මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 12, 2024

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක්

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක් 

 ගමනක මතකය

සංචාරය වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා කියල සමහරු හිතනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපට කිට්ටුවෙන් තියෙන සමහර පොඩි පොඩි තැන් වලත් අපට බලන්නට , දැනගන්නට බොහෝ දේ තියෙනවා. මේ අඩු බජට් එකකින් ටොරොන්ටෝව අවට අයට යන්නට පුළුවන් තැන් කිහිපයක්.



අද වැඩසටහනෙන් ඔබව එක්කගෙන යන්නේ 

Halton County Radial Railway






















Cheltenham Badlands


Casaloma

Black Creek Pioneer Village

බලන්න


2024 ඔක්තෝබර් 12 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය 

තුලින් වෙබ් ගත වූවකි

https://rupane.com/2024/10/12/rupane-episode-421-october-12-2024/

---------------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - කල්ප සමරතුංග

සම්පත් දායකත්වය -

 අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.



Saturday, October 5, 2024

කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා

 





ජේ පෝල් ගෙටී  කියන්නෙ කලක ලෝකෙ අංක එකේ ධනවතා ලෙස හිටි කෙනෙක්. ඛනිජ  තෙල් කර්මාන්තය නිසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කී ගෙටී බිරියන් පස් දෙනෙකු සහ දුසිමක තරමේ අනියම් කාන්තා ඇසුරක වාර්තා තිබූ අපූරු චරිතයක් .එංගලන්තය,  ඇමරිකාව ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල දේපළ සහ මුදල් ආයෝජනවලට හිමිකම් කී ඔහු සතුව තිබූ කලාකෘති වල වටිනාකම එදා 1976 දී මිලියන හතරකට වඩා වැඩි වූ බව  සඳහන්.



මේ ඔබට ජේ පෝල් ගෙටී ගැන වැඩි විස්තර සදහා දිගුව 


https://en.wikipedia.org/wiki/J._Paul_Getty


1930 දී නිව්යෝර්ක් නගරයේ දිවි ගෙවද්දී තමන්ගේ මහල් නිවාස හිමිකාරිනිය වූ එමී ගෙස්ගේ කලාකෘති දැකීමෙන් පටන් ගත් කලාකෘති එකතු කිරීමේ ආශාව වැඩිදියුණු වන්නට ජීවිතයේදී ඔහුට හමුවූ විවිධ කාන්තාවන්ගේ සහ මිතුරන්ගේ බලපෑම ද හේතුවන බව ඔහු ගැන කෙරුණු වාර්තා වැඩසටහන්වල කියවෙනවා.


කලක් තිස්සේ වෙහෙස මහන්සි වී කල ව්‍යාපාරික කටයුතු තම  පුත්‍රයාට  පවරා තමන්ගේ සිත් ගත් ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ගෙටී  විලා නම් ගොඩනැගිල්ල තුළ ඒ කලාකෘති තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන අතරතුර ඔහු මරණයට පත් වූ බවයි කියවෙන්නේ.


අතිවිශාල ධනයකට හිමිකම් කී ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව පුතුන් දෙදෙනකුට සහ කාන්තාවන් දොළොස් දෙනකුට මුදල් වෙන් කර තිබුණත් ඔහුගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය වෙන් කර තිබුණේ කලාකෘති සංරක්ෂණය සඳහා පිහිටුවා තිබූ ගෙටී භාරයටයි. 


මේ ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ දිගුවයි.  


https://www.getty.edu/about/getty/pdfs/gia_getty_comp_will.pdf


 ඒ සුවිසල් ධනය ආයෝජනය කරමින් එම භාරය මේ  වන විට ලෝකයේ  කලාවට කරන මෙහෙය අතිමහත්. පසුගියදා ලොස් ඇන්ජලිස් නගරයට ගිය මොහොතක ගෙටී කෞතුකාගාරයට  සහ ගෙටි විලාවලට යන්නට මම තීරණය කළේ ඒ ගැන අසා දැන සිටි තොරතුරුවලින් ඇතිව තිබූ උනන්දුව හින්දයි.




අන්තර්ජාලයෙන් කලින් නියමිත දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම් කරන්නට හැකි ගෙටී  සෙන්ටර් එකට යන විට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. කැලිෆෝනියාවේ ප්‍රධාන අධිවේගී  මාර්ගයක් අසබඩ තිබෙන මේ පරිශ්‍රය තුළ තිබෙන බිම් ගත රථවාහන නැවතුමට නම් ඩොලර් 20ක ගාස්තුවක් ගෙවන්නට සිදුවෙනවා. 



Getty centre & Museum




 මම නවාතැන් අරන් හිටපු හෝටලයෙන් කුලියට ගත් වාහනයට නැග්ගා. ගූගල් සිතියමෙන් පාර අහගෙන ගියේ කැලිෆෝනියාවේ සුපුරුදු වාහන තදබදය මැද්දෙන්. වාහනය  රථ ගාලේ නවත්වලා ආරක්ෂක සෝදිසි කිරීම් වලින් පස්සේ කෞතුකාගාරයට යන ට්‍රෑම් රථයට නැගුනා . වාහන පාලනය කරන අරමුණින් කෞතුකාගාරය අද්දරට පුද්ගලික වාහන ගෙන යන්න ඉඩක් දෙන්නේ නැහැ. මා රැගෙන ගිය කුඩා ගමන් මල්ල සහ කැමරාව ඉදිරිපසට තියාගන්න කියන උපදෙස ලැබුණා. ඒ කලාකෘති වලට හානි වීම් වළක්වන්න වගේම අනෙකුත් නරඹන්නට වන හිරිහැර අවම කරන්නයි.




Santa Monica  කඳු අතර අක්කර 120 ක් පුරා පැතිරුණු ඉඩක පිහිටුවා තිබෙන මේ පරිශ්‍රය ඩොලර් බිලියන එකයි දශම හයක වියදමකින් නිම කරන ලද්දේ 1997 දෙසැම්බර් 16 වැනිදා. කිලෝ මීටර් එකයි දශම දෙකයි එකක දුරින් තිබෙන කඳු පාමුල වාහන අංගනයේ සිට කෞතුකාගාරයට පිරිස් ගෙනයන්නේ කේබල මගින් උඩ පහළ යන ට්‍රෑම් රටකට දෙකකින්. Richard Meier නම් ගෘහ නිර්මාණ ශිල්පියා සැකසූ මේ පරිශ්‍රය ජීවිතයේ වරක් හෝ බලන්නට වටිනා තැනක් .  GRI - Getty Research Institute , GCI - Getty Conservation Institute යන ආයතන දෙකත්  තිබෙන්නේ මේ පරිශ්‍රයමයි. මේ උද්‍යානය සැලසුම් කර තිබෙන්නේ රොබට් අර්වින් විසින්.(Gardener Jim Duggan and landscape architects Spurlock Poirier.)



Richard Meier



















Robert Irwin


උතුර, දකුණ , නැගෙනහිර, බටහිර ලෙසින් ගොඩනැගිලි සංකීර්ණ 5 ක් , පවුල් කාමරයක් (Family Room ) , විශාල ප්‍රදර්ශන ශාලාවක් , ශ්‍රවණාගාරයක් සහිත මේ පරිශ්‍රයේ විශාල මධ්‍යම උද්‍යානයක්  (Central Garden ) සහ පතොක් උද්‍යානයක් (Cactus Garden) තිබෙනවා. වාර්ෂිකව   මිලියන දෙකකට ආසන්න සංචාරක පිරිසක් පැමිණෙන බවට තොරතුරු වාර්තා වන මෙහි වින්සන්ට් වැන්ගෝ ගේ  චිත්‍ර මධ්‍යකාලීන යුරෝපීය චිත්‍ර,  විවිධ යුගවල ගෘහ භාණ්ඩ , පැරණි පොත් අත්පිටපත් , අලංකාර වීදුරු කැටයම්, පැරණි පෝසිලේන් භාණ්ඩ ,  ප්‍රතිනිර්මාණය කළ යුරෝපීය රජ මාලිගා විසිතුරු ගෘහ අලංකරණ උපකරණ සේම නූතන කලාකෘති ඇතුළත් සංකීර්ණ කිහිපයක්ම තිබෙනවා.දළ වශයෙන් විවිධ අයිතම 125,000 කට වඩා මෙහිදී දකින්නට පුළුවන් බවයි කියන්නේ .   මට සිහියට ආවෙ පැරීසියේ ලුවර් කෞතුකාගාරයට ගිය ගමන.


ඒ ලිපියේ බ්ලොග් සටහන් දිගුව  


https://ahasgawwenehalokaya.blogspot.com/2018/07/1.html





ගොඩනැගිලි වටා ඒ මත සහ ඒ වටා තිබෙන උද්‍යාන ඉතාමත්ම දැකුම්කළුයි.  මුළු පරිශ්‍රයම  විවිධ හැඩතලවල ප්‍රතිමා සහ කැටයම්වලින් අලංකාරව තිබෙනවා.  කලින් සඳහන් කළ පර්යේෂණ ආයතන දෙක හරහා විශාල තරුණ කණ්ඩායමකටත් කලාකරුවන් පිරිසකටත් මහත් මෙහෙයක් වන බව පෙනෙන්නට තිබෙනවා.



පෝල් ජේ ගෙටී  විසින් ජීවත්ව සිටියදී ඉදි කළ මුල් කෞතුකාගාරය මේ වන විට නම් කර තිබෙන්නේ ගෙටිවිලා යන නමින්. ඒ පරිශ්‍රය තිබෙන්නේ ගෙටී  සෙන්ටර් එකේ සිට පැය භාගයක තරමේ දුරින්.  ඔබ ගෙටි සෙන්ටර් එකේ කාර්යාලයෙන් ලබාගන්නා අවසර පතක් මගින් එදිනම එතැනට යන්නේ නම් යළිත් රථ ගාලට ඩොලර් 20ක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැහැ . මම ආපහු රථයට නැග්ගේ ගෙටී විලා  එකට යන්නයි.ඒ තොරතුරුත් එක්ක ලබන මාසයේදී හමුවෙමු. 


අනුරුද්ධ වැලිගමගේ


ගෙටී මධ්‍යස්ථානය සතියේ සඳුදා දිනවල වසා තැබෙනවා. ගෙටී විලා එක වසා තැබෙන්නේ සතියේ අඟහරුවාදා දවසේයි. ඒ හින්ද මේ දෙකම එක දවසේ බලන්න හිතනවා නම් සති අන්තය අත ඇරලා බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දවසක උදේම පටන් ගත්තොත් නිවී හැනහිල්ලේ ඒ වැඩේ කරන්න පුළුවන්. මේ ඔබට කලින් වෙන්කරවා ගැනීම් සදහා දිගුව


https://tickets.getty.edu/Online/default.asp?BOparam::WScontent::loadArticle::permalink=center&BOparam::WScontent::loadArticle::context_id=




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.

Saturday, September 21, 2024

කතන්දර හරහා ළමයින්ට දැනුම බෙදන ආචාර්ය අත්තම්මා

 


පොත් පිටු අතරින්- ළමා අධ්‍යාපනය සදහා කතන්දර


ළමයින්ට කතන්දර කියන එක ලේසි වැඩක් නම් නොවෙයි . ඒක බරපතල රාජකාරියක් . ඒ වගේම ඒ ගැන කියාදෙන එකත් ලේසි වැඩක් නම් වෙන්නේ නැහැ . ඒ බර දරන්නට කල පර්යේෂණ ග්‍රන්ථයක් ගැනයි අද අපි පොත් පිටු අතරින් ඔබට ගෙන එන්නේ.



අපේ කථා නායිකාව ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය ළමා සාහිත්‍යය වෙනුවෙන් වූ 1989 රාජ්‍ය සාහිත්‍යය සම්මානය ලැබුවේ  ඇය විසින් ප්‍රකාශයට පත්කල සිංහල ළමා සාහිත්‍යය නම් කෘතිය වෙනුවෙන් . පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් සිංහල ගෞරව උපාධිය ලැබූ ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ළමා සාහිත්‍යය වෙනුවෙන් ශාස්ත්රපති උපාධියත් යොවුන් සාහිත්‍යය වෙනුවෙන් දර්ශන විශාරද උපාධියත් ඊට අමතරව සම්මාන අධ්යාපන ඩිප්ලෝමාවත් ලැබූ අධ්යාපන පීඨ කථිකාචාර්යවරියක්.

රූපණ ප්‍රමුඛ සම්පත් ධාරිනියක් වගේම ශ්‍රී ලන්කැන් විද්‍යුත් පුවත්පතේත් කතෘ මණ්ඩල උපදේශිකාව වන ඇය ඔබට නුපුරුදු චරිතයක් නොවෙයි.   

පුවත්පතක් සදහා , රූපවාහිනිය සදහා සේම ගුවන් විදුලිය සදහා ඇය දායක වන සෑම නිර්මාණයක් වෙනුවෙන්ම ඇය මහත් වෙහෙසක් ගන්නවා. මව්බිමෙන් බැහැරව කැනඩාවේ ජීවත්වන ඇය සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් සහ පර්යේෂණ නිබන්ධන අවම තත්වයන් යටතේ සැබෑ නිර්මාණයක් කරන්නට කරන්නේ පුදුම කැපවීමක්. 



2024 සැප්තැම්බර් 21 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය
තුලින් වෙබ් ගත වූවකි.

https://rupane.com/?mc_cid=3f0e43fdae&mc_eid=e941e27557



****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගත් කතුවරිය ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - රවිදු කන්නන්ගර  සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

හදුන්වා දෙන ළමා ගීතය 

අත්තා මුත්තා  ......

ගේය පද - බන්දුල කුරුවිට ආරච්චි

සංගීතය - දිනිත විතානගේ

ගායනය - විශාරද හසන්තිකා කොඩිතුවක්කු  සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන් 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.









මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, September 7, 2024

සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට

 




 










ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක්

 පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක්

 නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක්

 කවදාද දකින්නේ අපි අලුත් එළියක්


 පාට ලකුණුත් සමග ජාති කුල මලයක්

 අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක්

 නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක්

 ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක්


 සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට

 කවදාද හොයන්නේ රට කරවන අයට

 සැලැස්මක් විනය හා විනිවිදව වගවෙන්ට 

හොයන්නේ නැති පවට වෙන්නේ යළි අහුවෙන්ට


 හෝද හෝදා දමන පරණ රෙදි මළුවලට

 වෙස් මූණු දාගෙනම එන්නේ අපි අන්දන්ට

 තෝර බේරා නොගෙන කතිර ගහනා අයට

 සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට


 අනුරුද්ධ වැලිගමගේ

2024 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

























විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට




ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි