රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය ( ROM- Royal Ontario Museum)
අතීතයේදී විසු බව සදහන් සුවිසල් ඩයිනෝසරයන් ගැන කථා කෙරෙන තැන් බොහොමයි . අයිස් යුගයේදී සිටි සුවිසල් සත්වයින්ගේ අනුරූ මෙන්ම ඩයිනොසර ඇටකටු මගින් ප්රතිනිර්මාණය කල ඒ සුවිසල් සතුන් ටොරෝන්ටෝවේදී බලන්නට හැකිවන්නේ රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේදී . අළුත් ප්රවණතාවයන්ට අනුව වර්තමාන කෞතුකාගාර හුදෙක් ප්රදර්ශණ මධ්යස්ථාන පමණක් නොවෙයි . ඒවා විවිධ වයස් මට්ටම් වල අයට ඇල්මක් ඇතිකෙරෙන බහුකාර්ය අධ්යාපන මධ්යස්ථාන වෙනවා . ඒ අතින් බලන කල ROM දවසක් පාළු නැතුව ගතකරන්නට පුළුවන් තැනක්.
අප මෙහිදී සදහන් කලයුතු විශේෂ දෙයක් තමයි ඔබ කැනඩාවේ පුරවැසියෙකු වූ විස විගසම ලැබෙන Cultural Pass එක. එමගින් කැනඩාව පුරා ඇති බොහෝ තැන් නොමිලයේ පවුලටම බලා ගන්නට පුළුවන්
ලෝක සිතියමේ තිතක් වැනි කුඩා රටක් වුණත් ROM හිදී ශ්රී ලාංකික මැණික් වලට ලැබී තිබුනේ සුවිසල් තැනක්.
ඊජිප්තු, මිසර, චීන ශිෂ්ටාචාර වල පටන් අප්රිකානු, ආසියානු, යුරෝපා රටවල විවිධ සංස්කෘතීන් ගැන කෙරෙන ඉතිහාස ප්රදර්ශන කුටි, කුඩා දරුවන්ට පාඩම් කියාදෙන විවිධ වැඩසටහන් මෙන්ම ජිව වෙනස්කම් නිරුපණය කෙරෙන කුටි බොහොමයක් ROM හි තිබෙනවා
බාටා සපත්තු කෞතුකාගාරය ( Bata Shoe Museum)
කාන්තාවන් තරම් පාවහන් වලට පිරිමි අපි වියදම් කරන්නේ නැහැ . බලනකොට කකුලකුත් සෑහෙන්න වටිනවා . සපත්තු කර්මාන්තයේ ඉතිහාසය , සපත්තුවල විවිධත්වය විදහා දැක්වෙන කුඩා නමුත් සුවිශේෂ තැනක් ලෙස මෙය හදුන්වා දෙන්න පුළුවන් . මෙය පිහිටා තිබෙන්නේ ROM සහ St.George Subway station.අසලමයි .
1940
පටන් බාටා සමුහ ව්යාපාරයේ නිර්මාතෘ තෝමස් බාටා මහතාගේ බිරිය සොන්ජා බාටා විසින් එකතු කල එකතුවක් රය්මොන්න්ඩ් මුරියමා විසින් කල සැලැස්මකට අනුව ඉදිකෙරුණු ඇගේ නිවසේ ස්වර්ණාභරණ ප්රදර්ශනාගාරය
තුල තැන්පත් කිරීමෙන් මෙය ආරම්භ වී තිබෙනවා
කාසලොමා
මන්දිරය( Casaloma)
දර්ශනීය මේ මහ මැදුර බොහෝ දෙනා හඳුන්වන්නේ මනරම් විවාහ මංගල්‍ය
පසුතලයක් ලෙසයි . වර්ග අඩි 64,700 ක් සුවිසල් මේ මන්දිරය එදා ටොරොන්ටෝවේ බ්‍රිතාන්‍ය
රාජකීයන්ට පක්ෂපාත රදලවරුන්ගේ ජීවිතය පිළිබද සුවිසල් කතාවක් කියනවා . එහි ඉතිහාසය පිළිබදව
කියැවෙන වාර්තා චිත්රපටය චාරිකාවේ මුලින්ම බැලීම එය අවබෝධ කරගැනීමට අත්වැලක් වෙනවා
. පළමු ලෝක යුධ සමයේ සිදුවූ ආර්ථික අවපාතය සහ බිරියගේ වියෝව හමුවේ සම්පුර්ණයේම නිමා
කරන්නට නොහැකි වූ ආදර මන්දිරය අවසානයේදී බදු මුදල් නොගෙවීම නිසා ටොරොන්ටෝ නගර සභාව
විසින් පවරා ගත් දේපලක් බවට පත්වුණා . මේ සත් මහල් ප්‍රාසාදය පමණක් නොව ගෙවත්ත , ගරාජය
, අශ්ව ඉස්තාලය සියවසකට පසු අදත් මැනවින් දකින්නට ලැබෙනවා .
1911-1914
කාලයේදී ව්යාපාරික ශ්රීමත් හෙන්රි මිල් පැලට් මහතා වෙනුවෙන් මේ මන්දිරය සැලසුම් කලේ ගෘහ නිර්මාණ ශිල්පී ඊ ජේ ලෙනොක්ස් විසින්. එකල මේ ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 3.5 ක් වියදම් කර තිබෙනවා. ලංකාවේ කළුතර රිච්මන්ඩ් කාසල් මන්දිරය සිහියට නංවන මෙය ඉදිකර තිබෙන්නේ නගරයේ උස් දර්ශනීය ස්ථානයකයි .
බොහෝ චිත්රපට සදහා පසුතලයක් ලෙස යොදාගත් මේ සුවිසල් මන්දිරය පැලට් ආර්යාව විසින් Girl Guides සංවිධානයේ උත්සව සදහාද භාවිත කර තිබෙනවා .
Black Creek පැරණි ගම්මානය
( Black Creek Pioneer Village)
1970 දශකයේ තිරගත වූ ඔබ ආදරයෙන් බැලු Little house
on the prairie ඔබට තාමත් මතක ඇති . නගරයේ කාර්ය බහුලත්වයෙන් මිදී 19 වන සියවසේ ගමක් බලන්නට අවශ්‍ය නම් ඒ සදහා කදිම තැනක් ටොරෝන්ටෝවට අත ලගින් පිහිටා තිබෙනවා . 1960 දී පිහිටුවන ලද මෙය පිහිටා ඇත්තේ යෝර්ක් සරසවියට නුදුරින් . මෙය ප්රතිනිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ නේපියර් සිම්ප්සන් හටයි . කම්මලක් , පල්ලියක් , නගර ශාලාවක් , මුද්රණාලයක් , ඇදුම් වියන තැනක් , හෝටලයක් , තිරිගු මෝලක් , දිස්පන්සරියක් , ඉස්ටෝරු කඩයක් සහිත මේ ගමේ ගිම්හාන කාලයේදී එකල ඇදුම් පැළදුම් වලින් සැරසුණු ශිල්පීන් ඒ ක්රියාකාරකම් ඔබට පෙන්වන්නට බලා සිටිනවා . දරුවන්ට සහ විශ්ව විද්යාල අධ්යනවේදීන්ට මෙය කදිම සම්පතක් .
ඔන්ටාරියෝ විද්යා මධ්යස්ථානය ( Ontario Science Centre)
ගෘහ නිර්මාණ ශිල්පී රේමන්ඩ් මුරියාමා ගේ සැලසුමකට අනුව මෙය නිමැවුණේ කැනඩාවේ සියවස් සංවත්සරය වෙනුවෙන් .
පරිසරය , විද්යාව හා තාක්ෂණය වෙනුවෙන් පර්යේෂණ සහ දැනුම බෙදාහරින මහගු සම්පතක් වන මෙය බොහෝ දෙනා අතර ජනප්රිය තැනක් .කුඩා දරුවන්ගේ පටන් විශ්ව විද්යාල ශිෂ්යයන් දක්වා බාල මහළු හැමට බොහෝ ක්රියාකාරකම් වල නිරත විය හැකි තැනක්.
මෙහි ඇති IMAX dome සිනමා ශාලාවේදී ඔබට අත්දකින්නට හැකි දුලබ චිත්රපට මට සිහිපත් කලේ NASA ආයතනයේ ඇති එවැනිම සිනමා හලයි .
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ * අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 නොවැම්බර් කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
http://dasatha.com/