය. මං ඒ වෙනකොට සමදරා ඇන්ටි ගැන පුදුම තරහකින් හිටියෙ. රන්මිණි කියන මගේ වයසෙම දුවෙක් හිටියත් සමදරා ඇන්ටි හරිම තරුණ පාටයි. හොඳ මුණක් පෙන්නගෙන හිටියට එයාගෙ වැඩ ගැන මං එච්චර පැහැදීමකින් නෙවෙයි හිටියෙ. ආසන්නතම හේතුව විජේරත්න කියන සල්ලාල ලංකාවේ කැබිනට් ඇමැතිවරයා මෙල්බර්න් ඉන්නකොට එයාට තනි රකින්න එයාගෙ අපාර්ට්මන්ට් හයිරයිස් එකට එන්න කියල නාඳුනන කෙනෙක් කථා කරපු එක.”

පැමිණිල්ලේ නීතිඥ:  “ඒකයි සමදරාට පහර දීමයි අතර තියෙන සම්බන්ධය?”

දිල්කි වත්සලා දිසානායක:  මෙල්බර්න්වලයි, සිඩ්නිවලයි එක එකාට රෙද්ද උස්සලා පෙන්නන එකීට විජේරත්න ඇමතිට තනි රකින එක මහ කජ්ජක් ද කියල සමදරා අක්කා තමයි මේ නොම්මරේ දීලා ගණන් කථා කරගන්න කිව්වෙ කියල ඒ කෝල් කරපු කෙනා කිව්වා.

විත්තියේ නීතිඥ බාධා කරයි.

විත්තියේ නීතිඥ:  මේ පහරදීම ක්ෂණික ක්‍රියාවක් විදිහට පෙනුණත් මේ තත්වයට ඇය පත්වුණේ සමදරා වාචිකව ඇයට පන්සලේදීත්, සමාජ මාධ්‍ය හරහාත් විශාල වශයෙන් අපහාස කරලා තියෙන හින්දයි. ඒ හින්ද ගරු විනිසුරුතුමාගෙන් මම ඉල්ලා සිටිනවා හත්මාළුව, පැණිවරකා සහ නුවර කොල්ලෝ කියන ෆේස්බුක් ගිණුම් හිමි අයගේ තොරතුරු ලබාගන්න වගේම ඒවා සංසරණය කරන තොරතුරු වාරණය කරන්න නියෝගයක් නිකුත් කරන්න කියල.

විනිසුරුතුමා:  “දිල්කිට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

දිල්කි වත්සලා දිසානායක: “ඔව් සමදරා ඇන්ටි හැබෑ නමින් වගේම ව්‍යාජ ෆේස්බුක් එකවුන්ට් හරහා පහුගිය මාස දෙකේ දී මගේ ආත්ම ගෞරවය කෙලෙසෙන අන්දමේ බොහෝ දේ කරලා තියෙනවා. ළඟදි පන්සලට ගියපු වෙලාවෙ මං තරමක් ඇඟට හිරවෙන ඇඳුමක් ඇදගෙන හිටියෙ මම කැම්පස් ගිහින් එන ගමන් ආව හින්ද.ඒත් ඇන්ටි ඒක මහ ලොකු වරදක් විදිහටයි මට කෑ ගැහුවෙ. එයාගෙ දුව සමහර වෙලාවට ඊට වඩා ඇග පේන ඇඳුම් ඇදගෙන පන්සලේ ඉන්නවා මම දැකලා තියෙනවා. මම ඒකට ඇත්ත හේතුව දන්නෙ නැහැ. හැබැයි ඇය මා කෙරේ පුදුම ද්වේශයකින් තමයි හිටියෙ.”

විනිසුරු තුමා: “ඔබට ඒ ගැන සාක්ෂි තියෙනවද? ඔබට විස්තර කියන්න පුළුවන්.”

දිල්කි වත්සලා දිසානායක: “ඔව් මට පුළුවන්.”

දුරකථනය පෙන්වයි.

දිල්කි වත්සලා දිසානායක: “මේ හත්මාළුව කියන ප්‍රොෆයිල් එකෙන්, නුවර කොල්ලෝ කියන එකෙන්, මං පන්සලේ පිරිත් නූලක් බඳින වෙලාවක ගත්තු ෆොටෝ එකකට දාල තිබුණු කමෙන්ට්, “හාමුදුරුවොත් ඉවරයි”, “පපුව පෙන්නන විදිහට සාදුගෙ සිල් කැඩෙයි කෙල්ලෙ”, “දවසක අපටත් බැරිද?”

“මේතවත් එකක්.”

මං විශ්වවිද්‍යාලෙ වියදමට අමතර ආදායම් විදිහට මොඩලින් කරන කෙනෙක්.නුවර අපේ ඉස්කෝලෙ ලොකු අක්කා කෙනෙක් හින්ද මං මගේ ගොඩක් පුද්ගලික විස්තර ඇන්ටිට කියල තියෙනවා. මං හිතන් හිටියෙ මගේ වයසෙ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හින්ද ඇය හොඳ ගැහැණියක් කියලයි.”

“මේ පැණිවරකා, උඩරට හැදියාව, හයි ස්කුල් කෙල්ලෝ කියන ප්‍රොෆයිල්වලින් යට ඇදුම් ඇඩ් එකකට මම කල ෆොටෝ එකකට ලියල තිබුණු දේවල්, මේකෙ ඇගේ නූල් පටවල් දෙකයි”, “නුවරම කන එකී”, “සල්ලිවලට ඕන දෙයක්!”

 

දිනය-2020 ඔක්තෝබර් 30 සඳුදා , වේලාව - පෙරවරු11.30

ස්ථානය - ජුරි සභා කමිටු කාමරය , මහේස්ත්‍රාත් අධිකරණය , මෙල්බර්න්

ජූරියේ දොළොස් දෙනාගෙන් තිදෙනෙකු අතර වූ සංවාද වලින් කොටසක්  ජූරි සභිකයින් තිදෙනා මිලර් මහත්මිය, බාතියා මහතා සහ ෆැල්වීනෝමෙනෙවිය කථා බහක,

මිලර් මහත්මිය: “දිල්කි කියන විදිහට ඇගේ එක අර්ධ කාලීන රැකියාවක් වෙන්නෙ University of Melbourne චිත්‍ර කලාගාරයේ නිරුවත් නිරූපිකාවක් විදිහට කටයුතු කරන එකයි. පැය එක හමාරක ගුවන් කාලයක දුරින් වුනත් ඇය සමහර වෙලාවට සිඩ්නිවල විෂුවල් ආර්ට් ඇකඩමි එකටත් නිරූපණ සඳහා යනවා. ඒ ඇගේ නිරූපණ ආයතනයේ රූගත කිරීම් සිඩ්නි වලත් වුනු හින්ද සැලී කියන යාළුවා එක්ක කල අමතර වැඩක්. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් විදිහට Kat the Label ආයතනයේ කාන්තා යට ඇඳුම් සහ නිදන ඇදුම් නිරූපිකාවක් විදිහටත් අන්තර්ජාල සහ මුද්‍රිත දැන්වීම් සදහා පෙනී ඉන්නවා. ලංකාවෙත් ඇය කෙටි කලක් නිරූපිකාවක් විදිහට කටයුතු කරලා තියෙනවා. දකුණු ආසියානු කලාපීය සංස්කෘතිය අනුව කාන්තාවන් අගපසඟ පෙනෙන විදිහට නිරූපණ කටයුතු කරන එක තරමක් රැඩිකල් වැඩක්. මට පෙනෙන විදිහට සමදරා සමාජ මාධ්‍යය හරහා විවිධ නම්වලින් ඇයට මඩ අපහාස කරලා තියෙන විදිහට සමාජයෙන් එන පීඩනය ඉදිරියේ දිල්කි කෝප ගැන්වෙන්න පුළුවන්.

බාතියා මහතා:  සමදරා ඇගේ ප්‍රකාශවලදී කියූ විදිහට මීට මාස තුනකට කලින් දවසක් ඇයට දිල්කිව හමුවෙන්නෙ ඇය වේටර්වරියක් විදිහට සේවය කල Collin’s Quarter අවන්හලේදී. එතකොට ඇය කිව්වා කියන්නෙ -ඇන්ටි කීප දවසක් සුදු මහත්මයෙක් එක්ක කෑම ගන්නවා දැක්කා. අද තමයි කථා කරන්න ලැබුනෙ- කියලා. ඒ වගේම මීට මාස දෙකකට කලින් සිඩ්නිවල The Grand Hotel එකේ දී සමදරාට දිල්කිව මුණ ගැහුණාම කිව්වලු -ඇන්ටිලාව මං ඊයේත් දැක්කා, මම විෂුවල් ආට් ඇකඩමි එකේ මොඩ්ලින් වලට ආවා- කියල. මට හිතෙන්නෙ සමදරා හිතන්න ඇති දිල්කි මේ ගැන චරිත්ට, රන්මිණිට, සමාජයට කියයි කියල. මොකද දැන් දවස් කීපයක් අතටම අහු වුනාණෙ. සමදරාට පන්සලේදී කීප දෙනෙක් ම කියල තියෙනවා -අපි දැක්කා ඔයා අර    සුදු කොල්ලෙක් එක්ක එහෙ මෙහෙ ඉන්න ෆොටෝ ටිකක්- කියා. සමදරා ඒ ෆොටෝ ගැන සැක කරන්නෙ දිල්කිව. මොකද එයාට ෆොටෝ ගන්න ඕන තරම් අවස්ථා තිබුනනෙ.

ෆැල්වීනෝ මෙනෙවිය: හ්ම්, අපි මෙහෙම හිතමු. සමදරා හිතුව මයික් කියන කන්තෝරු සගයා එක්ක සමදරා තියෙන සම්බන්ධය පවුලටත්, දන්න අයටත් කියයි කියල. ෆොටෝ දැක්කයි කියල කියන අයගෙන් ඒවා ඉල්ලන්න බැරි හින්ද හිතන්න ඇති දිල්කි තමයි මේ ෆොටෝ අරන් සමාජ මාධ්‍යවලට දාන්නෙ කියලා. ඒ හින්ද දිල්කි පාලනය කරන්න ඇයට මඩ ගහන්න ඇති.දිල්කිගේ ෆොටෝ, තරුණ වියේ හැසිරීම් ලංකාවෙ සමාජය එතරම් අනුමත නොකරන, සංවර නොවන ඒවා හින්ද දිල්කිව පාලනය කරන්න හිතාගෙන සමදරා ෆේක් ප්‍රොෆයිල් හදල කමෙන්ට් දාන්න ඇති.”

බාතියා මහතා:  “ඒත් එහෙම කියලා දිල්කි සමදරාට ප්‍රසිද්ධ ස්ථානයකදී පහර දීම පිළිගන්න බැහැනෙ?”

මිලර් මහත්මිය:  ඒකට මං එකඟයි. ඇය නිරූපිකාවක් විදිහට චිත්‍ර සඳහා නිරුවත්වුණා සහ දැන්වීම් සඳහා අඩ නිරුවත්වුණා තමයි.ඒත්ඇය ලිංගික ශ්‍රමිකයෙක් නෙවෙයි. මං කාන්තාවක් විදිහට සමදරා කළ අපහාසයට තදින් විරුද්ධ වෙනවා. ෆැල්වීනෝ මෙනෙවිය, භාතියා මහත්තයා මොකද කියන්නෙ? ඒක බරපතල වරදක්. ඒ වගේ දෙයකින් කාන්තාවක් කෝප ගැන්වෙන්නෙ නැත්නම් තමයි පුදුමෙ.

තරුණ කාන්තාවනට තමන්ගෙ කථාවෙන් ගන්න යමක් තියේවි කියල දිල්කිට හිතුණා.

ආපහු තමන්ගෙම නඩුව මතක්වුණා. විනිසුරුවරයාගේ තීරණය, සමදරා ඇන්ටිට නියම කළ දඩය, දිල්කිට කළ අවවාද. රස්සාවෙන් විශ්‍රාම අරන්, ගෙදරත් විකුණලා රන්මිණි,සමදරා ඇන්ටි, චරිත් අංකල්එක්ක බ්‍රිස්බේන් යන්න කලින්ඇවිත් සමාව ගත්ත හැටි දිල්කිට මැවිලා පෙනුණා.

මේ පිලිවෙල අමතක වෙන්න කලින් හිත් ඇදගන්නා පිළිවෙලකට කථා ආකෘතිය අද රෑම ලියන්න ඕන කියල දිල්කි තමන්ටම කියා ගත්තා.

වෙලාව උදේ 8.40 යි. දිල්කි තමන්ගෙ නීති උපදේශන කාර්යාලයේරථ ගාලට ඇවිත් තිබුණා.

අනුරුද්ධ වැලිගමගේ 



මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල   2024 ඔක්තෝබර්  කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි.

 ( බ්ලොග් රචක - රසිකොලොජි ) 


හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.

6 comments:

  1. මේ කතාව හොඳයි . ලංකාවේ නොව විප්‍රවාසී අයගේ ප්‍රශ්න හා ජීවිතය අලලා ලියුවක් නිසා .

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. ඉදිරියේදී වෙනස් කතා කිහිපයක් ලියන්න හිතාගෙන ඉන්නවා .

      Delete
  2. වෙනස් විදිහට හිතල ලියපු කතාවක්.
    ගොඩක් අය තමන්ගෙ කුණු වහගන්න අනිත් අයට මඩ ගහන එක තමා කරන්නෙ!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ කතාව සහතික ඇත්ත. ඒත් දුක මේ වගේ රටවලදී ඉගෙන ගන්න ගොඩක් යහපත් දේ තිබුණත් දකුණු ආසියාතික ප්‍රජාව කුණු වැඩ ටික තවමත් ඇදගෙන යන එකයි.

      Delete
  3. මේක හොඳ කතාවක්
    නිතර comment නොකලත් ඔබේ කතා සහ විස්තර කියවනවා
    මම හොඳ blog රසිකයෙක්

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරයටත් , මගේ සටහන් නිතිපතා කියවන එකටත් බොහොම ස්තූතියි. ටිකක් වෙනස් කතා ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා. බලමු.

      Delete