මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, July 5, 2018

නිම් හිම් සෙව්වා සිත පතුලේ. .........සිතුවිලි .....අනුරුද්ධ වැලිගමගේ



Image result for kandy perahera


මිනිස් සිත තරම් ප්රබල තවත් යමක් ඇත්දැයි කෙනෙකුට ප්රශ්න කල හැකිය.සිතට අතීතයටත් අනාගතයටත් යන්නට ගත වන්නේ තත්පර කිහිපයකි.සිත සතු මහගු සම්පන්න හැකියාව තුලින් නව නිපැයුමක් එළිදක්වන්නටත් , තිබෙන යමක් ප්රතිනිර්මාණය කරන්නටත් පුළුවන. පුළුල් පරාසයක දිවෙන මේ විෂය පථයෙහි නිර්මාණය ඔබ කියැවූ කවියක් විය හැකිය.විදි ගීතයක් විය හැකිය.රසවිද නැවත නැවත සිතට නැගෙන කෙටිකතාවක්  හෝ නවකතාවක් විය හැකිය.සිතේ පතුලටම ගිය සිත්තමක් හෝ සේයාරුවක්ද විය හැකිය.ගෘහ භාණ්ඩයක් හෝ මැද සාලයෙහි තබන විසිතුරු භාණ්ඩයක් විය හැකිය.එතැනකුදු නොනැවතී නවීන යන්ත්රයක් , වාහනයක් හෝ නමගිය ඉදිකිරීමක් විය හැකිය.

Image result for sri lankan village



නාන කාමරයේදී ගායකයින් වන ඔබත්, මමත් මෙන්ම කණ්නාඩිය ඉදිරිපිටදී නර්තන ශිල්පිණියන් වන සියළු දෙනාත් රසවිදින නිර්මාණ බිහිවන තිඹිරිගෙය සිතයි.සෑම සියළු දෙනාටම දෝරේ ගලන අදහස් සිතට නැගුනත් ඒවා මනා සේ ගලපා ඉදිරිපත් කරන්නට කලා ශිල්පියෙක් දක්වන අරුමය අසිරියක් සේ දැනෙන්නේ එවිටය.
ඕනෑම නිර්මාණයක් බිහිවන්නේ මව්කුස තුල දරුවකු කලලයෙන් බිහිවන්නාක් මෙනි.යම්කිසි වස්තු බීජයක් නිර්මාණකරුවන් අතට ලැබුණු විට බිළිදෙකු තරුණයෙකු හෝ තරුණියක දක්වා මවක් ආදරයෙන් රැකබලා ගන්නා අයුරින් වර්ධනය කර නැවුම් නිර්මාණයක් එළි දක්වන තුරු සිදුවන කරුණු කාරණා බොහොමයකි.කවියක්, ගීතයක් හෝ කථාවක් කිහිප වරක්ම කැපී කෙටි යලි යලිත් ලියැවෙන්නෙත් සිනමා හෝ ටෙලි නිර්මාණ දර්ශන යලි යලිත් රූගත වෙන්නේත් එබැවිනි.

Image result for niagara falls canada

ඕනෑම නිර්මාණයක් සදහා මූලික වන වස්තු බීජයද විවිධාකාර විය හැකිය. සමහර විට එය තමන්ගේම අත්දැකීමක් විය හැකිය. සුනිල් සරත් පෙරේරා ශුරින් ලීයූ අමරසිරි පීරිස් ගායකයාගේ මුවින් ගැයෙන " ඇය  යන්න ගියා  මැකිලා " ගීතය බැලූ බැල්මට බිරියගේ වියෝවෙන් දුක්වන සැමියෙකුගේ ශෝකාලාපයක ලෙස බොහෝ දෙනා සිතුවත් එහි සැබෑ පසුබිම වස්ගොමුව වනෝද්යානයේ සංචාරක බංගලාවක සිටියදී රචකයා අත්විදි හිරු බැසයන මනරම් දසුන බව රූපවාහිනී වැඩසටහනකදී ඔහු පවසනු මා ඇසුවේ මෑතකදීය.
සමහරවිටෙක එම අත්දැකීම තම පවුලේ කෙනෙකුගේ , මිතුරෙකුගේ හෝ දන්නා හදුනන අයෙකුගේ විය හැකිය. ඩිජිටල් මාධ්‍යය හා පොතපත හරහා එය විශ්වීය අත්දැකීමක්ද විය හැකිය. වත්මන් සමාජය තුල එය මුහුණු පොතේ ඉන්ස්ටග්‍රෑම් හෝ ට්විටර් ගිණුමක සැරිසරුවක විය හැකිය.මෑතකදී මා බෙදාහදා ගත් එවැනි ඇමිණුමක වුයේ එක් එක් වයසේදී දුවා දරුවන් තම පියවරුන් සහ මෑණිවරුන් දකින ආකාරයයි. දරුවන්ව සිටින කල තමන්ගේ ලෝකය තුල වීරයන්ව සිටින ඔවුන් දෙපල යොවුන් වියට එළබෙන විට නව තාක්ෂණය , ජනප්‍රිය සංස්කෘතිය නොදන්නා වෙනමම පිරිසක් සේ දුරක තබන දරුවන්, තමන් මැදිවියට පත්ව දරුවන් උස්මහත් කරන වගකීම් දරන කාලයේදී " අනේ  කොහොමද ඒගොල්ලො මේවා කලේ " ලෙසින් සිතමින් ගෞරවණීයව බලන අයුරුය. විශේෂත්වය වන්නේ නිර්මාණකරුවන් හිමිකරුවන්ට ආරෝපණය වී එකී අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන අපුරුවයි. ඒ සදහා නිදසුන් ඕනෑ තරම් පහසුවෙන් සොයාගත හැකිය.  තවත් සමහර නිර්මාණ ඓතිහාසික මුලාශ්‍ර ආශ්‍රිතව නිර්මාණය වී තිබේ. මහගම සේකරයින් විසින් රචිත හෙලයේ මහා සංගීතවේදී දිවංගත අමරදේවයන් ගැයූ " ඔබේ නමින් සෑය බදිමි, විමානයෙන් බසිනු මැනවි." ගීතයට ප්‍රස්තුත වූ සිද්ධිය දුටුගැමුණු මහ රජතුමන් තම මහා චෛත්‍යය ඉදිකිරීමට තෝරාගත් භුමියෙහි සිටි ස්වර්ණමාලි නම් රුක් දෙවගනට රන් තෙලබු ගසින් බැස වෙනත් ස්ථානයකට යාමට කල ඉල්ලීමය. නිර්මාණ තුලින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම පසුගිය කාලයේ සිනමාව තුල මහා රැල්ලක්ව තිබුණු බව එළිදුටු නිර්මාණ රොත්ත තුලින්ම පැහැදිලිය.
Image result for chaplin movie

නිර්මාණයන්හි විශිෂ්ටතම අංශය සේ මා දකින්නේ මුල මැද අග වෙනස් කල හැකිවීමය. අදින් පටන්ගෙන නිර්මාණ කරුවෙකුට අතීතයට යා හැකිය. එලෙසින්ම විද්යා ප්රබන්ධයන්හිදී සහ සිනමාවේදී අනාගතයට යා හැකිය. තමන්ම කථා නායකයා වී කතාව කිව හැකිය. තවකෙකු කතා නායකයෙකු බවට පත්කර කතාව කියවිය හැකිය. ප්රතිවිරුද්ධ ලිංගිකයෙකු ලෙස කථාව , ගීතය හෝ කවිය ලිවිය හැකිය.
ජේ කේ රෝලින්ස් " හැරී පොටර් "  පොත් පෙලෙහි කලාක් මෙන් මනෝමය චරිත මැවිය හැකිය. ස්ටීවන් ස්පිල්බර්ග් " ජුරාසික් පාර්ක් " චිත්රපටයෙහි මැවූ  ලෙස  විද්යාත්මක නිර්මාණ සකස් කල හැකිය. සැබෑ ලෝකයේදී අප අත් නොදකින බොහෝ දේ නිර්මාණකරුවන්ගේ මනෝභාවයන්ට හසුවන්නේ නිරායාසයෙනි. නැසීගිය මාලනී බුලත්සිංහලයන් ගයන " මා එක්කලා අමනාප වී දබර " ගීතයේදී  ප්රේමකීර්ති අල්විස් නම් අප අතරින් අකාලයේ වියෝවූ විශිෂ්ට ගේය පද රචකයා කලාක් මෙන් හඳමාමා අත තල්පතක පණිවිඩයක් යැවිය හැකිය.

Image result for sri lankan village


සමාජයේ එදිනෙදා සිදුවන දේ තුලින් නව නිර්මාණ බිහිවූ අවස්ථා බොහොමයක් ලෝක හා ශ්රී ලාංකික නිර්මාණ තුලින් පහසුවෙන් සොයාගත හැකිය. රත්න ශ්රී විජේසිංහයන් විසින් රචිත නැසීගිය විශාරද ගුණදාස කපුගේ ගයන " බිම්බරක් සෙනග ගැවසුණු " ( වෙල්ලස්සේ ගීතය) රචනා කිරීමට මුලික වුයේ මොණරාගල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ගොවි ඉඩම් සම්බන්ධයෙන් පැවති උද්ගොෂණයකි
එදා ගුස්ටාව් අයිපෙල් ලෝ ප්රකට අයිපල් කුළුන ඉදිකළ අයුරුත්, අද ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලත් සේම මිකී මියාගෙන් පටන්ගෙන ඩිස්නි ලෝකය දක්වා ලොවම මවිත කල ඉදිකිරීම් කර ඇති අයුරුත් , තට්ටු දෙකේ ගුවන් යානාවල සිට කුඩා නගරයක් තරම් වූ නැව් දක්වා යාන වාහන මෙන්ම  රුපවාහිනිය, පරිගණකය, කැමරාව සහ දුරකථනය එක් කල බහු කාර්යය ජංගම දුරකථනය දක්වා නිපැයුම් නිමැවී ඇති අයුරුත් දකින විට සිතුවිලි කෙතරම් අරුමයක් කර ඇත්දැයි සිතේ.
සමස්ථ ලෝකයේම ප්රේමය තරම් නිර්මාණවලට වස්තු වූ වෙනත් මාතෘකා නැති තරම්ය. විදීම සහ විදවීම යන දෙ අංශයෙන්ම විවිධ කෝණවලින් ලියැවුණු, ඇඳුණු සහ කියැවුණු නිර්මාණ ගණන අති විශාලය. නැසීගිය මිල්ටන් මල්ලවාරච්චි ගයන " මේ මැයි ගහ යට "පටන් කසුන් කල්හාර ගයන " මල් මිටක් තියන්න ඔබ අතේ " ඇතුළුව අද දක්වාම ඇසෙන ගීත කන්දරාව එයට කදිම නිදසුන්ය,

Image result for george keyt

ලියනාඩෝ ඩාවින්චි ගේ මොනාලිසා පටන් ජෝර්ජ් කීට් ගේ ලාංකික චිත් දක්වා සේම කාන්තාව සහ ඇගේ සුන්දරත්වය , පරිසර වැනුම්වලටද එහා ගිය එකකි. හෙලගීය තුල නැසීගිය සුනිල් ශාන්තයන්ගේ " මිහිකත නලවාලා " තුලත් මෑතකදී බිහිවුණු ඉරාජ්ගේ " අහංකාර නගරේ " ගීතය තුලත් ඔබ මා අත්දකින්නේ දැක්මයි.

Image result for rome

ආගමික දර්ශනය ඍජුව හෝ වක්රව නිර්මාණ සදහා යෙදුනු අවස්ථා බොහොමයක් පල්ලියේ කන්තාරු ගීත සහ පාස්කු නාට් තුලත් සේම නැසීගිය අල්හාජ් මොහිදීන් බෙග් ගැයූ " ඔබේ රාගී මන කැ බේදෝ " , ෂෙල්ටන් පෙරේරා ගැයූ " බුදුනේ බුදු පියාණනේ " ගී තුලින් ඍජුවත් , කරුණාරත්න දිවුල්ගනේ ගයන , පල්ලේගම හේමරතන හිමියන් රචිත " අතීතය සිහිනයක් පමණයි " ගීතය තුලින් වක්රවත් දැකිය හැකිය.
කවර හෝ නිර්මාණයක් වේවා ඔබ දකින , අසන, කියවන,අත්විදින ආකාරය විවිධය. ඔබගේ රුචිය,දැනුම,ආකල්ප සහ පරිසරයද එය විදින හෝ විඳවන ආකාරය වෙනස් කරයි. සමහර නිර්මාණ ඔබව සතුටු කරයි. නෙතගට කඳුළු බිදක් එක් කරයි. එය තමන්ගේම කරයි. වැදගත් වන්නේ වෙනස්වීම සමග වෙනස්වී නිර්මාණ රසවිදීමයි. නොස්ටල්ජියානු අතීත කාමයෙන් මිදී " කියැවීම මිනිසා සම්පුර්ණ කරයි " කියමන අදටත් වලංගු වන්නේ පුරුද්දක් ලෙස සමාජ ජාල, වෙබ් අඩවි , යු ටියුබ් , විද්යුත් පත පොත තුලට එකතු කරගෙන නිමක් නැති දැනුම් සාගරය තුල වැඩි වැඩියෙන් " නිම් හිම් " සොයන්නට යාම තුලය.



අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ සහ චිත්‍ර අන්තර්ජාලයේ Google images 

Image result for undersea

2 comments:

  1. නිර්මාණ විවිධයි. මම හැම නිර්මාණයක්ම රස විඳින්නට උත්සහ ගන්නවා. මගේ සතුට රැඳී තිබෙන්නේ එතන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අජිත් .එතකොට අපට විවිධ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න පුළුවන්

      Delete