ලිවර්පූල් වරායේ සිට මැන්චෙස්ටර් නගරයේ පිහිටි කපු සහ අනෙකුත් නිෂ්පාදනයන් කෙරුණු කම්හල් වෙත මුලින් බඩු ප්‍රවාහනය කෙරුනේ අශ්ව රථවලින් සහ යාත්‍රා වලින්. වර්ජන, සීමාකිරීම් හා ඒකාධිකාරී පාලන කටයුතු හින්ද ඒ වෙනුවෙන් කෙරුණු විකල්ප සොයාගැනීමක් විදිහටයි මුලින්ම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සිදුවෙන්නෙ.
මේ දුම්රිය මාර්ගයට සමාන ආදේශක ක්‍රිස්තු පූර්ව 700 රෝම සහ ග්‍රීක යුගවල පටන් ක්‍රියාත්මක වුවත් ඒ කාලයේ යම් ඉදිකල පුවරු (පීලි) මතින් බඩු ප්‍රවාහනය සදහා බලය සැපයුනේ ගොනුන් , අශ්වයන් , බූරුවන් වැනි සතුන් හෝ මිනිසුන් කිහිප දෙනෙක් එකතුවී කල ඇදීම් හෝ තල්ලු කිරීම් මගින්. සාමාන්‍ය පොළොවේ ගෙනියනවාට වඩා පහසුවෙන් වැඩි බරක් ඒ මගින් ගෙනයා හැකි බව මිනිසා දැන සිටියත් ඉතා සීමිත නිෂ්පාදන පරිශ්‍ර සහ වැඩබිම් වලට සීමාවී තිබුණු එවන් බඩු ඇදීම් මහා පරිමාණයට එසවුනේ කාර්මික විප්ලවයට පාර කැපුණු වාෂ්ප එන්ජිම සොයාගැනීමත් සමගයි.
ජෝර්ජ් ස්ටීවන්සන්ගේ මූලිකත්වයෙන් ඉදිවුණු ලිවර්පූල් , මැන්චෙස්ටර් දුම්රිය මාර්ගයේ භාවිතය සදහා සුදුසු දුම්රිය එන්ජින් තෝරාගැනීම සදහා තරඟයක් පැවැත්වුණා. අවසානයේදී එයින් ජයගත්තේ ඔහුගේ පුතා රොබට් ඉදිරිපත් කල රොකට් නම් එන්ජිමයි. එදා ජෝර්ජ් ස්ටීවන්සන් තමන්ගේ දුම්රිය මාර්ගය සදහා යොදා ගත් අඩි 4 අඟල් 8.5 සම්මතය සැකසුනේ එදා තිබුණු අශ්ව රථවල රෝද පරිමාණයට අනුව බවත් ඒ අගය අතීතයේදී රෝම යුධ අශ්ව රථවලින් පැවත ආවක් බවත් කියැවෙනවා.අදත් ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය දුම්රිය මාර්ගයක පරතරය වන එය හැදින්වෙන්නේ සම්මත දුම්රිය පීලි පරතරය ( Standard Gauge) හැටියටයි. ඊට වඩා අඩු ඒවා පටු ආමාන (Narrow Gauge) දුම්රිය මාර්ග විදිහටත් , වැඩි ඒවා පළල් ආමාන ( Broad Gauge) දුම්රිය මාර්ග විදිහටත් සැලකෙනවා. පළල් ආමාන දුම්රිය මාර්ගයක් ඇති රටක් වන ශ්‍රී ලංකාවේ පීලි දෙකක් අතර පරතරය අඩි 5 අඟල් 6 ක්.
සමහර රටවල් ආරක්ෂක උපක්‍රමයක් ලෙසිනුත් වෙනස් පරතරයන් පාවිච්චි කරන්නේ තවත් රටක සිට තම රටට පහසුවෙන් කල හැකි ආක්‍රමණයන් වලක්වන්නයි. උදාහරණයක් විදිහට රුසියාවේ සිට යුරෝපය දක්වා එන දුම්රිය Belarus වල Brest නගරයේදී දුම්රිය මැදිරි ඔසවා රෝද සවිකල කොටස වන බොගිය මාරු කරනවා. රුසියාවේ එම උපක්‍රමය දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය කල රුසියානු ආක්‍රමණය අසාර්ථක වීමට බලපෑ හේතු කිහිපය අතරින් එකක් ලෙස ඉතිහාසගත වූයේ ඒ නිසයි.
එංගලන්තයෙන් පටන්ගත් ඒ දුම්රිය භාවිතය හින්ද ගංඟා සහ මුහුදු ආශ්‍රිතව තිබුණු නගරවලට සීමාවුණු සංවර්ධනය රට මැද පිහිටි අනෙකුත් නගර වලටත් පැතිර ගියේ ලාභදායි විදිහට පහසුවෙන් කරත්ත ගමනකින් තොරව විශාල බඩු ප්‍රමාණයක් අඩු කාලයකින් වරාය වෙතට සහ රට මැදට ප්‍රවාහනය කරන්න පුළුවන් වුනු හින්දයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් එකල නම් ලද එංගලන්තයේ යටත් විජිත වලටත් දුම්රිය සේවය පැතිරුනේ ඉන් ලද වාසිය ඒවායේ පාලන කටයුතු වල යෙදුනු නිලධාරීන් දැක තිබුණු හින්දයි. තැනිතලා, කාන්තාර , වනාන්තර පසු කරමින් සියළු මහාද්වීප වල අස්සක් මුල්ලක් නෑර ජාලගත වුනු දුම්රිය මාර්ග එදා වගේම අදත් කරන්නේ විශාල කාර්යභාරයක්. ඉදිකිරීම් කටයුතු අසීරු උස් කදු ප්‍රදේශ සදහා යොදාගැනුණු පළලින් අඩු පටු ආමාන දුම්රිය මං රැසක් පසු කාලීනව ආදේශක නිසා ඉවත් කෙරුණත් අදත් සංරක්ෂකාගාර වල ඒවායේ කොටස් දකින්න පුළුවන්. ලංකාවේ කැළණිවැලි සහ නානුඔය සිට රාගල දක්වා තිබී ඉවත්කළ මාර්ගය ඊට නිදසුන්.
මුලින් බඩු ප්‍රවාහනය සදහා මූලිකව බිහිවූ දුම්රිය පසුව මගී ප්‍රවාහනය සහ සංචාරක කටයුතු සදහා යෙදවුණත් අදත් ගොඩබිම් භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රමුඛයා දුම්රියයි. ඒ වගේම රටවල් අතර සහ ඇතුලත නිසි ඒකාබද්ධතා , සංවර්ධන සහ නඩත්තු කටයුතු කලොත් මේ වනවිට භාණ්ඩ ප්‍රවාහනයට යොදවා තිබෙන ට්‍රක් රථ ප්‍රමාණය හරි අඩකින් අඩු කරන්නට පුළුවන් බව කියැවෙනවා.
මේ වනවිටත් ලෝකය පුරා කිලෝමීටර මිලියන 1.3ක් දිග දුම්රිය මාර්ග තිබෙනවා. පිලිවෙලින් ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ඉන්දියාව, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය ඒ අගයේ වැඩි දායකත්වයක් දරනවා. මගී ප්‍රවාහනයට දුම්රිය පිවිසීමත් එක්ක අශ්ව කරත්ත වලින් කෙටි දුරක් යන්නට පුරුදුව සිටි මිනිසුන් සංචාරය සදහා පුරුදු වූ බවත් දුම්රිය සමාගම් හරහා හෝටල් ජාල බිහිවූ බවත් ඉතිහාස තොරතුරු වල තිබෙනවා. තරගකාරී දුම්රිය සේවයක් තිබුණු එංගලන්තයේ තෝමස් කුක් (Thomas cook) ආයතනය ඒ වැඩසටහනේ ඉදිරියෙන්ම සිටියා. ඊට අමතරව ලෝකයේ ප්‍රධාන නගර වලට තරමක් දුරින් උප නගර බිහි වන්නටත් රට මැද දුම්රිය නගර බිහිවන්නටත් මුල් වුනේ දුම්රිය තමයි.
දෙවන ලෝක යුද්ධයත් එක්ක ලෝකයේ වුනු ප්‍රධාන වෙනස්කම් 2 ක් දුම්රියේ ස්වර්ණමය යුගය වෙනස් කරන්නට බලපෑවා. බලශක්ති ප්‍රභවය විදිහට ගල්අඟරු වෙනුවට ඛණිජතෙල් යොදාගනිමින් බිහිවුණු මෝටර් රථය සහ අහස් යානය ඒ දෙකයි. අහස් යානය අඩු කාලයකින් සාගර තරණය කරමින් වැඩි දුරක් මහද්වීපික ගමනාගමනය මිනිසුන්ට හුරු කලා. සුඛෝපබෝගී දෙයක් විදිහට වර්ධනය වෙමින් පැවති මෝටර් රථය හිට්ලර් ගේ බලපෑමෙන් පොදු ජනතාවගේ වාහනයක් බවට පත්වුණා.
සාමාන්‍ය මහාමාර්ග වලට අමතරව වංගු අඩු අධිවේගී මාර්ග ඉදිවීම දුම්රිය මාර්ග ජාලය කෙටි කරන්නට වගේම සමහර දුම්රිය මාර්ග ගණන අඩු කරමින් දුම්රිය වාර ගණන සහ සේවා කප්පාදු කරන්නට හේතුවුණා. දෙවන ලෝක යුධ සමයේ යකඩ හිඟයත් සමහර මාර්ග වසා දමන්නට හේතු වූ බව කියැවෙතත් මට හිතෙන්නේ පශ්චාත් යුධ සමයේ ඇති වූ ආර්ථික අවපාතය සහ යටත් විජිත බිඳ වැටීමෙන් පසු වෙනස්වූ වරායෙන් අමුද්‍රව්‍ය අපනයනය කල ක්‍රමවේදයේ වෙනස්කම් නිසා දුම්රිය මගින් ඉපැයූ ආදායම අඩුවීම ඊට හේතුවන්නට ඇති බවයි.
දුම්රිය නිසා ජනාකීර්ණ වූ ප්‍රධාන නගර මධ්‍යයේ ගමනාගමනය පහසු කරනු වස් සැහැල්ලු දුම්රිය සහ භූගත දුම්රිය ප්‍රවාහන ක්‍රම බිහිවුනේ තවදුරටත් නගර මධ්‍යයේ අළුත් මාර්ග වලට වෙන් කරන්නට ඉඩක් නොතිබුණු හින්දයි. සම්ප්‍රදායික දුම්රියේ සමහර තාක්ෂණික කාරණා වෙනස් කරමින් සැකසුණු ලන්ඩන් ටියුබ්, පැරිස් මෙට්රෝ ඊට උදාහරණ කිහිපයක්.දෙවන ලෝක යුධ සමයේ පටන් අත්හදා බැලීම් කෙරුණු අධිවේගී දුම්රිය යථාර්ථයක් බවට පත්වුණේ 1964 දී ජපානයේ බුලට් දුම්රියත් එක්කයි. මේ වනවිට චීනය, ජපානය සහ යුරෝපයේ බොහෝ රටවල වේගවත් ගමනකට පහසුකම් සලසමින් ඒවා විදුලි වේගයෙන් සංවර්ධනය වෙන්නේ ගුවන් යානයකට හෝ කෝච් බසයකට වඩා සුව පහසුවක් මගීන්ට ලැබෙන හින්දයි.
මේ සටහන මට ලියන්නට හිතුනේ කුඩා කල පටන් මේ වනතුරුත් දැඩි දුම්රිය ලෝලියෙකු වන මට බලන්නට ලැබුණු වාර්තා වැඩසටහන් මාලාවක් හින්දයි. ඔබත් ඉඩ ලැබුනෝතින් පහතින් දැක්වෙන වැඩසටහන් බැලුවොත් දුම්රිය ලෝකය වෙනස් කල හැටි ඔබටම පැහැදිලිව තේරුම් යාවි.
අනුරුද්ධ වැලිගමගේ
https://www.imdb.com/title/tt15151564/
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images