මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 30, 2023

චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?.

 




ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ  විශේෂ හැකියාව එන්නේ කථා අන්තර් ගතය සංස්කරණය කල රූප රාමු එක්ක කදිමට සීරු මාරුවට ගලපලයි. අපේ හිතට සැනෙකින් එන ඒ ඒ මතක වලින් ලෝකෙ වටේ  යන්නට පුළුවන් වගේ චිත්‍රපට නිර්මාණ කණ්ඩායම කරන ඒ වික්‍රම කොච්චර හොදින් ඇමිණුනාද කියල බලන්න පුළුවන් වෙන්නෙ ඒවා තියන බොක්ස් ඔෆිස් වාර්තා අනුවයි.  









The Bucket list - (2007)


වියපත් පිරිමින් දෙදෙනෙකු වුනු මෝටර් කාර්මික කාටර් සහ බිලියනපති එඩ්වඩ්ට එකිනෙකා හමුවෙන්නෙ එඩ්වඩ් ගේම රෝහලේ ළය පිළිකාවට බෙහෙත් ගන්නට නේවාසිකව ඉන්න කොටයි. ඉතිහාසය පිළිබද මහාචාර්ය වරයෙක් වන්නට සිහින මැවූ තරුණ කාටර් ට මෝටර් කාර්මිකයෙක් වෙන්නට සිදුවන්නෙ ජීවිතයේ කලින්ම පවුල් වුනු හින්දයි. ඊට හාත්පසින්ම වෙනස්  එඩ්වඩ් හතර සැරයක්ම දික්කසාද වෙලා තෝමස් කියන සේවකයත් එක්ක ජීවත්වන සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර හිමිකරුවෙක්.


සෞඛ්‍ය තත්වය අනුව තවත් එක් අවුරුද්දක් විතරක් ජීවත් වෙන්න පුළුවන් කියන අනුමානයක ජීවත්වන කාටර් මැරෙන්නට කලින් කරන්නට කියල හිතාගෙන ලැයිස්තුවක් හදනවා, කපනවා  එඩ්වඩ්ට දකින්නට ලැබෙන්නේ අල්ලපු ඇදේ  හිටපු හින්දයි. ඒක දකින එඩ්වඩ් ඒකට තවත් දේවල් එකතුකරලා " හරි අපි ඒ ලැයිස්තුව කරමු. වියදම මම බලාගන්නම් " කියල කියනවා.කාටර් ගේ බිරිද වර්ජිනියා අකමැති වුණත් කාටර් සහ එඩ්වඩ් මේ ගමන යන්නෙ තෝමස් කියන සේවකයත් එක්කයි. ඔවුන් මුලින්ම Skydiving කරනවා. California Speedway  එකේ කාර් රේස් එකක් තියනවා. North Pole එක උඩින් යනවා. මිල අධික ප්‍රංශ හෝටලයක කෑම ගන්නවා. Taj mahal, Everest, African Safari  එකක් වගේම චීන මහා ප්‍රාකාරයේ මෝටර් සයිකලයකින් යනවා.  


මේ ගමන් අතරතුරේ කාටර් සහ එඩ්වඩ් ඔවුන්ගේ ජීවන තොරතුරු බෙදා ගන්නවා. කාටර් තමන්ගේ බිරිදට තියෙන ආදරය ගැන වගේම එඩ්වඩ් හොරෙන් පැනලා ගිය තමන්ගේ එකම දුව හින්ද තියෙන හිත් රිදීම ගැන කථා කරනවා. හොංකොන් වලදී ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ සේවය ලබා ගන්නට එඩ්වඩ් සුදානම් වෙද්දී තම බිරිද හැර වෙනත් කාන්තාවක් සමග කල් ගත නොකල කාටර් එය ප්‍රතික්ෂේප කරන්නේ මේ ගමන අතහැර දාල ගෙදර යමු කියලයි. ආපහු ගෙදර එන අතරතුර එඩ්වඩ් තමන්ගේ දුව එක්ක එකතු වෙන්න උත්සාහ කරනවා. කාටර් සතුටින් ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක සතුටු වෙද්දී එඩ්වඩ් තනියම විශාල මන්දිරයේ පාළුවෙන් ඉන්නවා.


ටික දවසකින් දැන ගන්නට ලැබෙන්නේ කාටර් ගේ පිළිකාව මොලේටත් පැතිරිලා කියලයි. ශල්‍යකර්මය කරද්දී කාටර් මිය යනවා. ඒ වෙනකොට එඩ්වඩ් ගේ දුව අමනාපකම් ඉවත දාල තාත්තා ගාවට එන්නේ තමන්ගේ චූටි දුව එක්කයි. ඒ හුරතල් දැරිය හාදුවක් දුන්නාම  එඩ්වඩ් Bucket list  එකේ තිබුණු " ලෝකයේ ලස්සනම ගැහැණු ළමයාගෙන් හාදුවක්"  කියන එක කපා දමනවා. කාටර් ගේ අවමංගල සභාවේදී සංවේදී කථාවක් කරන එඩ්වඩ් කියන්නේ ගෙවුණු පහුගිය මාස 3 ක කාලය තමන්ගේ ජීවිතයේ හොදම කාලය කියලයි.  තෝමස් කාටර් ගේ අළු බදුනත්  එක්ක එඩ්වඩ් කැමති කෝපි කුඩු වර්ගය සහ Bucket list  එක ටින් එකක දාල හිමාල කදු මුදුනේදී එය වීසි කරන්නේ ඒ ලැයිස්තුවේ තිබුණු " Witness something truly majestic " කියන අන්තිම අසම්පුර්ණ එකත් කපල අයින් කරලයි.  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Bucket_List

Trailer  යු ටියුබ් දිගුව  



The Buttefly's Dream - Turkish(2013) Original name - Kelebegin Ruyasi   


මේ චිත්‍රපටය පටන් ගන්නේ 1941 දී තුර්කියේ Zonguldak කියන කළු මුහුද ආශ්‍රිත ගල් අගුරු කර්මාන්තයට ප්‍රදේශයේ රාජ්‍ය සේවයට යන තරුණයින් දෙදෙනෙකුගෙන්. Muzaffar සහ .Rustu කියන මේ දෙන්නා කවියට, සාහිත්‍යයට බර කලාකාමී දෙන්නෙක්. යුරෝපය පුරා දෙවන ලෝක යුද්ධයත් එක්ක පැතිර යන විවිධ වෙනස්කම් අතරේ ඉන්නා ඔවුනට උවමනා වෙන්නෙ නිදහසේ සමනළයින් වගේ ඉගිල ගිහින් කවි ලියන්නයි. ක්ෂය රෝගයට ගොදුරුව පීඩා විදින ඔවුන් දෙදෙනාට ඒ ප්‍රදේශයට එන සුරූපී තරුණිය Susan දකින්නට ලැබෙනවා.



ඇය දිනාගන්නා අරමුණින් ඔවුන් දෙන්නා කවි ලියන්නේ ඔට්ටු අල්ලමින්. Rustu ගේ කවි වලට Susan කැමති වුණත් ඇගේ හිත දිනාගන්නේ  Muzaffer              . අසාධ්‍ය වෙලා Rustu රෝහල්ගත කරාම ඔහුට Mefiha කියන තරුණිය හමුවන්නෙත් රෝහලේදීමයි. අවසානයේදී  Rustu සහ Mediha ආදරයෙන් බැදෙනවා. මේ හතර දෙනාගේ ආදර අන්දරය ඔබට අපූරුවට රස විදින්න පුළුවන්.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Butterfly%27s_Dream_(2013_film)

Trailer  යු ටියුබ් දිගුව  




Swades - Hindi ( 2004)

NASA  ආයතනයේ විශේෂ ව්‍යාපෘතියක වැඩකරන මොහාන් ඇමෙරිකාවට ගියේ වැඩිදුර ඉගෙන ගන්නයි. මෝටර් රථ අනතුරකින් දෙමාපියන් අහිමිව ඉන්නා මොහාන්ව හදිසියේම තමන් කුඩා කල බලාගත් සේවිකාව කාවේරි අම්මා ව බලන්න හිතෙනවා. RV එකක් අරගෙන මේ වෙනකොට උත්තර ප්‍රදේශ් වල ඉන්නා කාවේරි අම්මා බලන්න යනකොට ඇය ඉන්නේ ඔහුගේ කුඩා කාලයේ හිතවතියක වුනු ගීතා ගාවයි. කුලය සහ ආගමික අදහස් හින්ද පහත් යැයි සම්මත ජන කොටස් ජීවත්වන ගමේ දරුවන්ගේ ජීවන තත්වය උසස් කරන්නට මහන්සි වෙන ගීතා හිතන්නේ මොහාන් ආවේ කාවේරි අම්මා ඇමෙරිකාවට ගෙනියන්න කියලයි.

කාවේරි අම්මා මොහාන්ට කියන්නේ තමන්ව ඇමෙරිකාවට ගෙනියන්න ඕන නම් ගීත ව කසාද බැදලා ඇයත් එක්කගෙන යන්න ඕන කියලයි . උපායශීලී විදිහට ගීතාව මොහාන් ට ලං කරවන ගමනක් කාවේරි අම්මා සංවිධානය කරනවා. ඒ ගමනේදී ජනතාව විදින දුක දකින මොහාන් තමන්ගේ නිවාඩුව දික් කරගෙන ඒ ගැමියන්ගේ විදුලි බල ප්‍රශ්නයට විසදුමක් විදිහට ජල විදුලි බලාගාරයක් හදනවා.   

ඒ වැඩවලදී හිතවත් වන ගමේ නායකයා Dadaji  ගේ මරණයත් , කාවේරි අම්මා සහ ගීතා ඉන්දියාවේ නවතින්න කියලා කරන ඇවටිල්ලත් එක්ක මොහාන්ගේ සිතුවිලි පොර බදනවා. ආපහු ඇමෙරිකාවට ගිහින් තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරන මොහාන් ආපහු ඉන්දියාවට එන්නේ NASA  එකට සම්බන්ධ Vikram Sarabhai Space Centre එකේ වැඩ කරන්නයි.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Swades

Trailer  යු ටියුබ් දිගුව  


   

Gemma Bovery - French ( 2014)


Gustave Flaubert  කියල කියන්නේ ප්‍රංශයේ හිටපු දක්ෂ නවකතා කරුවෙක්. ඔහු ලියූ Madame Bovary නවකතාව බොහෝ විවාදයට ලක්වුණු එකක්. මාටින් කියල කියන්නේ Normandy  ගමේ ඉන්නා බේකරි හිමියෙක්. ඒ වගේම Madame Bovary කථාවට වශීවෙලා ඉන්නා කෙනෙක්. මාටින්ගේ ගමට තරුණ යුවලක් පදිංචියට එන්නේ ඔහුගේ ගෙදර ගාවම පැරණි ගෙයක් මිලට අරගෙන. සරාගී පෙනුමක් තියෙන තරුණ කාන්තාවගේ නම Gemma Bovary, සැමියා Charles. ඒ කාන්තාව දකින වාරයක් වාරයක් ගානෙම මාටින් නවකතාවේ කාන්තා චරිතය ඇසුරින් සිතුවිලි මවාගෙන ඇය ගැන විමසිල්ලෙන් ඉන්නා හැටි ඔබට බලන්නට පුළුවන්.


බේකරියේ වැඩ කියාදෙන ගමන් , ගමේ ඇවිදයන වෙලාවක අහම්බෙන් හමුවුණාම කෘමි සතෙක් විදපු වෙලාවේදී ඇයව අතපත ගාන මාටින් සොරාගන්නා ඇගේ දිනපොත ඇසුරින් ඇගේ තවත් සම්බන්ධකම් ගැන හොයන්නට පටන් ගන්නවා. ගෙමා සහ ගමේ ඉන්නා කරච් නම් තරුණයාගේ සම්බන්ධය පස්සේ යන ඔහු ඔවුන් කරන කියන දේ හොරෙන් බලන්න පුරුදු වෙනවා. මේ අතරේ චාල්ස් වැඩකට ලන්ඩන් ගිහින් ඉන්නකොට ඇගේ පරණ පෙම්වතා ගෙදරට එනවා. චාල්ස්  එනකොට ගෙමා මැරිලා. හේතුව පාන් හිරවෙලාලු. කතාව ඉවර වෙනකම් බැලුවොත් ඔබට ඒ ගැන හොයාගන්න පුළුවන්.    


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Gemma_Bovery_(film)

Trailer  යු ටියුබ් දිගුව   






Palthu Janwar - Malayalam  (2022)   

  

  පශු පරීක්ෂකවරයෙකු විදිහට ආණ්ඩුවේ රස්සාවක් අරගෙන ඈත ගමකට යනවා. වැඩට ගිය මුල්ම දවසේම ගම් සභාවේ නියෝජිතයා එක්ක ඔහු රණ්ඩු වෙන්නේ ගව මඩුවක් සම්බන්ධයෙන්. පශු වෛද්‍ය සුනිල් ඔහු එක්ක එකතු වෙලා මුදල් හොයන ක්‍රමයක් ගැන කියද්දී ඒකට කැමති නොවුණු හින්ද ඉන්නේ එච්චර හොද හිතකින් නෙවෙයි. සෞඛ්‍යය තත්වය හොද නැති හින්ද සුනිල් රස්සාවෙන් අයින් වෙලා ගියාම ඔවුන්ගේ ප්‍රදේශය ආවරණය කරන්නේ වෙනත් කලාපයක වැඩ කරන  පශු වෛද්‍යවරයෙක් හින්ද ප්‍රසුන් ට වැඩිපුර වැඩත් ගොඩගැහෙනවා. 


ගමේ පල්ලියේ හොරකමක් ගැන හොයන්න ආපු පොලිස් බල්ලා වැරදි මාත්‍රාවක් බෙහෙත් එන්නත් කිරීම හින්ද මැරෙනවා. දැන් ප්‍රසුන්ගේ රස්සාව අනතුරේ හින්ද ඔහු හිතන් ඉන්නේ මේක දාලා යන්නයි. ඩේවිස් කියල මනුස්සයෙක් රෝහලට දුවගෙන එන්නේ මේ අතරේ. මොලිකුට්ටි කියන එයාගෙ පැටියෙක් ලැබෙන්න හිටපු එළදෙන කන්දෙන් පහලට වැටිලා ගමේ ගොඩ වෙදකම් වලින් පලක් නැතුවයි ඉන්නෙ. ප්‍රසුන් ට වැඩේ තේරෙනවා. එළදෙන කන්දෙ හංගලා තිබ්බ අරක්කු වගයක් බීලා. බේකින් සෝඩා දීලා ඇයව සුවපත් කරන්නේ ඔහුගේ ගෑණු ළමයා Stephy එක්කයි.  එළදෙන සුවපත් වෙනවා. ඒත් වතුර බෑග් එක කැඩිලා හින්දා ඇගේ දරු ප්‍රසූතිය අනතුරුදායක වෙනවා. ගමේ මිනිස්සු පුදුමයට පත් කරවමින්  ප්‍රසුන් එළදෙනත් පැටියාත් බේරා ගන්නවා.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Palthu_Janwar

Trailer  යු ටියුබ් දිගුව  


අනුරුද්ධ වැලිගමගේ     


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

   

Sunday, September 24, 2023

පැයක් පුරා හුටප්පරේ බැලුවෙමි.

 

" හුටප්පරේ " අපූරු නමක්. ජීවිතය ගෙවනකොට අපි හැමෝටම එක එක හුටප්පර අත්දකින්නට ලැබෙනවා. ඒ හුටප්පර විකුණගෙන ගෙන කන එක මාධ්‍යවේදීන් කියල කියාගන්නා සමහරු කරන්නේ කිසිම හිරිකිතයක් නැතුවයි. දඩබ්බර නාලිකාවේ අධ්‍යක්ෂක වංශානන්ද , නිවේදිකා පබා සහ බූම් මල්ලී පැටී කරන්නේ මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න වලට හොම්බ දදා ලයිව් කරන එකයි.ඔවුන්ගේ සජීවී වැඩසටහන් වලට නිතර හසුවන පවුල් 2 ක සහ තනිකඩයෙක් ගේ කතන්දරය 2023 සැප්තැම්බර් 23 වැනිදා රෑ පැයක් පුරා බැලුවේ හරිම ආසාවෙන්.  


 මේ පුංචි සටහන ලිව්වෙ ටොරොන්ටෝ මහා විහාර බිමේදී දකින්නට ලැබුණු එළිමහන් නාට්‍ය දර්ශනයක අත්දැකීම ගැන කියන්නයි. වැඩි විස්තර ඔබට ඉදිරි කාලයේදී රූපණ අන්තර්ජාල රූපවාහිනිය ඇතුළු අපේ ප්‍රජා ජනමාධ්‍යය තුලින් දැනගන්නට පුළුවන්.   



වැඩිහිටි ප්‍රජාවට වගේම පොදුවේ කැනේඩියානුවන්ට අත්දකින්නට ලැබෙන දුරකථන, පරිගණක හරහා එන බිය වැද්දීම්, තර්ජන ගෙවල් වලට බලෙන්ම ඇතුළුවෙලා අත්සන් අරගෙන කරන හොර වෙළද ජාවාරම්  වගේම ජනප්‍රිය සංස්කෘතිය සහ වෙනස්වන ජීවන පරිසරයේදී අයාලේ යන දරුවන් අතරේ අපේකම හොයා යන අපූරු ගමනක් මේ පැය පුරා ගලාගියේ ඇස් පිල්ලම් ගහන්නටවත් නොහිතෙන තරම් සීරු මාරුවටයි.  



  භාෂාව , සාහිත්‍යයයේ තියෙන වටිනාකමත්, වියපත් නොවන ආදරයේ මිහිරියාවත් අතරේ මේ රටේදී සමහරු උජාරුවෙන් වැලදගත් නොවටිනා දේවල් වල තියෙන හරසුන් බවට එල්ල වුනු උපහාස රැල්ල හරිම සන්සුන් වගේම කාලෝචිත එකක්. ඉතා කෙටි කලකින් , වේදිකාව නුපුරුදු බහුතර පිරිසක් සහභාගී කරගෙන කාර්යබහුල සන්ධ්‍යාවන් කිහිපයක කෙටි පුහුණුවකින් පස්සෙ ඉතා විශිෂ්ට නිර්මාණයක් අවසානයේදී තිලිණ කලේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක බන්දුල කුරුවිටආරච්චි මහතා විසිනුයි. ශ්‍රී ලංකාවේදීත් නාට්‍ය,ටෙලිනාට්‍ය, කෙටිකථා,කවි වැනි අංශ රැසකින් දස්කම් දැක්වූ එතුමා දිගු කලකින් නාට්‍යයක් බලන්නට නොලැබුණු අපට දුන් අගනා තිළිණයක් විදිහට මෙය අගයන්න පුළුවන් වෙන්නේ සිංහල භාෂාව නිතර කථා නොකරන පරිසරයක මනා සංවිධාන ශක්තියකින් , ජනප්‍රිය ධාරාවෙන් පොදු ප්‍රේක්ෂක කුලකයකට ඒ හරහා කල අපූරු සන්නිවේදනය හින්දයි.          


සරණතිස්ස, කමලාංගනී, ෂෝන්, රූසරි පවුලත්, ඩග්ලස්, තරංගනී,තුමිදු  සිටිනා පවුලත්, බුද්ධික නම් තනිකඩයාත් හරහා ඉදිරියට ඇදුනු කතාවේ අපූරු සංගීතය නිර්මාණය කලේ දිනිත විතානගේ . විශාරද හසන්තිකා කොඩිතුවක්කු, මංජුලා වික්‍රමරත්න, උපාලි රණසිංහ, දිනිත විතානගේ , සංජීව අබේරත්න ගේ හඩින් මෙහි ගීත හැඩවී තිබුනා. මේ නාට්‍යයේ රගපෑ සහ දායක වූ සියළු දෙනාටත්, මේ නාට්‍යය සංවිධානය කල ටොරොන්ටෝ මහා විහාරයට අනුබද්ධ රුක් සෙවන සංස්කෘතික සංගමයටත්  ප්‍රේක්ෂකයෙකු හැටියට මගේ ස්තුතිය සටහන් කරන්නට කැමතියි.

අනුරුද්ධ වැලිගමගේ    

සේයාරූ - මංජුලා වික්‍රමරත්න         
    


මේ නාට්‍යයට දායක වූ පිරිසේ විස්තර මේ මුහුණු පොත් දිගුවෙන් බලන්නට පුළුවන්. 

https://www.facebook.com/100013771119335/videos/852355066489476/

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

Saturday, September 16, 2023

Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?

කැනේඩියානු සංචාරයක මතකය 


 Sault Ste Marie නගරයට සංචාරය සදහා එන අය බලන්න යන ප්‍රධාන සංචාරක ආකර්ශන 2 ක් තියෙනවා. ඉන් පළමුවැන්න Agawa Canyon දුම්රිය චාරිකාවයි.   




Agawa Canyon Tour Train

අතීතයේදී මේ ජනශුනය ප්‍රදේශය තුල තිබුණු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වුනේ දැව සහ යපස් කර්මාන්තයයි. ඒවා ලබාගන්නා තැන ඉදන් වරායට ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය වුනු පෞද්ගලික දුම්රිය මාර්ගය පසුකාලීනව CN Rail මගින් ක්‍රියාත්මක වුනු මගී ප්‍රවාහන මාර්ගයක් වුනා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන ඉවත්වීමත් එක්ක වසා දමන්නට නියමිතව තිබුණු ඒ සේවාව මේ වනවිට ජනප්‍රිය සංචාරක දුම්රියක් බවට පත්ව තිබෙනවා. 

සෑම වසරකම අගෝස්තු මාසයේ පටන් ඔක්තෝබර් දක්වා ක්‍රියාත්මක වන මේ සංචාරක දුම්රිය සදහා යොදා ගැනෙන්නේ එසේ වසා දමන්නට නියමිතව තිබුණු දුම්රිය සේවාවේ තිබුණු සංරක්ෂණය කල සම්පත්. හැල්මේ දුවන ලෝකයෙන් මිදිලා කලබලයක් නැති  දවසක අපූරු අත්දැකීමක් ගෙන එන එක මේ සේවයේ ව්‍යාපාරික අරමුණ. සැප්තැම්බර් මාසෙ අග ඉදන් ඔක්තෝබර් මාසෙ මැද වෙනකම් ගස්වල කොල රතු, තැබිලි, කහ පාටින් දිලෙන කාලයට මේ කලාපයේ අසිරිය බලන්න විශාල පිරිසක් ඇදිලා එන හින්ද අන්තර්ජාලයට ගිහින් කලින්ම ටිකට් වෙන්කරවා ගන්න එක හොදයි.

දවසේ දුම්රිය ගමන පටන් ගන්නේ උදේ 8 ට. ඒ හින්ද නවාතැනින් පිටත් වෙලා පැය භාගයකට කලින් එතැනට ගිහින් ඉන්න එක හොදයි. යාබද රථගාලේ වාහනය නවත්වලා Canal Street  එකේ තියෙන ප්‍රතිනිර්මාණය කල දුම්රිය ස්ථානයට ගියාම ඒක බලන්න ලස්සනයි. 2020 වසරේදී ගෘහ නිර්මාණ ශිල්පය හින්ද සම්මානයට පාත්‍ර වුනු මේ ගොඩනැගිල්ල හරියට කලාගාරයක් වගේ. ස්වදේශික චිත්‍ර ශිල්පී John Laford ගේ බිත්ති චිත්‍රයක්( Wall Mural ) වගේම ස්වදේශික චිත්‍ර ශිල්පී Thomas Sinclair ගේ බිම් චිත්‍රයකුත් ( Floor Mural ) එතැනදී දකින්නට පුළුවන්. එහි සමරු වෙළදසැල ( Gift shop) වගේම භෝජනාගාරය හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ඔබ දුම්රිය ලෝලියෙකු නම් එළිමහනේ නවතා තිබෙන දුම්රිය ගැල් අතරේ තිබෙන ACR 10557 BoXcar  ඔබට අපූරු ඉතිහාස කතාවක් කියාවි. 







1918 දී Lawren Harris, J.E.H MacDonald, Frank Johnston කියන චිත්‍ර ශිල්පීන් තුන් දෙනා අල්ගෝමා ප්‍රදේශයට ගිය චිත්‍ර සංචාරයෙන් පස්සෙ ඒ පරිසරයට පිස්සු වැටිලයි හිටියෙ. ඒ කාලයේ ඒ ප්‍රදේශයට යන්න තිබුණු එකම මාර්ගය වුනේ අල්ගෝමා දුම්රිය මාර්ගය විතරයි. දුම්රිය සමාගමට කථා කරලා Boxcar  එකක් කාලෙකට කුලියට ගන්න ඔවුන්ට පුළුවන් වුනා. සුදුපාට ACR 10557 රතුපාටින් පාට කරපු ඔවුන් එයට ඇද , මේස,පුටු , කුඩා ලිපක් එකතු කරලා පොඩි නවාතැනක් හදාගත්තා. පොඩි Canoe එකක් වගේම රේල් පාරේ කුඩා දුරක් යන්නට පුළුවන්  Handcar එකකුත් ඒකට ඇදා ගත්තා.  පස්සෙ කාලෙක ජනප්‍රිය වුනු Goup of Seven  චිත්‍ර එකතුව බිහිවුනේ එහෙමයි. අද ඔබට දකින්නට ලැබෙන්නේ   Painted Land: In Search of the Group of Seven කියන වාර්තා චිත්‍රපටය සදහා ප්‍රතිනිර්මාණය කල දුම්රිය ගැලයි.  

ඩීසල් දුම්රිය එන්ජින් 3 කින් හෝ 4 කින් බලය සපයන මේ දුම්රියට භෝජන රථ ඇතුළුව මැදිරි 14 ක් ඇතුලත් වෙනවා. ඒ මැදිරි නම් කරලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තිබෙන විල් සහ ගංගා වල නම් වලින්. මේ දුම්රිය එන්ජින් සහ මැදිරි කලක් තිස්සේ පාවිච්චි  කල සම්පත් සංරක්ෂණය කල ඒවා.  අළුත්ම ඒවා යොදවන්නට ඕනෑ තරම් ඉඩ තිබියදී යලි යලිත් ඒවා යොදා ගනිමින් කරන පරිසර පාඩම හින්ද ඒවා තවත් වටිනවා.

සැතපුම් 114 ක් ( කිලෝමීටර 183.5 ක් ) දුරක් ගෙවා යන මේ දුම්රිය චාරිකාව යන්නේ ජනශුනය දුම්රිය මගින් පමණක් යා හැකි කැලෑ ප්‍රදේශයක් හරහා. සුපිරියර් විල ආශ්‍රිත        Canadian Shield කලාපයේ විවිධ භූ විෂමතා ලක්ෂණ දරන කලාපය හරහා ඔබට පරිසරය විදින්නට ඉඩ සලසමින් අඩු වේගයකින් යන දුම්රියට ඒ දුර ගෙවන්න පැය 4 ක් විතර යනවා. Group of Seven  සිත්තරුන් තමන්ගේ නිර්මාණ රැසකට පාදක කරගත් ඉසව්වක තනා තිබෙන Agawa Canyon Park  නැවතුම එහි ගමනාන්තය වෙනවා. ඒ නැවතුමේ දුම්රිය විනාඩි 90 කට නවතා තැබෙනවා. එදා සිත්තරුන් දුටු අසිරිය අද දවසේ ඔබට කැමරා හෝ ජංගම දුරකථන කාච වලට එකතු කර ගන්නත් , ඒ මගේ තිබෙන ගංගා, දියඇලි අසිරිය විදින්නත් ඔබට පුළුවන්. දුම්රිය නවතා තැබෙන උද්‍යානයේ කෙටි ඇවිදින මංපෙත් හරහා ගිහින් ඔබට Black Beaver Falls සහ Bridalveil Falls   කියන දියඇලි බලන්න පුළුවන්. ඒ උද්‍යානය Picnic Facilities  තියෙන තැනක් හින්ද ඇවිදින්නට අකමැති නම් ඔබට විවේකයෙන් ඉදගෙන පරිසරය රස විදින්නත් පුළුවන්.   

ඒ විවේකයට පස්සෙ දුම්රිය ආපහු එන්න පටන් ගන්නවා. දුම්රිය නැවත ගමන පටන් ගත් දුම්රිය පලට එන්නෙ සවස 5.30 ට විතර . දවසේ උදේ , දහවල් සහ සවස් කාලයේදී කැනඩියානු පරිසර පද්ධතියක විවිධත්වය මේ ගමනේදී ඔබට අත්විදින්නට පුළුවන්. ලංකාවේ දුම්රිය සේවයටත්, සංචාරක අංශවලටත් මේ වගේ දේවල් කරන්න පුළුවන් නේද කියලත් හිතුනා. ඔබේ කැමැත්ත අනුව ඉංග්‍රීසි, ප්‍රංශ , ජර්මන් , ජපන් ,කොරියන් සහ චීන භාෂාවලින් කරන විස්තර කථන මා මෙහි ලියූ දේටත් වඩා වැඩි විස්තර ඔබට ලබා දෙනවා. පහසුවෙන් කල හැකි වුණත්  Wifi   පහසුකම් දෙන්න දුම්රිය සංවිධායකයින් උත්සාහ නොගෙන ඉන්නේ බාධාවකින් තොරව නිදහසේ පරිසරය විදින්න ඉඩ දෙන්නයි.  



Robertson Cliffs    

Sault Ste Marie ඉදන් පැය බාගෙක විතර දුරින් තියෙන මේ කදු මුදුන ඇවිදින්නට වටිනා ලස්සන තැනක්. රථගාලේ වාහනය නවත්වලා විනාඩි 45 ඉදන් පැය 2 ක තරමේ කාලයක් ඇවිදින්නට පුළුවන් ඇවිදින මංපෙත් ( Walking Trails) කිහිපයක්ම මෙතැන තියෙනවා.Goulais  ගඟ සහ සුපිරීයර් විල ඇතුළු ලස්සන පරිසර පද්ධතියක් මේ ගමනේදී ඔබට දකින්නට පුළුවන්. බටහිර සහ නැගෙනහිර (Western & Eastern Lookouts) වලදී ඔබට දකින්නට ලැබෙන දසුන් ඔබව ප්‍රබෝධවත් කරාවි. වැඩි විස්තර ඔබට Algoma Highlands Conservancy  වලින් ලබාගන්නට පුළුවන්.    

Ermatinger Clergue National Historic Site   

1812 දී එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති වර්තමාන කැනේඩියානු බිම් ප්‍රදේශවලට ඇමෙරිකාව එල්ල කල දරුණු ප්‍රහාරයට ලක්වුණු ප්‍රමුඛ ප්‍රදේශයක් විදිහට මේ කලාපය හැදින්වෙනවා. ඇමෙරිකානු දේශ සීමාව බොහෝ කිට්ටුවෙන් තිබීම ඊට හේතුවෙන්නත් ඇති.

2023 සැප්තැම්බර් 20 සිට 23 දවස්වලදී ඔබ මේ ප්‍රදේශයට යනවා නම් වාර්ෂිකව  සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Fall Rendezvous  උත්සවය බලන්නට අමතක කරන්නට එපා. ප්‍රංශ බස කථාකරන පිරිස් සහ ස්වදේශික පිරිස් ඉදිරිපත් කරන විවිධ ඉදිරිපත් කිරීම් ඇතුළුව 1800 කාලයේ කදවුරු ලාගෙන සිටි බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ගේ ක්‍රියාකාරකම් නිරූපණය කරන්නට විවිධ පිරිස් දායකත්වය දක්වනවා. ගවේෂකයින්ගේ අත්දැකීම් , කාලතුවක්කු වෙඩිමුර ඇතුළු වැඩසටහන් පෙලේ වැඩි විස්තර ඔබට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. 


ඊලග දවසේ අපි ගියේ Canadian Bushplane Museum.සහ Sault Locks  බලන්නයි. ඒ ගැන විස්තර ඊළග මාසයේදී බලාපොරොත්තු වන්න.  

අනුරුද්ධ වැලිගමගේ    

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.