මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 16, 2026

රූපණ මාධ්‍ය ජාලයේ ප්‍රජා සන්නිවේදන මෙහෙයට ඇගයුම් දෙකක්

 














වීරා ෆොන්සේකා - විජයග්‍රාහී ආසියානු කැනේඩියානු ප්‍රජා සම්මාන

Canadian Multicultural Council 

බහු ජාතික . බහු වාර්ගික ජන සමූහයක් වෙසෙන කැනඩාව වසරේ එක් එක් මාස විවිධ සංස්කෘතීන් වෙනුවෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ආසියානු උරුම මාසය ලෙසින් නම් කර තිබෙන්නේ මැයි මාසයයි . ආසියානු උරුම මාසය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුලින් සමාජයට මෙහෙවරක් කල සුවිශේෂී පුද්ගලයින් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් 2026 මැයි මස 2 වැනිදා ටොරොන්ටෝවේ Casa Deluz Banquet Hall උත්සව ශාලාවේදී  පැවැත්වුනා. එය සංවිධානය කර තිබුනේ  කැනේඩියානු බහු සංස්කෘතික කවුන්සිලය (Canadian Multicultural Council ) විසින්.

2026 වසරේ විජයග්‍රාහී ආසියානු කැනේඩියානු සම්මාන ලාභීන් අතරට  රූපණ මාධ්‍ය ජාලයේ නියමු වීරා ෆොන්සේකාත් තෝරාගෙන තිබුනා. 2016 වසරේ සිට දස වසකට අධික කාලයක පටන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කරන අපක්ෂපාත, නිදහස් ප්‍රජා සන්නිවේදනය හරහා ශ්‍රී ලාංකික සංස්කෘතික උරුම රැකගනිමින් ඉදිරි පරම්පරාවට ගෙනයාම සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ විවිධ දක්ෂතා ඔප නැංවීම සදහා විද්යුත් මාධ්‍ය වේදිකා 4 ක් ලෙස රූපණ අන්තර් රූපවාහිනිය, ශ්‍රී ලංකැන් නිව්ස් පුවත්පත, ශ්‍රී  ලංකැන් රේඩියෝ, ශ්‍රී  ලංකැන් ඉවෙන්ට්ස් හරහා කරනා මෙහෙවර එහිදී සැලකිල්ලට ගෙන තිබුනා.

ඒ වෙනුවෙන් වීරා ගේ නම යෝජනා කර තිබුනේ  කැනේඩියානු ශ්‍රී ලංකා සංගමය විසින්. ඔවුන් නියෝජනය කරමින් රියාස් රවුෆ් සහ රාජ් කුමාර් මහත්වරුන් , වීරා ගේ පවුලේ සාමාජිකයින් රූපණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් එරංග හිදෙල්ලආරච්චි, අනුරුද්ධ වැලිගමගේ , මංජුලා වික්‍රමරත්න , කල්ප සමරතුංග, සුනිල් තෙන්නකෝන්  මෙම අවස්ථාවට සහභාගී  වුනා. රූපණ මාධ්‍ය ජලයේ අපි මේ ඇගයුම සලකන්නේ කැනඩාවේ වෙසෙන මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වීරා වෙත කෙරුනු ඇගයීමක්  ලෙසයි.


















අනුරුද්ධ වැලිගමගේ - අපක්ෂපාත, නිදහස් මාධ්‍යකරණ පදක්කම 

National Ethnic Press and Media council of Canada

2026 ලෝක නිදහස් මාධ්‍ය දිනය යෙදී තිබුනේ මැයි මස 3 වැනිදාටයි, ඒ නිමිත්තෙන් කැනඩාවේ ජාතික ජනවාර්ගික පුවත්පත්  මාධ්‍ය කවුන්සිලයේ (National Ethnic Press and Media council of Canada ) විශේෂ ඇගයුම් උත්සවයක් 2026 මැයි මස 1 වන  සිකුරාදා ටොරොන්ටෝ නගර සභාවේ නාගරික සභිකයින්ගේ රැස්වීම් ශාලාවේදී පැවැත්වුනා. 

රූපණ මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකැන් වෙබ් පුවත්පතේ  කතෘ  මණ්ඩල ප්‍රධානි සහ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ නිර්මාණ අධ්‍යක්ෂක අනුරුද්ධ වැලිගමගේ මෙවර එම අවස්ථාවේ ගරු බුහුමනට ලක්වූ කිහිප දෙනා අතරට ඇතුලත්  වුනා.

කැනඩාවේ පලවන එකම සිංහල මාධ්‍ය අන්තර්ජාල පුවත්පත වන  ශ්‍රී ලංකැන් වෙබ් පුවත්පත හරහා 2024 පටන් සහ රූපණ අන්තර්ජාල රූපවාහිනිය හරහා 2017 පටන් කවි, විවිධ සටහන්, වැඩසටහන් පිටපත් සහ විවිධ නිර්මාණ තුලින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ප්‍රජා සන්නිවේදනය උදෙසා කරන අපක්ෂපාත, නිදහස් මාධ්‍යකරණය එහිදී ඇගයුමට ලක් කෙරුණු අතර ඒ වෙනුවෙන් විශේෂ සමරු පදක්කමක් සහ සමරු තිළිණයක් එහිදී ඔහුට පිරිනැමුණා, එම අවස්ථාවට රූපණ විධායක නිෂ්පාදක සහ ශ්‍රී ලංකැන් වෙබ් පුවත්පතේ ප්‍රකාශක වීරා ෆොන්සේකා, රූපණ අන්තර්ජාල රූපවාහිනියේ මෙහෙයුම් අධ්‍යක්ෂක  එරංග හිදෙල්ලආරච්චි සහ ඔවුන්ගේ පවුල්වල අය සහභාගී වුනා. 

රූපණ මාධ්‍ය ජාලය මෙසේ ඇගයුමට ලක්වන දෙවන අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර  2024 දෙසැම්බර් මාසයේදී රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා මහතාට මුල්වරට මේ සම්මානය පිරිනැමුනා.

සේයාරූ - එරංග හිදෙල්ල ආරච්චි, මුරලි රූපා සහ වීරා ෆොන්සේකා  

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment