මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 17, 2026

ප්‍රංශ සංස්කෘතිය කැනඩාවේ පැළ කල ලුවිස්බර්ග් ( Louisberg)


















යුරෝපයේ ජනගහනය වැඩිවීමත්,  නාවික යාත්‍රා නිෂ්පාදනයේ  දියුණුවත් එක්ක රාජ්‍ය  අනුග්‍රහයෙන් ලෝකෙ වෙනත් බිම් කොටස් ගවේෂණය සඳහා යුරෝපයේ බොහෝ රාජ්‍ය 16 වන සහ 17 වන සියවස් වලදී පෙරමුණ ගත්තා. පෘතුගීසි,  ලන්දේසි, ස්පාඤ්ඤ, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ඒ වෙනුවෙන් වැඩි මහන්සියක් ගත් රටවල් වුනා.


වර්තමානයේදී අත්ලාන්තික්  කැනඩාව කියන ප්‍රදේශයට අයත් Cape Breton island, Prince edward Island, New Brunswick  යන ප්‍රදේශ අත්පත් කර ගනිමින් බ්‍රිතාන්‍ය සමඟ Utrecht  ගිවිසුම අත්සන් කරමින් තමයි ප්‍රංශ ජාතිකයන් ලුවිස් බර්ග වලට 1713 වසරේදි ආවෙ. ඒ කාලෙ ඔවුන් ඒකට  කිව්වේ ශාන්ත ජෝන් දූපත ( Isle Saint Jean) කියලයි. කොඩ් මත්ස්‍ය  නිෂ්පාදනය, ස්වදේශිකයන් එක්ක විවිධ භාණ්ඩ හුවමාරුව,  විශේෂයෙන්ම සත්ව ලොම් වෙලඳාම් ( Fur trade)  කටයුතු මේ  කාලෙදි කෙරුණා.
















1719 පටන්ගන 1745 දක්වා කාලය තුල  ලුවිස්බර්ග් ප්‍රංශ  යටත් විජිත නිලධාරීන් විසින් විශාල බලකොටුවක් බවට පත් කළේ තමන්ගේ වෙළද කටයුතු සහ ආරක්‍ෂාව සඳහා ප්‍රධාන මධ්‍යස්ථානය කරගනිමින්. කැනඩාවේ අත්ලාන්ක් සාගර සීමාවේ එහි පිහිටීම මෙහිදී අතිශයින් වැදගත් වුණා. ඒවගේම කුවිබෙක් පළාතේ  ඒ වන විටත් පවත්වාගෙන ගිය වෙළඳ කටයුතු වෙනුවෙන් ශාන්ත ලෝරස් ගඟ හරහා යුරෝපයට යන පාර ආරක්ෂා කර ගැනීම අනිවාර්යයන්ම කළ යුතුව තිබුණා. ප්‍රයෝගිකව යුරෝපයෙන් විවිධ දේ ගෙන්වා ගනිමින් පාලනය කරනවා වෙනුවට සිවිල් ප්‍රංශ ජාතිකයින් යොදාගනිමින් ඒ ස්ථානයට අවශ්‍ය සියළු දේ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගොවිපල , වගාබිම් , බීර සහ වයින් ස්කාගාර ඇතුළු සියළු දේ ඇතුලත් ජනපදයක් ලෙසින් මෙය ක්‍රියාත්මක කෙරුනු බවයි කියැවෙන්නෙ.  


ප්‍රංශ යටත්විජිත පාලකයන්ගේ අඩුපාඩු දුටු බ්‍රිතාන්‍යය 1745 දී  ලුවිස්බර්ග්  ආක්‍රමණය කළා. දින  46ක යුද්ධයකින් ‍බ්‍රිතාන්‍ය එය අත්පත් කර  ගත්තත්   Aix La Chapelle ගිවිසුම  මගින්  එය යළිත් ප්‍රංශයට පවරා දුන්නා. 1758 දී බ්‍ර්‍රිතාන්‍ය යළිත් ලුවිස්බර්ග් බලකොටුවට පහර දුන්නේ  එකසිය පනහක ( 150) තරමේ විශාල නාවික බලඇණියකින්. විසි හත්දාහක් (27,000) තරම් පිරිසක් යොදා ගනිමින්. සති හතක(7)  යුද්ධයකින් ඒ අවස්ථාවේදී ඔවුන් ලුවිස්බර්ග් බලකොටුව අත්පත් කරගත්තා. ඉන් පස්සෙ එය යලිත් ප්‍රංශ කොලනියක් වුනේ නැහැ.  





මේ  වෙනකොට ලුවිස්බර්ග් ක්‍රියාත්මක වන්නේ කැනඩා මධ්‍යම රජයේ Parks Canada. මගින් පාලනය වන ජාතික උරුම බිමක් (National Historic site)   එකක් විදිහටයි.1763 දී භාවිතයෙන් ඉවත් වුනු  ලුවිස්බර්ග් නගරයෙන් හතරෙන් එකක් 1960 කාලයේදී කැනඩා මධ්‍යම රජය විසින් යළි ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ ඔබට බලාගන්නටයි. ගොඩනැගිලි,  ගෙවතු, ගොවිපොළ, ගුදම්, මංමාවත්,  සිර කඳවුරු, ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණය, නිලධාරීන්ගේ නිවාස සංකීරණ,  සෙබළුන්ගේ කුටි,  මුරගෙවල් නැවත සකස් කර තිබෙන්නේ ඒ කාලයේ ප්‍රංශ ජාතිකයන්ගේ ජීවන රටාව ඔබට මවාගන්නට උදව් වෙන්නයි.


එහි තිබූ හමුදා බැරැක්ක,  ගෙවතු,  කඩපෙල් මැදින් යද්දී ඒ කාලයේ තිබුණු ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු කාන්තාවන්, මිනිසුන්, සෙබළුන් ලෙසින් හැඳ පැළද ගත්  පිරිස් ඔබට හමුවෙනවා. එහි තිබෙන අවන්හල් , ගොවිපළ , නිවෙස් සජීවී විදියට ක්‍රියාත්මක කරන්නේ Parks Canada වෙනුවෙන් සේවය කරන ඒ පිරිස්. වචනයෙන් විස්තර කරන්න අමාරු ඒ අත්දැකීම ගිහිල්ලම තමයි බලන්න වටින්නෙ. 















එම නගරය පිළිබඳ විවිධ තොරතුරු දැනගන්න නියාමකවරුන් මෙහෙයවන සංවිධානය කළ සංචාර , ප්‍රංශ සෙබළෙක් විදියට පුහුණු වෙන්න තියෙන වැඩසටහන් වගේම  හිරකාරයෙක් වෙන්නත් සුළු ගාස්තුවක් ගෙවල ඔබට පුළුවන්. ඊට අමතරව එම පරිශ්‍රයට ගත් ප්‍රවේශ පත්‍රයෙන් ආවරණය වන තමන්ම ඇවිදලා ඒ තැන්වල පුවරු සහ සටහන් කියවලා  තොරතුරු දැනගන්න ඒ තැන් වල ඇවිදලා ඒවා හොඳින් බලන්න ඔබට පුළුවන්. නිදහසේ ෆොටෝ ගන්න , වීඩියෝ කරන්නත් කලබලයක් වෙන්න ඕන නැහැ . ඔබේ ප්‍රවේශ පත්‍රය දවසටම වලංගුයි.  සතියේ දින 7 පුරා උදේ 9.30 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක මෙහි Shuttle බස් නිතරම යන එන නිසා ඔබට කැමති වෙලාවක ආපහු යන්න පුළුවන්.    




තවමත් මේ ඉසව්වේ සංරක්ෂණ කටයුතු කරලා තියෙන්නෙ හතරෙන් එක්ක කොටසක් නිසා  ඔබට ඔබගේ වාහන පිළිගැනීමේ පරිශ්‍රය තියන රථ ගාලෙ නවත්තන්නට වෙනවා. ඊට පස්සෙ ඔබට Parks Canada Shuttle  බස් එකකට නැගලා ලුවිස්බර්ග් බලකොටුවට යන්න පුළුවන්.  කැනඩාවේ දේශීය සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරන්න මධ්‍යම රජය කරන Canada Strong Pass   යටතේ මේ පරිශ්‍රය 2026 සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ඔබට නොමිලේ විවෘතයි , හැබැයි විශේෂිත වැඩසටහන් සහ  Guided tours , Camping වෙනුවෙන් ඔබ යම් ගෙවීමක් කරන්න වෙනවා. වැඩි විස්තර කලින් හොයන්න අකමැති අයට සහ විශේෂ අත්දැකීමක් ගන්න කැමති අයට ගෙවන මුදල එතරම් පාඩුවක් වෙන එකක් නැහැ, 


උතුරු ඇමරිකාවේ තිබෙන විශාලතම සංරක්ෂිත බලකොටුව වන මෙහි රැයක් ගත කරන්නටත් ඔබට පුළුවන්. ඒ සඳහා කූඩාරම් පහසුකම් මේ පරිශ්‍රයම සකස් කර තිබෙනවා. ඔබට තියෙන්නේ කලින් වෙන් කරවාගෙන කුලියට ගන්න එකයි.මේ  බලකොටුවේ විශේෂත්වය වන්නේ මෙය එකල තිබූ විශාල ප්‍රංශ සංස්කෘතියක කොටසක් වීමයි. යුරෝපයෙන් පිටත බිම් කඩක් වුනත් මේ  ප්‍රදේශයේ ගොවිපළ,  කඩපිල්, පල්ලි ඇතුළු විශාල ජනාවාස පද්ධතියක් තිබුණු බවත්,  ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිතව යුරෝපයෙන් පිටත පිහිටි විශාලතම ප්‍රංශ නගරයක් විදිහට පාලනය වුණා කියලයි ඉතිහාස වාර්තා වල තියෙන්නෙ.


අනුරුද්ධ වැලිගමගේ




















https://parks.canada.ca/lhn-nhs/ns/louisbourg/activ

https://novascotia.com/explore-by-region/cape-breton-island/louisbourg/

https://en.wikipedia.org/wiki/Louisbourg













සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images, Google Images

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.












මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


Saturday, October 10, 2026

කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි




කැනඩාව පිළිබදව රූපණ අන්තර්ජාල රූපවාහිනිය කැනඩා දිනයේදී වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වනවිට කැනඩාවේ වාසය කරන සියළු දෙනාටත් , කැනඩාවට එන්නට බලාපොරොත්තු වන අයටත් පොදුවේ මුදල් නෝට්ටු සහ කාසි ගැන උනන්දුවක් ඇති අයටත් මේ වැඩසටහන වැදගත් වේවි.   



මේ වැඩසටහන බැලුවාම ඔබටත් කල්ප  ඇසු මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් 


කැනඩාවේ භාවිතා වන මුදල් නෝට්ටු සහ කාසි 



මුදල් නෝට්ටු අතර රූප වලට අමතරව රටා කොපමණ තිබේද…


කාසි අතර පවතින රටා හා විශේෂත්වය



සාමාන්‍ය භාවිතයේ පවතින නෝට්ටුවක් සහ ව්‍යාජ නෝට්ටුවක් අලුත් තාක්ෂණය ඔස්සේ හඳුනා ගැනීමට යොදා ඇති ආරක්ෂක උපක්‍රම 




සිහිවටන කාසී තුලින් දිස් වන්නෙ ආයෝජන වටිනාකමක් ද නැතහොත කලාත්මක   වටිනාකමක් ද




2022 ජූලි 02 වැනිදා වෙබ්ගත වූවකි.






මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්

https://rupane.com/2022/07/02/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%99-%e0%b6%b1%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%8f%e0%b7%83%e0%b7%92-%e0%b6%9c/


**************************************************

ඉදිරිපත් කිරීම  - කල්ප සමරතුංග  

සම්පත් දායකත්වය -

 අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************


කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන්   

2026

නෝවා ස්කොෂියා පළාතේ රවුමක් - දෙවන සංචාරක නැවතුම


නෝවා ස්කොෂියා පළාතේ රවුමක් - පළමු සංචාරක නැවතුම

https://ahasgawwenehalokaya.blogspot.com/2026/06/blog-post_06.html

2025

එඩ්වඩ් කුමාර දිවයිනේ රවුමක් යමුද ?

https://ahasgawwenehalokaya.blogspot.com/2026/02/blog-post_28.html

නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක්

https://ahasgawwenehalokaya.blogspot.com/2025/09/new-brunswick.html

කැනඩා දිනයේදී කැනඩා උරුම 4 ක් බලමු

https://ahasgawwenehalokaya.blogspot.com/2025/07/4.html










2024 

කැනඩාවේ ජාතික ගීය , කැනඩාවේ ජාතික කොඩිය, ජාතික සත්වයා, කැනඩාවේ ජාතික කෑම   

https://ahasgawwenehalokaya.blogspot.com/2024/06/blog-post_29.html

ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?

https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html

අඩු බජට් එකකින් යන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක්

https://ahasgawwenehalokaya.blogspot.com/2024/10/blog-post_12.html

2023 

ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය  මාර්ගය  

https://ahasgawwenehalokaya.blogspot.com/2023/07/blog-post.html

ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! 

https://ahasgawwenehalokaya.blogspot.com/2023/08/blog-post_19.html

හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html


2022 

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට

http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .

http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .

http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html

2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි 

2017 

වසර 150 ක් සපිරෙන කැනඩාව

http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images, Google Images

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, October 3, 2026

සාඩම්බර දසවන වසර සපුරන “ ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඬ” රූපණ ගැන ලියැවුනු සිළුමිණ සටහන

 


කැනඩාවේ ජාතික මාධ්‍යවලින්,  ලංකාවේ ජාතික මාධ්‍යවලින් ආවරණය නොවන කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත්වන විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉන්නවා. ඒ  පිරිසේ හද ගැස්ම,  ජීවිත අත්දැකීම් සහ දක්ෂතා සඳහා දස වසරක් පුරා සාඩම්බර සේවාවක් සපයන කදිම වේදිකාවක් තිබෙනවා. ඒ තමයි  සෑම සෙනසුරාදාවකම වෙබ් ගත වන රූපණ අන්තර්ජාල රූපවාහිනිය .මව්බිමෙන් විවිධ හේතුමත සංක්‍රමණික වී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විවිධ බාධක කම්කටොළු මැද්දේ දිවි ගෙවද්දී මග හැරෙන අපේකම ප්‍රජාව වෙත සමීප කරවන්නට විවිධ දක්ෂතා ඇති පිරිසක් මෙහෙයවමින් සතියේ දිනවල කරන රාජකාරි, පවුල්වල කටයුතු මැද්දේ සති අන්ත කැපකරමින් කරන කාර්ය භාරය මේ වනවිට ටොරොන්ටෝව ප්‍රමුඛ කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුල " අගේ ඇති අපූරු වැඩක් නම් රූපණ " ලෙසින් නම තබා ඇත්තේ කැපවීමෙන් කර ඇති අති මහත් නිර්මාණාත්මක කාර්යභාරය නිසයි.       


මේ වනවිට කැනඩාවේ  ටොරොන්ටෝ අවට සිංහල බස කතාකරන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් යාත්‍රා සහ දසත  නමින් මුද්‍රිත පුවත්පත් දෙකක් තිබෙනවා.  OMNI TV නාලිකාව  හරහා සතිපතා වැඩසටහනක් ඉදිරිපත් කරන " කලා කවය" රූපවාහිනි වැඩසටහන වගේම යූ ටියුබ් අවකාශය  ඔස්සේ වැඩසටහන් කරන  " මේපල් සිලෝන්"  නාලිකාව තිබෙනවා. සවන,  ලක්නද නමින් අන්තර්ජාල ගුවන්විදුලි සේවා 2 ක්  තිබෙනවා.


2016 සැප්තැම්බර් 19 වැනිදා රූපණ  අන්තර්ජාල රූපවාහිනිය බිහිවන්නේ තැන තැන සිදුවන සිදුවීම් වාර්තාකරණයෙන්,  ගීත හෝ සංවාද ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට හරවත් යමක් ශ්‍රී ලාංකික ප්‍රජාවට තිළිණ කරන අරමුණින් .ඒ සඳහා මූලිකත්වය ගන්නේ විරා ෆොන්සේකා විසින්. වැඩසටහනේ නම,  තේමා පාඨය,  තේමා ගීතය ලියමින් ඒ සඳහා නිර්මාණාත්මක ප්‍රවේශය ලබා දෙන්නේ ප්‍රවීණ කලාකරු බන්දුල කුරුවිට ආරච්චි විසින්. එහි පළමු වැඩසටහන් 20  අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහුයි.  දිනේෂ් පීරිස්,  සංජීව අබේරත්න කලක් අධ්‍යක්ෂණය කළ මේ වැඩසටහන් මේ වනවිට  අධ්‍යක්ෂණය කරන්නේ ජාතික රූපවාහිනියේ හිටපු ප්‍රවීණ වැඩසටහන් අධ්‍යක්ෂක එරංග හිදෙල්ල ආරච්චි  විසින් . අනුරුද්ධ වැලිගමගේ එහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා.


සෑම සතියකම අළුතින් වැඩසටහනක් වෙබ් අඩවියට එකතු කරන රූපණ ගෙන එන වැඩසටහන් පෙළක්ම තිබෙනවා. කාන්තා හමුව, අපේ පුදබිම්, පැන්චන්ගේ සාදය, නොමැකෙන ගී රස, අමයුරු කවි රස, පොත්  පිටු අතරින්,  ගමනක මතකය  ලෝකෙ වටේ, යෞවනයේ චමත්කාරය,  මොනවද මන්දා. ජයේ මාමගෙන් අහන්න. රස  සරණිය , Youth Inspirations ,  සඳැල්ල, සුමියුරු ගී නද, ලබැඳි , සති අග සාදය ඒ  අතුරින් කිහිපයක්.  ඊට අමතරව නව වසර , සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද,   මව්වරුන්ගේ දිනය,  පියවරුන්ගේ දිනය , කැනඩා දිනය,  නත්තල වැනි විශේෂ අවස්ථාවල  රූපණ කණ්ඩායම විවිධ  වැඩසටහන්  ඉදිරිපත් කරනවා. කෝවිඩ්  වසංගත සමයේදී සූම්  තාක්ෂණය භාවිතා කරමින්ද වැඩසටහන් ඉදිරිපත් කළ රූපණ  තම වැඩසටහන් වලින් බහුතරයක් පටිගත කරන්නේ ඔෂවා නගරයේ පිහිටි රූපණ මැදිරියේදී.  රූපණ වැඩසටහන් සංස්කරණය කරන්නේ ලංකාවේ  සිටින දක්ෂ සංස්කරණ ශිල්පියකු වන පුබුදු වනිගසේකර ඇතුළු කණ්ඩායම විසින්.  



යාවත්කාලීන  තාක්ෂණික වෙනස්කම් හමුවේ දින දින අලුත්වන රූපණ  සතුව ඩ්‍රෝන කැමරා පාවිච්චි කරමින් කරන සජීවී විකාශයන්ද කිරීමේ හැකියාව තිබෙනවා . රූපණ සතු වටිනාම සම්පත වන්නේ ඒ හා එක්ව කටයුතු කරන ස්වේච්ඡා කණ්ඩායමයි.  සංජීව අබේරත්න, සම්පත් පෙත්තාවඩු,  මංජුලා වික්‍රමරත්න, සුනිමල් බාලසූරිය,  සුනිල් තෙන්නකෝන්, දිනුෂා ජයවර්ධන , කල්ප සමරතුංග, නිරංග විජේසූරිය, අනූෂා කිංස්ලි ,යෙනුලි කොතලාවල , තරින්දි ෆොන්සේකා,දිනුක හේරත් , මල්ෂා පෙරේරා  යන සහ රූපණ කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවිට වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනවා.ඒ වගේම අද  නිර්මාණවලට සහභාගී නොවුනත් අනුෂ්කා ගම්මුදලි, රනුක ප්‍රභාෂිත, පියුමලී ජයසිංහ, අනූෂා සිල්වා, රමාල් සිල්වා, විජිත් විතාන, අජිත් ජිනදාස මහත්ම මහත්මීන් රූපණ වෙනුවෙන්  කළ දායකත්වයත් වැදගත්. 


රූපණ මේ  වන විට මාධ්‍ය ජාලයක් බවට පත්ව තිබෙන්නේ 2024  පටන් ගත් ශ්‍රී Srilancan News සහ ප්‍රසංග සංවිධානය සහ චිත්‍රපට  ප්‍රදර්ශනය  වෙනුවෙන් කටයුතු කරන Srilancan Events  ආයතන එක්කයි.  ළඟදීම ශ්‍රී Srilancan Radio  ත් මේ ලැයිස්තුවට එක්වෙනවා . 


රූපණ දශකයක ගමන සමරමින් 2026 නොවැම්බර් මස 28 වැනි දා කැනඩාවේ යොවුන් සංගීතවේදීන්  පස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආදර සුළඟ නමින් ප්‍රසංගයක් පැවැත්වෙනවා. ලෝකෙ කොහේ හිටියත් https://rupane.com/  හරහා අන්තර්ජාලයෙන් ඔබට දස වසරක් පුරා රූපණ එක් රැස්කළ වැඩසටහන් බලන්නට පුළුවන්. 




ඔබ කැනඩාවේ කුමන ප්‍රදේශයක හිටියත් රූපණ  සියලු වැඩසටහන් සහ මාධ්‍ය ටොරොන්ටෝව අවට සහ කැනඩාවේ වෙසෙන සියලු දෙනා වෙනුවෙන් විවෘතයි, ඒවාට සම්බන්ධ වෙන්න ඔබට ඕනෑම වෙලාවක පුළුවන්. ඔවුන්ගේ  හොඳ, නරක, අඩුපාඩු  සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට කියන්න.  රූපණ මාධ්‍ය ජාලයේ  වැඩසටහන් ගැන ඔබේ හිත මිතුරන්ට කියන්න. මුහුණු පොතේ සමාජ මාධ්‍යවල ඒවා ගැන සටහනක් තියන්න අමතක කරන්න එපා. ඔබට හමුවන අයගේ දක්ෂතා හඳුන්වා දෙන්න ඔවුන් ඉදිකළ වේදිකාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ වැඩවලට මුදලින්, වෙළද දැන්වීමකින් , ටිකට් පතකින් ඔබටත් උදව් කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් ඔවුන් බොහෝ මහන්සි වෙනවා. ඒ ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුරින් හිටියත් ශ්‍රී ලාංකික උරුම රැකගැනීම වෙනුවෙන්. ඔවුන්ට උදව් කරන එක ඔබේ ප්‍රජාවට  වගේම මේ වැඩසටහන් දිගට කරගෙන යන්නත්  මහත් රුකුලක් වේවි.



රුවන් හරිස්චන්ද්‍ර 


2026 සැප්තැම්බර් මස 27 වැනිදා සිළුමිණ පුවත්පතේ පලවූවකි.

විශේෂ ස්තූතිය සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට














මේ දිගුවෙන් ඔබට ලිපිය විද්‍යුත් පුවත්පතින් කියවන්න පුළුවන්

https://www.silumina.lk/2026/09/27/rasanduna/67573/%e0%b6%a7%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b6%ab-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b7%80%e0%b7%8f%e0%b7%84/




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google  images                                  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, September 26, 2026

අඩුම වයසකින් ලෝකයේම කරක් ගැසූ යූ ටියුබ් කරුගේ රහස් කියවමු.



ඒ  2020 ජූලි 25 වැනිදා. ලොව සෑම රටකටම සංචාරය කිරීමේ මගේ අරමුණ සම්පූර්ණ කරමින්, මගේ 197

වැනි රටට පා තැබීමට නියමිතව තිබුණේ මීට මාස දෙකකට පෙරයි . එහෙත් 2020 මාර්තු මාසයේ සිට

තවත් රටවල් හයක් ඉතිරිව තිබියදී මට නිවසටම වී සිටීමට සිදුව ඇති අතර, එම ගමනේ අවසාන අදියරට

මා ළඟා වන්නේ කවදාදැයි කිසිදු අදහසක් මට නොමැත. ලොව ඇති රටවලින් සියයට අනූ පහකට වැඩි

ප්‍රමාණයකට සංචාරය කිරීමෙන් පසු, මගේ ඉලක්කය සම්පූර්ණ කිරීමට තව ඉතිරිව ඇත්තේ රටවල් හයක්

පමණක් බව විශ්වාස කිරීමට පවා මට නොහැකිය - ඒ වෙනිසියුලාව, ඉක්වදෝරය, ජැමෙයිකාව, සෞදි

අරාබිය, ඝානාව සහ පලාවු යන රටවල්ය. ( පිටුව ix - පෙරවදන - Just Go)

ඕනෑම සංචාරයක් සඳහා මනා සූදානම අත්‍යවශ්‍ය වේ; ඔබ යන්නේ ආරක්ෂිත යැයි සැලකෙන රටකට හෝ අනතුරුදායක යැයි සැලකෙන රටකට වුවද, අනාගතය ගැන හෝ ඔබට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ගැන කල්තියා කිසිවක් කිව නොහැක. එබැවින්, හැකි උපරිමයෙන් කල්තියා සැලසුම් කිරීම නුවණට හුරු ක්‍රියාවකි. (33 වන පිටුව)


'Drew Binsky' ( ඩ්රිව් බින්ස්කි) යන අන්වර්ථ නාමයෙන් අන්තර්ජාලය තුළ ප්‍රකට ඩ්රිව්ගෝල්ඩ්බර්ග්

(Drew Goldberg), සිය සංචාරක වීඩියෝ (vlogs) සඳහා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු යූ ටියුබ්

(YouTuber) නිර්මාණකරුවෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇති ගණනින්

197 ක් වූ ලොව සෑම රටකටම ඔහු සංචාරය කර ඇති අතර, 2021 ඔක්තෝබර් 29 වන දින සෞදි

අරාබියේදී ඔහු සිය ඉලක්කය සපුරා ගත්තේය. මේ වනවිට ලෝකයේ රටවල් සියල්ලටම ගොස් තිබෙන

250 ක් තරමේ අතලොස්සක් අතුරින් වයස අවුරුදු 30ට කලින් ලෝකය වටේම කරක් ගැසූ කිහිප

දෙනාගෙන් කෙනෙකි. 

විද්‍යාල අධ්‍යාපනයෙන් පසු, බින්ස්කි මාස 18ක් දකුණු කොරියාවේ සෝල් නුවර ඉංග්‍රීසි ඉගැන්වීමේ රැකියාවක නිරත විය.  ඔහු එම කාලය තුළ ආසියාවේ රටවල් 20ක සංචාරය කිරීමටත් සමත් විය. 2015 දී ඔහු සිය ඉගැන්වීමේ රැකියාවෙන් ඉවත් වී පූර්ණ කාලීනව සංචාරය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, ඒ සඳහා ඉන්දියාව හරහා මාස 3ක තනි සංචාරයක් ආරම්භ කළේය.2015 ඔක්තෝබර් වන විට ඔහු ලෝකයේ රටවල් 73 කට  සංචාරය කර තිබුණි. ඔහු "The Hungry Partier" නමින් සංචාරක බ්ලොග් අඩවියක් ආරම්භ කළ අතර Instagram සහ Snapchat හරහා තම සංචාර පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පටන් ගත්තේය.

2017 දී, වියට්නාමයේ හැනෝයි  වෙත පදිංචියට ගිය අවස්ථාවේදී ඔහුගේ එවකට පෙම්වතිය වූ ඩියානා සලාවෝ (Deanna Sallao) ඔහුට කැමරාවක් මිලදී ගෙන දුන් අතර, එය ඔහුට තම YouTube නාලිකාව සඳහා වීඩියෝ නිර්මාණය කිරීමට සහ පළ කිරීමට පෙළඹවීමක් විය.2017 මැයි මාසයේදී, ඔහු උතුරු කොරියාවේ සිදු කළ සංචාරයක් පිළිබඳ වීඩියෝවක් තම YouTube සහ Facebook නාලිකාවලට එක් කළේය  එම වීඩියෝව දින 2ක් ඇතුළත නැරඹුම් වාර මිලියන 10 ක් ඉක්මවා ගියේය.  බින්ස්කි YouTube සහ Facebook හි වෙළඳ දැන්වීම් ආදායම මෙන්ම විවිධ වෙළඳ සන්නාම සමඟ ඇති කරගත් අනුග්‍රාහක හවුල්කාරිත්වයන් හරහා මුදල් ඉපයීමද ආරම්භ කළේ පූර්ණ කාලීනව සංචාරක කටයුතු වල නිරත වෙමිනි . සමාජ මාධ්‍ය තුළ ඔහුට අනුගාමිකයින් මිලියන 12කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ඔහු ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියයි: ඒ  පැය 24 ක කාලයක් තුළ වැඩිම යුනෙස්කෝ උරුම ස්ථාන සංඛ්‍යාවක් නැරඹීම සහ ඉතා වේගයෙන් ගමන් මල්ලක් සකස් කිරීම වෙනුවෙනි. 

කිසියම් සංචාරයකට පෙර මිතුරන් ඇති කරගන්න. ඕනෑම ගමනක් යාමට පෙර, මම සාමාන්‍යයෙන් මෙවැනි සටහනක් පළ කරමි: "ආයුබෝවන් මිතුරනි, මම ඉදිරි සති තුන තුළ ජෝර්ජියාහි රැඳී සිටිනවා; ඒ අවට සිටින අය කවුරුන් හෝ ඉන්නවාද?" ඉන්පසු මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙන අතර, ඒ අතරින් මා සමඟ කාලය ගත කළ හැකි පුද්ගලයින්ව මම තෝරා ගනිමි (20 වන පිටුව).


ඔබ කොතැනකට ගියත්, ලෝකය අත්විඳිය හැකි හොඳම ක්‍රමයක් වන්නේ ප්‍රදේශවාසියෙකු මෙන් සංචාරය කිරීමයි. ඒ අතරතුර, සංචාරකයින්ගෙන් අධික මුදල් අය කරන ස්ථාන මග හැරීම ද ඉතා යහපත්ය. නගර මධ්‍යයේ ඇති විශාල හා මිල අධික ආපනශාලාවලට වඩා, ප්‍රදේශවාසීන් අඩු මුදලකට ආහාර ගන්නා කුඩා හා සරල ආපනශාලාවලින් මගේ සංචාර අතරතුරදී මට බොහෝ විට ඉතා රසවත් ආහාර ලැබී තිබේ ( 23 වන පිටුව).

" Just Go " ඩ්රිව් බින්ස්කිගේ පොත ප්‍රයෝගිකව එක් රස කල අත්දැකීම් රැසක් සරල වදනින් කරන දැනුම් හුවමාරුවක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ප්‍රයෝජනවත් වන පොත් පිංචක් ලෙස සලකන්නට කැමැත්තෙමි. ඉඩකඩ සීමාවන් නිසා මේ සටහන නිමා කරන්නට " Just Go "  පොතේ මේ ලියැවිල්ල එක් කිරීමට කැමැත්තෙමි.   

" සෑම කෙනෙකුම සිනාසෙන්නේ එකම භාෂාවකිනි. සිනහව යනු ලොව ඇති එකම විශ්වීය භාෂාව බව මම නිතරම පවසන්නෙමි. ඒ ගැන මොහොතක් සිතා බලන්න; හුදෙක් සරල සිනහවක් මගින් බිලියන අටක් තරම් වූ මිනිසුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකිවීම කෙතරම් පුදුමාකාර දෙයක්ද? ශරීර භාෂාව භාවිත කිරීමෙන් ඔබට ඕනෑම දෙයක් සන්නිවේදනය කළ හැකිය; ඔබට කුසගින්නක් දැනේ නම්, වෙහෙසක් දැනේ නම් හෝ වැසිකිළියක් භාවිත කිරීමට අවශ්‍ය නම්, අතින් පෙන්වීම හෝ මුහුණේ ඉරියව් මගින් ඒ බව ප්‍රකාශ කළ හැකිය."  ( Just Go 73 වන පිටුව)



2026  අගෝස්තු 16 වැනිදා සිළුමිණ  කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය  සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට


මේ දිගුවෙන් ඔබට ලිපිය විද්‍යුත් පුවත්පතින් කියවන්න පුළුවන්

https://www.silumina.lk/2026/08/16/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/65494/%e0%b6%85%e0%b6%a9%e0%b7%94%e0%b6%b8-%e0%b7%80%e0%b6%ba%e0%b7%83%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b7%99%e0%b6%b8-%e0%b6%9a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b6%9c/



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.