“අවුරුදු විස්සක්,” සපුමල් කිව්වෙ හිනාවෙලා “ඔව් බං දැන් අපි බැදලා අවුරුදු විස්සක්!”
මට සපුමල්ව හම්බවුණේ අනුරාධපුරයේ බැංකු ශාඛාවක වැඩ
කරපු කාලෙ. සපුමල්ගේ ගෙවල් මීගමුවෙ කොච්චිකඩේ. මං
රත්මලානෙ.
දෙන්නම නැවතිලා හිටියෙ අනුරාධපුර නගරයෙ තිබුණු එකම නවාතැනක.
“මම මේ බඩු වගයක් අස් කරද්දි පරණ ෆොටෝ ටිකක් හම්බ වුණා. පරණ මතක අළුත්
වෙන්නත් එක්ක ෂෙයා කළා” සපුමල් කිව්වා.
වට්ස්ඇප් සංවාදය නිමවුනේ තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් කතා කරාට පස්සෙ.
ෆොටෝවල තිබ්බෙ අපි අනුරාධපුරයේ
ඉන්න කාලෙ නිවාඩු සෙනසුරාදාවක මිහින්තලේ සහ මහ කන්දරාවේ ගත්ත මතක සටහන් ටිකක්. දැන්
බලනකොටත් පුදුමයි. ඒ කාලෙ දැන් වගේ ජංගම දුරකථනවලින් ෆොටෝ ගන්න කාලයක් නෙමෙයිනෙ. රීල්
දාන කැමරාවකින් ෆොටෝ ගන්න ඕන. රීල් එක ඉවරවුණාට පස්සෙ ෆොටෝ ලැබ් එකකට ගිහින් බාර දීලා
හෝදලා ප්‍රින්ට් කරගන්න තව දවස් කීපයක් බලන් ඉන්න ඕන.
මට එතකොටම මතක්
වුණේ මන්නාරම් බස්
එක. ඉන්දියාවේ හදපු ලොරි චැසියක ලංකාවේ බොඩි ගහපු ඒ ලේලන්ඩ් බස් එක. ඒකේ සුදුපාට බද වටේට එළියෙන් එක එක ස්ටිකර් අලවලා තිබ්බා. ගොඩක් ඒවා කහපාටට සහ කළුපාටටයි පෙනුනෙ. මතක හැටියට ඉස්සරහ ලොකු වීදුරුවෙ “රත්න
එක්ස්ප්‍රස්” කියලත් ගහලා
තිබුණා.
බස් එක ඈතින්ම අඳුන ගන්න උදව්
වුණේ ඒ සලකුණු තමයි.
අනුරාධපුරේ වැඩකරන කාලෙ සති දෙකකට සැරයක් කොළඹ එන්න හිතනකොට අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ තමයි
බස්. හවස දෙකෙන් පස්සෙ එක්ස්ප්‍රස් කෝච්චිත් නැහැ. සෙනග පොල් පටවන සාමාන්‍ය බස්වලට
අමතරව ඉන්ටසිටි බස් කිහිපයක් තිබ්බත් දඹුල්ල කුරුණෑගල
හරහා ආපු ඒවට කලින් ඔෆිස්වලින් පිටවෙන අය ගොඩක් පොරකන හින්ද අපිට ඒ වැඩේ හරි ගියේ නැහැ.
ඔහොම ඉන්නකොට මන්නාරම් බස් එක ගැන ඔත්තුව අරන් ආවෙත් සපුමල් ම තමයි. ඒ කාලෙ “ඉන්ටසිටි” බස් එකක් අනුරාධපුරේ ඉඳන්
කොළඹට එන්න අඩුම ගානෙ පැය හයක් ගන්නවා.
පොඩි “ඉන්ටසිටි”
බස්වලට
පිරිස වැඩි හින්ද සෑහෙන වෙලාවක් පෝලිමේ ඉදලා කොළඹට එනකොට රෑ එකොලහත් පැනලා. ඒත් පුත්තලම හරහා ආපු මන්නාරම් බස් එක
ඊට වෙනස්.
“මචං ඒක නියම එක්ස්ප්‍රස් ලු . පැය පහෙන් කොළඹට යනවා කියලයි ආරංචි
වුණේ”
සපුමල් කිව්වෙ හරිම උද්‍යෝගයෙන්.
“අපි හතරට නැග්ගම මම
අට හමාරට මීගමුවෙ. උඹ නමයට පිටකොටුවෙ.
මොකද කියන්නෙ? මේ සිකුරාදාට මං යනවා, උඹත් එනවා නේ?” සපුමල් බස් එක ගැන තීන්දුවත්
අරන් ඉවරයි.
ගමන් කාලය ඉතුරු කරගන්න බස් එකේ ඩ්‍රයිවර් රාජා අය්යා කළේ නගරවල ප්‍රධාන බස් නැවතුම්පළ සහ නගරයේ මැද වීදි මග ඇරලා යන
එකයි. බස් එක අනුරාධපුර ටවුමට ගියේ නැහැ. පුත්තලම ටවුමට ගියෙත් නැහැ. පුරුදුකාරයො හිටපු
හින්ද සෙනග අඩුවක් තිබ්බෙත් නැහැ. බස් බාෂාවෙන් කියනව නම් “කට කපල එකයි”.
ගෙදර යන සිකුරාදාවල හවස හතර වෙනකොට මාත්, සපුමලුත් යාපනය හන්දියේ බස් හෝල්ට් එක ගාවට දුවල ඉවරයි. තවත් පුරුදුකාරයො කිහිප දෙනෙක් ඒ වෙනකොටත් එතන ඉන්නෙ මන්නාරම් බස් එක බලාගෙන. හැමෝගෙම ඇස් තෙල් සංස්ථාව ඉස්සරහ වංගුවට යොමුවෙලා තියෙන්නෙ කහ, කළු ඉරි තියෙන කඟවේනා එනකන් තමයි. බස් එක වංගුවෙන් මතුවෙන කොට කාගෙත් ඇස් දිලිසෙනවා තාමත් මතකයි.
පුරුදුකාර අපි නගින්නෙ ඉස්සරහින්.
ඒ රාජා අය්යත් එක්ක වචනයක් කථා කරලා යන්න. ත්‍රිවිධ හමුදාපතිවරු නිදහස් උත්සවේ දවසෙ
ජනාධිපතිතුමාව පිරිවරාගෙන
ඉන්නවා වගේ ඩ්‍රයිවර් සීට් එක පිටිපස්සෙ නිවාඩු යන ආමි, නේවි, පොලිස් තරුණයො කීප දෙනෙක් රාජා අය්යව වටකරගෙන ඉන්නවා.
බලන්න එපායැ මැද තියෙන එන්ජිම උඩ තියෙන බෑග් කන්දරාව. නිවාඩුවට ගෙදර යන අය එහෙමනෙ.
“මල්ලී,
අර
කට්ටිය නැග්ගා” රාජා අය්යා කොන්දොස්තර කොලුවාට කියන්නෙ අපි ගැන. එතකොට
එයා දන්නවා ඒ රහස් වචනෙ මොකක්ද කියල.
“මහත්තයා,
අර
කොළපාට සාරිය ඇඳන් ඉන්න කෙනා
පණ්ඩුලගම හන්දියෙන් බහිනවා. අර රතුපාට ඇඳුම මතක තියාගන්න.
එයා බහින්නෙ නොච්චියාගමින්” කොන්දොස්තර හෙමීට කනට
කරලා කියන්නෙ අපිට කිට්ටුවෙලා
ඉන්න.
වැඩි දුරක් යන්නෙම
නැතුව අපිට වාඩිවෙන්න
ලැබෙනවා. වේග සීමා නැතුව
විදුලි වේගයෙන් කුඹුරු, ලඳු කැලෑ පහු කරන,
ගැස්සෙන,
පැද්දෙන, “රත්න එක්ස්ප්‍රස්” එකේ බාර්වල එල්ලිලා ජිම්නාස්ටික්
කරන කෙනෙකුට සීට් එකක් ලැබෙන එක සෑහෙන්න වටිනවා. ඒ අතරෙ ළඟ ඉන්න කෙනා නැගිට්ටොත් අපි සීට් මාරු කරගන්නවා. සිකුරාදාට යන පුරුදුකාරයො හින්ද කවදාවත් ඒ ගැන
රණ්ඩු අල්ලන්න වෙලා නැහැ.
ඒ වගේමයි කොච්චර වේගයෙන් ගියත් මැදි වයසේ හිටපු රාජා අය්යා අතින් අපි ගිය අවුරුදු තුනට ම, කිසිම අනතුරක් වුණෙත් නැහැ.
සපුමල්ට නිශාදිව මුණ ගැස්සුවෙත් මේ මන්නාරම් බස් එකම තමයි. නිශාදි
මැදවච්චියට කිට්ටු පාසැලක පත්වීමත් අරගෙන ආවෙ අපි මන්නාරම් බස් එකට හුරුවෙලා ටික කාලෙකට පස්සෙ. හලාවත නිශාදි, ඉකිරිගොල්ලෑවේ නවාතැනක හිටියෙ
ඉස්කෝලෙට කිට්ටු හින්ද. පුදුමෙ කියන්නෙ නිශාදි දැක්ක පළමුවෙනි දවසෙ ම, සපුමල්ගෙ වෙනස කොන්දොස්තර කොලුවත් දැකපු එකයි.
“මහත්තය, ඉකිරිගොල්ලෑවෙන් නැග්ගෙ. මං හිතන්නෙ ටීචර් නෝනා කෙනෙක්!”
අනුරාධපුරේ ඉඳන් පුත්තලමට
යන පාර වැටිලා තියෙන්නෙ විල්පත්තුව වනෝද්‍යාන මායිමෙන්. තැනින් තැන ගස් මතුවෙලා එක
එක චිත්‍ර මවන තබ්බෝව වැව තියෙන්නෙත් මේ පාර මායිමේ. වැහි වැටිලා තියෙන කාලෙට වතුර
පිරිලා තබ්බෝව වැව හරියට බඩදරු අම්මා කෙනෙක් වගේ පිම්බිලා පාර මට්ටමටම වතුර පිරෙනවා
බලන්න ලස්සනයි.
මේ පාර හරහා අලි මාරුවෙන අලි මංකඩ කීපෙකුත් තිබ්බා. සමහරදාට වල් අලි
රංචු පිටින් මාරුවෙනකොට අපි ඉස්සරහ වීදුරුව
ගාවට ම ඇවිත් බලන්
ඉන්නවා. උන් යන්නෙ වෙලාව අරගෙන උන්ට ඕන විදිහට. කලබලකාරයෙක් අවුස්ස ගත්තොත් විනාසයි.
කොහොමත් අලි මංකඩවල රාජා අය්යා යන්නෙ හෙමින් වගේම විමසිල්ලෙන්.
“මහත්තයො මේව උන්ගෙ තැන් , අනික අපට තියෙන කඩි කුලප්පුව කොහෙද උන්ට?” එහෙම කියන රාජා අය්යා ඒ පරක්කු වෙන වෙලාව අල්ලන්නෙ
තේ බොන්න නවත්වන වෙලාව අඩු කරලා.
“අද කට්ටියම විනාඩි දහයෙන් තේ බීල එන්ඩෝ. නැත්තම් පරක්කු වෙනවා!” රාජා අය්යා කියන්නෙ කැෂියර් එකේ ඉන්න මුදලාලිටත්
ඇහෙන්න.
උතුරෙ යුද්දෙ තිබිච්ච ඒ කාලෙ හැම ටවුමකම තැන් තැන්වල හමුදා කදවුරු, චෙක් පොයින්ට්ස්. සමහර වෙලාවට වෙනදා නැති තැන්වලත් හදිසියේ චෙක් පොයින්ට්ස් දානවා. ඊට අමතරව, අනුරාධපුර, කලාඔය, පුත්තලම, හලාවත, මාඔය ගාව, හමුදා කඳවුරු වගේ ම, වාහන සම්පුර්ණයෙන් ම චෙක් කරන්න පුළුවන් විශාල ප්‍රමාණයේ චෙක් පොයින්ට්ස් තිබුණා.
ගෙවල්වල ඉඳන් වැඩට යන,
නිවාඩුවට ගෙදර එන හමුදා සහ පොලිස් සාමාජිකයින් මේ බස් එකේ යාවජීව සාමාජිකයින් වුණු හින්දා “රත්න එක්ස්ප්‍රස්” එකට මුරපොලවල දී එක්ස්ප්‍රස් සේවයක් ලැබුණා. ඒත් නිශාදි ආව දවසෙ ඊට වැඩියේ වෙනස්. කොටි සාමාජිකයින්
පිරිසක් විල්පත්තු කැලෙන් ඇවිත්
පුත්තලම කඳවුරට ගහනවා
කියල තොරතුරක් ලැබිලා තිබුණු හින්ද එදා නම් යාළු හිතවත්කම්
පැත්තක තියල වාහන හොඳටෝම චෙක් කළා. අමතර රෝද ගලවලා, බැටරි පෙට්ටි ඇරලා, බඩු එළියට අරගෙන ෆුල් චෙක් එකක්.
බස් එක පැයකටත් වැඩිය පරක්කු වුණා.
“නෝනා මේ මහත්තුරු ගාවින් ඉන්න. මේ ගොල්ලො
කාලයක් අපේ බස් එකේ යන බැංකුවෙ දෙන්නෙක්!” කොන්දොස්තර
නිශාදිට සපුමල්වත්, මාවත් රෙකමදාරු
කළේ ඒ විදිහට.
බස් එකේ කතා බස්, කෙටි පණිවුඩ
දුර දිග ගිහින් සපුමලුත්, නිශාදිත් මේ වෙනකොට ලොකු මහත් වෙච්ච දරුවො දෙන්නෙකු ඉන්න අම්මලා, තාත්තලා.
එදා තිබුණු මන්නාරම් බස් එක තාම ඒ රූට් එකේ දුවනවා ද
කියන්න මං දන්නෙ නැහැ.
රාජා අය්යා, කොන්දොස්තර මල්ලිලා දෙන්නා කොහොමද කියල දන්නෙත් නැහැ. මීගමුවේ මාළු සුවදට හුරුවෙලා හිටපු සපුමල්, හලාවත මුතුකුමාරි නිශාදිත් එක්ක එකතු වෙලා අනුරාධපුරේ
කැදැල්ලක් හැදුවේ සේවා උසස්වීම්
පහසුවෙන් ලැබුණු හින්දයි.
මං ටික කාලෙකින්ම
කොළඹට මාරුවෙලා ගිහින් ඊට පස්සෙ පිටරටකට ගිහින් පදිංචි වුණා.
හිත් පිත් නැති යකඩ ගොඩක් වුණත් කහපාට, කළුපාට, ලේලන්ඩ් කඟවේනා තාමත් මගේ හිත ඇතුළෙ හැංගිලා ඉන්නවා. රාජා අය්යාගේ හැඩිදැඩි අත්වලට තෙරපිලා
කීකරු ළමයෙක් වගේ එක පාරටම තෙල් සංස්ථා හන්දියෙන් මතුවෙන මන්නාරම් බස් එක තාමත් මට මැවිලා පේන්නෙ ඒ හින්දයි.
ඒක නම් ඇත්තම කතාවක් වගේ දැනුන...
ReplyDeleteලලිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒක ඇත්තම කතාවක් තමයි.
Deleteලස්සනයි
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteපුදුම විදියට හිතට දැනුන කතාවක්. ආයෙත් එන්නේ නැති ඒ වගේ කතා මොන තරම් නම් තියේද....
ReplyDeleteකුමුදු ඔබේ කතාව සහතික ඇත්ත. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete++++++++++++++
ReplyDeleteThanks for your support Pra Jay
ReplyDelete🤗👌
ReplyDeleteThanks Naveen
ReplyDelete