මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 30, 2023

ඇනෝලාට බයවෙන්න උවමනා ද ?

 

දියුණු සමාජයක කියවීමේ සහ ලිවීමේ නිදහසක් උපරිමයෙන්ම තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.  ඒ වගේම විශේෂයෙන්ම සිංහල බ්ලොග් ලියැවිලි ලියන අපි බ්ලොග් එකක් පවත්වාගෙන යන්නේ රසිකයන් කියල හිතන පිරිසක් එක්ක නිර්මාණ ගනුදෙනුවක යෙදෙන්නයි. ගෝත්‍රිකත්වයෙන් මිදුණු  ඒ  දියුණු සමාජයේම අපි ලියන දේවල් වලට වගේම අපි අනික් අයට තබන ප්‍රතිචාරවලටත් යම් සීමාවක් තියෙන එක සුදුසුයි කියලයි මම හිතන්නේ.

නිර්මාණකරුවා සහ පෞද්ගලික චරිතය අතර තිබෙන වෙනස හඳුනාගන්න ඕන මෙතනදි තමයි.  අපි අගය කරන්න , විවේචනය කරන්න ඕනේ නිර්මාණකරුවාගෙන් නිර්මාණ කාර්යය මිසක් පෞද්ගලික කාරණා නෙමෙයි.  උස,  මිටිකම , තරබාරුකම,  වයස වගේ පිටින් පෙනෙන කාරණා වගේම පොතපතින් යම් අධ්‍යාපන ආයතන වලින් ලබා තිබෙන සහතික ඇය හෝ ඔහු ඉගෙන ගත්ත ගුරුකුලය එතනදි මට නම් වැදගත් නැහැ. . ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතයේ පුරුදු සහ කාර්යයන් අයිති වන්නේ පුද්ගලික කොටසටයි.  යම් නිර්මාණකරුවෙක් හෝ කාරිනියක් පිළිබඳව සමාජයේ යම් ප්‍රතිරූපයක් ගොඩනැගෙන හින්දා ඒ අයත් ඒවා පරිස්සමට කරන එක හොඳ උනත් ඒ ගැන වාරණ සීමා දාන්න අපට අයිතියක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

හොඳ බ්ලොග් සංස්කෘතියක් ඇති කරවන්නට නම් බසු මහත්තයා කියනවා වගේ හැමෝම මේ වෙනුවෙන් එකට පෙනී ඉන්නවා වගේම ඇනෝලගෙ ප්‍රතිචාරවලට වැටබඳින එකත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.  සුබවාදී,  ධනාත්මක ප්‍රතිචාරවලින් සහ උදව්වලින් අනෙකුත් බ්ලොග් රචකයන්ට උදව් කරන එක හැරුණාම වල්පල් කතා සහ තේමාවන් තුළින් ඔවුන්ගේ රචනා සීමා කරන එක ඔවුන්ගෙන් දකින්නට තියෙන හොඳ නිර්මාණය නවතා දමන වැඩක්.  මේක කියවලා විහිළුවට සහ සංවාද ගොඩනැගීම වෙනුවෙන් යොදන ප්‍රතිචාර නවත්වන්න එපා කියලත් කියන්න කැමතියි.

මම එතරම් පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුමැත්තෙක් නෙමෙයි.ඒත් රාජකාරි කටයුතු  යටතේ අන්තර්ජාලය හරහා කරන අනවශ්‍ය බලපෑම් ගැන කටයුතු කරනවා. මා දැනුවත්ව බ්ලොගර් හරහා  ඇනෝලාට විරුද්ධ ක්‍රියාකාරී කටයුතු ගැන වාර්තා කරන්න අසීරුතා තියෙනවා.  ඒත් ගූගල් සමාගමට නීතිමය තත්ත්වයන් යටතේ ඇනෝලාගේ පරිගණක පිළිබඳ සමහර තොරතුරු හොයන්න පුළුවන්.  ෆේස්බුක් සහ වට්ස් ඇප්  කියන සමාජ ජාලා විවිධ බොරු නම්වලින් පෙනී සිටිමින් සමාජ සම්මත භාවිතයට එරෙහි  ක්‍රියාකාරීන්,  පරපීඩිත මානසික තත්ත්වයන් ඇති අයට එරෙහිව කටයුතු කරන්න බොහෝ පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම වසංගතයෙන්  පසුව වර්තමාන සමාජයේ මානසික අසමතුලිතා බහුල අය වැඩි හින්ද ඔවුන් කලින්ම හඳුනාගන්න එක වගේම ඔවුන්ගේ ක්‍රියා නවතා දමන එකින්  ඔවුන්ට වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් හොඳ දිවි පෙවෙතක් ගත කරන්න කරන උදව්වක් ලැබෙනවා. 

තමන් ජීවත්ව සිටිනා රටේ තමන්ට අන්තර්ජාල හෝ දත්ත සේවා සපයන සමාගම් හරහා අනවශ්‍ය බලපෑම්වලට වැටබඳින්නට නීතිමය උපකාර පතන්න ඔබට පුළුවන්.  ඔබ බ්ලොගය Blogger  යටතේ පවත්වාගෙන යනවා නම්  Google user කෙනෙකුගේ ප්‍රතිචාරවලට සීමා කිරීම් වගේම Comment Moderation  හරහාත් ඔබට අනිත් අයගේ ප්‍රතිචාර පාලනය කරන්න පුළුවන්.  


මේ දිගුව හරහා ඔබට Google chrome සහ Appple Safari බ්‍රව්සර් වලින් ගන්නට පුළුවන් අත්වැල දැනගන්න පුළුවන්.

A Fix for Anonymous Commenting with Blogger 

https://www.lifeandlinda.com/2022/07/a-fix-for-anonymous-commenting-with.html#:~:text=To%20comment%20under%20your%20Blogger,them%2C%20you%20can%20add%20exceptions.

 මේ  youtube දිගුවත් ඔබට බ්ලොගර් හරහා කමෙන්ට් පාලනය කරන හැටි පියවරෙන් පියවර දැනුවත් කරාවි.  



මේ  දිගුව හරහා ඔබට වර්ඩ් ප්‍රෙස් හරහා ඔබේ ප්‍රතිචාර පාලනය ගැන විස්තර දැනගන්න පුළුවන්

Wordpress Comment Moderation: A Beginners Guide

https://wordpress.com/go/tutorials/wordpress-comment-moderation/

වැරැදි සහ නුසුදුසු පුරුදුවලට වැට බඳින්නත් ,  රචකයන්ගේ මහන්සියට අකුල් හෙලමින් තමන්ගේ වටිනා කාලය නාස්ති කරන ගමන් අනවශ්‍ය විනෝදයක් ගන්නා ඇනෝලාට ඔබේ බ්ලොග් අඩවියට පිවිසෙන්නට 2024 වසරේදී ඉඩ ඉඩක් නොතියන්නත්  මේ තොරතුරු උපකාර වේවි කියල හිතනවා.

බ්ලොග් රචක ඔබ සැමට ලබන්නා වූ 2024 අලුත් අවුරුද්ද වැඩි වැඩියෙන්ම නිර්මාණ දායාද කරන වසරක් වේවායි් ප්‍රාර්ථනා කරන්න කැමතියි . 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, December 23, 2023

Nazi Megastructures හරහා දෙවන ලෝක යුද්ධයේ තැනින් තැනට






එක්දහස් නමසිය හතලිස් පහේදී දෙවන ලෝක යුද්ධය නිමාවන විට එයට වියදම් වූ වියදම  වශයෙන් සඳහන් වන්නේ වර්තමාන මුදලින් ඇමරිකානු ඩොලර්  ට්‍රිලියන හතරක් (4,000,000,000,000.).  1939 -1945 කාලයේදී ලෝකයේ එයට වැය කළ මුදල  ඇමෙරිකානු ඩොලර් බිලියන 1,301,316 ක්.  ඉන් වැඩිම වියදමක් කර තිබෙන්නේ  ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ  ඩොලර් බිලියන 341,491ක් . යුද්ධයන් දියත් කළ බවට චෝදනා ලබන ජර්මනිය වියදම් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 270,000 ක්  සහ ජපානය ඩොලර් බිලියන 56,000  වශයෙන්.

යුධ වියදම් පිළිබඳ වැඩි විස්තර සඳහා මේ දිගුව බලන්න.

https://historyandheritage.cityofparramatta.nsw.gov.au/research-topics/world-war-two/world-war-two-financial-cost

වටිනාකමක් කිව නොහැකි මිනිස් ජීවිත මිලියන 53 ක් පමණ ඒ යුද්ධය නිසා ලෝකයට අහිමිව ගියා. ඉන් මිලියන 15ක්  විවිධ රටවල  හමුදා නිලධාරීන්.  ඒ අතරේම යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය මිලියන 38 කට අධිකයි.. යුද්ධයේදී ජර්මනිය  ඇතුළු නාසි කණ්ඩායමේ රටවල් සේම මිත්‍ර පාක්ෂික රටවල් කළ  කිසිදු ක්‍රියාවක් ක්‍රියාවක් සාධාරණීකරණය කළ නොහැකි සේම එවැන්නක් සිදු නොවූවා නම් යහපත් කියන මතයේ පිහිටා ඉතිහාසය දෙස බලන්නට කැමතියි.ජර්මනිය ජපානය, ඉතාලිය  දෙවන ලෝක යුද්ධයට ඇද දැමුවේ එකල ලෝකයේ  ක්‍රියාත්මක වුණු බල අරගලය නිසා අප මතුපිටින් දකිනවාට වඩා විශාල පසුබිම් කතා රැසක් දෙවන ලෝක යුද්ධය පසුපස සේම අද වන විට ලෝකය පුරා ක්‍රියාත්මක වන යුද ගිනිදැල් අතරේත් හැංගිලා තියෙන හින්ද හුදු මාධ්‍යය වාර්තාකරණයෙන් ඔබ්බට ගිහින් මැදිහත්ව එය බලනවා නම් පැහැදිලි චිත්‍රයක් දැකගන්න පුළුවන්.

දෙවන ලෝක යුධ සමයේ මිනිස් ඝාතන සහ ආබාධිත අයවලුන්ගේ  වැඩි විස්තර සඳහා මේ දිගුව බලන්න.

https://www.nationalww2museum.org/students-teachers/student-resources/research-starters/research-starters-worldwide-deaths-world-war


ඒ කොහොම වුණත් එක්දහස් නමසිය තිහ දශකයේ දී දෙවන ලෝක යුද්ධය නිසා ඉදිකිරීම් සහ කාර්මික අංශයේ අති විශාල සංවර්ධනයක් සිදුවූ බව කියන්නට පුළුවන්. ඒ යුද්ධයෙන් පසු විනාශ කළ සමහර දේ අතරේ තාක්ෂණ රහස් සැගව ගියත් එදා තිබූ ඒ තාක්ෂණය සොයාගැනීම සදහා  අදත් පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් විවිධ පර්යේෂණ සිදු කරනවා. ඒවා ඇසුරින් ඇමෙරිකාවේ ඩිස්නි සමාගමට අයත්  National Geographic නාලිකාව 2013           - 2019කාලයේදී නිෂ්පාදනය කළ Nazi Megastructures වෙනස්ම වාර්තා වැඩසටහන් පෙළක් විදිහට හඳුන්වන්නට පුළුවන්.  මේ වැඩසටහන් පෙළ Nazi Mega Weapons  සහ WW2 Mega Weapons  නමිනුත් විකාශය වී තිබෙනවා.

Seasons  හයක් පුරා වැඩසටහන් තිස්නමයකට (39)  කැටිවුණු මේ වැඩසටහන් පෙළ හරහා ජර්මනිය සහ ජපානය යුද්ධයක් පටන් ගත්තේ ඇයි? .  ඔවුන්යුද්ධයට කළ පෙර සූදානම.  පියවරෙන් පියවර යුද්ධය ඉදිරියට ගිය ආකාරය,  යුරෝපයේ ඇවිලෙමින් තිබූ යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වුණේ ඇයි?  රුසියාව,  ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔවුන්ගේ  යටත් යටත් විජිත රටවල් යුද්ධය මැඩ පැවැත්වුයේ කොහොමද?.  ජපානය සහ ජර්මනිය යුද්ධයෙන් පරාද වුණේ ඇයි ? කියන ප්‍රශ්න රැසකට ලෝකය පුරා තැනින් තැනකින් කෙරුණු ඉදිකිරීම් ඇසුරින් ජර්මනිය සහ ජපානය පැත්තේ සිට කෙරෙන විවරණයක් විදිහට මේ වැඩසටහන මේ නිර්මාණය වී තිබෙනවා.

ඉතිහාස වාර්තාකරුවන්,  යුධ විශේෂඥයන්,  හිටපු යුද නිලධාරීන් රැසකගේ දායකත්වයෙන් ලොව වටා තැනින් තැනට අපව ගෙනයමින් මේ වනවිට ඒ ස්ථාන දකින්නට තිබෙන තත්ත්වයේ සිට එදා යුද්ධය පැවති කාලයේ තිබුණු පටිගත කළ දර්ශන ඇසුරින් දියුණු ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කර ගනිමින් එදා පැවති තත්වය  ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන් දරන උත්සාහය අති විශිෂ්ටයි.  මෙය ඇමෙරිකානු නිෂ්පාදනයක් නිසා මෙහි සාධාරණත්වය ගැන  සියයට සීයක් වගකීමක් හිතන්නට අසීරු වුනත් මෙතුලින් යුද්ධයේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව යම් අවබෝධයක් ගන්නට පුළුවන්.

https://en.wikipedia.org/wiki/Nazi_Megastructures



යුද්ධයට සජීවීව සම්බන්ධ වුණු හිට්ලර්, හිරෝහිතෝ අධිරාජයා සහ සමහර තෝරාගත් නිලධාරීන් පිරිසක් නිරූපණය කරන්නට නළුවන් යොදා ගනිමින් වැඩසටහන තුළින් කරන රඟ දැක්වීම හින්දා සමහර වෙලාවට මේ වැඩසටහන බලන විට ඔබ දෙවන ලෝක යුද්ධය සමයේ ඉන්නවා වගේ දැනෙනවා. ඒ ඒ  වැඩසටහන අවසානයේ දී යුද්ධයෙන් පසු එහි කථාබහට ලක්වුණු නිලධාරීන්ගේ යුද්ධයෙන් පසු වතගොත පවා ඉදිරිපත් කර තිබෙන්නේ කැමති අයට තවත් විස්තර සොයා ඒ ගැන තහවුරු කරගැනීමක් කරගන්නටයි . ඔබට මේ වැඩසටහන් පෙළේ වැඩි විස්තර මේ දිගුවෙන් දැනගන්න පුළුවන්.

https://www.tvguide.com/tvshows/nazi-megastructures/cast/1000541794/#google_vignette

භූමිය තමන් පාලනය කරන සෘජු යටත් විජිත වාදයෙන් මිදී,  තමන්ගේ පාලනයට යටත් දේශීය පිරිසකට රටවල් භාරදෙමින් එක්සත් රාජධානිය ප්‍රමුඛ යුරෝපා රටවල් කළ බල හුවමාරුව ගැනත් , යුද්ධයෙන් පස්සේ දෙපිල බෙදා ගනිමින් කළ ශීතල යුද්ධයට හේතුවත් , වර්තමානයේ ලෝකය පාලනය කරන වෙළඳ යටත් විජිත වාදය ගැනත් අවබෝධයක් ගන්නමේ වැඩ සටහන් පෙල  පූර්වාදර්ශයක් කරගන්න පුළුවන්.


යුද්ධයට වියදම් කරන්න සල්ලි හොයාගත්තේ කොහොමද?.  ඒ වියදම් ආවරණය කර ගත්තේ කොහොමද?  න්‍යෂ්ටික  බෝම්බ  සහ රසායන අවි භාවිතයට  විරුද්ධව ගත්  ක්‍රියාමාර්ග මොනවාද?  ජපන් අධිරාජයා යුධ අධිකරණයට නොගෙන ආවේ මන්ද කියන ප්‍රශ්න වලට පිළිතුරු තිබෙන වැඩසටහන් මේ  දවස් වල හොයමින් ඉන්නවා.

මේ නිවාඩු කාලයේ ඉඩක් තිබුණොත් ඔබත් බලන්න. 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, December 16, 2023

ලෝකෙ ලොකුම මිරිදිය දූපත බලන්න යමු




 ලෝකයේ ලොකුම මිරිදිය දූපත තියෙන්නේ අප ඉන්නා ඔන්ටාරියෝ පළාතේම තමයි.  පංච මහා විල් අතරින් දෙවැනි තැන ගන්නා Huron විලේ කොනක තියෙන මේ දූපත වර්ග කිලෝමීටර 2766 ක් විශාලයි . මේ වන විට මේ දූපතට භාවිත වන නම Manitoulin Island . Ojibwe ගෝත්‍රික භාෂාවෙන් " Cave of the Spirit" කියන තේරුම තියෙන Manidoowaaling කියන වචනය ප්‍රදේශය ගවේෂණය කළ  ප්‍රංශ ජාතිකයන් භාවිතයට හදාගෙන තිබුණේ එහෙමයි. 




අපි කලින් දවසේ නවාතැන් අරගෙන හිටි  Sault Ste marie ඉඳලා පැය හතරක වාහන ගමනකට පස්සේ අපි  Manitoulin Island එකට ආවේ Little Current Swing Bridge  එක හරහා. දූපතට වසර පුරාම එන්න යන්න පුලුවන් එකම මාර්ගය තියෙන්නේ මේ හරහා. ඒත්  මැයි ඉඳන් ඔක්තෝබර් කාලයේදී    Tobermory ඉදන් ක්‍රියාත්මක වන වරකට වාහන 140 ක් සහ මගීන් 638 දෙනෙක් ගෙනියන්නට පුළුවන් Chi-Cheemaun පාරුව මගින් ඔබට මේ දූපතට යන්නත් පුළුවන්.



ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයෙන් Manitoulin දූපතට යන්නෙ අපි හැරුනේ Espanola  නගරයේදී.     Frise Espanol කියන ස්පාඤ්ඤ ජාතිකයා  Ojibwe කාන්තාවක් විවාහ කරගත්තායින් පස්සේ දිංචි වුණු මේ ප්‍රදේශය වඩාත් දියුණු වුණේ පිහිටුවා තිබුණු Pulp & Paper Mill එක හන්දයි.



Little Current Swing Bridge



Hwy 6 සහ මැනිටියුලින් දූපත යාකරන අඩි 368 ක් දිග මේ පාලම 1912 දී ඉදිකර තිබෙන්නේ Algoma Eastern Railway සමාගම මගින්. පංච මහා විල් හරහා දැව ගල්ලඟුරු , යපස් වැනි බොහෝ දේ ප්‍රවාහනය කෙරුණු ඒ කාලයේ පාලම දුම්රියක් ගමන් කරන වෙලාවලදී පමණක් දෙකොන සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වුණා. කාලයත් එක්ක සිදුවුණු වෙනස්කම් එක්ක රථ වාහන භාවිතය වැඩිවුණු හින්දා 1946 දී මේ පාලම වාහන ගමනාගමනය සඳහා යොදාගන්න පුළුවන් විදිහට සංවර්ධනය වුණා.



අද වෙනකොට මේ ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය නැවතිලා ඒ වගේම නාවික ගමනාගමනයත් අඩුවෙලා .ඒ හින්දා තනි මං තීරුවේ මේ පාලම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දූපතට ඇතුළු වෙන්නත් පිට වෙන්නත් තමයි. තවමත් ශීත කාලයේ දී හැර අනික් කාලවල දීවා කාලයේ සෑම පැයකම පළමු විනාඩි 15 පාලම නාවික ගමනාගමනය සඳහා විවෘතව තැබෙනවා. කලින් ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වුවත් මේ වන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය පාලමේ හැරවුම බලන්න වටින දෙයක්. ඒ සඳහා ඔබට වෙනම වෙන්කල ප්‍රදේශයක් තිබෙනවා.


පාලමෙන් ඇතුළු ඇතුළු වුනු ගමන්ම තියෙන සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඔබට දූපත තුළ කරන්නට පුළුවන් ක්‍රියාකාරකම් ගැන තොරතුරු දැනගන්නට පුළුවන් හොඳ සම්පතක්. ගෝත්‍රික පාලන ප්‍රදේශයක් හින්දා ඒ අය අන්තර්ජාලයට බොහෝ තොරතුරු යාවත්කාලීන කරලා නැහැ . සමරු සේයාරූ ගන්නත් ඔබේ ගමන සැලසුම් කරගන්නත් මෙතැන නැවතිලා යන එක හොඳයි.






Cup & saucer Trail


ඇවිදින්න, බයිසිකල් පදින්න කැමති කෙනෙකුට මේ කිලෝමීටර් 12 ක මං පෙත සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි බලන්න යන්න පුළුවන්. තරමක් තද බෑවුම තිබෙන මෙය ටිකක් දුෂ්කර ගමනක් විදියට හඳුන්වන්නත් පුළුවන් වුනත් අමාරුවෙන් හරි උඩට ගියාම ඔබ දකින දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. පැරැණි ගල් කොරියක් අසලින් යන මේ ඇවිදින මං පෙත ඔන්ටාරියෝ පලාතේ ජනප්‍රියතම ඇවිදින මං පෙත් අතරින් එකක්. මීට අමතරව තවත් ඇවිදින මං පෙත් රැසක් ම මේ දූපතේ තියෙනවා.


Lake Manitou


වර්ග කිලෝමීටර් 104 ඉඩක් වසා සිටින මේ විල ලෝකයේ මිරිදිය දූපතක් තුළ තිබෙන විශාලතම විල හැටියටයි වාර්තා පොත්වල තියෙන්නෙ. විවිධ ප්‍රමාණයන්ගේ විල් දාහක් විතර තියෙන මේ දූපතේ බලන්න වටින තැනක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.


Lighthouses in Manitoulin Island


අතීතයේ දැව කර්මාන්තය විශාල වශයෙන් සිදුවුනු ඉසව්වක් වගේම ඒවා ප්‍රවාහනය සඳහා නාවික ගමනාගමනය ක්‍රියාත්මක වුනු නිසා පැරැණි ප්‍රදීපාගාර රැසක්ම මේ දූපතේ තියෙනවා. ඔබටත් ඉන් කිහිපයක් ඔබේ ගමනට එකතු කරගන්න පුළුවන්.

Bridal Veil Falls


Hwy 540 අද්දරම තියෙන අඩි 35 ක් උස මේ දියඇල්ල බලන්න වටින එකක් . දිය ඇල්ල වැටෙන තැන බේසමක් වගේ ප්‍රදේශයේ පීනන්න, නාන්න වගේම මේ දිය ඇල්ල යටින් එක කොනක ඉඳන් අනිත් කොනට යන්නත් ඔබට පුළුවන්.


Pow Wow Festival


Wiikwemkoong ගෝත්‍රික ජන ගායනා, නැටුම් වගේම ඔවුන්ගේ කෑම බීමත් අගෝස්තු මාසයේ මුලදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සංදර්ශනයේදී ඔබට දකින්නට පුළුවන්.



Manitoulin Eco park


ඔබට ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ දූපත රැයක් ගත කරන්න වටිනවා. ජනශුනය රක්ෂිත කලාපයක් හින්දා මේ ඉසව්වේ Light pollution එක හරිම අඩුයි.මෙය කැනඩාවේ Royal Astronomical Society මගින් සහතික ලත් කැනඩාවේ තිබෙන හොදම ආකාශ වස්තු නිරීක්ෂණ ස්ථාන වලින් එකක්. ඒ පිළිබඳ දැනුමැති අයගේ උදව් ඇතිව දුර දක්නවලින් අහස බලමින් කූඩාරමක හරි කැබින් එකක හරි කාලය ගත කරන එක අපූරු අත්දැකීමක්. ඊට අමතරව ගිම්හාන කාලයේ වගේම ශීත කාලයේ වෙනස්ම කඳවුරු අත්දැකීමක් ලබන්නත් පහසුකම් මෙතන තියෙනවා.


Manitoulin Island Beaches




අව්ව තපින්න , ඉස්සෙල්ලම් කරන්න වගේම ආරක්ෂිතව පිහිනා නාගන්නත් හොඳ වෙරළ තීර කිහිපයක්ම මේ දූපතේ තියෙනවා. Providence Bay, MindeMoya, Meldrum Bay උදාහරණ කීපයක්.


ආයෙමත් වතාවක් පාරුවෙන් ඇවිත්, කූඩාරමක ඉඳගෙන රෑ අහස බලන රැයක් ගත කරන සිතිවිල්ල ඇතිව අපි Sudbury වල අපේ ඊළඟ නවාතැනට පිටත් වුනා.


ලබන මාසයේදී පතල් කර්මාන්තයේ පතල Sudbury නගරයේදී හමුවෙමු.


අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, December 9, 2023

ගී ලියමු ගේය පද සංචිතය.






විනෝදාංශයක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන මම , එච්චර මම කරන දේ ගැන කතා කරන්න කැමති නෑ.  ඒත් මගේ ලියැවිලි ගැන කියවන අනිත් අයගේ අදහස් දැනගන්න , අහන්න ආසයි. ඒ  කියවන ඔබේ අදහස් ,මගේ ඉදිරි නිර්මාණ සරු කරන්න උදව් වෙන හින්දා. තදබල බ්ලොග් රසිකයකු වෙලා හිටපු මම මගේම කියලා බ්ලොග් එකක් පටන් ගත්තෙත් ඒ හින්දම තමයි.

කවි , කෙටි කතා කිහිපයක් ලියන්න  මම දරපු උත්සාහයන් මගේ බ්ලොග් පිටු අතරේ හැංගිලා තියෙනවා . පොත් විදිහට ඒවායින් එකතුවක් කරන්න කියලා කිහිපදෙනෙක්ම යෝජනා  කරත්,  මම තවමත් හිතන්නේ   මම කවිය, කෙටිකතාවේ  පාරවල් හොයනව කියලයි.  ඒ හින්දා මම ඒ සඳහා තව කල් ගන්නයි ඉන්නේ.

පාසල් යන කාලයේ  ජාතික රූපවාහිනියට  ළමා ගී ලිව්වට පස්සේ , ටොරොන්ටෝවේ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමට මම ගීත කිහිපයක් ලිව්වා. ඒවා කොච්චර දුරට සාර්ථක ද කියල දැනගන්න පුළුවන් කවුරුහරි කියන දේකින් තමයි. මම තාමත්  හිතන්නේ මම කෑදරකමින් නිර්මාණ රසවිදින රසිකයෙක්  කියලයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ,  සිංහල සංස්කෘතික හමුවේ , ලේඛක සංසදයේ වයාපෘතියක් විදිහට ,  ගී ලියමු ගේය පද සංචිතය කියලා  සිංහල බ්ලොග් එකක් තියෙනවා.  2021 දී මම ඊට මගේ පදවැල් කිහිපයක් යැව්වා . ඔවුන් ඉන් 3 ක් තෝරාගෙන ඔවුන්ගේ  බ්ලොග් අඩවියේ පළ කර තිබෙනවා.

හේමාල් ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් කටයුතු කරන කමිටුවක්  ඒ පද වැල් අධ්‍යනය කරනවා. ඒවා ගැන යෝජනා,  අදහස් ඉදිරිපත් කරනවා.  ඔවුන්ගේ තක්සේරුව  අනුව වෙනස් විය යුතු හැටි යෝජනා කරනවා . ඊට පස්සේ එකඟ වන පදවැල් ඔවුන්ගේ බ්ලොග් එකේ පළ කරනවා.

මටත් අමතක වෙලා තිබුණු වෙලාවක,  පහුගිය මාසයේ  මට ගී  ලියමු වෙතින් ිවිද්‍යුත්  ලිපියක් ලැබෙනවා .ඒ 2021 දී මගේ ප්‍රකාශයට පත් වූ ගීත වෙනුවෙන් යම් ඇගයීම් සහතික පතක් හිමිවෙලා කියලා . සහතික තෑගි නෙමෙයි මෙතනදි වැදගත් . නිර්මාණයකට කාගෙන් හරි ලැබෙන ඇගයීමයි වටින්නේ.  මේ සටහන තබන්නේ මව්බිමෙන් බැහැර වෙලා හිටියත් ඔවුන් සිංහල බසින් කෙරෙන නිර්මාණ වලට දක්වන දිරිය වෙනුවෙනුයි.  මාසෙකට සැරයක්  ප්‍රකාශයට පත්වන සිසිල සඟරාවත් මේ පිරිසගේ වැඩක්. ඒ ගැන මම මීට කලින් ලියා තිබෙනවා.  

https://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_30.html

ඒ උත්තේජනයත් එක්ක 2023 දී මම ආයෙමත් පදවැල් කිහිපයක් යැව්වා . ඒවා අතරින් 5 ක් මේ වනවිට පලවී තිබෙනවා . ඉදිරියේදීත් ඉඩ ලැබෙන පරිද්දෙන් ඔවුන්ට මගේ අතින් ලියැවෙන පදවැල් යවන්න හිතාගෙන ඉන්නවා .

සිංහල බ්ලොග් ලියන හිතවතුන්ටත් තමන්ගේ කවි , ගී පද වැල්  " ගී ලියමු " වෙත යවන්න කියලා විවෘත ආරාධනයක් කරන්න කැමතියි.  ඔබේ නිර්මාණ 

කියන විද්‍යුත් ලිපිනයට යවන්න. 

 මේ දිගුවෙන් ගී ලියමු බ්ලොග් අඩවියට ගිහින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

https://geeliyamu.blogspot.com/

මේ වනවිට ඔවුන් ප්‍රකාශයට පත්කර තිබෙන මගේ පදවැල් වල දිගු පහතින් සදහන් කරන්නේ ඉඩක් ලැබුණු වෙලාවක ඔබටත් ගොඩ වැදී බලන්නයි.


හීනවලට පාට දෙන්න

https://geeliyamu.blogspot.com/2021/10/blog-post_19.html

ලැවන්ඩරා මල් සුවඳේ

https://geeliyamu.blogspot.com/2021/10/blog-post_28.html

දෙවැට දිගේ 

https://geeliyamu.blogspot.com/2022/11/blog-post.html

ඉඩක් ලද ඇසිල්ලෙක

https://geeliyamu.blogspot.com/2023/11/blog-post_28.html

තරු අහුරු මල් පිපුණු

https://geeliyamu.blogspot.com/2023/11/blog-post_91.html

එදා වෙලේ අතවනාපු


ගෙදර වත්තේ


මංකඩ ළඟ වළිකුකුලන්

https://geeliyamu.blogspot.com/2023/12/blog-post_10.html

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.