මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 22, 2022

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් ......... ස්විස් සංචාරයක මතකය.....




යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.  

Gotthard Road Tunnel

අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත් මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා .

Interlaken 

අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ Lake Brienz අතරයි . අතර පරිසරය තවත් ලස්සන කරමින් Aare ගග ගලා යනවා . චිත්රවල, ෆොටෝ වල සිහින ලෝකයක තිබුණු දසුන් ඇස් ඉස්සරහ තියෙනකොට පුදුම සතුටක් දැනෙනවා .

අපි මේ ගමන ගියේ අගෝස්තුවේ වුණත් වැහි මන්දාරමත් එක්ක පරිසරය වෙනස් වෙලා අයිස් වැස්සක් මැද්දෙ හෝටලයට යන්නයි අපට සිද්ද වුනේ . නිසා  ස්විස්ටර්ලන්තයට යනකොට වැස්සට ශීතලට ගැලපෙන ඇදුම් ගෙනයන එක හොදයි . තරමක් දිගු රථ ධාවනයකට පස්සෙ තිබුණු ගමන් මහන්සියත් එක්ක ස්විස් විදිහට සැකසුණු රාත්රී ආහාර වේල අරගෙන ටිකක් කලියෙන් නිදාගන්න ගියේ පහුවදා උදේ යුරෝපයේ මුදුනට යන ගමන ගැන සිතමින්.

Grindelwald

උදේ කෑමෙන් පස්සෙ ඇවිදින දුරකින් තිබුණු දුම්රිය ස්ථානයට ගියේ ගමන පටන් ගන්න . යුරෝපයේ ප්රධාන නගර සම්බන්ධ කරන අධිවේගී දුම්රිය ළගාවන මේ ගමන පටන් ගන්න දුම්රිය ස්ථානය Interlaken. එතැනින් නිල් පාට දුම්රියෙන් අපි ගියේ Grindelwald . එතැනින් කහපාට දෙවැනි දුම්රිය Kleine Scheidegg. අවසානයේදී  රතු හැට්ටකාරී දුම්රිය අපව ගෙනගියේ යුරෝපයේ මුදුන  Jungfraujoch.  .මේ ලිපියේ ඉඩකඩ සීමාසහිත හින්ද පළමු දුම්රිය දෙක ගැන කථා නොකර තුන්වන රතු දුම්රිය ගැන කියන්නම් . ඒත් ලෝකයේ හොදම දුම්රිය සේවා සහිත රටක් වන ස්විස්ටර්ලන්තයේ ගෙවල්, ගොවිපොල, මල් වතු මැද්දෙන් යන කෝච්චි වල ඉදගෙන ඈත තියෙන ග්ලැසියර් කන්ද ටිකෙන් ටික ලං වෙනකොට දැනුණු හැගීම් ඔබට තේරුම් යන්නෙ මේ ගමන හැබැහින්ම ගියොත් තමයි .

1894-1924 කාලයේදී ඉදිවුණු Jungfrau railway line දුම්රිය මග තැනීමේ මූලිකයා වුනේ  Adolf Guyer Zeller. වසරකට මිලියනයකට වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා වසර පුරාම ක්රියාත්මක වන මෙය කිලෝමීටර 9.34 ක් දිගයි . මින් 80% තරම් දුරක් යන්නේ බිං ගෙවල් අතරින් . මේ මගේ දුම්රිය ස්ථාන 5 ක් තිබෙනවා . ඉහලින්ම තිබෙන තැන අඩි 11332 ක් උස Jungfraujoch

Adolf Guyer Zeller


අපි හිම කබා ඇදගෙන රතුපාට කෝච්චියට නැග්ගා. ඈතින් පෙනුණු ග්ලැසියරය දැන් ටිකෙන් ටික ලං වෙනවා . ඒත් එක්කම ඈත තියෙන ගෙවල් පුංචියට පේනකොට අපි ටිකෙන් ටික ඉහලට යන බව දැනෙනවා . අපි වැඩි දුරක් ගි යේ බිං ගෙවල් ඇතුලෙන් කිව්වොත් ඒකෙ වරදක් නැහැ . අඩි 10361 උසක තියෙන Eismeer දුම්රිය පොලේදී නිවේදනය කලේ දුම්රියෙන් බැහැල ගිහින් වටේට සකස් කර තිබෙන නැරබුම් කවුළු වලින් අවට සිරිය විදින්න කියලයි . වෙලාව පහලට යන දුම්රිය මාරු කරගන්න ඔවුන් පාවිච්චි කරනවා . සුවිසල් නැරබුම් කවුළු වලින් පෙනෙන දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි . ෆොටෝ කිහිපයක් ගත්ත අපි ඊලග නිවේදනයත් එක්ක ආපහු අපේ මැදිරියට ආවා.Jungfraujoch යුරෝපයේ මුදුන විදිහට හැදින්වෙන වසර පුරාම සංචාරකයින් යනෙන ස්විස් ඇල්ප්ස් කදු මුදුනේ තිබෙන යුනෙස්කෝ ලෝක උරුම පරිශ්රයක්.

 Eismeer


Sphinx observation Deck & Aletsch Glacier


Aletsch


අන්තර්ජාතික ග්ලැසියර පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙන Aletsch ග්ලැසියරය කිලෝමීටර 22 ක් දිග සුවිශාල එකක් . එහි අයිස් ඝනකම කිලෝමීටරයක් තරම් වන බවයි කියන්නෙ. ආරක්ෂක හේතු නිසා ඔබට මුළු ග්ලැසියරයේම යන්නට බැරි වුණත් විදුලි සෝපානයෙන් ඉහලට ගිහින් විශේෂයෙන්ම සකස් කල නැරබුම් අටල්ලේ ඉදන් එය නරබන්නත් , ග්ලැසියරයේ කොටසක ගුණ සුවද විදින්නත් , ලෝකයේ පිරිසිදුම ජලය විදිහට හැදින්වෙන ඉන් බිදක රහ බලන්නත් ඔබට පුළුවන් . ඔබ එතැන හිටියානම්  මේ ගමන මතක් වෙන්න ස්විස් කොඩිය යට ෆොටෝ ගන්න පොරකන පෝලිමට ඔබත් එකතු වෙනවාට කිසිම සැකයක් නැහැ .


Ice Palace

මේ කදු මුදුනේ තිබෙන අයිස් මාලිගාව තරම් අවධානයට යොමුවුණු තවත් තැනක් නැති තරම් . දැඩි ශීතල මැද්දෙ අයිස් උමගේ යන චාරිකාව වර්ණවත් කරන්නේ දෙපස තියෙන අයිස් කැටයම් සහ විවිධ නිරූපණ කුටි වලින්. අයිස් යුගයේ ඉදන් වර්තමානය දක්වා විවිධ දෑ නිරූපණය කෙරෙන අනු රූ රැසක් මේ තුල තියෙනවා . මේ ගමන යද්දී ඊට ගැලපෙන ඇදුම් පැළදුම් සහ සපත්තු ගෙනයන එක හොදයි

Alphine Sensation

අතීතයේදී මහත් ප්රාතිහාර්යයක් වූ අති දුෂ්කර මේ දුම්රිය මග ඉදිකිරීමේ කටයුතු වල යෙදුණු සේවකයින්ට කෙරෙන උපහාරයක් ලෙස ඉදිවුණු මීටර 250 ක් දිග මේ ආලින්දය බහුවිධ සම්ප්රේෂණ මාධ්යය භාවිතයෙන් දුම්රිය ඉතිහාසය දක්වනවා . මේ ආලින්දය මගින් Ice Palace එකත් Sphinx Hall. එකත් සම්බන්ධ කෙරෙනවා.



මේ පරිශ්රයේදී අංශක 360 සිනමා අත්දැකීමකින් ග්ලැසියර චාරිකාවක යෙදෙන්නත් පුළුවන්. කැනඩාවේදී අපට පුරුදු Lindt ස්විස් චොකලට් නිෂ්පාදන අත්දැකීමක් ගන්නත් පුළුවන් . අමතර ගෙවීමක් කරලා විනාඩි 45 ක් විතර පයින් ග්ලැසියරය දිගේ ගිහින් Monchsjochhutte  කදවුරු කුඩාරමට යන්නත් විවිධ හිම ක්රීඩාවල යෙදෙමින් Snow fun park එකේ කල්ගත කරන්නත් පුළුවන් .

මේ ගමන සදහාත් , ස්විස්ටර්ලන්තයේ වියදම් සදහාත් ඉහල මිලක් ගෙවන්නට වුනු හින්ද පසුම්බියට තරමක බරක් දැනුණත් ජීවිතයේ එක් වරක් ලබන්න පුළුවන් හොදම අත්දැකීමක් විදිහට මේ ගමන කාට වුණත් යන්න හොද එකක්.


රයින් ගග දිගේ ජර්මනියේ අසිරිය බලන්නට ඊලග කලාපයෙන් හමුවෙමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ  - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2021 දෙසැම්බර්  කලාපයේ පලවිය. 

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.