මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 15, 2022

ඍතු විපර්යාසය ........රේඩියෝ කෙටිකතා......අනුරුද්ධ වැලිගමගේ....



මේ කෙටිකතාවක් අහන කාලයයි. 

අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

 මෙම රටට පැමිණ ඍතු විපර්යාසයකට හුරු වන්නට කල්ගත වූ බව සුමේධට සිහිවේ. වඩාත්ම අසීරු වූයේ ශීත කාලයට හුරු වන්නටය. හිම පතනය නිසා තනි පෙලට වාහන යනෙන මාවතේ අද වාහන ගමන් ගන්නේ සෙමිනි. හිම වරුසාව ටිකෙන් ටික වැඩිවන්නට වූයේ නොසිතූ පරිද්දෙනි. ගොවිබිම් හරහා හමන සුළග රැගෙන එන හිම කැට නිසා වැඩි ඈතක් පෙනෙන්නේද නැත. අද නම් නිවෙස වෙත යාමට බොහෝ වෙලාවක් ගත වේ යැයි සුමේධ ට සිතිණි.

   පහන් නිවා අදුරේම තුවක්කුව ගෙන වැට මායිමට එන වල් අලින් පලවා හරින්නට ට්‍රැක්ටරයක නැගී යන රාත්‍රී මුර සංචාරය සුමේධ ට සිහි විය. සත්තු වත්තේදී හැර අලින් වැනි විශාල සතුන් හා විෂඝෝර සර්පයින් මෙහි දකින්නට නැත. ගොවිපොල මායිමට එන කුඩා සතුන් ඉදහිට පමාවී නිවෙසට යන විට දකින්නට ලැබෙද්දී දැනෙන සතුට අපමණය. කුරුල්ලන්ගේ, රැහැයියන්ගේ නාදය විදිමින් කරන රාත්‍රී මුර සංචාරය මහත් ආනන්දයක් වන්නේ ගස් අතරින් එබිකම් කරනා සද මවන විසිතුරු සමගිනි. පැහැදිලි අහස ඇති දිනෙක තාරුකා පන්ති පිහිටීම් දෙස බලා කෙතරම් හැඩයක් සිතා ගත හැකිද ?

ගං වතුර කාලයට හිරිහැරයක් සේ දැනෙන මහවැලි නදී කොමලියගේ ඉවුර අද්දරට ගිය විට සද රැස් වැටි දිලිසෙන ජල තලය බලන්නට අපූරුය. සහන් හිටියා නම් කවියක් ලියනු නියතය.

අද කතාව....... ඍතු විපර්යාසය ..... සවනට රචනා කලේ අනුරුද්ධ වැලිගමගේ

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට


කතාවට පාදක වූ කෙටිකතාව......

ඍතු විපර්යාසය ......

හීන් හිම පොදක් වැටෙන්නට වූයේ ඍතු විපර්යාසය සිහි ගන්වමිනි. වසන්තයේ එළිමහනේ ගත කල සොදුරු සමය අවසන්ව ගුලි ගැසී ගෙතුලට වී ගත කරන නිද්‍රා සමය එළබෙමින් තිබේ. සුමේධ රියට නගින්නට සැරසෙත්ම රොබට් කියූ " ප්‍රවේශමෙන් පදවන්න(Drive safe ) ට ස්තුතිවන්ත වෙමින් සුමේධ නිවෙස වෙත රිය පදවන්නට විය.

අදුරු වැටුණු මූසල පෙනුම ශීත ඉර්තුවේදී ජනතාව තුල මානසික ආතතිය වැඩිකරන බව අන්තර්ජාලයේ තිබූ ලිපියක මතුකර දැක්වූ අයුරු සුමේධ ට සිහියට නැගුනේ එවිටය. වාර්ගික යුද්ධයත්, දුෂණය සහ අනෙකුත් හේතු සාධක මැද දරුවන්ගේ අනාගතය පැහැපත් කරන්නට මව්බිමෙන් පිටමන් වන්නට අයදුම්පත් භාර  දුන් දිනය ඔහුට සිහි විය.   

එකල සුමේධ සේවය කලේ රජයට සම්බන්ධ කෘෂිකාර්මික ගොවිපලක කළමණාකරුවෙකු ලෙසය. සරු පසේ අව්‍ වැසි අතර මාරු වන වෙනස්කම් තුල සොච්චම් වැටුපකට දහදිය පෙරන කම්කරු පවුල්වල වෙහෙසින් ගොවිපොල දියුණු කරන්නට ඔහු ගත් වෙහෙස අපමණය. ප්‍රධාන නගරයන්ගෙන් බැහැර උප නගරයකට නුදුරුව පිහිටි ගොවිපල කලකට ඉහතදී නම් දැරූ තැනකි. දේශපාලනය ඇතුළු විවිධ හේතු සාධක මධ්‍යයේ දිනෙන් දින කුඩා වන එහි වපසරිය තුල තවමත් වැඩෙන කිරි දෙනුන් සපයන නැවුම් කිරි ජනප්‍රිය කදිම නිෂ්පාදන පෙලක් වෙළදපොලට සපයයි. සැබෑ නව වෙනසක් වුවද සාමාන්‍ය ව්‍යවහාරයේදී එය  " බෝතල් දෙක ෆාම් "   වූයේ එයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ ගේට්ටු කණු දෙක කිරි බෝතල දෙකක හැඩයට තනා තිබූ නිසාය.

තාම දැන් සේවය කරන පවුලේ ගොවිපොල සමග එය සැසදීම දුෂ්කර වුවද ඒ පිළිබදව " රොබට් " ට විස්තර කල කල්හි ඔහු දුක්මුසු වූ බව ඔහුට සිහිවිය. රොබට් සහ ජෙනට් ඔහු වත්මනේ සේවය කරන ගොවිපොලේ හිමිකරුවන්ය. වෙහෙස වී වැඩ කරන සුමේධ ට ඔවුන් සලකන්නේ පවුලේ කෙනෙකුට මෙන්ය.

  මෙම රටට පැමිණ ඉර්තු විපර්යාසයකට හුරු වන්නට කල්ගත වූ බව සුමේධට සිහිවේ. වඩාත්ම අසීරු වූයේ ශීත කාලයට හුරු වන්නටය. හිම පතනය නිසා තනි පෙලට වාහන යනෙන මාවතේ අද වාහන ගමන් ගන්නේ සෙමිනි. හිම වරුසාව ටිකෙන් ටික වැඩිවන්නට වූයේ නොසිතූ පරිද්දෙනි. ගොවිබිම් හරහා හමන සුළග රැගෙන එන හිම කැට නිසා වැඩි ඈතක් පෙනෙන්නේද නැත. අද නම් නිවෙස වෙත යාමට බොහෝ වෙලාවක් ගත වේ යැයි සුමේධ ට සිතිණි.

   පහන් නිවා අදුරේම තුවක්කුව ගෙන වැට මායිමට එන වල් අලින් පලවා හරින්නට ට්‍රැක්ටරයක නැගී යන රාත්‍රී මුර සංචාරය සුමේධ ට සිහි විය. සත්තු වත්තේදී හැර අලින් වැනි විශාල සතුන් හා විෂඝෝර සර්පයින් මෙහි දකින්නට නැත. ගොවිපොල මායිමට එන කුඩා සතුන් ඉදහිට පමාවී නිවෙසට යන විට දකින්නට ලැබෙද්දී දැනෙන සතුට අපමණය. කුරුල්ලන්ගේ, රැහැයියන්ගේ නාදය විදිමින් කරන රාත්‍රී මුර සංචාරය මහත් ආනන්දයක් වන්නේ ගස් අතරින් එබිකම් කරනා සද මවන විසිතුරු සමගිනි. පැහැදිලි අහස ඇති දිනෙක තාරුකා පන්ති පිහිටීම් දෙස බලා කෙතරම් හැඩයක් සිතා ගත හැකිද ? . ගං වතුර කාලයට හිරිහැරයක් සේ දැනෙන මහවැලි නදී කොමලියගේ ඉවුර අද්දරට ගිය විට සද රැස් වැටි දිලිසෙන ජල තලය බලන්නට අපූරුය. සහන් හිටියා නම් කවියක් ලියනු නියතය.

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බාලාංශයේ සිට සරසවිය තෙක් තමා ප්‍රතිලාභ ලැබූ අයුරු සුමේධට සිහිවේ. රජයේ සේවකයින් වූ තම දෙමාපියන් වෙහෙස මහන්සියෙන් සොයුරිය හා තමාව මේ තත්වයට ගෙන ආ අයුරු ඔහුගේ මතකයට නැගුණි. ඔවුන් සියල්ලන්ම තනිකර දමා සිය පවුල සමග මෙහි වාසයට ආ තමා කලේ අභිනික්මනක් දැයි ඔහු තමා සමගම තර්ක කරන්නට විය.

සරසවියේදී ඉල්ලීම් ඉල්ලා ශිෂ්‍ය අරගල මෙහෙයවූ කපිල දැන් අමාත්‍යවරයෙකුගේ ලේකම් වරයෙකි. තමන් රාජකාරි කලේ  " දැලි පිහියෙන් කිරි කන්නාක් " මෙනි. දෙවරක්ම විදේශ ශිෂ්‍යත්ව සදහා ගොස් එහි නවතින්නට හැකියාව තිබියදීත් ආපසු ලංකාවට ආවේ තම යුතුකම මව්බිම වෙනුවෙන් ඉටු කරන්නටයි. කිහිප වරක්ම උගත් දෙයින් ගොවිපොල වර්ධනය කර ලාභ උපයන විට ප්‍රථිපලය වූයේ තමා දිරිගන්වනවා වෙනුවට වෙනත් ගොවිපොලකට මාරුවක් ලැබීම පමණි.       

සුප්‍රකට නටබුන් නගරයක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක පිහිටි ගොවිපලේ වසා දමා තිබූ ගොඩනැගිලි රැසක් පිලිසකර කර සංචාරක කටයුතු සදහා යොදා ගනිමින් ආදායම් උපයන විට දේශපාලන හෙන්චයියන්ට සිය නිවාඩු ගත කරන්නට නොමිලයේ පහසුකම් සපයන්නට ප්‍රධාන කාර්යාලය කටයුතු කලේ ලොක්කන්ගේ ලකුණු දා ගැනීම පිණිසය.

වැව් වාන් දමන කාලය ප්‍රදේශය සුන්දරත්වයෙන් පුරවන සමයකි. අව් කාස්ටකේ වියලී ඉරි තැලුණු වැව් දිය පිරී ගැබ්බරව ගිය විට වැව ආරක්ෂා කරමින් අතිරික්ත දිය කද පිට කරවන්නට තැනූ පිට වාන අසල සපත්තු පාලම මවන අසිරිය නිමක් නැත. නගරයේ වෙසෙන බිරිදත් දරුවනුත් නැති පාළුව, කාන්සිය නිවා දැමුවේ මේ සොදුරු සොබාදහමේ අසිරියයි. ගසක සිට කුරුල්ලකු ක්ෂණයකින් පාත් වී මාළුවෙකු ඩෑහැ ගනී . තමාද වානෙන් පිටාර ගලන වැසි වතුර මෙන් රැල්ලෙන් ඉවත්ව ගිය වග සුමේධට දැනිණි.


උසස් පාසැලේදී තමා සමග එකට උගත් සහන්ගෙන් විස්තර අසා මෙහි එන්නට සිත හදාගත්තේ අමාරුවෙනි.

ගතට මෙන්ම සිතටත් ශීතල වැඩි වන්නට වූයෙන් ඉන්ධන පිරවුම් හලක රිය නැවැත්වූ සුමේධ උණු කෝපි කෝප්පයක රස බලන්නට විය. " හැමෝගෙම කතන්දර ඔයිට වැඩි මිසක් අඩු නැහැ" මෙහි පැමිණි අලුත පන්සලේදී අරුණ කියූ හැටි සුමේධට මතකය.

" අඩු ගානේ අපේ දරුවන්ට හරි හොද කලක් යයි " සුමේධ හිත හදාගත්තේ එලෙසය. 

" දුර තමයි ... ඒ වුණත් ලබන අවුරුද්දෙ අපි උඹේ රට බලන්න යනවා " රොබට් කීවේ මහත් ආසාවෙනි.

පැල් බදිමින් , පේලි ගැසී වහින කාලයත්, පලාතම කාන්තාරයක් කරමින් පායන කාලයත් හැරුණු කොට මෙහි ඒමට පෙර සතර ඉර්තුවක් පිළිබදව සුමේධ අසා තිබුණේ පොත පතින් පමණි. විවිධ වෙනස්කම්වලින් සිව් ඍතුවේ විපර්යාසය ඇට මිදුළු රිදවමින් ගතට දැනෙන්නට පටන් ගෙන තිබේ.

අම්මා, තාත්තා, නංගී ගෙන් මිදී සැතපුම් දහස් ගණනක් ඈත බිමක නෑදෑ හිතවතුන්ගෙන් තොරව ගෙවන මේ ජීවිතයේ හිතට දැනෙන විපර්යාසය ඍතු විපර්යාසය මෙන් කිහිප ගුණයකින් ඉහළ බව සුමේධට සිතුණි .  

 

අනුරුද්ධ වැලිගමගේ

2016 ජනවාරි දසත කලාපයේ පලවිය.     

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.  

Saturday, January 8, 2022

කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය .........රූපවාහිනි අත්දැකීම.....

 


අමයුරු කවි රස 13 - කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය .

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය ගැන 

අද දින ( ජනවාරි 8 වන දින)  ජන්ම දිනය සමරන විල්සන් හෑගොඩ කිවිදුන්ගේ කවි කොල කාරයා කවි 

පන්තිය ගැන අනුර පුතු දක්වන අදහස් සමගින් ....... 



කවි කොල කාරයා කවි පන්තියෙන්  - විල්සන් හෑගොඩ 

කවි සංවාදය - සරමද කලිසමද වැඩියෙන්ම හොද 

                    ( මුල් සංවාදය - උදුගොඩ නවරත්න කවියා සහ මීමන ප්‍රේමතිලක කවියා )

කවි සංවාදය - අතකස කවි සම්මේලනයකදී 

                   (මුල් සංවාදය - රජරට ජයන්ති කිවිදිය සහ කොට්ටාවේ ලයනල් ගුණසිරි කවියා )   

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 



https://rupane.com/2021/08/14/rupane-episode-257-august-14-2021/

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - ලන්ඩන් කවියේ සංස්කාරක, 
                                                      අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම්,                                                                                                      නීතිඥ අනුර හෑගොඩ     

කවි ගායනා -  ආචාර්ය සරත් චන්ද්‍රසේකර, අයේෂා චන්ද්‍රරත්න සහ සරත් කුමාරසිංහ         

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.



අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අටවන වැඩසටහනේ සිට දොළොස්වන වැඩසටහන කාලීන සමපාත වීම් සමග ඉදිරියේදී බ්ලොග් ගත වේවි. 

අපේ දහවන වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, January 1, 2022

තනිකඩ හීනය ......අනුරුද්ධ වැලිගමගේ....

 

රෑන කිතුල් සේ දිලෙනා ඔබේ නිල් කෙහෙරැල්

පොරකනවා හුළග එක්ක කරමින් හුරතල්

නීල මැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල්

ලෝකෙ පුරා කලබලයෙන් දුවනවා තව කල්

 

සැළලිහිණියේ, තිසර, මයුර පොත්වල වැනුමන්

සිහිකෙරුවා ඔබේ පිරුණු පියයුරු අබිමන්

ඉටි රූපෙක වගේ පිරුණු ඉග සුග වැනුමන්

සිතුවම් පෙල ඇන්ද වගෙයි හිත තුල සක්මන්


ඉගිල ගිහින් සයුරු මතින් කාලය අතරින්

මිසර , රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන්

තනි යහනේ පාළු කපන දවසක් එනකං

රෑ හීනෙක අතරමංව හිටිය මං බලන් 

 

අනුරුද්ධ වැලිගමගේ



 

2022 ජනවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

ලැබුවාවූ 2022 වසර සියළු බ්ලොග් රචකයින්ට නිර්මාණාත්මක වසරක් වේවා.

සිංහල බ්ලොග් කියවන රසිකයන්ටත්, රචක රචිකාවියන්ටත් නිරෝගීමත් වාසනාවන්ත එකක් වේවා.  

           යන්න මගේ පැතුමයි.  

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, December 25, 2021

සඳකඩ පහනේ බ්ලොග් පැතිරවීමේ වෑයම ......




සඳකඩ පහන සිංහල බ්ලොග් සින්ඩිකේටර් අතරට පැමිණි අළුත්ම සාමාජිකයා යැයි මට සිතේ. සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනයාමේ කාර්යයේදී බ්ලොග් සින්ඩිකේටර් කරන්නේ අතිමහත් කාර්යභාරයකි.බ්ලොග් සින්ඩිකේටර සහ පරිගණක මෘදුකාංග පිළිබද මගේ අල්ප දැනුම නිසා මේ සටහන තුල තාක්ෂණික කරුණු පිළිබදව නොලියන්නට පරිස්සම් වෙමි.


කලක් තිස්සේ බොහෝ සිංහල බ්ලොග් අඩවි කියවා තිබූ මා බ්ලොග් අඩවියක් පටන් ගන්නට අත්පොත් තැබුවේ 2018 ජූනි මාසයේදීය. ටිකෙන් ටික අතපත ගාමින් එය වර්ධනය කරනා මම හිතන්නේ බ්ලොග් කලාවට මා තවමත් ආධුනිකයෙකු බවයි. මගේ පටන් ගැන්මේ සිට කිසිදු දැන හැදුනුම්කමකින් තොරව මට දෑත දිගු කරමින් සහයෝගය දුන්නේ අටම්පහිය, සිතුවිලි, සිංහල වියුණු එකතුව,අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සහ මාතලන්ගේ සින්ඩියයි.මේ මොහොතේදී ඔවුනට මගේ ප්‍රණාමය හිමිවේ. 

විගස, සිත්තම යන සින්ඩිකේටර සදහා වූ සබැදි මගේ බ්ලොගයේ එල්ලා ඇතත් ඒවා මේ වනවිට යාවත්කාලීන වන බවක් නොපෙනේ.කොත්තු, කුරුටු සින්ඩිය රටගිය ඇත්තෝ බ්ලොග් කියවනය,කමත, සංදේශය, අඹගහ යට, උකුස්සා, බ්ලොග් සිතියම, ලංකා, නොහිම් සිතුවිලි, කැරකෝප්පුව, අපි අපිට, අවකාශය යන සින්ඩි වලට මගේ බ්ලොග් ඇමිණුම යවා ඇතත් එය ඇමිණී නැත්තේ ඒවායේ ධාරිතාවය උපරිම මට්ටමකට පැමිණීම නිසා හෝ පාලනාධිකාරියේ කාර්ය බහුලතාව නිසා යැයි සිතමි.

අළුතින් පටන් ගත් සඳකඩ පහන පාලනාධිකාරියට සිංහල බ්ලොග් පැතිරවීමේ සැබෑ උනන්දුවක් තිබෙන බව පෙනෙන්නේ බ්ලොග් අඩවි ඔවුන්ගේ සින්ඩියට එල්ලා ගැනීමෙන් නොනැවතී නිතර අප සමග සම්බන්ධ වෙමින් කරුණු විමසන නිසාය. මා කියවන බ්ලොග් අඩවි රැසක් ඔවුනට යොමු කල විට විගසින් ඔවුන් ඒවා එහි එල්ලූ අතර බ්ලොග් කලාවට පිවිසෙන නවකයින් දිරිමත් කරමින් ප්‍රතිචාර ලියන මෙන් ඉල්ලා සිහි කැඳවීම් පණිවුඩ ද එවන්නට විය. ඉන් මට හැගෙන්නේ ඉංග්‍රීසියෙන් යූ ටියුබ් අවකාශයේ තිබෙන බ්ලොග් අඩවියක් පටන් ගන්නා හැටි වීඩියෝව පැහැදිලි මදි අය වෙනුවෙන් ඩ්‍රැකී කල පියවරෙන් පියවර පැහැදිලි කිරීම සේම නවකයින් දිරි ගැන්වීමට පිටු කියැවීම් සහ ප්‍රතිචාර ද වැදගත් බව ඔවුන් අවබෝධ කරගෙන සිටින සෙයකි.   

https://www.youtube.com/watch?v=5n-ZpBo7cHI&t=3180s

https://drackey.blogspot.com/2021/10/blog-post.html

 සිංහල කලා නිර්මාණ අතර අගතැන්පත් සඳකඩ පහන ඇසුරින් උපුටාගත් නම සිංහල බ්ලොග් සින්ඩිකේටරයට සැබැවින්ම අගනේය. පුරාවිද්‍යාත්මක වටිනාකමින් වැඩි වැදගත් ස්ථාන වල ඇතුළුවන තැනම තිබෙන සඳකඩ පහන බොහෝ දුර ගෙවා එතැනට පැමිණි විවිධ අයවලුන්ගේ දුහුවිලි ඉවත් කරමින් පිරිසිදුව එතැනට ඇතුළු වන්නට ඉඩ සැලසුවේ බොහෝ කලක පටන්ය. විවිධ මතවාද, තොරතුරු සහ පුරුදු අතරින් හොද දේ තෝරා ඉදිරියට ගෙන යන්නට සඳකඩ පහන කණ්ඩායමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එසේම සඳකඩ පහන තුලින් නිර්මිත ජීවන යථාර්ථය පොදු ජනමාධ්‍ය තුල ඇති වෙළද, ආගමික, දේශපාලන බලපෑම් වලින් තොරව යථාර්ථවාදී ලෙසින් පාඨක පිරිස් කරා ගෙනයන්නට දිරිය ලැබේවායි පැතුම් එක් කරමි.  

සඳකඩ පහනට ගොඩවී බලන්නටත්, කැමති නම් ඔබේ බ්ලොගයට අමුණා ගන්නටත්, යෝජනා අදහස් සහ ප්‍රතිචාර ලියන්නටත් ඔවුන්ගේ යොමුව පහතින් සදහන් කරන්නම්. 

 https://sandhakadapahana.blogspot.com/   

මුලින් සදහන් කල පරිදි මගේ අල්ප තාක්ෂණික දැනුම සහ ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා පෞද්ගලිකව මට අනෙකුත් බ්ලොග් ජනප්‍රිය කරවීමට දිය හැකි අතහිත අවමය. එහෙත් මා සිතන පරිදි සිංහල බ්ලොග් කලාව ජනප්‍රිය කරවීමට පහතින් සදහන් පියවර අනුගමනය කල හැකිය.

1. සෑම සින්ඩිකේටරයක්ම, බ්ලොග් අඩවියක්ම එනමින් මුහුණු පොත් ගිණුමක් පවත්වා ගෙන යාහැකිය.එවිට අළුත් සහ පැරණි බ්ලොග් රචනා කලින් කලට ජනගත කල හැකිය.

2. එහිම දිගුවක් ලෙස මුහුණු පොතේ පලවන දේ ඉක්මණින් ගිලී යන නිසා තාක්ෂණික ලෙස යම් තෝරාගත් කාල පරාසයකදී ස්වයංක්‍රීයව බ්ලොග් ලිපි පලවන ආකාරයක මෘදුකාංගයක් සකස් කල හැකිය.

3. දැනට අක්‍රියව ඇති බ්ලොග් රචකයින් නැවත බල ගැන්වීමත්, ඔවුනගේ පැරණි අගනා ලිපි යලි පලකිරීමත් කල හැකිය.

4. ප්‍රධාන ධාරාවේ රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් වැනි ජනමාධ්‍ය හරහා සිංහල බ්ලොග් ගැන ජනතාව දැනුවත් කල හැකිය. මා දන්නා පරිදි එවැන්නක් වරක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වී තිබේ.

http://rasikalogy.blogspot.com/2017/03/itn-television-program-on-sinhala.html

5. කලින් ලියා අනාගතයේදී පලවන සේ බ්ලොග් රචනා ගබඩා කර තැබීම් වැනි තාක්ෂණික කාරණා සරලව පැහැදිලි කර දීම කාර්ය බහුල බ්ලොග් රචකයින් බ්ලොග් කලාවෙන් ඉවත්වීම වැලැක්වීමට උපයෝගී කර ගත හැකිය.  

6. බ්ලොග් තුල බ්ලොග් ගතවන නිර්මාණ අතුරින් තෝරාගත් ලිපි හා කවි විද්වත් මඩුල්ලක උදව්වෙන් මුද්‍රිත එකතු ලෙස සංස්කරණය කල හැකිය.

7. බ්ලොග් ගතවන නිර්මාණ සොරා ගැනීම් සම්බන්ධ නීතී සහ නිර්මාණ අයිතිය තහවුරු කිරීම් ගැන නීති සම්පාදනය සහ දැනුවත් කිරීම් විද්වත් නීති දැනුම ඇති බ්ලොග් රචකයින් විසින් පැහැදිලි කර දිය හැකිය.

8. සිංහල බ්ලොග් කරුවන් දිරිමත් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික නිර්මාණ ඇගයුම් ඒකක සහභාගීත්වයෙන් යම් ඇගයීමේ කාර්යය කල හැකිය.එසේම විශ්ව විද්‍යාල ප්‍රජාව සහ විද්වත් පිරිස් විසින් සිංහල බ්ලොග් ගැන කලින් කලට පර්යේෂණ නිබන්ධන, කතිකාවත් සංවිධානය කල හැකිය. 

9. ජනප්‍රිය රූපවාහිනී,රේඩියෝ වැඩසටහන්, යූ ටියුබ් වැඩසටහන් තුලට නිසි අවසර ඇතිව බ්ලොග් අනතර්ගත ගෙනයාමෙන් ඒවා ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසද රස විදිය හැකිය.

10.සුහද සංවාද ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හේතු වුවත්, විවිධාකාර අරමුණු උදෙසා පහත්, වෛරී, අශෝභන සහ ද්වේශ සහගත ප්‍රතිචාර දක්වන ඇනොනිමස් ප්‍රතිචාර දක්වන්නන් ගේ පරිගණක සහ දුරකථන හදුනා ගැනීම සම්බන්ධ නීති රීති සහ පැමිණිලි ක්‍රමවේද සකස්කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමටද කාලය පැමිණ ඇත. 

මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ අදහස්, දැනුම , සම්පත් සහ දැන හැදුනුම්කම් භාවිතා කරන්නේ නම් සිංහල බ්ලොග් කලාව දැනට පවතින තැනින් ජනප්‍රිය තාවයේ ඉහල තැනකට ගෙන යා හැකිය.

මේ කරුණු සුහද සංවාදය පිණිසයි.

සියළු බ්ලොග් සින්ඩිකේටර කරනා මෙහෙය අගයන අතරේ සඳකඩ පහනේ ඉදිරි ගමනට ජය පතමි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.