මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label කැනඩා උරුම. Show all posts
Showing posts with label කැනඩා උරුම. Show all posts

Saturday, November 29, 2025

Pier 21 - කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය






කැනඩාව කියන්නේ සංක්‍රමණිකයන්ගෙන් පිරුණු රටක්. ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත බල ප්‍රදේශ ලෙස පැවැති බිම් කොටස් 1867 දී කැනඩාව නම් වූ රාජ්‍යයක් ලෙස සකස වුනු පසුවත් අද මේ අප දකින රට බිහිවන්නට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල වශයෙන් දායක වී තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දෙනා ආවෙත් ආවේ යුරෝපයෙන් නැව් මගින් අත්ලාන්තික් සාගරය තරණය කරමිනුයි.




හැලිෆැක්ස් වරාය හරහා කැනඩාවට පිවිසෙන සංක්‍රමණයකින්ගේ කටයුතු පහසු කරනු පිණිස කැනඩා රජය විසින් හැලිෆැක්ස් වරායේ 21 වන ජැටිය ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවේ 1928 වසරේ දී. ඒ හරහා නැව් මගින් එන මගීන් සේම ඔවුනගේ බඩු බාහිරාදිය ගොඩබෑම ක්‍රමවත්ව සිදු කරන්නටත් එවක ප්‍රධාන ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යය වූ දුම්රිය භාවිතයෙන් ඔවුන් යන්නට බලාපොරොත්තු වූ කැනඩාවේ ඈත ගමනාන්තයට යවන්නටත්, නීතිමය වශයෙන් ඉතා වැදගත් ආගමන කටයුතු නිසි ලෙස සිදුකරන්නටත් , රේගු කටයුතු වෙනුවෙනුත් පරිශ්‍ර ඉදි කෙරුණා. රැකියාව හෝ සංක්‍රමණ සම්බන්ධය තහවුරු කෙරෙන තුරු තාවකාලික රඳවා තබා ගැනීම් කරන්නටත්, එකල අත් අකුරින්  භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් පිරවෙන පෝරම බහුල ලේඛන කටයුතු සඳහා ගතවෙන කාලයේදී කුඩා දරුවන් බලා ගැනීමට මෙන්ම දුම්රියෙන් දින කිහිපයක් ගමන් ගන්නා කාලයේදී කෑම පිසීමට අවශ්‍ය බඩු මිලදී ගන්නට කුඩා වෙළද සැලක් සේම මේ පරිශ්‍රයේ සිටිනා කාලය තුළ ආහාර ලබාගන්නට අවශ්‍ය පහසුකම් වලින් මේ සංකීර්ණය පිරී තිබුණා. 




දෙවන ලෝක යුධ සමය අවසන් වූ සැනින් ජනගහණය අධික ලෙස වර්ධනය වුවත් ( Baby boomers) , ඉන් පසුව එලෙස ජනගහණය වර්ධනය නොවීම නිසා කැනඩාවට අවශ්‍ය අන්දමින් රටේ ශ්‍රම බලකාය වර්ධනය  වුනේ නැහැ. වැඩිවන  විශ්‍රාමික පිරිසට දීමනා ලබාදීම සහ රටේ එදිනෙදා ව්‍යාපාර සහ සේවා පවත්වා ගෙන යාමට කැනඩාවට වැඩි වැඩියෙන් පිරිස් අවශ්‍ය වුනා. එයට විසදුමක් ලෙස යුරෝපයට පමණක් නොව ලෝකයේ අනෙකුත් මහද්වීපවල සිටින පිරිස් සඳහාත් කැනඩාවේ සංක්‍රමණික ඉඩකඩ විවෘත වීම නිසා ලෝකයේ නන් දෙසින් පැමිණි  පිරිස් වාණිජ ගුවන් යානා මගින් පැමිණිමත් නිසා 1971 දී මේ පරිශ්‍රය වසා දැමුණා.




කැනඩාවේ දෙකොන යා කළ කැනීඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය දෙපස ප්‍රෙයරි  තණබිමේ සරුසාර ඉඩම් සංවර්ධනය සඳහා , 1940- 50  කාල සීමාව තුළ දෙවන ලෝක යුද්ධයෙන් පීඩා විඳි පිරිස්, දෙවන ලෝක  යුද්ධයට කැනඩාවෙන් යුරෝපයට ගිය සෙබළුන්ට දාව උපන් දරුවන් සමග පැමිණි යුධ බිරියන්

( War Brides)  නිසාත් මේ පරිශ්‍රය කැනඩා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.


1971 සිට 1997 දක්වා  විවිධ නාවික පුහුණු කටයුතු සඳහා භාවිත වූ මේ පරිශ්‍රය 1997 දී National historic site එකක්  බවටත්, 2009  දී හැලිෆැක්ස් වරාය පාලනාධිකාරිය සමඟ එක්වී කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය ලෙසත් සකස් කෙරුනා . මෙය කැනඩාවේ තිබෙන ජාතික කෞතුකාගාර නමයෙන් එකක් වගේම කැනඩාවේ අග නගරය වන ඔටවා නුවරින් පිටත පිහිටුවා තිබෙන ජාතික කෞතුකාගාර දෙකින් එකක්,



කැනඩාවේ සංක්‍රමණික ක්‍රියාවලියේ සම්පූර්ණ කතන්දරය මේ කෞතුකාගාරයේදී ඔබට මැනවින් වටහා ගන්නට පහසු ආකාරයට මෙම කෞතුකාගාරය මනාව නිර්මාණය කර තිබෙනවා. පැයෙන් පැයට ක්‍රියාත්මක වන ගයිඩ් ටුවර් එකට එකතු වුණොත් ඔබට එහි  තොරතුරු සජීවි අන්දමින් විස්තර කරන්නට එහි මග පෙන්වන්නන් කටයුතු කරනවා.  භාවිතයෙන් ඉවත් කළ CN - Canadian National මගී දුම්රිය ගැල්  දෙකක් ඇතුලට වන්නටත්  පිටතට පෙනෙන පරිදිත් පිහිටුවා තිබෙනවා. ඒ  ඇසුරින් එදා සංක්‍රමණිකයන්ගේ කැනඩාව ඇතුළත දුම්රියෙන් ගමන් කළ හැටි ගැන ඔබට සම්පූර්ණ අවබෝධයක් ගන්නටත්  පුළුවන්.


 විසිඑක්වන ජැටිය අදත් හැලිෆැක්ස් වරාය භාවිතා කරනවා. අද එය භාවිතා වන්නේ සංචාරකයින් ගමන් කරන Cruise Ships සඳහා.





21  වන ජටිය සකස් කරන්නට පෙර කැනඩාවට මිනිසුන් සංක්‍රමණය වූ හැටි, හැලිෆැක්ස් වරාය එහිදී මූලික වුණේ ඇයි ?. කැනඩාවට ඇතුළුවන්නට සංක්‍රමණික පිරිස් මේ යොදාගත්තේ කොහොමද ?  අත්ලාන්තික් සාගරය හරහා සති දෙකක තුනක ගමන කොයි වගේ එකක්ද? නැව්වල කුටි සහ සැකැස්ම ,  කැනඩාවට පැමිණි පසු මේ පරිශ්‍රයේදී  සිදුවූ ක්‍රියාවලිය, සංක්‍රමණික රෝහල, කැනේඩියානු පුරවැසියෙකුට එහෙමත් නැත්නම් ස්ථිර පදිංචිකරුවෙකුට  21 වන ජැටිය වැදගත් වන්නේ කොහොමද ? , නැවෙන් ගොඩ බට පිරිස් සිය වාරය  එනතුරු රැඳී සිටි ශාලාවේ තොරතුරු , මගීන් එකිනෙකා ගෙනා විවිධ වර්ගයේ බඩු භාණ්ඩ සහ ගමන්මළු , කැනඩාවේ  විවිධ සංක්‍රමණික රැළි,  21 වැනි ජැටියේ මතක සොයාරූ එකතු, මේ  පරිශ්‍රයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයින්ගේ නිල ඇඳුම්,  මෙහි සේවයේ යෙදුණු ස්වේච්ඡා පිරිස ගැන පූර්ණ අවබෝධයක් ඔබට මේ කෞතුකාගාර සංචාරයකදී දැනගන්නට පුළුවන්.







මේ  කෞතුකාගාරයේම පහත මාලයේ  පිහිටුවා තිබෙන SFHC - Scotiabank Family History Centre  ආයතනය මගින් ඔබේ මුතුන් මිත්තන්  මේ පරිශ්‍රය හරහා කැනඩාවට පැමිණ ඇත්නම් ඇත්නම්,  ඔවුන් කැනඩාවට පැමිණි යාත්‍රාව සහ නැංගුරම් ලද දිනය, ඔවුන්  ගමන් ගත් දුම්රිය, පදිංචිය පිණිස  ගියේ කුමන ප්‍රදේශයකටද, සමහර විට  ජීවත් වූ ප්‍රදේශයේ තොරතුරු  දැනගන්නටත් පුළුවන්. ඊට අමතරව  මේ විෂය පිළිබඳ පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වන පරිශීලන ග්‍රන්ථ සහ තොරතුරු එකතු රැසක් මෙහි තිබෙනවා.  


අනුරුද්ධ වැලිගමගේ




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


Saturday, August 30, 2025

කැනඩාවෙ දැව කර්මාන්තයේ විකාශනය බලන්නට අපූරුම තැන Algonquin Logging Museum

 



කැනඩාවේ දැව නිෂ්පාදනයේ  ප්‍රමුඛයෙන් වන්නේ බ්‍රිටිෂ් කොලම්බියාව සහ කුවිබෙක් පලාත්.  ඒත් 1808 දී නැපෝලියන් බොනපාට් බ්‍රිතාන්‍යය නාවික කර්මාන්තයට අවශ්‍ය දැව සැපයුම් මාර්ග අවහිර කිරීම නිසා පයින් දැව ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් යොමුවුණේ කැනඩාවේ  ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන්  ප්‍රදේශයටයි.




මිනිස්  ශ්‍රමයෙන් බිම හෙළුණු සුදු පයින් ගස් අශ්වයින් භාවිතයෙන් හිම දිගේ ඇදගෙන ගිහින් විවිධ ජල මාර්ග හරහා ශාන්ත ලෝරන්ස් ගඟ වෙත රැගෙන ඒම තමයි පළමු කාරණාව වුණේ.  ඊට පස්සෙ ඒවා යුරෝපයට යැවුනේ මොන්ට්‍රියල් වරායෙන් නැව්වලට පටවලයි.  පසුකාලීනව අශ්වයෙන් වෙනුවට විවිධ යන්ත්‍රෝපකරණ සහ ජල මාර්ග හරහා ප්‍රවාහනය වෙනුවට මොන්ට්‍රියල් වරාය දක්වාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා වගේම ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය දැව සැපයුම වුනේ දුම්රිය මගින් පංච මහා විල් ආශ්‍රිතව තිබුණු වරායන් වෙත දැව  ප්‍රවාහනය කිරීමෙන්.




1800 ගණන්වල පටන් මේ දක්වා දැව කර්මාන්තයේ විකාශනය බලන්නට පුළුවන් අපූරු තැනක් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන්  පළාත් උද්‍යානය තුල තිබෙනවා. ඇල්ගොන්කුවීන්න්ක්‍ පළාත් උද්‍යානය ගැන මීට පෙර කතා කර තිබෙන නිසා යළිත් මෙහි ඒ ගැන සඳහන් කරන්නේ  නැහැ.


ඒ තොරතුරු සඳහා මේ දිගුව බලන්න


Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා


https://ahasgawwenehalokaya.blogspot.com/2023/10/fall-colours-algonquin-park.html




ඇල්ගොන්කුවීන් පළාත්  උද්‍යානයේ හයිවේ 60 දිගේ යනකොට කිලෝමීටර් පනස් හතරයි දශම පහ සටහන් වන  ස්ථානයේ වෙනස්ම කෞතුකාගාරයක් පිහිටුවා තිබෙනවා. සැබවින්ම මෙය කිලෝමීටර් එකයි දශම තුනක ( 1.3 Km ) ඇවිදින මං පෙතකින් ගමන් කළ යුතු විශාල එළිමහන් කෞතුකාගාරයක් විදියටයි සකස් කර  තිබෙන්නේ. වාහනය නවත්වලා ප්‍රධාන මධ්‍යස්ථානයේ ඇති කුඩා සිනමාහලෙන් කැනඩාවේ දැව කර්මාන්තයේ ඉතිහාසය ගැන කෙටි වාර්තා චිත්‍රපටයක් බලලා ඔබට ගමන පටන් ගන්නට පුළුවන්.





මුලින්ම එක්දහස් 1800 ගණන්වල දැව කර්මාන්තයේ යෙදුණු පිරිමි සේවකයින් නවාතැන් ගත්  කැම්බූස් කෑම්ප් ( Camboose Camp) එකක්  දකින්නට ලැබෙනවා. හිම මතින් ලී කොටන් ගෙන යන එක පහසු නිසා බොහෝ විට මේ කටයුතු කරලා තියෙන්නේ දැඩි ශීතලක් තිබෙන වසරේ ඔක්තෝබර් සිට මාර්තු කියන මාස වලයි. ඉතා දැඩි ශීතල කාලගුණය යටතේ අවම පහසුකම් තුළ ඔවුන් රාත්‍රිය ගත කර තිබෙන්නේ ලී කොටන් අහුරා තැනු ලී මඩුවලයි. Camboose  කියන වදනට සමාන Shanty  කියන වචනයත් ප්‍රංශ භාෂාවේ යෙදුම්.  තට්ටු ගැසූ ලී ඇඳවල් වටේටත් මැද  ගිනි උදුනක් සහිතවත් සකස් කර තිබුණු ඒ මඩුවල කෑම උයා තිබෙන්නේත් පිරිමි කෝකියෙක්. දහවල ඇඳි තෙත ඇඳුම් එල්ලෙන්නට දමා , බූට් සපත්තු වේලෙන්නට වටේට වනල , කතා ,සිංදු කියමින් පොඩියට මධුවිතක් තොලගාමින් ඔවුන් කෑම ගත්ත බවයි කියන්නේ. තනිකරම මිනිස් සහ අශ්ව ශ්‍රමයෙන් වැඩි වැඩ කොටසක් කෙරුණු ඒ කාර්ය වල දවසේ අධික මහන්සිය හින්ද ඔවුන් වැඩි වෙලාවක් නොගිහින් නින්දට වැටෙන්න ඇති.






ඊළඟට ඔබ යන්නෙත් දැව කොටන් අදින්නට සහ වෙනත් කටයුතු සදහා භාවිතා කළ අශ්වයෙන් රඳවා තැබුණු ස්ථාල  බලන්නටයි. අශ්ව ස්ථාලත් පෙලට ගොඩගැසූ විශාල ලී කොටන් වලින් තැනුණු මඩු තමයි. පොරෝ පහර වලින් බිම දමන ගස්  චෝක් කුරූ  වලින් සලකුණු කරන ප්‍රමාණවල කොටන් ලෙස කපා දමා තිබෙනවා .සමහර ඒවා පොතු ගසා හතරැස් කුට්ටි බවටත් පත් කෙරුණා. ඒ කොහොම වුනත් ඒ දැවවල  හිමිකාරිත්වය දරන සමාගමේ සලකුණක් ඒ දැවැන්ත  කොටන් මත සටහන් කරන්නට ඔවුන් විශේෂ මිටියක් යොදාගෙන තිබුනා.දැව කැපු තැන පටන් ජල මාර්ගයක් වෙත දැව ප්‍රවාහනය කෙරුණේ කොටන් කිහිපයක් එකතු කර තනාගන්නා Sleigh එකක් ශක්තිමත් අශ්වයෙන් දෙදෙනෙකු යොදවා අයිස් මතින් ඇදගෙන යාමෙන් . එසේ ඇඳීමෙන් පල්ලමේ ඇදගෙන යන කොටන් පොකුර අශ්වයන් මතට පෙරළීම වළක්වන්නට කඳු මුදුනේ සවිකර තිබුණු යකඩ කේබල් යෙදූ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වුණා.





කාර්මික විප්ලවයේදී වැදගත් වුනු වාෂ්ප බෝට්ටු නිෂ්පාදනය කරන්නට කලින් ජල මාර්ග හරහා කොටන් ප්‍රවාහනයට පෙර ඒවා සකස්කිරීමට යොදා ගත්තේ අශ්වයින් දෙදෙනෙකු සෙක්කුව වටේ කැරකෙන ක්‍රමයට බලය උත්පාදනය කළ පාරුවක් ගොඩ ඇති විශාල ගසකට ගැටගසා සකසා ගත් උපක්‍රමයක්. පස්සේ ඇලිගේටර්  වාෂ්ප බෝට්ටු මේ වෙනුවෙන් යෙදවුනා. ඇල්ගොන්කුවින් දැව මධ්‍යස්ථානයේ ඔබ දකින විලියම් එම් (William M ) යාත්‍රාව ලෝකේ එහෙම සංරක්ෂණය වෙලා තියෙන යාත්‍රා තුනෙන් එකක්.




වතුරට ගෙන යන දැව කොටන් ජලයේ පා කිරීම පාලනය කරමින් කුඩා ඇලමාර්ග හරහා ගෙන යන්නට කුඩා වේල්ලක් වැනි  ඉදි කිරීමක් කර තිබුණා. එවැනි ආදර්ශකයක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්.



පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් විවිධ යන්ත්‍ර උපකරණ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් දැව කර්මාන්තයට එකතු වුනු හැටිත්, ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය එයට එකතු වුණු හැටිත් ඔබට දකින්නට මෙහි පහසුකම් සලසා තිබෙනවා.ඒ වගේම කර්මාන්තයේ යෙදුණු සේවකයින්ගේ නවාතැන් පවා ක්‍රමිකව දියුණුවට පත්වූණා.




ඒ වෙනස්කම් එක්ක ශීත කාලයට ඇදගෙන ගිහින් ජල මාර්ග හරහා වරායන් වෙත දැව ප්‍රවාහනය වෙනුවට වසර පුරාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා. මෙම ස්ථානයේ දී ඔබට දකින්නට ලැබෙන දුම්රිය  එන්ජිම 1911 දී මොන්ට්‍රියල් වල නිෂ්පාදනය වුනු  එකක්. Saddleback  නම් එය මුලින්ම දැව දහනයෙන් ක්‍රියාත්මක වුණු අතර පසුව ගල් අඟුරු දහනයෙන් ක්‍රියාත්මක වන ලෙස වෙනස් කල  බව කියවෙනවා.



පරිසර සංවිධාන විරුද්ධ වුවත් අදත් ඇල්ගොන්කුවීන් උද්‍යානයේ කොටසක අළුතින් වන වගාව කරමින් වාණිජමය දැව කර්මාන්තය සිදුවෙනවා. අතීතයට සාපේක්ෂව වර්තමානයේ  දැව අවශ්‍යතා අඩු වුණත් කැනඩාවේ සහ ඇමරිකාවේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී තවමත් දැව වලට විශාල ඉල්ලුමක් තිබෙනවා.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, April 26, 2025

ටොරොන්ටෝවේ නම ජාත්‍යන්තරයට ගෙන යන CN කුළුණට අවුරුදු 50යි.

 



කැනඩාවේ දුම්රිය ප්‍රවාහනයේ  ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වුණේ ටොරොන්ටෝ නගරයයි.

මුලින් භාණ්ඩ සහ මගී ප්‍රවාහනයේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ ටොරොන්ටෝ යුනියන් දුම්රිය

ස්ථානය අවට කලාපය භාණ්ඩ ප්‍රවාහනයෙන් නිදහස් කර ඒ වෙනුවට මොන්ට්‍රියල් වරාය

සහ එක්සත් ජනපදය යාකරන   දුම්රිය මඟ අතර වෝන්  නගරයේ මැක්මිලන් යාඩ්

( Macmillan Yard)  එක සංවර්ධනය කෙරුණේ 1965 දී. එමඟින් ටොරොන්ටෝ දුම්රිය

ස්ථානය, මිමිකෝ අංගනය සහ ටොරොන්ටෝ නගරයේ දුම්රිය දේපල රැසක් විවිධ කටයුතු

සඳහා වෙන් කෙරුණා.අද දවසේ කැනඩාවේ මධ්‍යම රජය යටතේ පාලනය වන Via Rail 

සහ ඔන්ටාරියෝ පළාත් ආණ්ඩුවේ Go Transit  යන මගී ප්‍රවාහන දුම්රිය සේවා සඳහා

යෙදවෙන්නේ ඒ සම්පත්. ඊට අමතරව ටොරොන්ටෝ නගර මධ්‍යයේ ඉතා වටිනා බිම් කොටස්

රැසක් Canada Lands Company නම් මධ්‍යම රජය යටතේ පාලනය වන සමාගම යටතට

පැවරුණා.


ටොරොන්ටෝ නගරයේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය කැනේඩියානු ජාතික කුළුණ ( Canada’s National Tower )  1976 දී ඉදි කෙරුණේ එම බිම්කඩකයි.  නව සංක්‍රමණ අවස්ථාවන් මත ලෝකයේ නන් දෙසින් කැනඩාවට එක් රොක් වූ සංක්‍රමණික අවශ්‍යතා පිරිමැසීම සඳහා 1960-70  කාලයේදී ටොරොන්ටෝ නගරයේ තට්ටු ගොඩනැගිලි ඉදිවුණේ තරගකාරී අන්දමින්. වැඩිවන ජනගහණය සේම එකිනෙක පරයා යන තට්ටු ගොඩනැගිලි පරයමින් ගුවන් විදුලි, රූපවාහිනී සන්නිවේදන කටයුතු සඳහා සුවිසල් සන්නිවේදන අටල්ලක වුවමනාව මේ වන විට වර්ධනය වෙමින් තිබුණා. එය අනුව NCK Engineering  නම් ආයතනයකට බහු කාර්ය කුළුණක ඉදි කිරීම් කටයුතු පැවරුනා. ඔවුන් සැලසුම් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය අද අප දකින CN කුළුණයි. එය සන්නිවේදන මධ්‍යස්ථානයක්, කැරකෙන අවන්හලක්, නැරඹුම් මධ්‍යස්ථානයක් වගේම බහු විධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් කළ හැකි පහසුකම් රැසකින් සමන්විත එකක් . ඒ සඳහා සැකිල්ලJohn Andrews Architechs ආයතනයත් අනෙකුත් අංශ WZMH Architechs නියෝජනය කරමින් Webb Zerafa  සහ Menkes Housden විසින් සකස් කෙරුනා . ඉදිකිරීම් කටයුතු බාර වුණේ
Foundation Company of Canada ආයතනයටයි.

අංක 290, Bremner Boulevard, Toronto M5V 3L9  ලිපිනය දරන මෙහි සම්පූර්ණ උස මීටර් 553.03ක්. ( අඩි 1815ක් ) .  1976 ජුනි තුන්වැනිදා ඉදි කිරීම් නිමවන විට එය සඳහා වැය වුණු මුදල ලෙස සටහන් වන්නේ කැනේඩියානු ඩොලර් මිලියන 63 ක්.( CAD  63,000,000) කැනේඩියානු ජාතික කුළුණට  කරන ගරු කිරීමක් සහ මෙය පවත්වාගෙන යාම වෙනුවෙන් මීට වඩා උස ඉදිකිරීමක් ටොරොන්ටෝ නගරයේ කිසිම ප්‍රදේශයක කරන්නට ටොරොන්ටෝ නගර සභාව ඉඩ දෙන්නේ නැහැ.


https://en.wikipedia.org/wiki/CN_Tower

Phases of construction

ස්වීඩනයේ Skanska සමාගමේ අතුරු සමාගමක් වුණු Canada Cement Company  මෙහි ඉදි කිරීම කළා. අඩි පනහක ගැඹුරට පස් හාරා කළ පදනමක් මත ටොන් පනස් හයදාහක කොන්ක්‍රීට් පුරවා මෙහි පාදම සකස් කර තිබෙනවා කුළුණ ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් කියුබික් අඩි 53000 ක් භාවිතා කළ බවයි කියවෙන්නේ.කුළුණේ ඉහළ කොටස් වල ඉදි කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනයට ඇමෙරිකානු හමුදාව භාවිතයෙන් ඉවත් කර තිබුණු " ඔල්ගා" නම් Sikorsky S 64 හෙලිකොප්ටර් දොඹකරය යොදා ගනු ලැබුවා.


කුළුණේ  ප්‍රධාන කොටසේ  තට්ටු හතක් සහ Sky Pod.එක ලෙසින් මේ කුළුණේ මැද තට්ටු අටක් තිබෙනවා. ඒවා වෙත යාම සඳහා විදුලි සෝපාන එකොළහක් ක්‍රියාත්මක වෙනවා. තුන් පැත්තකින් ප්‍රධාන කොටස වෙත යාම සඳහා විදුලි සෝපාන 6 ක් මගී  ප්‍රවාහනයට යොදවා තිබෙනවා. පැයට කිලෝමීටර් විසි දෙකක වේගයකින් ඉහළට යන ඒ විදුලි සෝපාන ප්‍රධාන නිරීක්ෂණ කොටසට යන්නට ගත කරන්නේ තත්පර පනස් අටක් තරමේ කෙටි කාලයක්. පොළොව මට්ටමේ සිට අඩි 1136 ක උසක පිහිටා තිබෙන මේ මධ්‍යස්ථානය තුලදී හොඳින් ඉර පායා තිබෙන පැහැදිලි අහසක් ඇති දවසක ටොරොන්ටෝව අවට බොහෝ නගර දකින්නට පුළුවන්. ඒ වගේම එහි ඇති ඝනකම් වීදුරු තට්ටුවේදි ඔබට පහත ඇති දේ හොඳින් මෙවේෂණය කරන්නට පුළුවන්. එකල දුම්රිය එන්ජින්වල නඩත්තු කටයුතු සඳහා භාවිතා කළ Roundhouse සේවා ගරාජය සහ අද එතන පිහිටුවා තිබෙන දුම්රිය කෞතුකාගාරය ඔබේ ඇස් සොරාගන්නා දසුනක් වේවි.


කැරකෙන අංශක 360 අවන්හල ඔබට අපුරු අත්දැකීමක් ගෙන දෙනවාට කිසිම සැකයක් නැහැ. හැම විනාඩි හැත්තෑ දෙකකටම වරක් ඔබ සිටිනා තැන අංශක 360 කින් කැරකෙන මේ අවන්හල  පිටරටක සිට ඔබ බලන්නට පැමිණි පවු‍ලේ හිතවතුන් කැඳවාගෙන ගොස් කැනඩාවෙ කෑම වර්ග වලින් සමන්විත භෝජන සංග්‍රහයක් දෙන්නට කියාපු තැනක්.



ප්‍රධාන මහල් සංකීර්ණය ඉහළින්ම ඇති කොටස භාවිතයෙන් 2011 දී එජ් වෝක් (Edgewalk ) ආරම්භ කර තිබෙනවා. තට්ටු එකසිය දාසයක ගොඩනැගිල්ලක මුදුනේ එල්ලී ගමන් කරන ත්‍රාසජනක අත්දැකීමක් මෙහිදී ඔබට ලබන්නට පුළුවන්.ඉතා ආරක්ෂිතව මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.


ප්‍රධාන නිරීක්ෂණ කොටසේ ඇති මහල් වෙත ඔබ කැමතිනම් පඩි පෙළින් යන්නත් පුළුවන්. එය සඳහා පඩිපෙළ 1976ක් නගින්නට වෙනවා. කලින් කලට සංවිධානය වන විවිධ Funraising Events වලදී ඔබට අවශ්‍ය නම් ඒ අත්දැකීම ලබන්නට  පුළුවන්. 


ඇන්ටෙනාවලට පහලින් මුදුනේ  තිබෙන තට්ටුවට ඔබ යන්නට කැමැති නම් වෙනමම මුදල් ගෙවා තවත් විදුලි සෝපානයක් පාවිච්චි කරන්නට වෙනවා. එය පිහිටා තිබෙන්නේ ප්‍රධාන නිරීක්ෂණ මැදිරියට තට්ටු තිස්තුනක් ඉහළින් අඩි 1465ක උසින් ,පැහැදිලි අහස ඇති දවසක නම් ඔබට එහිදී ටොරොන්ටෝ නගරයට කිලෝමීටර් 127 ක් දුරින් තිබෙන සුප්‍රකට නයගරා ඇල්ල  පියවි ඇසින් බලන්නට පුළුවන්.



කුළුණේ ප්‍රධානම පරමාර්ථය වූ පරිද්දෙන් කැනඩාවේ ප්‍රධාන රූපවාහිනී  මධ්‍යස්ථාන වන CTV,

TVO, CBC,OMNI, Global, City,CFMT  , රේඩියෝ මධ්‍යස්ථාන වන CBC,BOOM, JAZZ,

VIRGIN,EDGE, CHUM සේම  Bell Media, TTC  යන ආයතන තම  සේවා ට්‍රාස්මිටර් මෙහි

සවිකර තිබෙනවා.

1975දී මෙය ඉදි වූ දා පටන් 2007 දක්වා ලෝකයේ උසම කුළුණ ලෙස කිරුළු දරා සිටියේ CN කුළුණයි. පසුව ඒ කිරුළ විවිධ රටවල ගොඩනැගිලි විසින් වරින් වර දිනා ගත් අතර ළඟදීම එය සවුදි අරාබියේ ජෙඩා කුළුණ විසින් හිමි කරගන්නා බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් අදත් උතුරු ඇමරිකා මහද්වීපයේ ඇති උසම ගොඩනැගිල්ල CN කුළුණයි. ජනප්‍රිය සංස්කෘතියේ සිනමා සහ ටෙලි නිර්මාණ රැසක දර්ශන තලයන්ට හසුවූ  කුළුණ ටොරොන්ටෝවට එන කවුරුන් වුවත් තම ගමන සිහිකරන්නට සේයා  රූ ගොන්නට එකතු කරගන්නා තැනක්.


2007  හතේදී එවකට තිබුණු ආලෝක පද්ධතිය නවීකරණය කරමින් LED විදුලි බුබුළුවලින් CN කුළුණ ආලෝකමත් කර තිබෙනවා. එමගින් විශාල බල ශක්තියක් ඉතිරි වෙනවා සේම  විවිධ වර්ණාවලි වලින් කුළුණ හැඩගන්වන්නටත්  ඉඩ පහසුකම් සැලසී තිබෙනවා. කුරුළු  සංක්‍රමණ සිදුවන Spring  සහ Autumn  කාල වලදී තරමක අඩු (Dim ) එළියක් ගෙන දෙන ලෙසත්,  අනෙකුත් කාලවලදී දීප්තිමත් ව ආලෝකමත් වන ලෙසත් නගරයෙන් බැහැර දුරස්ථ පාලන ස්ථානයකින් පාලනය වන  මේ කුළුනේ ආලෝක පද්ධතිය  වසරේ විවිධ කාලවලදී සහ දින වලදී  විවිධ තේමා සහ අනුස්මරණයන් වෙනුවෙන් විවිධ වර්ණවලින් වර්ණ ගැන්වෙනවා. ටොරොන්ටෝවට යන හැම රැයකදීම CN කුළුණ දෙස වෙනස්ම දැක්මකින් බලන්නට මේ වෙනස අපව දිරිගන්වනවා.

අනුරුද්ධ වැලිගමගේ 




සේයාරූ - 

අන්තර්ජාලයෙන්  Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි