මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, February 1, 2022

දෙකොන විලක්කුව සමග අතීතයට .........

 







      

2005 දී  ලියූ මේ කතාව 1987- 2005 කාලයේදී මා ලද අත්දැකීම් රැසක  නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි. මේ තුලින් දේශපාලන හෝ වාර්ගික මතවාද ඉදිරිපත් නොවන බව සලකන්න. 

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල 2022  පෙබරවාරි 

කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 


හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 



දෙකොන විලක්කුව


තුසිත නිල නිවාසයෙන් එළියට ආවේ  අද නින්ද අහලකටවත් එන බවක් පෙනුණේ නැති නිසා ය. නිසසල අඳුර අතරින් ඈතින් පෙනෙන්නේ විදුලි ආලෝකයෙන් දිදුන රුවන්වැලි දාගැබයි. පසුගිය දිනවල වැසි වැටුණ නිසා හාත්පස වෙනදා මෙන් දැඩි රස්නයක් නැත. මොකද මන්දා අද කවි සිතුවිලි පහ වන්නේ නැත.

ගැමියෙකු හුළු අත්තක් ගෙන කොහේදෝ යනු පෙනේ. බාගදා ඔහු නුවර වැවේ මාළු බාන ධීවරයෙකු විය හැකි ය. දැල් එලන්නට ඔරුවේ නැගී ඔවුන් යන්නේ රාත්‍රියට ය. පසුගිය සතියේ සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය නිසා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

හුළුඑළිය දිගේ තුසිතට සිහිපත් වුයේ දෙකොන විලක්කුව" යන වදනයි. දකුණේ තරුණ නැගිටීම් සමග උතුරේ  ත්‍රස්තවාදයත් සහිතව මීට වසර පහළොවකටත් වඩා ඉහත කාලයක රට පාලනය කල නායකයෙකු මේ වචනය නිතර භාවිතා කල බව තුසිතට මතක ය. තුසිත බරාදයේ වූ හාන්සි පුටුවට බර වුණේ සිතුවිලි දහරට සුවසේ දුවන්නට ඉඩ දෙන්නටයි.

මුදල් වංචාවක් පිළිබද විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් අගනුවර සිට අනුරාධපුර ශාඛාව ආවරණය කිරීම සදහා තුසිතට මාරුවක් ලැබෙන්නේ මාස දෙකකට කලිනි. බිරිදගෙන්, දරුවන්ගෙන් වෙන්ව ත දුරක නිල නිවාසයකට කොටු වුණු මේ මාස දෙකට ලද අත්දැකීම් නගරයේ දී අවුරුදු ගණනාවකට ලැබෙන්නේ නැතැයි තුසිතට සිතිණි.

හුරුළු වැව ව්‍යාපාරයෙන් ජලය ලබන ගලෙන්බිදුනුවැව, කැකිරාව, කටගස්දිගිලිය, රාජාංගන ව්‍යාපාරයෙන් මහවැලි දියවර ලබන ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශත්, මිහින්තලය, කලාවැව, තලාව ආදී ප්‍රදේශත් ආවරණය කෙරුණු තුසිතගේ ආයතනයේ සේවා වපසරිය ප්‍රධාන බැංකු ශාඛාවට අමතරව ජංගම බැංකු රථ රැසකින්, විශාල ක්ෂේත්‍ර නිලධාරීන් රැසකින් පිරි සැමදා කාර්ය බහුල දුෂ්කර නමුත් නැවුම් අත්දැකීම් දෙන සේවා ආයතනයක්ව තිබීම නිසා දවස් ගෙවී ගියේ පුදුම වේගයකිනි.

මුදලින් දුප්පත් නමුදු ආගන්තුක සත්කාරයෙන් පොහොසත් බහුතර ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේ දී සහ දවස පුරා විවිධ ඉසව් කරා යද්දී දකින මනරම් දසුන් පවුලෙන් මිදුණු කාන්සිය මදක් සමනය කද සිතුමිණි ගෙන් සහ දියණියන්ගෙන් වෙන්වුණු ඒ කාලය තුසිතට තවමත් ජීවිතයේ හිඩැසක්ව  මතක තිබේ.

කෘෂි ණය පිළිබද ලිපිගොනු අතරේ සිරව සිටි මොහොතක කාර්ය සහායක , ජගත් සර්, දොස්තර මහත්තය සර්ව හම්බුවෙන්න පුළුවන්ද අහනවා!” යැයි අසමින් තුසිත ගේ අවධානය බින්දේ සෝපාවේ වාඩි වී සිටි මැදිවියේ තරුණ මහතෙකු දෙස අත දිගු කරමිනි. පෙනුමෙන් එක්වරම තුසිතට ඔහු ගැන මතක නොවුණත් කුතුහල නිසා හා එන්න කියන්න කීවේ ලිපිගොනුවට කලින් ගණුදෙනුකරු යන සේවක ප්‍රතිපත්තිය නිසාදැයි තුසිතට මතක නැත.

තුසිතට මාව මතකද දන්නෙ  නැහැ. දැන් ඉතින් අපි දෙන්නගෙ ම රූපෙ වෙනස් වෙලානෙ වයසත් එක්ක  කටහඩ මද සමීප බවක් දැනුත් තුසිතට තවමත් නමක් මතකයට එන්නෙම නැත.

තුසිත නිහඩය. ඔහු යළිත් හ අවදි කළේ ය.මම රනුක මතකද රාහුලේ හිටියෙ? මතකද අපි රුහුණු ළමා රඟමඩල නාට්‍ය  කරන්න යනවා?”

ඇත්තමයි රනුක, උඹ හරියට වෙනස් වෙලා. උඹ කොහෙද මෙහෙ?"

අපි ඉතින් දැන් කලක ඉදන්ම මෙහෙ තමයි. මුලින් කොටි කටේ, පදවිය ඉස්පිරිතාලෙ වැඩ ළේ. අනුරාධපුරයට මාරුවෙලා අවුරුද්දක් විතර ඇති. පහේ වාට්ටුවේ වැඩ. මම මේ බැංකුවට තමයි එන්නෙ. සැකේට ඇහුවම දැනගත්තා උඹ ම තමයි කියල රනුක දිගටම කියවාගෙන යයි.

ඇත්තට ම අවුරුදු පහළොවකට කොච්චර දේවල් වෙනස් වෙලාද? මට මතකයි භීෂණය කාලෙ තාත්තලා අපි අරන් කොළට  ආපු හැටි. ඉතින්, ඉතින්?” තුසිත සහ රනුක අතර දිගු කතා බහ නිමාවුයේ රනුකගේ නිල නිවාසයට රාත්‍රී කෑමකට ක ආරාධනාවත් සමගිනි.

රනුක බොහෝ දක්ෂතා තිබු තුසිත ගේ පාසැල් සගයෙකි. රජයේ ආයතනයක මුරකරුවෙකු වූ ඔහුගේ පියා සිය සොච්චම් වැටුපෙන් දරුවන් තිදෙනෙකු සමග කරන ජීවන සටන දුටු රනුකගේ වැඩිමල් සොහොයුරා උසස් අධ්‍යාපනය

පසෙකලා යු හමුදාවට බැදුනේ බාල සොයුරු රනුක ගේත්, සොහොයුරියගේත් යහපත පිණිස ය. ලංකාව සහ ඉන්දියාව අතර 1987 දී අත්සන් කෙරුණු සාම ගිවිසුමත් සමග පැන නැගුණු භීෂණකාරී වාතාවරණය ප්‍රදේශවාසීන්ට ගෙනදුන්නේ මහත් අමිහිරි මතක රැසකි.

තුසිත යළිත් තමාට දෙකොන විලක්කුව යන වදන සිහිපත් වුයේ ඇයි දැයි කල්පනා කළේ ය. දෙපසම ගිනි ගන්නා පන්දම යන අරුත එහි ගැබ්ව තිබේ. ඒ සමය රනුකගේ පවුලට දෙකොන විලක්කුවක්ම වුයේ ය.

රාජ්‍ය විරෝධී සංවිධාන උතුරේත්, දකුණේත් රජයට අයත් දේපල විනාශ කර දමමින් විරෝධය ප්‍රකාශ කළේ ඉතා දරුණු අන්දමිනි. ප්‍රදේශයේ තිබු ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථානයට ගිනි තැබීමෙන් පසු රනුක, තුසිත ඇතුළු පිරිසට සිය නිර්මාණ කටයුතු නවතා දමන්නට සිදුවිය. පාසැල කලින් කලට වසා දැමේ. ගමට යන බස්ථය ගිනි තැබීම නිසා රනුකටත්, අක්කාටත් දිනපතා සැතපුම් පහක් පයින් යන්නට සිදුවුයේ අන් විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් නොතිබූ බැවිනි. උතුරේ සේවය කරන තම වැඩිමල් සොහොයුරා වෙනුවෙන් ඉවසමින් ඔවුන් හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත විය.

හමුදා සාමාජිකයින්, රජයේ සේවකයින්, තරුණයින් ඝාතනය වෙමින් තත්වය එන්න එන්නම දරුණු වුයෙන් තුසිතගේ පියා තමන් කැටුව කොළට මාරුවක් ගෙන පැමිණි අයුරු තුසිතට සිහියට නැගිණි.

නුහුරු කොළට හුරු වීමත්, අධ්‍යාපන කටයුතුත් නිසා අද මෙන් සන්නිවේදන ජාලා නොතිබුණු එකල තුසිතට පාසැල් සගයින්ට ආයුබෝවන් කියන්නට සිදුවිය. රැකියාව සහ විවාහය නව සම්බන්ධතා ගොඩ නගමින් පැරණි සබකම් දුරස් කර දැමුවේ යැයි තුසිතට සිතිණි.

බිල්ලන්ගෙනුයි , ආණ්ඩුවේ මැරයින්ගෙනුයි දවල්ට බේරිලා ඉන්න අතරේ, හමුදාවේ අයියා වැඩ කරනවා කියල  දේශප්‍රේමින්ගෙනුත් මරණ තර්ජන ආපු හින්ද අපි මාතර ටවුමේ කාමරයක් කුලියට අරන් ඇවිත් තමයි ඉගෙන ගත්තෙ. අයියට  පින් සිද්දවෙන්න කොහොම හරි අපි ගොඩ ගියා. තාමත් ඒ කාලෙ  හීනයක් වගේ රනුකගේ වචන තුසිත ගේ සිතේ පිලි රැවු  දෙයි.

ඉතින් දැන් අය්යට කොහොමද? අම්මා, තාත්තා? අනේ ඉස්සර උඹලගෙ අම්මා හදන දෙල් වෑන්ජනේ! අපි කොච්චර ආසාවෙන්ද එහෙ එන්නේ?”

රනුකගේ මුහුණ එක පාරටම වෙනස් වුණු හැටි තුසිතට යළිත් සිහියට නැගිණි. විනාඩි කිහිපයක නිහැඩියාවකට පස්සෙ රනුක යළි හඩ අවදි කළේ "අයියලගේ ට්‍රක් එක බෝම්බෙකට අහුවෙලා. අපිට අයියගේ මිනියවත් බලන්න ලැබුණේ නැහැ. සීල් කරපු පෙට්ටියකයි ගෙනාවෙ. ඒකෙන් පස්සෙ අම්මගෙත් සිහි කල්පනාව හො නැහැ. දැන් වැලිගම අක්කා ගාව ඉන්නෙ. තාත්තත් අවුරුදු පහකට කලින් නැතිවුණා!"

"මාතරට මාරුවක් ගන්න අදහසක් නැතෙයි?" කටින් ගිලිහුණු වචන ආයෙමත් ගන්නට පුළුවන් තිබුණා නම් තුසිතට පසුව සිතිණි.

"මේ මිනිස්සු විදින දුක දැක්කම දාල යන්න හිතෙන්නෙ නෑ මචං. පුළුවන් නම් පදවිය පැත්තෙ මායිම් ගම්මානෙකට ගිහින් බලපන්. උඹට ගොඩක් දුක හිතේවි. මම ළමයි ටිකක් ලොකු වෙනකම් හරි මේ මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්නවා" රනුකගේ වචන තියුණු පිහිතලයකින් පපුවට අනින්නා සේ දැනිණි.         

දකුණේ භීෂණය අවසන් වුවත්, තවමත් කොටි තර්ජන නිසා සාමාන්‍ය ජීවිතයට ඇති අපහසුතා සමග ප්‍රහාරවලින් මියගිය තරුණ හමුදා සෙබළුන්ගේ දේහ නගරයේ මල් ශාලාවලට ගෙනෙන විට දැනෙන ජනතාවගේ නොසන්සුන්කමත් , අසරණ බවත්  මේ ටික දිනට තුසිත හොඳින් අවබෝධ කර ගත්තේ ය.

දේශපාලකයන්ගේ පාට කුමක් වුවත්, නගරයේ දී ජාතිය කුමක් වුවත්, සැපට සනීපයට ගත කරන විට ඇගට නොදැනුත්, පොළොවේ පය ගසා ග්‍රාමීය,  පිටිසර ප්‍රදේශවල ගත කරන විට උතුරේත්, දකුණේත් පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය එදත් අදත් දෙකොනෙන් ම ගිනිගන්නා විලක්කුවක් මෙනැයි තුසිතට සිතේ.

- අනුරුද්ධ වැලිගමගේ

[anuruddhawe@yahoo.com]


 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. හ්ම්... කතාව රසවින්ඳ. දැනුත් රට තියෙන්නෙ දෙපැත්ත නෙමේ හතරදිගින් ගිනියම් වෙවී

    ReplyDelete
    Replies
    1. හ්ම් ..... නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි ......

      Delete