විවිධ හේතු මත ශ්‍රී ලංකා භූමියෙන් පිටත ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් මිනිසුන් සහ ගැහැනුන්ට කියන්නේ විප්‍රවාසීන් කියලයි.
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ පවුල්වල කවුරුන් හෝ මේ වනවිට දියුණු යැයි සම්මත යුරෝපා, උතුරු ඇමරිකානු හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල රටවල ජීවත් වන පදනමක ලංකාවේ සිටින බොහෝ දෙනෙකුත් මේ කාලයේදී බලාපොරොත්තුවෙන් පසුවන්නේ එවන් රටකට යන්නයි. ඒ ගැන වැඩි තොරතුරු සෙවීම සමාජ විද්‍යාඥයන්ට තබමින් මා උත්සහ කරන්නේ වෙනස් මාන තුනකින් මේ විප්‍රවාසීන් ගැන ලියැවුණු සිංහල ගීත තුනක් ගැන ඔබේ අවධානය යොමු කරන්නයි.
රෑ දුරු රට මේ..
ගීතයේ පද පෙල
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ
කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මේ ගීතයේ තියෙන්නේ ඉතා සරල හා කෙටි පද පෙළක් වුණත් සංස්කෘතියෙන්, දේශගුණයෙන් වෙනස් භූගෝලීය පරිසරවල සුළුතරයක් වුනු ජනතාවක් බවට පත්වූ විටෙක කාට වුණත් දැනෙන පාළුව , කාන්සිය මේ පද තුළින් අපූරුවට නිරූපණය වෙනවා මේ වචන ඇතුළේදී පළමු පෙම්වතිය හෝ පවුලෙන් ඈත්ව ජීවත්වන පිරිමියෙකුගේ වදන් පෙළක් ලෙස පෙනුනත් ඒ දැක්ම තුළ ඊට වඩා වැඩි යමක් තියෙනවා යැයි මට හිතෙනවා.
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
මුල් ගායනය - ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේව
මතක් කරගන්න මේ දිගුවෙන් ගීතය අහන්න පුළුවන්
සරුංගලේ වරල් සැලේ…
ගීතයේ පද පෙල
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි
මේ ගීතය වඩාත් දේශපාලනය දේශපාලනික අදහසක් නිරූපණය කරන එකක් . බොහෝවිට විප්‍රවාසී පිරිසේ බහුතරය ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්ව විද්‍යාල පද්ධතියේ නිර්මාණ නිසා සැපවත් ජීවිතයක් උදෙසා ඔවුන් කළ අභිනික්මන මුල මතක නැතිකළ නිදහස් අධ්‍යාපනය ප්‍රතිලාභ ලැබූ සම්පත්වල පිටුපෑමක් ලෙසින් මේ තුළින් ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන තිබෙනවා. එහි හැබෑව කෙසේ වෙතත් සහ සාර්ථකව පුරුදු පරිසරයෙන් පිටදී ජීවත්වන්නට ඔවුන් දරන සුරුකම වෙනමම සමාජ විද්‍යාත්මක කතා බහකට මුල පුරන එකක්.
ගී පද - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය නන්දා මාලනී
මුල් ගායනය - ආචාර්ය නන්දා මාලනී
මතක් කරගන්න මේ දිගුවෙන් ගීතය අහන්න පුළුවන්
සෙක්කු ගෙදර මංගලිකා
ගීතයේ පද පෙල
සෙක්කු ගෙදර මංගලිකා
දීග ගියෙත් නෑ තාමත්
මං හිතන්නෙ උඹ එනකං බලා ඉන්නවා
මෙදා අවුරුද්දටවත් ඇවිදින්
යන්න වරෙන් මගේ පුතේ
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා
මං සද්ද කළත් උඹලා මොකෝ
සද්ද නැතුව ඉන්නෙ කියල
දොරකඩ කොස් ගහේ ඉඳං
කොහා අහන්නේ
අපි සද්ද කරන්නේ කොහොමද
කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳිලා
බිත්ති කොනේ එල්ලූ රබානේ
හරි හම්බකරල මේ ගේ දොර
හදා ගත්ත මිසක් අපේ
සන්තකේට ඉතිරි කරපු
කිසිම දෙයක් නෑ
පුතේ උඹට උගන්වන්න
උකස් කරපු ගේ දොරත්
උගසට සින්න වුණොත් නං
අපට යන්න තැනක් නෑ
ගුරු පාර දිගේ ඉස්කෝලෙට
පුංචි එවුන් යන එන කොට
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්තු අතේ
බලා ඉන්නවා
හුස්මක් උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා
මේ ගීතය වෙනස්ම සමාජ ව්‍යසනයක් දිහා බැලෙන එකක් .
දෙමාපියන්ගේ මහත් කැපවීම ඔස්සේ උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන් රටින් පිටව යන්නේ ඔවුන්ගේ වත්මන් පවූල් එක්ක නිසා රට යන්නට අකමැති වගේම , දූ පුතුන් ඉන්නා රටට ගෙන්වා ගන්නට නොහැකි දෙමාපියන් ලංකාවේ තනිවෙනවා. ආසියානු සමාජ ක්‍රමය තුළ වයස්ගත දෙමාපියන්ගේ රැකවරණය දරුවන් සතු යුතු කුමක් සේ සැලකෙන පසුබිමක හිඳගෙන බැලුවොත් වට්ස් ඇප් , ස්කයිප්, වයිබර් වලින් මූණ බලාගෙන කතා කලත් ලෝකයේ දෙකොණක තිබෙන සෙනෙහසේ අඩුපාඩුව මේ ගීය තුළින් මනාව ඉදිරිපත් කර තිබෙනවා.
ගී පද - ආචාර්ය රෝහණ බැද්දගේ
සංගීතය - ආචාර්ය රෝහණ බැද්දගේ
මුල් ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ
මතක් කරගන්න මේ දිගුවෙන් ගීතය අහන්න පුළුවන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
මුල් සින්දුවට මම හරිම කැමතියි . ඊයෙත් අපි කිව්වා පාටියක
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි
Delete