මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label සංචාරයක මතකය. Show all posts
Showing posts with label සංචාරයක මතකය. Show all posts

Saturday, June 27, 2026

ගමන් පැය, ගුවන් පැය සහ සැලසුම් පැය





සංචාරයට ප්‍රිය කෙනෙකු විදිහට ලෝකයේ විවිධ ඉසව්වලට යන මම පහුගිය දවසක අයිස්ලන්තයේ රිං රෝඩ් ( Iceland Ring Road )  එකේ සංචාරයක් නිම කළා. ගිනිකඳු සහ දිය ඇලි බහුල ග්ලැසියර වලින් පිරුණු අයිස්ලන්තය උණුසුම සහ සීතල එකට කැටි වූ අපූරු පරිසර පද්ධතියක් ( Iceland - Land of fire & Ice ) ඒ ගමන් ගැන ඉදිරියේදී මගේ ගමන් සටහන් ලියැවේවි.



මේ වතාවේ මම සටහනක් ලියන්නට හිතුවේ වෙනස් දෙයක් ගැනයි. සංචාරයට කැමති බොහෝ දෙනෙකුට මේ සටහන වැදගත් වේවි. අපේ  සංචාරවල වර්ග දෙකක් තියෙනවා. එකක් අපි යම් තැනකට ගිහින් නිදහසේ යම් කාලයක් ගත කරන එක. එතකොට අප කරන්නේ කොටේජ් ( Cottage ) එකක් හරි කෑම්ප් සයිට් ( Campsite ) එකක් හරි වෙන්කරවාගෙන සැලකිය යුතු කාලයක් එම ස්ථානයේ නිදහසේ ගත කරන එකයි. එතනදි අපි බොහෝ දේ සැලසුම් කරන්නේ නෑ. නිදහසේ එම පරිසරය විඳින එක ගැන විතරයි එතනදි හිතන්නේ .ඒ ගමන්වල පූර්ව සැලසුම් බොහෝම අඩු මට්ටමකයි තියෙන්නේ.


අනිත් ගමන්වලදී අපි අවධානය යොමු කරන්නේ ලෝකයේ බලන්නට වටින තැන් රැසක් පසුම්බියට ගැලපෙන විදිහට අඩු කාලයකදී ආවරණය කරන්නයි. ගමන් පැය, ගුවන් පැය සහ සැලසුම් පැය වැදගත් වන්නේ එතකොටයි.



ලෝක සංචාර වලින් මේ වෙනකොට මම ආවරණය කරලා තියෙන්නේ ආසියානු, යුරෝපා සහ උතුරු ඇමෙරිකානු මහද්වීපවල කොටස් කිහිපයක් පමණයි. ඒවායින් බොහොමයක්  ගැන විස්තර සටහන් මගේ බ්ලොග් අඩවියෙන් ඔබට බලන්නට පුළුවන්. බොහෝ දෙනෙක් සංචාරය අධික වියදම් කාරියක් විදියට දකින්නේ කලබලයෙන් ඔහේ යන හින්දයි .මට හිතෙන විදියට නම් ඔබ ඒ වෙනුවෙන් කරන සැලසුම් තමයි ඒ ගමන සාර්ථක කරන්නේ.  ඔබ සැලසුම් කරන සියල්ලම ඔබට කරන්නට බැරි වුණත් අඩුම වශයෙන් එයින් තුනෙන් දෙකක්වත් ආවරණය කරගන්න ඔබට පුළුවන් වේවි.  ඒ වගේම ඔබ තොරතුරු හොයා බැලුවොත් පැහැදිලි වෙන විදිහට, සැලසුම් කිරීම තුළින් ඔබට ඔබේ ගමන් වියදමෙන් තුනෙන් එකකට වඩා ප්‍රමාණයක් අඩු කරගන්නත් පුළුවන් හින්දා මම ගමන් සැළසුම් වෙනුවෙන් වැඩි කලක් වෙන් කරනවා. ඒ  වගේම ඒ සැලසුමටම අනපේක්ෂිතව සිදුවන්නට පුළුවන්  වෙනස්කම් වෙනුවෙන් ආදේශක තබා ගන්නත් පරිස්සම් වෙනවා. උදාහරණයක් විදිහට එකම  ගමනාන්තයට ගුවන් යානා දෙකක් එකම ගුවන් සේවයෙන් යනවා නම් පළමුවැන්න සහ දෙවැන්න අතර පරතරය වගේම අතරමැද ගුවන් යානා මාරු වන කාලය ගැනත් හිතන්නේ සිදුවන්නට පුළුවන් ගුවන් ප්‍රමාද සහ යානා අවලංගු කිරීම් හින්දයි.

 


ගුවන් පැය ප්‍රමාණය,  ගුවන්යානාව ගුවන්ගත වන වෙලාව ගමනකදී වැදගත් වන්නේ යානා කිහිපයකට මාරුවීම සහ දවල් කාලය  ගුවන් යානා ගමනකට නාස්ති කිරීම කාලය  කා දමන,  ගමන් වෙහෙස වැඩි කරන දෙයක් නිසයි. අනිත් කාරණාව නම් රාත්‍රී කාලයේදී ගුවන් ගත වන ගුවන් යානාවල ගාස්තුවක් ප්‍රමාණාත්මකව අඩු එකක් .සතියේ කාර්යබහුල සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දින මගහැර ගුවන්යානා වෙන්කරවා ගැනීමත් , වසරේ ජනවාරි තුන්වන සතියේදී ගුවන් යානා ටිකක් පත් මිලදී ගැනීමත් ලාභදායි වන දෙයක්. සමහර වෙලාවට කාර්යබහුල කාලසීමාවෙන් ( Peak Season ) වෙනුවට අතරමැද කාලසීමාවන් ( Shoulder Season ) වල ගුවන්යානා වෙන්කරවා ගැනීමත් ලාභදායී වෙනවා. ඒ කාරණාවම කුලියට ගන්නා වාහන වලදීත් ( Rental vehicles)  වැදගත්.



වැඩි කිලෝමීටර් ගණනක් රථ ධාවනය මට නම් වෙහෙසකර දෙයක් නෙමෙයි. හැබැයි ඒ වෙනුවෙන් මනා පෙර නින්දක් වගේම, නිසි කාල පරතරවල විවේකයත් හරිම වැදගත්. ඔබේ ගමන් වලට තවත් රියැදුරෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා නම් ඔබට ගමන මාරුවෙන් මාරුවට යන්නත් පුළුවන්. මේ වෙනකොට මම ගිහින් තිබෙන එවන් ගමන් කිහිපයක් ගැන ලියන්නම්.


  1. Iceland , Ring Road - 3300 km - RV - (දින 10)

  2. Canada, Trans Canada Hwy ( Calgary - Victoria BC)- 3200 km - RV, Rented Car + Ferry (දින 10)- 2 Times

  3. Rome To London - Cross country tour, 7 Countries ( Italy, Switzerland, Germany, Belgium, Netherlands, France, United Kingdom- 3000 km- Bus Tour & ferry + Private additions via public transits & taxis ( දින 14)

  4. United  States of America- Las Vegas to Los Angeles via Phonix & Grand Canyon - 2800 km - Rented Cars  (දින 10)- 2 Times

  5. Canada, Trans Canada Hwy (Toronto - Cape breton Island NS) -4500km - Own Vehicle  (දින 14)

  6. Canada, Trans Canada Hwy (Halifax - Cabot Trail, Moncton NB & around PEI) -2500km - Rented Vehicle (දින 8)



මීට අමතරව   කැනඩාවේ මා ජීවත්වන ඔන්ටාරියෝ  පළාතේ සහ ඊට යාබද කැනේඩියානු පළාත්වලටත්  ඇමෙරිකා එක්සත් ජනපදයේ අපට ආසන්න ප්‍රාන්ත වල  සමහර නගර වලටත් දින හතකට අඩු කාලයකදී ගිය ගමන් අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා.


අඩු පිරිවැයක් වෙනුවෙන් එවන් අවස්ථාවලදී මම කරන්නේ ගමන සැලසුම් කරගෙන වාහනය කලින්ම වෙන් කරවා ගන්නා එකයි. සුළු අමතර මුදලක් ගෙවලා හදිසියේ ගමන අවලංගු කරන්න වුනොත් මුළු මුදලම ලබාගන්නා විදියට පහසුකමක් තියාගන්නත් මම අමතක කරන්නේ නෑ. මුද්‍රිත සිතියම්,  අන්තර්ජාලයෙන් බාගත කරගත් සිතියම් මම ගමන් මල්ලට සහ දුරකථනයට දාගන්නේ අතරමගදී සන්නිවේදන පහසුකම් නොතිබෙන්නට ඉඩ තියන නිසයි.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, April 25, 2026

අවුරුදු මිලියන තුන්සියයක් පැරණි පොසිල පිරුණු Joggins Fossil site එක බලමුද ?

 




ලෝකයේ  දස දෙසින් පොසිල අධ්‍යයන කටයුතු සඳහා ඇදෙන පර්යේෂකයන් වගේම අවුරුද්දේ මැයි සිට ඔක්තෝබර් ගිම්හාන  කාලයේදී සංචාරකයන්ගෙන් පිරී යන  ප්‍රදේශයක් කැනඩාවේ නෝවා ස්කොෂියා පළාතේ තියෙනවා. ඒ  ප්‍රදේශයට කියන්නේ  Joggins Fossil site කියලයි.


මීට පෙර ලිපියක මම නිව් බ්රුන්ස්වික් පළාතේ Hopewell Rocks ගැන කතා කළා ඔබට මතක ඇති. වරකට ජලගැලුම් බිලියන 160 ක් පිරවෙන හිස්වෙන ෆන්ඩි බොක්කේ අනිත් පැත්තේ  තමයි මේ යුනිස්කෝ ලෝක උරුමය තියෙන්නේ.  ඒ හන්දා මේ පරිශ්‍රය බලන්න යනකොටත් ඔබ දවසේ වඩදිය බාදිය කාලසටහන ගැන බලන්න වෙනවා. එහෙම වුනොත් ඔබට හොඳින් මුහුදු පත්ල දිගේ ඇවිදගෙන ගිහිල්ලා මේ ස්ථානයේ තිබෙන පොසිල බලන්න පුළුවන්.


ඒ ලිපියේ දිගුව 


වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

https://ahasgawwenehalokaya.blogspot.com/2025/04/160-hopewell-rocks.html





සම්පූර්ණ  Joggins Fossil site පරිශ්‍රය කිලෝමීටර් 14.7  සිට පහළොවක් දක්වා දිගට වෙරළ තීරය දිගේ විහිද යනවා.  ඔබට කැමති නම් වඩදිය බාදිය  වෙලාව සහ කාලගුණය අන්තර් ජාලයෙන්  බලලා මුහුදු පතුල හිස් වෙලා නම් එහි සම්පූර්ණ කොටසම ඇවිද යන්න පුළුවන්. ඒත් ඒවා ආරක්ෂිතව බලන්න වඩා සුදුසු වන්නේ Joggins Fossil Centre ආයතනය පිහිටුවා තිබෙන විශේෂ මධ්‍යස්ථානය( )  අසලින් සකස් කර තිබෙන ප්‍රදේශය ආරක්ෂිතව මුහුදු වෙරළට බැසිය හැකි පඩිපෙළ සහ ආබාධිත අය වෙනුවෙන් සකස් කල Ramp  එකකිනුත් සමන්විතයි.





වසර මිලියන ගණනක් පැරණි පර්වත ඉවුරු කුමන වෙලාවක වුවත් කඩා වැටෙන්නට පුළුවන් . ඒ වගේම ජලය පිරෙන හිස්වන සජීවී මුහුදු පතුලක් නිසා ගල් කැබලිති, අපද්‍රව්‍ය, හිරිගල් කොටස් තිබෙන්නත්  පුළුවන්. තෙතමනය සහ මඩ සහිත පරිසරයක් නිසා ඊට සුදුසු ක්‍රීඩා පාවහන් දාගෙන යන එක සුදුසුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ ජංගම දුරකථන ආවරණය අවම නිසා ගොඩබිම ඉන්නා කෙනෙකු දැනුවත් කර තිබෙන එකත් සුදුසුයි.      


https://jogginsfossilcliffs.net/tours/weather/


අවුරුදු මිලියන 300 ක් පැරණි ගල්අඟුරු යුගයේ ( Coal age) සතුන් සහ ශාක හිරවී තද වී තිබෙන පොසිල රැසක් ඔබට මේ වෙරළ ඉවුරේදි බලන්න පුළුවන්. එහෙත් මේ හමුවෙන පොසිල ගෙනියන්නට නම් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් ගන්නට වෙනවා.





ඒ ප්‍රදේශයේ  හමුවන හැම ගල් කැබැල්ලක්ම,  පර්වත කොටසක්ම අපට ගිලිහුණු ඒ අතීතයේ කතා පුවත් ගොඩක් දරාගෙන  අජීවී වස්තූන්. ඔබට කැමති නම් මෙතැන තිබෙන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඉන්න නියාමකවරුන් මෙහෙයවන පැය එක හමාරක සංචාරයක් කලින් වෙන් කරවා ගන්න ඔබට පුළුවන්. ඔබ කැමති නම් ඔබේ බලු සුරතලාවත් මේ චාරිකාවට එක් කරගන්නට අවස්ථාව තිබෙනවා.


එහෙත් ඔබට නියාමකවරුන් රහිතව වෙරළ  තීරයේ ඇවිදින්නට නම්  සඳහා ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ, එහෙම ඔබ වෙරළට බහින්න මෙතන තිබුණු අංක හත( 7) දරන ගල් අඟුරු තල් පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයෙන් පිවිසුම් මගක් සකස් කර තිබෙනවා.






Joggins Fossil Centre එකට ප්‍රවේශපත්‍රයක් අරගෙන ගියොත් මේ පොසිල ගැන වැඩි විද්‍යාත්මක දැනුමක් වගේම ගල් අඟුරු යුගයේ ඉතිහාසයත් මේ ප්‍රදේශයේ ගල් අඟුරු පතල් කර්මාන්තය ගැනත් වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ  මධ්‍යස්ථානය නිදර්ශක,  ප්‍රදර්ශන අනුරූ  රැසකින් සමන්විත ඉතාම වැදගත් සම්පත් මධ්‍යස්ථානයක්.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, March 14, 2026

කැනඩාවේ අත්ලාන්තික් නාවික ඉතිහාසය පෙන්වන කෞතුකාගාරයක්

 




නැගෙනහිරින් කැනඩාව මායිම් වෙන්නේ අත්ලාන්තික් සාගරයට.  අත්ලාන්තික් සාගරයට මායිම් වන කැනඩාවේ පළාත් හතරක් තිබෙනවා. ඒ නිව් බ්‍රන්ස්වික් නෝවා ස්කොෂියා, එඩ්වඩ් කුමාර දිවයින සහ නිව් ෆවුන්ඩ්න්ලන්තය සහ ලබ්රෝඩර්. 


කැනඩාවේ වරායන් අතුරින් යුරෝපයට ආසන්නතම වරාය වීම නිසා හැලිෆැක්ස් වලට ඓතිහාසික වටිනාකමක් වගේම නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස විශාල වැදගත්කමක් තිබෙනවා. අදත් කැනඩාවේ විශාලතම නාවුක හමුදා සංකීර්ණය පිහිටා  තිබෙන්නේ හැලිෆැක්ස් වලයි. අපි ඉදිරි දිනක කැනඩා උරුම යටතේ  කතා කරන්නට බලාපොරොත්තු වන පියර් 21 නම් කැනඩාවට වැඩිම පිරිසක් යුරෝපයෙන් සංක්‍රමණය වුනු 1928- 1971 කාලයේ ක්‍රියාත්මක වුනු පරිශ්‍රය තිබුනේත්  හැලිෆැක්ස් වලයි.  


ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට වරින් වර නතු වුණු මේ කලාපයේ  ධීවර සහ නාවික කටයුතුවල ඉතිහාසය  ඉතා දිගු එකක්. ඒ නිසා කැනඩාවේදී නාවික ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ලබන්නට නම් යා යුතුම ප්‍රධාන තැනක් විදිහට Maritime Museum of the Atlantic  හඳුන්වන්නට පුළුවන්. 1948 දී ආරම්භ වුණු මේ කෞතුකාගාරය 1985 වෙනතුරු ක්‍රියාත්මක වුණේ කැනේඩියානු නාවික හමුදාව යටතේ. එය  පිහිටා තිබෙන්නේ හැලිෆැක්ස් වරායේ කෙළවරකට වන්නටයි.  




මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ තිස් දහසකට (38,000) අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර තිබෙන විවිධ වර්ග යාත්‍රා ආකෘති ප්‍රමාණය අති විශාලයි. 1913 - 1969 කාලයේදී කැනඩාවේ සාගර මැනීම් කටයුතු සහ ගවේෂණ කටයුතුවල යෙදුණු css Arcadia නම් අඩි 180ක් දිග වාෂ්ප සිතියම් නැව මෙහි  නැංගුරම් ලා  තිබෙනවා. එය ඔබට බලන්නට ලැබෙන අපූරු  අත්දැකීමක්. සතියේ දිනවලදී එය තුලට ගොස් එහි කුටි, උපකරණ ඔබට බලන්නට පුළුවන්. තවමත් ධාවන තත්වයේ තිබෙන එය විශේෂ අවස්ථා වලදී කෙටි චාරිකා ගමන් කරනවා.   





1993  සිට 2001  දක්වා කාලයේදී කැනඩාවේ සීබීසී නාලිකාවේ විකාශය වූ තියඩෝර් ටග්බෝට් (Theodore Tugboat)  වරායක තිබෙන ටග්යාත්‍රාවක් සහ ඔහුගේ මිතුරන් පිරිසක් වටා ගෙතුණු  රූපවාහිනී ළමා කතා මාලාවක්. ඒ සදහා යොදාගත්  ටග් යාත්‍රාවත් මේ පරිශ්‍රය දී ඔබට බලන්නට පුළුවන්.  2014 දී සංරක්ෂණය වුණු Hebridee II යාත්‍රාවක් ඉතාම වැදගත් නාවික ඉතිහාසයක කොටස්කරුවෙක්. 




1917දෙසැම්බර් මස 06 වැනි දා ප්‍රංශ බඩු නැවක් වූ SS Mont Blanc  සහ නොවීජියානු යාත්‍රාවක් වූ SS Imo   ගැටීමෙන් සිදුවූ පිපිරීම මිනිසුන් 1782 කගේ  ජීවිත පිළිගත් විශාල පිපිරීමක්. ඒ ගැන තොරතුරුත් මේ පරිශ්‍රය තුල  තිබෙන එක කුටියකදී ඔබට දැනගන්නට පුළුවන්. මේ ආසන්න කැනේඩියානු මුහුදේ දී විනාශ වුනු  ජනප්‍රියතම නෞකාව RMS Titanic ගැන තොරතුරු ඇතුළත්  ප්‍රදර්ශන කුටියක් වගේම මේ ප්‍රදේශයේදී මුහුදු බත්වුණු යාත්‍රා රැසක සුන්බුන් සහ ගොඩගත් බඩු බාහිරදිය  රැසක් මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.  


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, January 10, 2026

දුක, ආර්ථිකය, බලශක්තිය එකට මුසුකළ ස්ප්‍රින්හිල් ගල් අඟුරු පතලේ සවාරියක්





ලෝකයේ ගල් අඟුරු බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ කාලයේදී පතල් කර්මාන්තය ප්‍රමුඛ ව්‍යාපාරයක් වූ බව ඉතිහාසයේ  සඳහන්. නෝවා ස්කොෂියා පළාත කැනඩාවේ ගල් අඟුරු බහුල කලාපයක්. එහි වසා දැමුණු  ගල් අඟුරු පතල් රැසක් තිබෙනවා. ඒවා  අතුරින් ස්ප්‍රින්හිල් සුවිශේෂයි.


නිව් බ්රුන්ස්වික්  පලාතට නුදුරින් පිහිටා තිබෙන මේ පතල් මේ වන විට වසා දමා තිබුණත් සංචාරක වශයෙන් වැදගත් වන කෞතුකාගාරයක් සහ පතල් චාරිකාවක් ගිම්හාන කාලයේදී මෙහි යන අයට ලබාගන්න පුළුවන්.



18 වන සියවසේ දුම්රිය සහ කර්මාන්තවලට බල ශක්තිය සැපයූ ගල් අඟුරු පතල් සංකීර්ණයක් ස්ප්‍රින්හිල් වල තිබුනා. ඩොමීනියන් ගල් අඟුරු සමාගම වාණිජමය වශයෙන් No.1, No. 2, and No. 4 ලෙස පතල් 3 ක් සංවර්ධනය කර තිබුණු නිසා  ස්ප්‍රින්හිල්  ප්‍රදේශයේ සම්පුර්න ආර්ථිකයම රැදී තිබුනේ ගල් අඟුරු කර්මාන්තය මතයි. ඒ  අතුරින් අඩි 14,300 ක් ගැඹුරු අංක දෙක දරන  පතල ලෝකයෙක් ගැඹුරුම පතල් අතර තිබුනු එකක් . බම්ප් ( )  කියා හැඳින්වෙන පතල් කඩා වැටීමෙන් වන අනතුරු රැසක් 1891, 1956 සහ 1958 වසර වලදී මෙහි සිදුවී තිබෙනවා.ඒවායින්  දළ වශයෙන් 250 කගේ  ජීවිත හානි සිදුව තිබෙනවා. ගල් අඟුරු වලට තිබුනු  ඉල්ලුම අඩුවීම නිසා ව්‍යාපාරික වශයෙන් පාඩු ලැබූ මේ පතල් සංකීරණය 1970 දී වසා දැමුණා. අතහැර තිබෙන අංක දෙක (2)  පතල භාවිතයෙන් නගරයේ ව්‍යාපාර උද්‍යානයට අවශ්‍ය බල ශක්තිය Geothermal Heating  ලෙස  සැපයෙනවා.






 1998 දී National historic  site  එකක් ලෙස ප්‍රකාශයට පත් කළ ස්ප්‍රින්හිල්  පතලේ කොටසක් මේ වන විට කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ගල් අඟුරු පතල් කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ලබාගන්නටත් 19 වන සියවසේ සහ විසිවන සියවසේ පතල්කරුවන් භාවිතා කළ උපකරණ සහ සේයාරූ මතක රැසක් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.


වඩාත් විශේෂිත කාරණය වන්නේ මේ පතලේ  සංරක්ෂිත කොටසක් පතල් චාරිකාවක් සඳහා සකස් කර තිබීමයි. විශ්‍රාමික පතල් සේවකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ චාරිකාවලදී නියාමකවරුන් ලෙස කටයුතු කරන නිසා බොහෝ ප්‍රායෝගික තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්.




මේ මීට පෙර ඔන්ටාරියෝ පළාතේ නිකල් පතලකට ගිය ගමනේ මතකයේ දිගුව 


අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු


https://ahasgawwenehalokaya.blogspot.com/2024/08/blog-post.html




ආරක්ෂිත කබායක්,  ආරක්ෂිත හිස්වැසුමක් ලාගෙන අංක දෙක පතලේ පිවිසුම් දොරටුවෙන් ඇතුළුවෙලා පහළට යද්දී ඔබට දැනෙන හැඟීම නම් වෙනස්ම එකක්. පොළොව මතුපිට කබා , හිස්වැසුම් තිබූ මඩුව,  ඒ වගේම අදාල පතල් සමාගම භාවිතා කළ උපකරණ,  පතල් කම්කරුවන් පතලට බසින විට ලැබුණු බඩු භාණ්ඩ,  ගල්අඟුරු හාරන්නට දුන් උපාංග ඔබට මෙහිදී  දකින්නට පුළුවන්. 





පතල් කම්කරුවන් විසින් හාරා ගත් ගල් අඟුරු පුරවන කුඩා දුම්රිය ගැල් වැනි Mine Cars  වලට පිරවීම සිදු කෙරුනා. ඒවා පොළොව මතුපිට පිහිටුවා තිබුනු  ගල් අඟුරු  දහනයෙන්ම බලය උපදවා ගත් ( Steam driven Hoist )  වාෂ්ප බලෙන් ක්‍රියාත්මක වන උපාංගය මඟින් කේබල් ආධාරයෙන් ඉහළට ඇද ගැනීම සිදුකර තිබුණා . ඉන් පසුව පොළොව මතුපිට පිහිටුවා තිබුණු පරිශ්‍රයකදී ඒ ගල් අඟුරු පිරිසිදු කර දුම්රිය ගැල්වලට පටවා තිබෙනවා. ගල් අඟුරු මගින් ක්‍රියාත්මක වූ වාෂ්ප දුම්රිය මගින් ඒවා කැනඩාවේ කුවිබෙක් පළාත,නෝවා ස්කොෂියා පළාත, නිව් බ්රුන්ස්වික් පළාත  සහ එඩ්වඩ් කුමාර දිවයින  පළාත තුල ක්‍රියාත්මක වූ විවිධ කර්මාන්ත ශාලාවල බලය සැපයීම වෙනුවෙන් බෙදා හැර තිබෙනවා. ඒ වගේම ඒ පළාත්වල විදුලි නිෂ්පාදනය සඳහාත් බහුල වශයෙන් ගල් අඟුරු භාවිතා වී ඇති බව සදහන්. අදත් නෝවා ස්කොෂියා පළාතේ විදුලි බලයෙන් කොටසක් නිෂ්පාදනය වන්නේ ගල් අඟුරු වලින්. 2030 දී ඒ පරිශ්‍ර වසා දැමීමට නියමිතයි.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.