නිමිත්ත
මම ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සේවය කරන කාලයේදී මට හමුවූ එක ගොවි තරුණයෙකුගේ පෙම්වතිය හිටියේ කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරමින් . ගමෙන් පිට වෙන්නට සුදානම් නොවූ ඔහු නගරයත් එක්ක වෙනස් වන පෙම්වතිය ගැන මට කියා තිබුණා . නිතර ගමට නොඑන ඇය අවුරුද්දට ගෙදර එනකම් බලා හිදින විදිහ මට හිතුනේ මේ විදිහටයි .

අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ
……….
ඔංචිලි වාරම් කියන්න
ඔංචිලි කවි පද බදින්න
අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ
ගමින් සෙ යිලමට ගිය සන්නාලි නංගියේ…….
මැසිමට උගසට තබලා
වියපත් වන තුරුණු වියට
සමහරු ඔච්චම් කරාවි පුංචි නංගියේ
නෙතට කඳුළු නගනු එපා දේවතාවියේ ……..
ඔංචිලි වාරම් කියන්න……..
එරබදු මල් වරුසාවයි
කොහා නදින් ගම පිබිදෙයි
කලියෙන් ඔබ ආවොත් හොඳයි නංගියේ
කඩුල්ල ළඟ නෙත් දෙක ඇත මුරට සාවියේ………
ඔංචිලි වාරම් කියන්න……
රබන් සුරල් හඬ නෑසෙයි
කැවුම් කොකිස් සුවඳ අඩුයි
ගම නම් ඇත වෙනස්වෙලා පුංචි නංගියේ
මා නම් නැත වෙනස්වෙලා තවම ලේනියේ……….
ඔංචිලි වාරම් කියන්න……
අනුරුද්ධ වැලිගමගේ
සංගීතය සහ ගායනය මහේෂ් සිරිසේන

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි
ලස්සන සින්දුවක්. සැහෙන කාලෙකට කලින් ලියල තියෙන්නේ.
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි
Delete