මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 15, 2024

සිංහල චිත්‍රපට පහක්


























ලංකාවෙන් බැහැරව ඉන්නා අපට සිංහල චිත්‍රපට බලන්නට ලැබෙන අවස්ථා විරලයි.  අපි සිංහල චිත්‍රපට බලන්නේ ලංකාවෙන් ගෙනෙන සීඩී පටවලින් , ටීවී box වලින් හෝ ඉදහිටක සමහර සංවිධාන වලට ආධාර පිණිස  විවිධ තැන්වල කුඩා සිනමා ශාලාවල සති අන්තයේ  පෙන්වන චිත්‍රපට අතරින්.  ඒ කොහොම වුණත් මේ සටහන ඉඩ ලැබෙන විදියට බැලූ සමහර චිත්‍රපට ගැනයි. 









ආසු (2021 )



නෙළුම් කියල කියන්නේ අවුරුදු 31 ක ඉහල පැලැන්තියේ බෞද්ධ කාන්තාවක්. ඉතා සතුටු දායක පවුල් ජීවිතයක් ගෙවන ඇය ඉන්නේ සංගීතවේදී සැමියා සහ තුන් හැවිරිදි දියණිය එක්ක. තවත් දරුවෙකු සදහා ඇය නැවත ගැබ්ගත් සැනින් ඔවුන්ගේ ලෝකය උඩු යටිකුරු කරමින් අසන්නට ලැබෙන්නේ ඇය පියයුරු පිලිකාවේ අවසන් අදියරේ ඉන්නා කෙනෙක් බවයි. නූපන් දරුවට කරදරයක් වෙතැයි බියෙන් වෛද්‍යවරුන් කෙතරම් කීවත් ඇය පිලිකාවට අදාල කිසිම ශල්‍යකර්ම කරන්නට දෙන්නේ නැහැ .


සැමියාත් පවුලේ අයත් කෙතෙක් කීවත් ඇගේ ස්ථාවරය වෙනස් නොකරන ඇය තමන්ගේ අවදානම කැප කරනවා. මාස 7 කට පස්සෙ ඇය ලබන පිරිමි දරුවා නම් කරන්නේ ගෞතම් කියලා. දරුවාට මාස 3 ක් වෙද්දී නෙළුම් පියයුරු පිලිකාවෙන් මිය යනවා. ඇගේ අවසන් දින කිහිපයේදී ඇය ලියා තැබූ ලිපියක් 10 වන උපන් දිනයේදී ගෞතම්ට කියවන්නට ලැබෙනවා.


හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය ගේ ජීවිත කතාව  මේ  චිත්‍රපටයට පාදක වී තිබෙනවා. ඉන්දිරා ජයසූරිය භාරය පියයුරු පිලිකාවට ගොදුරු වූ කාන්තාවන් වෙනුවෙන් විශාල මෙහෙයක් කරන ආයතනයක් .   



වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Asu_(film)


Trailer  යු ටියුබ් දිගුව  















ඇල්බොරාදා (2021)



සිංහල  තේරුමින් " ඇල්බොරාදා”  කියන්නේ  දවස උදාවීම යන අදහසයි.  නොබෙල් තියාගලාභී කිවිවර පැබ්ලෝ නෙරුදා ගේ ශ්‍රී ලංකාවේ ගත කළ කාලයේ  ලිංගික ජීවිතය උත්කර්ෂයට නැංවීමක්  විදිහට මේ චිත්‍රපටය හැඳින්වෙනවා.  නෙරුදා ඉතාලියේ ගත කළ 1950 කාලය පදනම්ව නිර්මාණය වුණු IL POSTINO චිත්‍රපටිය නරඹා තිබූ මට 1931 කාලේ නෙරුදාගේ තරුණ ජීවිතය ගැන කියැවෙන මේ චිත්‍රපටය බලන්නට ආසාව තිබුණු බව කිව යුතුයි. යටත්විජත ඉංග්‍රීසි පාලන කාලයේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී ඇත්තේ පෝච්චි වැසිකිලි. ඒවායේ එකතුවෙන මල පහ ඉවත් කිරීමත් , වැසිකිළි යාමට අවශ්‍ය වතුර පිරවීමත් කර තිබුණේ "සක්කිලි " නමින් පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන ද්‍රවිඩ අඩු කුලේ ජනතාව විසින්.ඒ කාලයේ කොළඹ නගරයේ කැලි කසල ඉවත් කළේත් ඔවුන් විසින් බව සඳහන්.  


 නෙරුදා ගේ  කවි දැකීමෙන් පැහැදෙන චිලී රජයේ  විදේශ ඇමතිවරයා නෙරුදා චිලි රටේ විදේශ සේවයට අනුයුක්ත කර කන්සල්වරයා ලෙස විවිධ රටවලට යවනවා. 1927 සිට 1929 කාලයේ බුරුමය රැංගුන් නුවර සේවය කරන ඔහු ලංකාවේ කොළඹට එන්නේ එක්දහස් නවසිය විසි නමයේ දී .1973 දී ඔහු පළ කළ ඔහුගේ ජීවිත කතාවට අනුව ඔහු බුරුමයේ ඉන්නා කාලය සබඳකම් පවත්වන කාන්තාවගේ නම ජෝසී බ්ලෙස් . ඔහුගේ ලේකම්වරිය ලෙස සේවය කල බටහිර පන්නයට කැමති බුරුම කාන්තාවක් වූ ඇය පාවිච්චි කළ නම ජොසී වුවත් හැබෑ නම වෙනත් එකක් . ඇය උමතුවෙන් මෙන් ඔහුට ආලයෙන් බැඳෙනවා.  ජොසීගේ ආලයේ  ඊර්ෂ්‍යාව තර්ජනයක් බවට පත්වන කාලයේ ඔහු ලංකාවට යන්නේ ඇයටත්  නොදන්වා.



ලංකාවේ දී ලායනල් වෙන්ඩ්ට්  ඇතුළු කණ්ඩායම සමග සබඳතා පවත්වන ඔහුට ලංකාවේදීත් කාන්තා ඇසුරේ නම් අඩුවක් නැහැ. ඔහු සමග යහන් ගත වන යුරෝපා කාන්තාවන් අතරේ චිත්‍රපටියේ පැට්සි අපට දකින්නට පුළුවන්.  ඒ අතරේ ඇගේ බුරුම පෙම්වතිය ඔහු සොයා ලංකාවට එනවා . කඩුවක් වැනි ආයුධයක් සහ සහල් මල්ලක් සමග පැමිණෙන ඇයව නෙරුදා ගෙට නොගන්නා තැන  ජොසී නිවසෙන් පිට නොයා එළියේ රැඳී ඉන්නවා . අවසානයේදී පොලිසිය විසින් ඇයව රටින් පිටුවහල් කරනවා.


සැමදා උදේ පාන්දරින් වැසිකිළි බඳුන් ඉවත් කිරීමට එන තරුණ සක්කිලි කාන්තාවක් දකින නෙරුදා ඇය හා රාගයෙන් බැඳෙනවා.  අවසානයේදී සිදුවන්නේ පැබ්ලෝ අතින් ඇයව දූෂණය වීමයි. 2018 දී සන්තියාගෝ ගුවන් තොටුපළ පැබ්ලෝ ප්‍රබලෝ නෙරුදා නමින් නම් කිරීම තහනම් කිරීමට විරෝධතා කරුවන් උසිගැන්වීමට තරම් මේ කාරණය බලපෑ බව කිව යුතුයි.














වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Asu_(film)


Trailer  යු ටියුබ් දිගුව  




ගින්නෙන් උපන් සීතල (2018)



ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු මේ කතාව දශක තුනක් තිස්සේ ලංකාවේ දේශපාලනය සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය පැතිකඩක් කෙටියෙන් සහ රෝහණ විජේවීරගේ පෞද්ගලික ජීවිතය වැඩිපුර දක්වමින් නිර්මාණය වු චිත්‍රපටියක්.


විජේවීර තම වයාපාරය සඳහා දේශන පවත්වමින් පොත්, පත්‍රිකා ලියමින්  ජනතාව එක් රැස් කර ගත් ආකාරය සහ සංවිධානයේ වර්ධනය සිදුවූ ආකාරය  එහි පියවරෙන් පියවර විස්තර වෙනවා. ඒ අතර වාරයේ දී ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ගැනත් අපට මේ තුළින් යම් අවබෝධයක් ගන්නට පුළුවන්.  තැනින් තැන සැඟවෙමින් ඔහු ගතකළ රහසිගත ජීවිතය වගේම ඔහු අත්අඩංගුවට ගැනීමට එවක පැවැති රජයේ ගෙන ගිය ක්‍රියාමාර්ග හමුවේ අවසානයේදී ඔහු අත්අඩංගුවට ගැනීම දක්වා තොරතුරු මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා.



වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Ginnen_Upan_Seethala


Trailer  යු ටියුබ් දිගුව  





දැවෙන විහඟුන් ( 2016)



මාළු  වෙළෙන්දකු වුණු සැමියෙකු 1987-1989  භීෂණ සමයේදී  බිල්ලෙකු  ලෙස සිටිනා ගමේ විදුහල්පතිවරයා හිස සෙලවීම නිසා අතුරුදහන් කර මරා දැමුණා. ඒ නිසා  අසරණ වුණේ කුසුම් නම් ඔහුගේ බිරිදත් දරුවන් අට දෙනාත්.  විකල්පයක් නොවුනු නිසා රැකියාවක් සොයා ගිය කුසුම්ට යම්තම්   රස්සාවක් හොයා ගන්නට හමුවුණේ ගල්කොරියකයි. එතැන සිදුවූ අනතුරක් නිසා කොරිය වසා දැම්මා.  කුසුම් ඊළඟට රැකියාවට ගියේ මස් පිණිස හරක් මරණ තැනකටයි. එතැනදී වුණු අතවර නිසා ඇයට අකමැත්තෙන් වුණත් ඊළඟට යන්නට වුණේ ආයුර්වේද සම්බාහන ආයතනයක් විදිහට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකටයි. සමාජ සම්මත නිසා ගෙදරට නොදන්වා කුසුම් ඒ  මුදලින් දරුවන් රැකගන්නට කළා. ඒ වෑයම නැවතුනේ පොලිසිය කළ කඩා පැනීමකින් සියල්ල ලෝකයට හෙළිවීම හින්දා. ඉන් පස්සෙ වැඩිමල් දියණියගෙත් , නැන්දම්මා ගේත්  බලවත් පිළිකුලට ඇය ලක්වුනා.  














වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Burning_Birds


Trailer  යු ටියුබ් දිගුව  




















බව දුක සහ බව කර්ම (1997 )



මේ චිත්‍රපට දෙකම සඳහා පදනම් වන්නේ 1905 තරම් කාලය සබරගමුවේ කතා පුවතක්. බව දුක චිත්‍රපටියේ ි

දිගුවක් විදියට බව කර්ම චිත්‍රපටය හඳුන්වන්නට පුළුවන්.


බව දුක



ගමේ පැවැත්වෙන ගම්මඩු උත්සවයකදී ප්‍රදේශයේ මුහන්දිරම්වරයා  තොටියෙකුගේ දියණියක් වන රූමත් නෝන හාමිව දකිනවා. ආරච්චි සහ ඔහුගේ බිරින්දෑගේ මාර්ගයෙන් වලව්වට කැඳවාගෙන යන ඇය ඔහු අතින් දූෂණයට ලක්වෙනවා. කලින් සූදානම් කරගෙන තිබූ පරිද්දෙන්  ඒ ගම්මඩු පූජාවේ රංගන ශිල්පියකු වූ පේදුරු නෝනාහාමි සමඟ විවාහ වන්නේ ඇය මුහුදුරුවන්ගෙන් ගැබ් ගෙන ඇති බව නොදැනයි. තමා ගැබ් ගෙන ඇති  බව  

අම්මාට කියූ විට අම්මා කියන්නේ ඇයත් මුහන්දිරම්  අතින් දූෂණය වූ බවයි  තම පවුල දීග විවාහයක් ලෙස නිවසට කැන්දා ගැනීමට බලාපොරොත්තු වූ ලේලියගේ නිවසේ පුතා 

බින්න බැහැගෙන සිටීම නිසා පේදුරුගේ දෙමාපියන් පසු වන්නේත් හිත හොඳකින් නොවේ. 


ඇගේ ගැබ් ගැනීමේ තොරතුරුවලින් කම්පාවට පත්වන පේදුරු සේවයට වාර්තා නොකර ගෙදර සිටීම නිසාත් මුහන්දිරම්ගේ  ගෙදරට ගොස් බැන වැදීම නිසාත් මුහන්දිරම්ගේ පැමිණිල්ලට අනුව රැකියාව අහිමිව පොලිස් හිර අඩස්සියට පත්වෙනවා. නෝන හාමිගේ වැඩිමල් පුතු ගිරන් සම්බන්ධයෙන් පේදුරු සහ නෝනා හාමි නිතර නිතර රණ්ඩු සරුවල්  ඇති  කරගන්නවා. පේදුරුට දාව නෝන හාමිට තවත් පුතෙකු සහ දුවක ලැබෙනවා. මුහන්දිරම්ගේ සම්බන්ධයෙන් ඇති වූ දරුවා ගිරන් සමග පේදුරු හැමවිටම ඉන්නේ අමනාපෙන් පියා සමග ඇතිවූ ආරවුලකින් බේරී පලායාමට තැත් කරද්දී ගිරන් ගඟට වැටී අතුරුදහන් වෙනවා.


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Bawa_Duka


Trailer  යු ටියුබ් දිගුව  






බව කර්ම



 ගඟට වැටී අතුරුදහන් වූ ගිරන් කලකට පසු ගමට එන්නේ කතෝලික පූජකවරයෙකු සමඟයි. දැන් ඔහුගේ නම ග්‍රැහැම්  ලෙස වෙනස් කර තිබෙනවා. ඔහු  පූජකවරයකු වීමට දෙව්සත්හළේ ඉගෙන ගනිමින් සිටිනවා. කතෝලික පූජකවරයා ගමේ දුප්පතුන්ට උදව් කරන්නට සූදානම් වන විට එයට අකමැති වන ආරච්චි ඔවුන්ට අඩු කුලයේ ජනතාවක් ඉන්නා වෙනත් ගමකට එක්කගෙන  යනවා. ඒ ගමට ලැබෙන සැලකිලි සහ වාසි දකින ආරච්චිල කුල හීන ගමේ ප්‍රධානියා මරා පේදුරු එයට පටලවා හිර බාරයට යවනවා.


දරුවන් තිදෙනෙකු සහ වයසක දෙමාපියන් සමඟ ආසීරුවෙන් ජීවන සටන ගෙන යන නෝනාහාමි උපකාර පතා මුහන්දිරම් සොයා ගොස් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වෙනවා. මේ අතර වාරයේ සිරෙන් නිදහස්ව පැමිණෙන පේදුරු ගෙදරින් පිටව ගොස් වෙනම මඩුවක් සාදාගෙන ජීවත්වීමට පටන්ගන්නවා. මේ වනවිට වඩු කර්මාන්තයෙන් ජීවත්වන ඔහුගේ පොඩි පොතු නිතර නිතර පියා හමුවට ගොස් ඔහුගෙන් පාරම්පරික නැටුම් ශිල්පී ඉගෙනගන්නවා. ඔහුගේ මවට මුහන්දිරම් ගෙන්  වූ අකටයුතු ගැන දැනගන්නා ඔහු මුහන්දිරම් ගේ  මුදලින් මව තනා දුන් වඩුමඩුවටත් ගිනි තබා ගොස් පියා සමග ජීවත් වෙනවා.


කාලකට පසුව ප්‍රදේශය සංවිධානය වන ගම්මඩු උත්සවයේදී ප්‍රධාන නැට්ටුවාගේ වන්නේ  පේදුරුගේ පොඩි පුතා. අනපේක්ෂිත ලෙස සංදර්ශනය මැදදී මුහන්දිරම්ට ගිනි පෙළෙල්ලෙන් පහර දී මරා දැමෙනවා ඔහුව මරා දැමීම කරන්නේ පේදුරුගේ පොඩි පුතා.


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


https://en.wikipedia.org/wiki/Bawa_Karma


අනුරුද්ධ වැලිගමගේ     



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

View Synonyms and Definitions

10 comments:

  1. වෙලාවකට මහ බෝරිං අප්පා. ඔව්ව දිහ බලං ඉන්න. අනික ලංකාවෙ ඉදලත් ලංකාාව එව්ව බලන්න වෙන්නෑ කියන්නෙ ඉතිං. 😁😁😁

    බලමුකෝ ඉස්සරහට 😁😁

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. හොද ඔත්තුවක්.දැන් ඉතින් වැඩේ තියෙන්නෙ ෆිල්ම් පහක් බලන්න කාලය හොයා ගන්න එකයි.කොහොම උනත් චිත්‍රපට නම් ටික සටහන් කරගත්තා.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඉඩ ලැබෙන විදිහට එක එක බලන්න .

      Delete
  3. ස්තූතියි අනුරුද්ධ මේ ඔත්තු වලට. මේවායින් බව දුක බවකර්ම චිත්‍රපටි දෙක බොහොම ඉස්සර කාලෙකදී ලංකාවේදී බැලුවා. හොඳයි කියලා මතක වුනාට කතාව මතක තිබ්බේ නැහැ. ගින්නෙන් උපන් සීතල මෙල්බන් වලදී බැලුවා. ඒකෙ කමල් අද්දරආරච්චි හොඳ රඟපෑමක් කරලා තියෙනවා.
    මීට අමතරව මෑත කාලේදී මෙල්බර්න් වලදී මට නරඹන්න ලැබුණු චිත්‍රපටි තමයි ඝරසර්ප, 28, දැකලා පුරුදු කෙනෙක් කියන ඒවා. මේවා අතරින් දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය ඉතා හොඳ මට්ටමක තිබුණා.

    ReplyDelete
    Replies
    1. හෙල්මලී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඝරසර්ප, 28 බලල තියෙනවා . තව ආයෙමත් බලන්න ආස පරණ චිත්‍රපට තියෙනවා. අන්තර්ජාලයෙන් ඒවා බලන්න විදිහක් තිබුනා නම් නියමයි.

      Delete
  4. සේහ් දැවෙන විහගුන් විතරයි බලලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  5. Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete