මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Saturday, February 21, 2026

සංයමයෙන් ශෘංගාරය පද තුළට කැටි කළ ගීත තුනක්


ලිංගිකත්වය ප්‍රාථමික සත්ව  අවශ්‍යතාවයක් වුණත් ශෘංගාරය නමින් එය මහත් සංයමයෙන් භාවිතා කරන සත්ව කොට්ඨාශය මිනිසුන් කියල කියන්න පුළුවන්. ආගමත්, සංස්කෘතියක්, හොඳත්,  නරකත්  මේවා තුලනය කරමින් තිරිසනුන් නොවී ජීවත් වන හැටි කියා දෙනවා.

ශෘංගාරය ගැන සංයමයෙන් ලියවුණු සිංහල ගීත ගැන  කතා කරද්දි බොහෝ දෙනෙකු කතා කරන්නේ කේ ඩී කේ ධර්මවර්ධන ගීත රචකයා ලියූ " කුමරියක පා සළඹ සෑලුවා"  ගීතය ගැන වුණත් තවත් ගීත රැසක පද තුළට ශෘංගාරය නිර්මාණාත්මක සංයමයකින් කැටි කරන්නට රචකයින් රැසක් සමත්වී තිබෙනවා.


මේ ගීත  තුනම ගීත රචකයෙන් තිදෙනෙක් විසින් ලියූ ඒවා. ගීත රචිකාවියන් ලියූ එවන් ගීත ඔබට මතක් වෙනවා නම් ඔබත් ඒ ගැන ලියන්න.  මම ගීත විචාරකයෙක් නෙවෙයි හොඳ ගීත රසිකයෙක් විතරයි. මම මෙහි ලියන්නේ මට හිතෙන සරල අදහසක්. ඒත් එක්ක මේ ගීතවල  පද බලලා  ගීත අහලා මම කියන දේ එක්ක ඔබට එකඟ වෙන්නත් , නොවෙන්නත් පුළුවන්.


 රෑ අහසේ



මේ  ගීතයේ එන තරුණයා තරුණියට ජීවිතයේ මිහිරියාව සම්පූර්ණ කරගන්න ඔහු හා ශෘංගාරයෙන් එක්වන්නට ඇරයුම් කරනවා.  ඒ පද අතරින් සරලව ආලයේ  ඉදන් ශෘංගාරයේ මුදුනටම යනවා කියලා කියන්න පුළුවන්.


ගීතයේ පදපෙල කිහිප වතාවක් කියවලා බලන්න.  



 මේ යූ ටියුබ් දිගුවෙන් ගීතය අහල බලන්න 




රෑ මැදියම මත් වූ තොටියෝ



මේ ගීතය කාලෙකට ඉහතදී විවාහ වූ යුවළකගේ ආශාවන් ගැන බිරිඳකගේ පැත්තෙන් කරන ඉල්ලීමක් කියල  කියන්නත් පුළුවන්.අතීතයේ අනුරාගයෙන් පිරුණු  සැමියාගෙන්ම මගහැරුණු ආලවන්ත කමත්,  ශෘංගාරාත්මක මතකත් අවදි කර ගන්න බිරිඳ කරන ආරාධනාවක් වගෙයි. ලංකා සමාජයේ නුපුරුදු නමුත් වර්තමාන පරම්පරාවෙන් අපි දකින හොඳ සන්නිවේදනයක් මේ ගීතය තුළ තිබෙනවා.  


ගීතයේ පදපෙල කිහිප වතාවක් කියවලා බලන්න.  



 මේ යූ ටියුබ් දිගුවෙන් ගීතය අහල බලන්න 



 මා ළඟටම තව ළං වෙලා



මේ ගීතයේ ඉන්නා ආදරණීය යුවළට සිඟිති දරුවෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනාට මැදිව නිදන ඒ දරුවා නින්දෙන් ඇහැරවන්නට තියෙන අකමැත්ත වගේම පෙර පුරුදු තුරුල්ලට බිරිඳවත් කැඳවාගන්නට  සැමියාගේ ශෘංගාරාත්මක හැඟීම් අවදිවීම ගැන වචන මේ පද පෙළ අතරින් හොයා ගන්න පුළුවන්.  


ගීතයේ පදපෙල කිහිප වතාවක් කියවලා බලන්න.  



 මේ යූ ටියුබ් දිගුවෙන් ගීතය අහල බලන්න 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Free

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, June 28, 2025

චිත්‍ර පංතියක මතක





මට මේ සටහන ලියන්න කාරණා කිහිපයක් බලපෑවා. පළමුවැන්න  සහෝදර බ්ලොග් නිර්මාණ කාරිනිය  හෙල්මලී ගේ ඩිජිටල් චිත්‍ර. දෙවැන්න ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා යූ ටියුබ් වැඩසටහනකදී ප්‍රකාශ කල  ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයා නතර කළ ජර්මන් නාට්‍ය ශිෂ්‍යත්ව. තුන්වැන්න අබලන් කියල ගාල්ලේ ඉවත් කරන ලංකාවේ සුනාමි ආපදා දැනුවත් කිරීමේ කුළුණු. 

මාතර රාහුල විද්‍යාලය හයේ පන්තියේ ඉන්නකොට මම සෞන්දර්ය විෂය විදිහට මුලින්ම සංගීතය කරන්න ගියා. සංගීත විෂයට හිටපු ටීචර් හරිම සැරයි, ඒ වගේම ගායනයට ලකුණු දෙන්නෙත් අඩුවෙන්. ඒ කාලේ පන්තියේ වෙනියා තෝරන හින්දා පන්තියේ හොඳ තැනක හිටපු මම එකපාරටම පහලට වැටුනා. අපට පරම්පරාවෙන් එන කලා පසුබිමක් නැහැ . සෞන්දර්ය සහ තාක්ෂණ විෂය තෝරගත්තෙ උගන්වන ගුරුවරු ගැන ඉහළ පන්තිවල අය්යලා කියූ හැටියටයි . අම්මලා තාත්තලා ගෙන් ඒවට බලපෑමක් තිබුනෙ නැහැ. රාහුල විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය සංගීත ගුරුතුමියගේ අම්මා,  සංගීත ගුරුතුමියට හාත්පසින්ම වෙනස්. හරිම කරුණාවන්තයි. අනේ ලෝබ  නැතුව ලකුණුත් දෙනවා. අංශ ප්‍රධාන ගුරු මහත්මයට කියල දෙවන වාරයේ ඉඳන් මම චිත්‍ර විෂයට මාරුවක් ගත්තා . ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ට සාමාර්ථයක් ගන්න තරමට චිත්‍ර විෂය මට නැගල ගියා.


මාතර ප්‍රදේශයේ චිත්‍රවලට උනන්දුවක් ඇති පාසැල් සිසු සිසුවියන්ට  සෙනසුරාදා දවසේ නොමිලේ රජය විසින් පවත්වන පාඨමාලාවක් ගැන දැනගන්න ලැබුනේ  ඒ අතරේ.  ඒක තිබුණේ  මාතර මැද්දවත්ත රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන රෝහණ කියන විද්‍යාලයේ.  මමත් සතියකට සැරයක් බස් එකේ මැද්දවත්තට ගිහින් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මුලින්ම දිය සායම් , පැස්ටල් , චිත්‍ර වලට අවශ්‍ය කොළ වගේ දේවල් නොමිලේම ලැබුණා . ගුරු මහත්තුරු හෝ ගුරු මහත්මීන් දෙදෙනෙක් මාරුවෙන් මාරුවට ඇවිත් අපට උපදෙස් දුන්නා. ඒ අය අපේ චිත්‍ර බැලුවා විතරක්ම  නෙමෙයි අපි ලවා විවිධ නිර්මාණ අභ්‍යාස කරා. දැඩි විෂය නිර්දේශ වෙනුවට එතැන තිබුනේ හරිම නිදහස් පරිසරයක්. ගොඩක් වෙලාවට අපට නිදහසේ චිත්‍ර අදින්න ඉඩ ලැබුනා. ගුරුවරු කලේ අපේ දක්ෂතා වලට උදව් දුන්නු එක විතරයි. අපි එහෙම අදින චිත්‍ර ලංකාවේ විතරක් නෙවෙයි විදේශ චිත්‍ර තරගවලට පවා යැව්වා. ඒ කාලේ ජපාන චිත්‍ර තරග හරිම ප්‍රසිද්ධයි.



මිනිස් රූප ලස්සනට අඳින්නට බැරි වුණත්, වර්ණ මිශ්‍ර කරන්න, රූප ගලපන්න යම් තරමක දක්ෂකමක් මටත් තිබුණා මගේ චිත්‍ර කිහිපයකට විවිධ තරඟවලින් කුසලතා සහතික ලැබුණා කියලත් ඒවා අධ්‍යාපන කාර්යාලයේ තිබෙන බවත් ඉදිරි කාලයකදී  ලැබෙනවා කියලත් කිව්වා. හැබැයි කවදාවත් අපට ඒවා ලැබුනේ නම් නැහැ.  රටේ තත්ත්වය වෙනස් වුණා. පළාතට භීෂණය ආවා.වියදම් කප්පාදු වුනා.උපකරණ දෙන එක නතර වුණා. ගුරුවරුත් සතියකට දෙන්නා වෙනුවට එක්කෙනා වුනා . ගෙවීම් ප්‍රමාදයි  කියලා එන එක්කෙනත් නතර වුණා . දවස් ගණන් අපි රස්තියාදු වෙන හින්දා ඒ වැඩේ හබක්වෙලා  පන්ති යන එක නැවැත්තුවා. චිත්‍ර පන්තියට ආව ගිය අතරෙ  රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කෝකි අයියා එක්ක යාළුවෙලා කෑම  සප්පායම් වුනු හැටි , මුහුදු වෙරළේ කළ කී දේ මතක  මගේ කෙටි කතාවලට ඉතිරි කර ගන්න අවශ්‍ය නිසා නොකියා තියාගන්නම් . 


චිත්‍ර අඳින්න බඩු ගන්න මාතර තැපැල් කන්තෝරුව ළඟ තිබෙන මුස්ලිම් කඩේට අපි පුරුදුවෙලා හිටියේ එතනින් යම් තරමක සහන මිලකට ඒවා ගන්න පුලුවන් වුනු හින්දයි. ඒ වගේම ඒ කාලේ චිත්‍ර රාමු කරගන්න එකත් තරමක් දුෂ්කර වැඩක්. දවස්  ගණන් රස්තියාදු වෙනවා. චිත්‍ර තරඟ වලට චිත්‍ර යැවූ විදිහ ගැන මතක නැති වුනත් චිත්‍ර ප්‍රදර්ශන වලට අවශ්‍ය විදිහට පින්තූර රාමු කරලා ගන්න වැඩේ බර කරට ගත්තෙ නම් තාත්තා තමයි. අද බලන කොට විෂයන් ඔක්කොටම ටියුෂන් යන ළමයි වෙනුවට එදා අපට කොච්චර බාහිර වැඩ තිබුණද කියල හිතෙනවා. චිත්‍ර පන්තිය , රුහුණු සේවය , දහම් පාසැල  , මුතුහර රූපවාහිනි ළමා සමාජය සති අන්තයම අත්දැකීම් පිරුණු රස්තියාදුවක්.   


අදත් ලෝකෙ කොහේ හරි සංචාරය කළොත්, නගරයේ යම් තැනක ඉඩ තියෙන වෙලාවකදි චිත්‍ර හෝ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බොත් ඉඩ ලැබෙන විදිහට ඒවාට යන්න පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ ඒ හින්ද වෙන්න ඕන. මේ රටේ විවිධ ආයතනවලින් නගරයේ නගර සභාවෙන් වැඩිහිටි අය වෙනුවෙන් සංවිධානය වන චිත්‍ර පන්ති තියෙනවා. විශ්‍රාමික අය ඒවට ගිහින් තමන්ගේ කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා සතුටින් ඉන්නවා.සමහර විට විශ්‍රාම ගත්ත දවස්වලට ඒ වගේ ඒවාට යන්නත් වැඩි වැඩියෙන් කලාගාර බලන්නත් ඉඩ තියෙනවා. ඒවාට ඉතින් තව කල් තියෙනවනේ.



මම ගූගල් සිතියමෙන් බලද්දි, දැන් අපි චිත්‍ර අඳින්න ගිය ඉස්කෝලෙ තාප්ප ගහලා තට්ටු ගොඩනැගිලි හැදිලා නිකං මාතර ටවුමේ කෑල්ලක් වගේ වෙලා. අපි යන කාලේ ඒ ඉස්කෝලේ පෙනුනේ හැට ගණන් වල චිත්‍රපට වල දැක්ක මධ්‍ය මහා විද්‍යාලයක් වගේ, හරිම ලස්සනයි. විෂය අධ්‍යාපනයට අමතරව ශිෂ්‍ය දක්ෂතා දියුණු කරන්න ලකාවෙ කොච්චර ලස්සන ව්‍යාපෘති තිබිල තියෙනවද?  පෞද්ගලික හේතු සහ උවමනාවක් නැති කම නිසා පසුකාලීනව  භාවිතයට නොගෙන ආධාරදුන් ඒ ඒ ආයතනවලට ඇදිලා ගිය මුදල් සහ ඒ ව්‍යාපෘති නිසි විදිහට කළමනාකරණය වුණානම් කියල මට හිතෙනව. 


පහුගිය දවසක අජිත් ජිනදාස ප්‍රවීණ රංගවේදියා එක්ක කළ රූපවාහිනි කතාබහක දී ඔහු කිව්වේ රත්නපුරේ ළමයකුට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇවිත් ලෝකය දකින්න ලැබුණේ ලංකාවේ ඒ කාලෙ තිබුනු ශිෂ්‍යත්ව විභාගය නිසා කියලයි. ඒ වගේම අපේ ජීවිත කාලයේදී අපට අත්දකින්නට ලැබුණු සුනාමි උවදුරේ දී ලංකාවට ආධාර විදිහට ලැබුණු බහුතරයක් දේ  නිසි නඩත්තුවක් නැතිකම නිසා අද වෙනකොට අබලන් වෙලා භාවිතයට ගන්න බැරි තරමටම සවුත්තු වෙලා. දේශපාලන අධිකාරියට විතරක් බැන බැන ඉන්නෙ නැතුව නිලධාරීන් සහ පුරවැසියන් විදියට හැමෝම තම තමන්ගේ යුතුකම සහ වගකීම පැහැර හැරීම හේතුවෙලා  කියලා මට හිතෙන්නෙ නිසි ක්‍රමවේද වලට , නිසි වෙලාවට මේ රටවල දේවල් නඩත්තුවෙන හැටි දැක්කමයි.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, January 11, 2025

මගේ සීටීබී බස් මතක

 


මේ  සටහන ලියන්නට පදනම වැටුණේ මම සහෝදර එකනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියේ ලිපියකට දැක්වූ ප්‍රතිචාරයකට ඇනෝ කෙනෙක් එකතු කල සටහනක්. 

 මේ එම ප්‍රතිචාරය සහ ඇනෝ ගේ සටහන

අනුරුද්ධ වැලිගමගේJanuary 3, 2025 at 8:49 AM

ප්‍රායෝගික කියැවීමක්. ඉස්සර ලංගම බස් ගත්තෙත් ඔය විදිහටම කියල අහල තියෙනවා

. උඩරට ඩිපෝවලට ටාටා , දකුණට ලේලන්ඩ්, කොළඹට ඉසුසු. එතකොට ඒ

ඒ ඩිපෝ වල වගේම ප්‍රාදේශීය වැඩපල වල ඒ වෙනුවෙන් මනා දැනුමක් තියෙන

පිරිසක් වගේම අමතර කොටස් ගන්න විදිහට පහසු විදිහක් තිබුණාලු.

තවත් වටිනා අදහසක්.

AnonymousJanuary 3, 2025 at 9:04 PM

@ අනුරුද්ධ

ප්‍රායෝගික නෙවෙයි ඉකොනොමැට්ටා ලියපු මේ කරුණු සියල්ලම තනිකරම කිසිම

අවබෝධයකින් තොරව ලියපු මනස්ගාත ටිකක්. ප්‍රායෝගික භාවිතය ඔයිට

වැඩිය ගොඩක්ම වෙනස්.

මේ උදාහරණ සේරම ප්‍රායෝගික භාවිතය තුල සම්පූර්ණයෙන්ම වැරදියි.

ඕන නම් එකින් එක ගෙන පැහැදිලි කරන්න පුළුවන්.

මුලින්ම ඔයා මේකේදී ගත්ත උදාහරණය ගත්තොත් ලංගම බස්රථ ගත්තම

කොළඹට ඉසුසු දකුණට අශෝක් ලේලන්ඩ් උඩරටට ටාටා ගත්තා

කියලා කියන හේතුව සම්පූර්ණයෙන්ම වැරදියි.

ලංකාවේ සාමාන්‍ය පොදු ප්‍රවාහනයට ගන්නා සියලුම බස්රථ ගත්තොත්

ඉන් අතිශය බහුතරය අශෝක් ලේලන්ඩ් වයිකිං බස්, ඉතුරු ටික ටාටා

1510/1512 බස්. ඔය දෙක තමයි ප්‍රධාන ඒකට හේතු ගොඩක්ම තියෙනවා

, කඳුකර ප්‍රදේශවල ටාටා 1512 බස් ජනප්‍රිය ඒකේ කමින්ස් 6BT 5.9L

එන්ජිමේ torque එක වැඩි නිසා ඒක කඳුකර ප්‍රදේශවල කඳු අදින්නට

හොඳ උනත් වයිකිං හීනෝ H සීරීස් එන්ජිම වගේ තැනිතලා ප්‍රදේශවල

efficiency smooth acceleration fuel economy එක සහ මේන්ටෙනන්ස්

අතින් සාර්ථක මදි නිසා බහුතර තැනිතලා ප්‍රදේශවල භාවිත වෙන්නේ

ඉතාමත්ම අඩුවෙන්. මේක පෞද්ගලික අංශයේ බස් වලටත් පොදුයි,

ටාටා තැන්නේදී හරිම uncomfortable low efficiency and comparatively

higher maintenance වියදම නිසා කන්දට විතරයි සාර්ථක

ලංගම බස්රථ ගත්තමත් ඒවගේම තැනිතලා ප්‍රදේශවල අශෝක් ලේලන්ඩ්

වයිකිං, කඳුකර ප්‍රදේශවල ටාටා වෙන්නේ එහෙම.

කොළඹට ඉසුසු කියන කතාව ඇත්ත නෙමෙයි. ඇත්තටම ලංගම ඉස්සර

තිබුණා ඉසුසු ELR500 කියන දිගුදුර ඉන්ටසිටි බස්, ඒවා 1980/90 දශකවල

අපි උපදින දවස්වල දුවපුවා, දැන් එච්චරම දකින්න ලැබෙන්නේ නෑ, ඒවා

කොළඹ විතරක්ම නෙවෙයි රට පුරාම විවිධ ඩිපෝවලට දීලා තිබුණා

දිගුදුර වේගවත් ධාවනයට, ඉන්ටසිටි බස් විදියට, ඒත් ලංකාවේ එකල තිබ්බ

රළු පාරවල ඒවායේ දුනු නිතර කැඩීම සහ සෙනඟ වැඩිපුර පැටෙව්වාම

චැසියට හානි සිදුවුණා ඒවායේ රේටඩ් බරට වඩා සෑහෙන වැඩිපුර සෙනඟ

පටවන්න බෑ ඉන්දියන් බස් වලට වගේ

ඒකට ඇත්ත හේතුව අශෝක් ලේලන්ඩ් වල maintenance වියදම අඩුයි දොර

දෙක තියෙන විදිය ඉන්ජිම කාර්යක්ෂමයි.

ටාටා සහ අශෝක් ලේලන්ඩ් දෙකේ මහලොකු Maintenance කරන්න අමුතු

රොකට් තාක්ෂණය nuclear රියැක්ටර් තාක්ෂණය ඕන නෑ, ඔය දෙකේම

එන්ජින් වල මහාලොකු සංකීර්ණ වෙනස්කම් නෑ, අනෙක් පද්ධති transmission

system, සස්පෙන්ෂන් බ්‍රේක් පද්ධති විදුලි පද්ධතියට වගේ මහාලොකු

වෙනස්කම් නෑ. සාමාන්‍ය තාක්ෂණික දැනුම ඇති technicianලාට හදන්න

පුළුවන්. එන්ජිමේ සුලු වෙනස්කම්වලට, clutch දෙක ටාටා එකට වඩා Leyland

එක ටිකක් ලොකුයි Dia, ටාටා 5 ස්පීඩ් ගියර්බොක්ස්, Leyland 6 speed දෙකේම

එයාර් බ්රේක් බොහෝ සමානයි, ටාටා suspension වල රබර් එන්ඩින් එනවා,

ටාටා විදුලි පරිපථ පද්ධතිය ඩෑෂ් බෝඩ් analog ලේලන්ඩ් එකේ ඩිජිටල් ඔය

වගේ සුළු වෙනස්කම් හැර මහලොකු වෙනසක් නෑ



1973 අග භාගයේදී උපන් මට මගේ මතක අතරට සිටීබී බස් රථ එකතු වන්නේ ජීවිතේ කලින් කලට

විවිධ ප්‍රදේශවල ජීවත් වන විටයි. මම තාක්ෂණික තොරතුරු ගැන එතරම් දැනුමක් නැති නමුත්

වාහනවලට ඇල්මක් දක්වන කෙනෙක්. මේ සටහනට එකතු කර තිබෙන්නේ මේ වන විට

අන්තර්ජාලයෙන් සොයා ගත් සමහර තොරතුරු සහ සේයාරූ කිහිපයක් සමග මාගේ මතක.

ඒ කාලයේ ඒ බස් වර්ගවල මොඩල් ගැන මට දැනුමක් නොතිබූ නිසා මෙහි සටහන් ක‍රන්නේ

අන්තර්ජාලයේ ඇති මාදිලි වල නම් බව කරුණාවෙන් සලකන්න.  

1978 -  1982  අතර කාලයේදී අපි ජීවත් වුණේ කුරුණෑගල කහදවැලිපොත කියන ගමේ.  කුරුණෑගල

මලියදේව විද්‍යාලයේ ප්‍රාථමික පංති වල ඉගෙන ගත්  මම බොහෝ වෙලාවට පාසැල් ගියේ

කුරුණෑගල දකුණ ඩිපෝවෙන් ධාවනය වූ මාර්ගා අංක  564 යටතේ ධාවනය වුණු බස් රථවල. 

ඒ කාලේ කුරුණෑගල දකුණ ඩිපෝවෙන් ධාවනය වුණු දොර දෙකේ මර්සිඩීස්  බෙන්ස් op312

වර්ගයේ බස්  මට මතක බණ්ඩත්තා  හින්දයි. බණ්ඩත්තා  කියලා කියන්නෙ අපට නෑදෑ වෙන

මේ මාර්ගයේ බසයක් පැදවූ රියැදුරු මහතෙක්. ඒ මතකය ඇසුරින් මා ලියූ කෙටි කතා මතකය යි මේ.


සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය

https://ahasgawwenehalokaya.blogspot.com/2021/11/blog-post_13.html



ඊට අමතරව එම මාර්ග අංකයේම ලංගම  විසින් පොඩි ගැසූ දොර දෙකේ මර්සිඩීස් බෙන්ස්  එල් පී 322 

බස්රථ කිහිපයක් ධාවනය වූ  බවයි මට මතක.ඒ  කාලයේ කුරුණෑගල දකුණ ඩිපෝවේ තනි දොර ටාටා

එල් පී 1113/42 බස් රථත් තිබුණු බව  මතක ඒවා කුරුණෑගල බස් නැවතුම්පල පරිශ්‍රයේ ගාල්කර තිබුණු

හන්දයි.  ඒ වගේම මහනුවර,  කෑගල්ල වැනි කඳු සහිත මාර්ග ඇති නගරවලින් කුරුණෑගලට ආ බස් රථ

බොහොමයක් ටාටා මාදිලියේ ඒවා වූ බවයි මතකයේ තියෙන්නේ.බොහෝ විට තැනිතලා ප්‍රදේශවල

මාර්ග ධාවනය භාරව තිබුණු කුරුණෑගල උතුර දිපෝවට තිබුණේ දොර දෙකේ ඉසුසු බීඑෆ් 50 ලංගම

බොඩි ගැසූ බස්  බවයි මතක.

1983 - 1990  කාලයේදී අප ජීවත් වුණේ මාතර නගරයේ නිසා බහුලවම එකල අපේ ප්‍රවාහනය සිදුවුණේ

පා පැදි වලින් ඒ නිසා ලංගම බස් මතක වල ගමන් මතක එතරම් නැති වුණත් එකල ඒ ප්‍රදේශය මාර්ගවල

ධාවනය වූ බස් රථ සියල්ලක්ම පාහේ ලේලන්ඩ් කොමට් හා අශෝක් ලේලන්ඩ් දොර දෙකේ බස් බවයි මතක.

ලංගම මගම වෙලා දියාරු වෙලා යද්දී ඉසුසු ජර්නි ඒසී බස්රථ, විවිධ වර්ගවල  පෞද්ගලික බස්

රථ මාර්ග ආක්‍රමණය කරනකොට ලංගම බස් පණ ඇද ඇද පාරෙ දිවූ මතකත් තියෙනවා.

නිල ඇදුම් , විනයක් තිබුණු සේවක පිරිසක් සේවය සැලසූ බස් සේවය සුළු ව්‍යාපාරික

පිරිසකගේ බිස්නස් එකක් බවට පත්වෙලා මගියා රුපියල් ගාණක කෑලි බවට පත්වුණේ

ඔය කියන වකවානුවේදී තමයි. එහෙම අමාරුවෙන්  දිවූ බස්  කිහිපයෙන්  බහුතරයක්

1987 දී අත්සන් තැබුණු ඉන්දීය  සාම ගිවිසුමට විරෝධය පාමින්  පටන් ගත් රාජ්‍ය

විරෝධය හමුවේ දේශප්‍රේමී ව්‍යාපාර නාමයෙන් තැනින් තැන ගිණි තැබුණු නිසා

අන්තිමේදී ඉතුරු වුණේ බොහොම සුළු බස් රථ ගණනක් විතරයි. 

මේ  කතාවට පාදක වන්නේ ඒ කාලය ගැන ලියැවුණු මතක එකතුවක් 

දෙකොන විලක්කුව සමග අතීතයට .........

https://ahasgawwenehalokaya.blogspot.com/2022/02/blog-post.html


ආයෙමත් ලංගම බස් මතක මගේ ජීවිතේට එකතු වුනේ 1990 -1992 කාලයේදී වත්තල මාබෝල

ප්‍රදේශයට පදිංචියට ආවට පස්සේ. රජය සේවකයන් වුණු මගේ දෙමාපියන් අපට අරගෙන දුන්නු

සීසන් එකත් අරගෙන කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට යන්න උදෙන්ම පාරට බහින්න

උනේ ඒ වෙනකොට ලංගම දියවෙලා පෞද්ගලික බස් බුරුතු පිටින් පාරට වැටිලා තිබුණු කාලේ.

ඩී.එස් එකට රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඉදන් ජාඇල ඩිපෝවෙන් බස් එකක් තිබුණත් ඒක 

කවදාවත් විශ්වාස කරන්න පුළුවන් සේවයක් තිබුණු එකක් නෙමෙයි. ඒ හින්ද අපි කලේ මීගමුව

කොළඹ 240 මාර්ග අංකය  යටතේ තිබූ ලටෙක් කහ පාට බස් වලින් තොටළඟට ගිහින් එතැනින්

මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වුනු  මාර්ග අංක 178 නාරාහේන්පිට  බස් එකක් හරි වැලිසර

ඩිපෝවේ මාර්ග අංක 104 යටතේ ධාවනය වුනු  බස් එකක් හරි ගන්න එකයි. වැලිසර    ඩිපෝවේ

තිබුණේ පරණ ඉසුසු  බීඑෆ් 50 වගේ  බස් වගෙ තමයි මතක.මට්ටක්කුලිය ඩිපෝවෙත් ඒ වගේ බස්

රථ ගොඩක් තිබුනා. ඒ වගේම දුර ගමන් යන බස් වලට යෙදවුනු අශෝක ලේලන්ඩ්  බස් උදේට

නාරාහෙන්පිටට ගිහින් පිටකොටුවට දිවූ වෙලාවලුත් තිබුණා. ඒ වෙලාවට නං අපට අලුත් බස්

රථයක හොඳින් යන වාසනාව ලැබුණා.




සමහර වෙලාවට අපි ජාඇල   ඩිපෝ එකේ බස් එකකින් කැලණිතිස්ස බලාගාරෙ ගාවට ඇවිත්

එතනින් කඩවත ඩිපෝ එකේ මාර්ග අංක 154 යටතේ ධාවනය වන බස් එකක් හරි රත්මලාන

ඩිපෝ එකේ 154 බස් එකක් හරි ගත්ත වෙලාවලුත් තිබුණු බව මතකයි ඒ දවස්වල සීසන් ළමයි

දකින බස් නවත්වන්නෙ නැතුව යන පුරුද්දකුත් තිබුණා ඒ හින්දා  සීටීබී බස්‌ ගමන සුභදායී

එකක් නම් වුනේ නෑ.

ජපානයෙන් ගෙන්වූ ඔටෝගියර් ඉසුසු බස් අපට හමුවුණේ 154 කඩවත ඩිපෝ  පාසල් බස් එකේ 

වගේම ටියුෂන් පන්ති යන්න නූගේගොඩට යද්දී අපි ගොඩවුනු උඩහමුල්ල ඩිපෝවේ මාර්ග අංක

176 පාසල් බස් එකට ඒවා යොදවල තිබු නිසයි.


වත්තලින් රත්මලාන්ත ගියාට පස්සේ බස් භාවිතය අඩු වෙලා අපි පොදු ප්‍රවාහනයට යොදාගත්තේ
දුම්රිය. ඒ  ගැන මතක වෙනත් සටහනක ලියන්නම්.උසස් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවට ගියාට
පස්සෙ ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වෙනකන් යතුරුපැදි සහ මෝටර් රථ මගින් ප්‍රවාහනය
සිද්ධ වුන නිසා ලංගම බස් මතක ජීවිතයට එකතු වුණේ අඩුවෙන්.

ලංගම බස් ගැන සවිස්තරාත්මක තොරතුරු ගැන මේ බ්ලොග් අඩවියෙන් තොරතුරු දැනගන්න පුළුවන්

 

https://sltbbus.blogspot.com/


අමල් කුමාරගේ සම්මානිත මහාචාර්යතුමා විස්තර කරන විදියට ජන ඝනත්වය වැඩි, ඛනිජ තෙල්

ආනයනය කරන රටක් වන ලංකාවට ගැලපෙන්නේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම හින්දා බලයට

පත්වුණු අලුත් ආණ්ඩුව ඒ ගැන කටයුතු කරොත් අමාරුවෙන් එකතු කරගන්න  ඩොලර් ටික පරිස්සම්

කරගන්න වගේම හිතට කරදරයක් නැතුව කාට වුණත් එදිනෙදා ගමන් බිමන් යන්න පුළුවන් රටක් බිහිවේවි. 

කැමති කෙනෙකුට මේ යූ ටියුබ් දිගුවෙන් ඔහු විස්තර කරන තොරතුරු දැනගන්න පුළුවන්



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි